රටේ තරුණ පරපුරට අභිමානයෙන් යුතුව යෙදිය හැකි රැකියාවක් !
Posted on January 26th, 2021

ප්‍රවෘත්තී නිවේදනය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය.

රටේ තරුණ පරපුරට අභිමානයෙන් යුතුව යෙදිය හැකි රැකියාවක් ලබාගැනීම වෙනුවෙන්  වෘත්තීය අධ්‍යාපනය සඳහා ලොව ඉහළ තලයේ ඉල්ලුම හා ප්‍රමිතිය සකස් කිරීම නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍යංශයේ අරමුණ බව ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය  පසුගියදා  (2021.01 .22 ) අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයේ (NIBM) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සඳහන් කළාය.

රටෙහි ශ්‍රමබලකාය, පුහුණු වෘත්තිකයන් බවට සංවර්ධන කරමින් රටින් පිටවන ශ්‍රමිකයින් විදේශ විනිමයක් ගෙන ආ හැකි දක්ෂ වෘත්තිකයන් ලෙස ගොඩනැංවීම සිය අභිප්‍රාය බවත්, ඒ අනුව අලුතින් නිකුත් වූ ගැසට් පත්‍රයට අනුව මෙම වසර පහ තුළ වෘත්තීය පුහුණුවක්, නිපුණතාවක් නොමැති  60%ක තරුණ පිරිස 10%කට වඩා අඩුකිරීමටත් ,  පළමු වසර දෙක තුළ එය 20% දක්වා අඩුකිරීමටත් කටයුතු කරමින් සිටින බව පැවසූ ඇය, රැකියා වෙළෙඳපලෙහි ඉල්ලුමට අනුව දරුවන් හට කුසලතා හා සුදුසුකම් ලබාදිය යුතු යැයිද අවධාරණය කළාය.

NIBM හෙවත් ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය දැනමටත් දේශීය විදේශීය වෙළෙඳපළ තුළ වඩා හොඳ වෘත්තීය අවස්ථා සහතික කරමින් සිසුන් දහස් ගණනකට මං විවර කර ඇතැයි පැවැසූ රාජ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කරසිටියේ අමාත්‍යංශය යටතේ පවතින අනෙකුත් වෘත්තීය පුහුණු ආයතන මෙන්ම රටෙහි සෑම දිස්ත්‍රික්කයකම, පළාතකම ඇතිවන කාර්මික උද්‍යාන සඳහාද NIBM ආයතනයේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිළධාරීන් ඇතුලු ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයේ නිළධාරීන් රැසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress