රජීව් ගාන්‌ධි හාරාදුන් රන්‌ආකරය: දකුණේ පළාත් සභා
Posted on September 18th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

පළාත් සභා මිණියට ඔක්‍ෂිජන් පිඹීමේ ව්‍යායාමය

මේ වන විට මියගොස් සිටිනා, පලාත් සභා, වලෙන් ගොඩට ගන්නා මෙන් ඉල්ලමින් කනා අඳෝනාව සිහිපත් කරන්නේ, පාරේ දමා තිබූ මී මළකුණක් විකුණා ධනවත්‌වුන සිටුවරයෙක් ගැන ජාතක පොතේ ඇති කතාවය. බුදුන්ගේ කාලයේ ඉන්‌දියාවේ සිටි හැමෝම සතුටින් ලංවූ සිරිමා නගර නම් සෝබිනියගේ සිරුර, ඇය මළ පසු වෙන්දේසියෙන් තියා නොමිලේ වත් ගෙනියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීම ධම්මපදයේ එක් ගාථාවක නිදාන කතාවය. 1987 දී පලාත් සභාවට විරුද්‌ධ අරගලයේදී වෙඩිතබා ගොඩගැසූ මිණී 144 ක් සහිත ශාලාවක දින තුනක් චම්පික රණවක සිටියේය. ජේ.වී.පී. මුල්‌වූ විරෝධතා සටනින් 60,000 ක් වත් මියගියේය. අද වනවිට මේ පලාත් සභාවල කෙරුවාව දෙස බලන විට, දකුණේ තිබුණේ දැලිපිහි ගත් වඳුරන්ගේ සභාය. උතුර කලේ විග්නේෂ්වරන්ගේ දෙමළ සමූලඝාතන යුරෝපයට වාර්‌තා කිරීමය. නැඟෙනහිර, හිස්බුල්ලාගේ රට‌ඉඳිගස් හා පිටින් පාත්‌වූ රිෂාඩ්ලාගේ, අසාත් සාලිලාගේ ශාරියා බලකොටු ගැනය.

ප්‍රභාකරන්ටත් අරහංවුන පලාත් සභාව

1987 දී පලාත් සභාවට පක්‍ෂව හිටියේ, ඉන්‌දියාවේ ඩික්‍ෂිට් හා රජිව් ගාන්‌ධිත්, ලංකාවේ මාක්ස්වාදී හා සමහර ක්‍රිස්තියානි කොටසුත් පමණය (ජූලි 29 දා ගිවිසුම අත්සන් කරණ පොටෝ එකේ ජේ. ආර්. ගේ පරාජිත අනාථ අසරණවූ මූණ දෙස බලන්න. විජිත රෝහණ විජිතමුණි, ජූලි 30 දා කලදේට ජේ.ආර්. දුක්‌‌වුණාද, නැත්නම් හිත යටින්වත් සතුටු වුණාද?). 2013 වනතුරුම උතුරේ පලාත් සභාවක් නොවීය. පසුගිය අවුරුදු 3 ක පමණ කාලයක් මේවා අකර්‌මණ්‍යව පැවතින. 2020 දී ඒ වෙනුවෙන් මාක්ස්වාදී-ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කරණා දේශයට-ප්‍රිය මැකෝ හැරුණු විට, ඒ වෙනුවෙන් පෙලපාලි ගිය මහජනතාවක් නැත. අඩුතරමින් ශිවාජිලිංගම්වත් කතා කලේද නැත.

පළාත් සභා මාෆියාව

එසේ නම් පලාත් සභාවලට යළි පණ දීමට කෑගසන්නේ කවුරුන්ද? 1987 සිට දකුණේ, <පලාත් සභා මාෆියාවක්> වර්‌ධනය වූයේ, 1988 දී ගෙනා අළුත් දිස්ත්‍රික් හා මනාප චන්ද-බලුපොර ක්‍රමය සමඟ වෙලී හෙමින් හෙමින්‌ය. මෙම මාෆියාව, දේශපාලකයා-නිලධාරීයා- එන්.ජී.ඕ.කාරයා, යන ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය තුල ඇති දකුණු පලාත් සභා හතේ අනු ත්‍රිකෝණය.

  1. පැණි හැලියේ වැටුණ ඇඹලයෝ

පලාත් සභා නම් සුදු අලියාගේ පිටිපස්සේ බැඳි මීවදයෙන් බේරෙන පැණි සඳහා කෙලගිලින ප්‍රධාන කොටස වන්නේ ඒවා ලෙවකෑ, පලාත් වල, ප්‍රාදේශීය සභාවල, කුලය අනුව චන්දය ලබාගත හැකිවූ සුළු පිරිස හා, ඔවුන්ට එකතුව මස් කටු ලෙවකමින් හෝ හරක් ගාතා පිටින් අනුභව කරමින් සිටිනා නිලධාරීන්‌ය. මේ දෙකොටසටම ඩොලර් පෙන්නීම, විදේශ න්‍යායපත්‍ර ඇතිව හෝ නැතිව පැමිණෙන එන්.ජී.ඕ. කාරයින්ට, කොළඹ තෝරුන් මෝරුන් ලඟට යනවාට වඩා ලේසි විය. පලාත් සභා අපේක්‍ෂකයෙක් වීමේදී ධන බලය හා මැර බලයද ඊට එකතුවිය. කොළඹ දේශපාලන පක්‍ෂ විසින් සම්මුඛ පරීක්‍ෂණ වලින් අපේක්‍ෂකයින් තේරීමේදී මේවා සළකා බැලුවේ චන්දය දිණීමේ සුදුසුකම් ලෙසටය. පාර්ලිමේන්තුවට, පලාත් සභාවට, ප්‍රාදේශීය සභාවට යෑම නොයෙක් වරප්‍රසාද සහිත ආණ්ඩුවේ රක්‍ෂාවකට හතවත් පාස් නැතිව යෑමක්, සරු සාර ජීවනෝපය ක්‍රමයක් මිස, මහජන සේවයක් නොවන බව ප්‍රසිද්‌ධ රහසක් විය. මේ නිසා පලාත් සභා ඉණිමඟට නැග්ගොත්, පාර්ලිමේන්තුවට ගොස් ඉක්මණින්ම ඇමතිකමක් ලබාගෙන හොඳට සල්ලි හම්බකරගත හැකි නොවේද යන අදහස පැතිරිණ. එපමණක් නොව තමන්ගේ දූදරු පරම්පරාවලට මේ බිස්නස් එකට ඒම සඳහා පුහුණුව ලබාදිය හැකි මොන්ටිසෝරි බවට පලාත් සභාව පත්‌විය.

පලාතේ හා කොළඹ පක්‍ෂ මාෆියා බද්‌ධවීම

මනාප චන්ද ක්‍රමයක් යටතේ හා 15 වන ව්‍යවස්ථා සංශොධනයෙන් (1988 දෙසැම්බර් 17) දිස්ත්‍රික් අවම චන්ද අවශ්‍යතාවය 12.5% සිට 5 දක්වා අඩුකල පසු, ජාතික තලයේ පක්‍ෂ දේශපාලකයින්ට පලාත් සභා මන්ත්‍රීන් නැතුවම බැරි ඇබිත්තයින් පිරිසක් විය. දෙකොටස අතර වංචා සහගත, නිල නොලත් උගුරට හොරා බේත් කෑමේ, පිටවල් කසාගැනීමේ ගිවිසුමක් බුර බුරා ලියළුවේය. මේ නිසා 1987 දී පලාත් සභාවලට එරෙහිව මැරෙණ්නට සුදානම්‌වු අයම රහසින් වත් පව් කරණ පිරිසක් බවට පත්‌විය. අද වනවිට නිල්, රතු, කොල යනාදී හැම දේශපාලකයෙක්ම පලාත් සභා අහෝසිකිරීමේ යෝජනාවේදී හොරගල් අහුලන්නේ මේ නිසාය. ඔවුන්ගේ පවුල් පරම්පරා වලටද එය අහම්බෙන් කඩා වැටුණ නිධානයක්ම වී ඇත. 2020 පාර්ලිමේන්තුවේ පලාත් සභා මහaැමතිලා, ආණ්ඩුකාරයින්ව සිටි අය 15 ක්ම සිටී. මීට අමතරව එහි සාමාන්‍ය පලාත් සභා මන්ත්‍රීලාව සිටි අය කෙතරම් සිටීද? මොවුන් ඉණිමඟ නැග ගත්තත්, ඔවුන්ගේ දූ දරුවන්, ඥාතීන් ඉණිමඟ පහලින් බලාගෙන ඉන්නවා නේද?

වළල්ලාවිට ප්‍රාදේශීය සභාව

බස්නාහිර-දකුණු පලාත් දෙකේ මායිමේ, කළුතර දිස්ත්‍රික්කයේ අළුත්ගමින් රට ඇතුලට ඈතට යනවිට හමුවන වළල්ලාවිට ප්‍රාදේශීය සභාව විසින් 21-0 චන්දයකින් පලාත් සභා අහෝසි කරන්නට යෝජනාවක් සම්මත කිරීම (ලංකාසීනිව්ස්/ඩේලි මිරර් සැප්. 15, 2020), පලාත් සභා ගැන රටේ ගැමි ජනතාවගේ ඇති තක්සේරුව එලිදරව් කරන්නේය. මෙවැනි යෝජනා ප්‍රාදේශීය සභා 345 හේම පැවැත්‌වුවහොත්, එය පලාත් සභා චන්ද නොපැවැත්‌වීමට දුන් මහජන චන්දයකට සමාන නොවන්නේද?

  1. මහාවංශ විරෝධී ව්‍යාපාරය නොහොත් රට කැබලි කිරීම

සිංහල පැණි ඇඹලයින් නොදන්නා කරුණක් නම් පලාත් සභා යනු රට දෙකට හෝ දහයකට කැඩීමේ ඩොලර් බලවේගවල මෙහයුමක් බවය. 2009 වනතුරු පැවතියේ රට දෙකට කැඩීම අරමුණු කරගත්, දකුණු ඉන්දියාවේ ද්‍රවිඩස්ථාන් ව්‍යාපාරයෙන් අභාෂය ලත් ක්‍රියාවකි. 1918 දී ඉන්දියා-ලංකා පෙඩරේෂන් එකක් සදන්නට යෝජනාකල අරුණාචලම් පොන්නම්බලම්, 1919 දී ඔහු මූලිකව සදාගත් ලංකා ජාතික සංගමයෙන් 1921 දී අස්වී, 1923 දී ලංකා දෙමළ සමිතිය පිහිටුවා ගත්තේය. ඒ දෙමළ වැසියන් ඉන්නා මලයාව වැනි යටත් විජිතවල, දෙමළ කම (ටැමිලක්කම්) පණ ගැන්‌වීම, පැතිරවීම, එකමුතුකම හා සංවිධානය කිරීමටය. ජී. ජී. පොන්නම්බලම්, 1931 දී ඩොනමෝර් කාලයේදී එය පනහට-පනහ ලෙසත්, 1949 න් පසු චෙල්වනායගම් විසින් එය දෙමළ රටක්/පෙඩරල් රටක් වශයෙනුත්, 1976 වඩුකෝඩ්ඩෙයි ප්‍රකාශණයෙන් වෙනම ඊළමක් ලෙසත් ඉදිරිපත් කලේ, ස‌ර්‍වජන චන්දබලය යටතේ රටේ නායක තනතුරු අහිමිවී යමින් සිටි කොළඹ ජීවත්‌වන බොහෝසෙයින් ක්‍රිස්තියානී දෙමළ පංචස්කන්‌ධ දුසිම් ගණනක් මිස, වෙල්ලාලයින්ගේ අර්‌ධ වහල් ක්‍රමයක් යටතේ පෙලෙනා පොදු දෙමළ ජනතාව නොවේ. මේ බව අරුන් සිද්‌ධාර්‌ථන් (ආවා කල්ලිය බොරුවක් බව කී) හැසිරීමෙන් හා යුද හමුදා කර්‌නල් රත්නප්‍රිය බන්‌ධුට වන්නි ජනයා දැක්‌වූ උපහාරයෙන් පැහැදිලි විය.

උතුරු-නඟෙනහිර දෙමළ නිජභූමියක් තිබේය යනුවෙන් චෙල්වනායගම් ගෙනා මිථ්‍යාවට, 1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් <ඉරාදැමූ> ගිවිසුමෙන් එක්තරා ශක්තියක් ලැබිණ.1965 ඩඩ්ලි-චෙල්වා <අතහැරදැමූ> ගිවිසුමෙන් එය තවත් බලවත් විය. සිංහල කළුසුද්දන්ගේ, දේශපාලකයින්ගේ, නොමනා හැසිරීම යටතේ මේ මිථ්‍යාව, 1987 දී ව්‍යවස්ථාවේ කොටසක් විය. 13 වන සංශොධනය යටතේ ලංකාව තවදුරටත් ඒකීය රටක් නොවන බව සුප්‍රීම් උසාවි තීන්දුවෙන් එලිවිය. ලංකාව පෙඩරල් රටකි. පොලිස් හා ඉඩම් බලතල නොදීමත්, විධායක ජනාධිපති ක්‍රමය හා ඔහුගේ නියෝජිත ආණ්ඩුකාරයා නිසාත් දැනට ඊළම ප්‍රමාදවී ඇණහිට තිබේ. 2013 දී විග්නේශ්වරන් උතුරේ මහaැමතිවී කලේ ජනතාවට සේවය නොව ඊළමට පාරකැපීමට විදේශීය උදව් ලබාගැනීමට හැම ගලක්ම ගැසීමය. රටේ අවාසනාව නම් හිසළක වීරයා වැනියවුන් දිවිගෙවා 2009 මැයි 18 දා නිදහස් කරදුන් රට දැන් 2020 වනවිට 1976 ට ආපසු ගොස් තිබීමය.

දකුණේ පැණි ඇඹලයින් පලාත් සභා චන්ද ඉල්ලීමත්, විග්නේශ්වරන්-සුමන්තිරන්-දයාන් ජයතිලක යන අය පලාත් සභා චන්ද ඉල්ලීමත් අතර වෙනස එයය. දයාන් ජයතිලක වැනි මාක්ස්වාදී-ක්‍රිස්තියානීන් යන්නේ, චන්ද්‍රිකා-රෝසි සේනානායක- රනිල්-මංගල සමරවීරලා යන සිංහල බෞද්‌ධ පදනම විනාශකල යුතුය යන පාරේය. නොපවත්‌වන්නට යන පලාත් සභා චන්දය සඳහා අයැදුම්පත් කැඳවමින් ඉන්නා (ලංකාදීප, සැප්. 14, 2020) සජිත් ප්‍රේමදාස ඉන්නේද ඔවුන් පිටු පසින්‌ය.

  1. මිලේනියම්-ශාරියා පාර

ඉඩම් හා පොලිස් බලතල දී 13 වන සංශොධන නීතිය බලගැන්‌වීමට සිතා කටයුතු කල ඇමෙරිකන් තානාපතිලා තිරයෙන් පිටු පසට ගොස්, මෝඩිගේ ඉන්‌දියාව ඉස්සරහට පැමිණ සිටී. දයාන් 13 ප්ලස් ගැන කතාකරද්දී, මිලින්ද මොරගොඩ 13 අහෝසි කලයුතු යයි කියයි. ඇමෙරිකාව 13 අතහැර ඇත්තේ මිලේනියම් ට්‍රෝජන් අශ්වයා නිසාය. ඒ මඟින් ඇමෙරිකාවට 13 යටතේ ඊළමක් හරහාට වඩා ලංකාවේ විශාල බලයක් ලබාගත හැකිවේ. එහි ජොකියා ලෙස මිලින්ද සිටී. අනිත් අතට දයාන් කියන්නේ මිලේනියම් හරහා රට බෙදීම වෙනුවට 13 ප්ලස් දුන්නොත් රට නොකැඩෙන බවය! මේ දෙන්නාම ජාතිභ්‍රෂ්ටයින්‌ය. මෝඩ එහෙත් ආත්මාර්‍ථකාමි දකුණේ පලාත් සභා හෙංචයියලාට මේවා නොතේරේ. ඔවුන් සිතන්නේ රටගැන නොව තම පවුල්වල බඩගෝස්තරය ගැන පමණය.

  1. ශාරියා-ඉක්වාන් පාර

ප්‍රභාකරන්ට උතුරු පලාත සින්නක්කරව දීමට ප්‍රේමදාස හා චන්ද්‍රිකා යන දෙන්නා දෙපාරකට කල යෝජනාව ප්‍රභාකරන් විසින් ප්‍රතික්‍ෂේපකලේ රටේ හඳහන හොඳ නිසාමය. නැත්නම් අද වනවිට ලංකාවක් නැත. ඉන් පසුව, 1995-2000 චන්ද්‍රිකාගේ පැකේජ් ඩීල් සමයේදී, 13-ඒ ඉදිරියට ගෙන යමින් රට කෑලි 10 කට කඩන්නට ප්ලෑන් කලේය. එහිදී ගිණිකොණදිග ප්‍රදේශයක් මුස්ලිම් ජනයාට දීමට ඇය එකඟවිය. ඊට අදාල සිතියම පවා රටෙන් හංඟන ලද්දේ, දැන් රටෙන් පලාගොස් සිටින, පසුව 19 සංශොධන කේවට්ටයෙක්‌වූ ජයම්පති වික්‍රමරත්න ප්‍රධාන කල්ලියය. දැන් 2020 සැප්තැම්බර් වලදී පාස්කු ප්‍රහාර කොමිෂමේදී රාවුෆ් හකීම් කියා සිටියේ මේ මුස්ලිම් ප්‍රදේශය අවශ්‍ය බවය. සිංහල පලාත් සභා පෙරේතයින් මේවා නොදන්නවාද?

මිලේනියම් පාරේ යනවා නම් මේ මුස්ලිම් ප්‍රදේශය සුවර්‌ය. එය චන්ද්‍රිකාගේ ගිණිකොණට, ඔළුවිල් ප්‍රකාශයට, වඩා විශාල වන්නේය. එහෙත් එය චන්ද්‍රිකා-නීලන්-ජිිෙල් පැකේජ් ඩීල් දෙමළ ප්‍රදේශය සමඟ හරහට ඉන්නේ ඇමෙරිකන් ඉන්දු-පැසිපික් හමුදාව, මඩකලපු මුස්ලිම් ප්‍රදේශයේ පාසැල් බලකොටු හදමින් කරගෙන යන ප්ලෑන නිසාය. දැනටමත් දෙකක්ම හදා ඇත. කලින් එක වි‌වෘත කලේ පාස්කු ප්‍රහාරයට දිනකට දෙකකට කළින්‌ හිස්බුල්ලා සමඟය. හරියට ඊළඟ සුනාමියට සූදානම් වනවා මෙන් පසැලේ අනාථයින් 400 කට ලැගුම් දිය හැකිය. දෙවන පාසැල, ලඟදී ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ද සහභාගීවී විවෘත විය. එහි තව 400 කට ඉඩ ඇත. තව බලකොටු කීයක් මුස්ලිම් (හා දෙමළ?) අධ්‍යාපනයේ නාමයෙන් විවෘතවේවිද? (අධ්‍යාපන විෂය 13-ඒ වලින් ඉවත්කල යුතුබව ජනාධිපති ගෝඨාභය කියා තිබීම වැදගත්‌ය; සෞඛ්‍යය විෂය එසේ 13-ඒ යටතේ පලාතට දීමේ අනතුර කොරෝනාවේදී යුද හමුදාව මැදිහත්‌වීම නිසා යටපත්‌විය).

මේවා යම් ඉදිරියේ දිනක, මිලේනියම්, ඇස්කා, සෝෆා ගිවිසුම් යටතේ ඇමෙරිකන් යුදභටයින්ටද ඕනෑ වෙන්නත් පුළුවන්නේද? <නිකං කෑම වේලක් කියා දෙයක් නැත> යන්න ඇමෙරිකන් ඩී.එන්.ඒ. වල පලපදියම්ව ඇති වානිජ වාක්‍යයකි. පලාත් සභාවලට ඉඩම් බලතල ලබා නොදීත් මෙසේ නම්, ඉඩම් හා පොලිස් බලතල දුන්නොත් කෙසේ සිටීවිද? ඇත්තවශයෙන් කියනවා නම් නීතියට අනුව විග්නේශ්වරන්ලාට මේ බලය ලැබී තිබුණේය. එය වැළකුණේ ආණ්ඩුකාරයාට ඇති නිෂේධ බලය නිසාය. දැනටමත්, 16 වන සංශොධනය අනුව, උතුරු නගෙනහිර සිංහල ජනයාට, ග්‍රාම සේවකයාගේ සිට ඉහලට ආණ්ඩුවේ නිලධාරීන් හා උසාවි සමඟ ගණුදෙණු කල හැකි දෙමළෙන් පමණක් බව දකුණේ පලාත් සභා හත නමැති ඉල්ලමට පණින්නට බලා ඉන්නා පක්‍ෂ හෙංචයියලා දන්නවාද?

  1. 20 වන සංශොධන කෙටුම්පත

19 සංශොධනයේ ආරම්භය චන්ද්‍රිකාගේ පැකේජ් ඩීල් 1997 ඔක්තෝබර් ව්‍යවස්ථා කෙටුම්පතය. ඉන් පසු ගෙනා 2000 අගෝස්තු අවසාන කෙටුම්පත මඟින් චන්ද්‍රිකා විධායක අගමැතිවීමට ප්ලෑන්කරණ බව දැනගත් රනිල් ඊට පාර්ලිමේන්තුවේදී ගිනි තැබ්බවූවේය. එසේ කර තමාට එය ගන්නට සිතා 2002 දී රනිල් ගෙනා විධායක අගමැති ප්ලෑන සුප්‍රිම් උසාවියෙන් බකල් වුනේ ජනමත විචාරණයකට යායුතුයයි තීරණයක් දුන් නිසාය. 2001 ඔක්තෝබර් 03 ගෙනා 17 වන සශොධනය මඟින් විධායක ජනාධිපතිගේ බලය අඩුකිරීමට රනිල්ලා ක්‍රියා කලේ ඉන් උතුරේ පලාත් සභාවට ඔක්‍ෂිජන් දීමටදය. ඇමෙරිකන් ඩොලර් තිබුණත් 2005 දී නූලෙන් පැරදුන රනිල්, 2010 දී රොබට් බ්ලේක්ගේ ලණුවක් කෑ සරත් ෆොන්සේකාව අල්ලා ගත්තේය. 2010 දී ඇමෙරිකන් තානාපතිනියගේ අටපිරිකරට රැවටුන මාදුළුවාවේ සෝභිත හිමියන් හරහා මෛත්‍රීපාල සිරිසේනව රැවටීමට චන්ද්‍රිකා හා රනිල් සමත්‌විය. ඔහු පඹයෙකු සේ යොදාගෙන ගෙනා 19-ඒ, 13-ඒ බලගැන්‌වීම සඳහා අවශ්‍ය විධායකය දුර්‌වල කිරීම හා මධ්‍යම රජය අස්ථාවර කිරීම යන කූඨ සැලැස්මක් බව දැන සිටියේ, ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න, චන්ද්‍රිකා, රනිල්, මංගල හා ඒබ්‍රහම් සුමන්තිරන් පමණක්ද? එහෙත් <මුන් 225> අතරින් මේ ගැටයට අසු නොවූයේ අම්පාර මන්ත්‍රී සරත් වීරසේකර පමණය. මේ අනුව 16, 17 හා 19 සංශොධන, 13 සංශොධනය හා බැඳී ඇත.

13-ඒ රජ කරවීමට, 2018 සිට සුමන්තිරන්-ජයම්පති දෙන්නා ඉස්සරහට දමා රනිල්-චන්ද්‍රිකා හවුල්‌වී කල ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා මගඩියට ඔක්‍ෂිජන් ආවේ 19-ඒ හරහාය. පාස්කු ප්‍රහාරයට ඔක්‍ෂිජන් දුන්නේද එයමය. තමන්ගේ 2000 පැකේජ් ඩීල් එක දැන් 2018 දී ක්‍රියාත්මක වෙනවා යයි චන්ද්‍රිකා කටමැත දෙඩවූවාය. මේ කුමන්ත්‍රණ ගැන දැන් එලිවන්නේ 20-ඒ ගෙනාවිට, 19-ඒ ගර්‌භනිය වෙනුවට, දයාන් ජයතිලක වැනි 13-ඒ කරේදාගත් වින්නඹුවන්ට විලිරුදා ඒමෙනි! ඔහුට දැනට ඉතිරිව ඇති, කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ දිනපතාම වාගේ මාරාශ වූවෙක් මෙන් ඔහු විකාර කතා ලියන්නේ ජෙහාන් පෙරේරලා, පාකියසෝතිලා, කුමාර් ඩේවිඩ්ලාවද යටකරමින්‌ය.

13-ඒ මර උඟුලට සුදුහුණු ගෑම

13-ඒ මර උඟුලක් වන්නේ එය රටේ ඉතිහාසයට හා භූගෝල විද්‍යාවට, පරිසර විද්‍යාවට පටහැනි නිසාය. එහෙත් ඒ බව අමතක කර, ඊට සුදු හුණු ගෑමට අරුම පුදුම බේගල් ඉදිරිපත් කරමින් පවතී. ඒ පිළිඹදව මීට පෙර කල විග්‍රහ රාශියකි. ඒ නිසා මේ ලිපියේ ඉතිරි ඉඩ යොදාගන්නේ, 20-ඒ නිසා මතුව ඇති 13-ඒ කලබගෑණියට අදාලව ලඟදී පලවූ ලිපි දෙකක හෙළුව එලි කිරීමටය. එකක් ජයවර්‍ධනපුර සරසවියේ දේශපාලන විද්‍යාව උගන්වන ටෙරන්ස් පුරසිංහ සමඟ කල සාකච්චාවකි (ලංකාදීප, සැප් 10). අනික දයාන්ගේ කලම්බු ටෙලිග්‍රාෆ් ලිපිය ය (සැප්. 14). මේ දෙන්නාම හදන්නේ 13-ඒ නමැති දරුවාගේ පියා ඉන්‌දියාව නොවන බව පෙන්‌වා දීමටය! පියා ඉන්නේ ලංකාවේය යන්න ඉන්‌දියාවේ නිදහසට කරුණුය. උදාහරණ වශයෙන්:

  1. මුලින්ම පෙඩරල් ඉල්ලුවේ දමිළ නායකයින් නොව උඩරට නායකයින් (මහනුවර මහජන සභාවේ නායක එෆ්. ඔබේසේකර) විසින් 1928 දී ඩොනමෝර් කොමිෂමෙන් යයි ටෙරන්ස් කියයි. ඔබේසේකර නුවර ලිපිනයක් තිබූ පහතරට වේයන්ගොඩ සිංහලයෙක් බව ටෙරන්ස් නොදනී!

1926 දී යාපනේදී එය යෝජනාකල බණ්ඩාරනායකද පහතරට සිංහලයෙකි. තවද, මේ උඩරට-පහතරට භේදය හෝ තරඟය, ඩී.එ‌ස් හා බණ්ඩාරනායක යන දෙන්නා උඩරට ගෑණුන් විවාහකර ගැනීමත් සමඟ නිමවූ බව ටෙරන්ස් නොදනී.

  1. ඒ කාලයේ දමිළ නායකයින් ඉල්ලුවේ පෙඩරල් නොව ඒකීය රාමුවක් තුල සමබර නියෝජනයක් යයි ඔහු කියයි. 1921/23 කාලයේ අරුණාචලම් පොන්නම්බලම් ඉල්ලුවේ කොළඹට දෙමළ නියෝජිතයෙක්‌ය.
  2. ඒ නිසා ඇතිවූ ගැටුමෙන් පසු ලංකා ජාතික සංගමයෙන් ඉවත්‌වූ ඔහු ටැමිලක්කම් සංවිධානය පිහිටුවා ගත්තේ (1923) සමබරකට නොව දෙමළ රාජ්‍යයක් සඳහාය. මේ කාලයේ දෙමළ බදුම්වාදයට උල්පන්දම් දුන්නේ ගවනර් මැනිංය. ඔහු ගෙන් පසුව සමබර කතාව ඩොනමෝර් කොම්ෂමට ගෙනාවේ ජී.ජී. පොන්නම්බලම් විසින් හරහාය.
  3. 1949 දි චෙල්වනායගම් පෙඩරල් ඉල්ලුවේ සමබර (පනහට පනහ) නොදුන් නිසායයි ටෙරන්ස් කියයි. වෙල්වනායගම් කොසොවෝ ප්ලෑන ගැන කතාකලේ කවදාදැයි ඔහුගේ බෑණා ඒ. ජේ. විල්සන්ගේ පොතෙන් ටෙරන්ස්ට බලාගත හැකිය.
  4. 1949 පක්‍ෂයේ ඉංග්‍රීසි නම පෙඩරල් වුවත් දෙමළ නම එක්සත් දෙමළ රට කියාය.
  5. ඊළඟට ටෙරන්ස් සුදුහුණු ගාන්නේ පෙඩරල් චෙල්වා ඉල්ලුවේ උතුරු නැඟෙනහිරට පමණක් සීමාවූ අසමතුලිත බලය බෙදීමක් බව කීමෙනි. මෙය ඒ දෙපලාතට ප්‍රාදේශීය සභා දීමට යෝජනා කොට, ප්‍රසිද්‌ධියේ ඉරා දැමූ, 1957 බ-චෙ ගිවිසුමය. 1965 දී ඩඩ්ලි-චෙ හොර ගිවිසුම අනුව ඒවා රට සභා (දිස්ත්‍රික් සභා) ය.
  6. 1972 දී ඒකීය ආණ්ඩු ක්‍රමය, පෙඩරල් තහනම් මේ නිසා දෙමළ සමාජය වෙනම රටක් ඉල්ලන තැනට තල්ලු විී යයි ටෙරන්ස් කියයි.
  7. 13 න් වූයේ දෙමළ නායකයින් ඉල්ලූ අසමතුලිත වෙනුවට සමතුලිත (මුලු රටටම) බෙදීමක් නිසා, 13 න් ජාතික ප්‍රශ්ණය විසඳුනේත් නැත, රට බෙදුනේත් නැත යයි ටෙරන්ස් කියයි.
  8. එහත් 13 න් යම් ස්වයංපාලන අයිතියක් දෙමළ ජනයාට ලැබී ඇත යන ඔහුගේ කියමන 13-ඒ යනු මර උගුලක් බව ස්ඵුට කරයි. යකඩ මත ඇසිඩ් මෙන් එය සිංහල රට කා දමණු ඇත. චන්ද්‍රිකාගේ පැකේජ් ඩීල් (1995-2000), රනිල්ගේ-සුමන්තිරන් ඔරුමිත්තනාඩු ඩීල් (2018-19) ගැන ටෙරන්ස් නිහඬය.
  9. ඉන්දියාවේ සබ්මැරින්, ඇමෙරිකාවේ යුද නැව් ගැන කියමින් කලින් කලට සිංහලයා බිය ගන්වන දයාන් ඉදිරිපත් කරන තර්‌කය නම් 1987 දී ගෙනා 13-ඒ සංශොධන යෝජනාව, 1986 දී-ජේ.ආර්-විජය කුමාරතුංග-කොල්වින්-පීටර් කේනමන්- යන අය විසින් ස‌ර්‍ව පාක්‍ෂික සමුළුවේදී ගෙනා යෝජනාම බවය. මීට ශාක්‍ෂිකාරයින් ලෙස, ඩිව් ගුණසේකර හා වාසුදේවගේ නම් ඔහු සඳහන් කරයි. මේ යෝජනා දෙකේ එකම වෙනස යයි ඔහු දකින්නේ 13 න් උතුර හා නැඟෙනහිර තාවකාලිකව එකතු කිරීමය.

රටේ ජනතාව, පලාත් සභා මිණී වලෙන් ගොඩ ගැනීමට, මේ ශාක්‍ෂි දෙක පිළිගනීවිද?

http://www.lankaweb.com/news/items/2020/03/09/attempts-to-exhume-the-provincial-council-cadaver/.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress