නිදහස!
Posted on January 28th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

දැන් 73 වෙනි නිදහස් සැමරුම ඉතාම ආසන්න දිනකදී සමරනවා. ඔබ අප ලබා ගත්තාවූ නිදහස සම්බන්ධව මොනවාද හිතන්නේ?

විශේෂයක් දැනෙන්නේ නැහැ. ඒ උනාට හොඳයි.

ඒ මොන කෝළම් කතාවක්ද? තමන්ට දැනෙන්නේත් නැති හැඟෙන්නේත් නැති දෙයකට හොඳයි කියන එක?

සමහර දේවල් තියෙනවා අපට හැඟෙන්නෙ නැති හොඳ දේවල්. ඒ වගේම තියෙනවා තමන්ට කිසිවක් දැනෙන්නේ නැති හොඳ දේවල්; ඉතින් මට දැනුනේ නැහැ කියල හෝ මට හැඟුනේ නැහැ කියල, මේ රටේ අති බහුතරයක් මහත් භක්තියකින් සමරණ දෙයකට නරකයි කියන්න පුළුවන්ද? මට ඒක කරන්න අයිතියක් නැහැ. මේ නිදහස අපූරුයි කියල මම කියනවා.

ඇත්ත වශයෙන්ම ඔබ අවංකව හිතේ තියෙන දේ ප්‍රකාශ කරන්නේ නැහැ කියල මම ඔබට චෝදනා කරනවා. ඔබ අපව සතුටු කරන්න යමක් කියනවා විතරයි.

මම ඉන්නේ මඟුල් ගෙදරක, හැමෝම කමින් බොමින් ප්‍රීතිවෙමින් සතුටින් ඉන්න මොහොතක්. යමෙක් මා ලඟට ඇවිත් කොහෝමද මනමාලි කියල ඇහුවොත් මම ගෞරවණීය මිනිහෙකු නම් මට දීමට ඇත්තේ එකම පිලිතුරයි. ඒ ඇය ඉතා සුන්දරයි, ප්‍රියකරුයි, ලස්සනයි යන්නයි. හැමෝම මහත් උත්කර්ෂවත් අන්දමට නිදහස සමරණ මේ මොහොතේ මම වෙන මොනවා කියන්නද?

ඔබ කියන්නේ මොනවාද කියලා මට තේරෙනවා!

නැහැ නැහැ මම මොනවාද කියන්නේ කියල ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ.

හොඳයි දැන් මොහොතකට පෙර ඔබ කීවා නිදහස අපූරුයි කියලා. ඔබ ඒ දක්වන නිදහසේ අපූර්වත්වය දකින්නේ කොහොමද?

ඔබ පොඩ්ඩකට ඉහළ බලන්න. ඉමක් කොනක් නැති අහස, පාවෙන වලාකුළු, පියාසර කරන කුරුල්ලෝ, අපට නිදහස සම්බන්ධව යමක් කියනවා. මේ අපි දකින හැම දෙයකටම ස්වභාව ධර්මයේ නීතිය හෑරෙන්නට වෙන කිසිම නීතියක බලපෑමක් නැහැ. මගෙන් ප්‍රශ්න කරන ඔබදෙස බලන්න. ඔබ මහ නීති රීති කන්දරාවකින් මනාව වටකර බැදපු ජීවියෙක්. ඉහල අහසේ පියාසර කරන ඒ කුරුල්ලාට කරන්න පුළුවන් දේ වලින් එකක්වත් ඔබට කරන්න බැහැ. ඒ සතාත් ඔබත් ස්වභාවයේ නිර්මාණයක්  නමුත් ඒ කුරුල්ලා කවදාවත් නිදහස සමරන්නේ නැහැ. එත් ඌ නිදහස භුක්ති විදිනවා. ඒ නිදහස ඌට උපතත් සමග උරුමව ලැබුණ දායදයක් නිසා. අපි කිසිවෙකුටත් උපත සමඟ ඒ දෙය උරුම වන්නේ නැහැ. අපි අපේ සතුරන් විසින්ම අපේ ශුභ සිද්ධිය සඳහා යයි අටවන ලද මහා නීති කන්දරාවකින් අල්ලා ගැට ගසන ලද වහළුන් කොට්ඨාශයක් බව ඔබලාට තේරෙන්න මහා කාලයක් ගතවෙනවා. ඒ නීති රීති සමාජ සංස්කෘතීන් ඔබව වෙලාගෙන තියෙන තාක් කල් ඔබ නිදහස් පුද්ගලයකු නම් නොවේ. එසේ තියාගෙන ඔබ සමරණ නිදහසේ මහා අපූර්වත්වයක් මට පෙනෙනවා. ඒකයි මම අපූරු නිදහස කියන්නේ!

ඔබ කියන්නේ මේ සමාජයට හදුන්වා දීලා තියෙන නීති රීති අපේ නිදහස උදුරගෙන කියලාද?

සත්තකින්ම ඔව්! ඔබලා මේ සමරන්නේ ඒ නීති රීති මනාව සුරක්ෂිත කරගනිමින් ඒ පරදේශක්කාරයා මේ රටතුල ස්ථාපිත කල ඒ සමාජ ක්‍රමය ඔබලා විසින්ම මනාව රැක ගැනීම සම්බන්ධව පවත්වන ප්‍රීති සම්භාෂණයයි. ඔබලා නිදහස කියන්නේ එයටයි.

ඔබට ලොකු වැරදීමක් වෙලා. බටහිර ජාතීන් මේ රටට දායාදයන් රාශියක් උරුම කලා. ඉන් එකන් තමයි නීතිය. ඔබ අප හැමදෙන පවසන රෝම ලන්දේසි නීතිය. මේ නීතියෙන් මේ රටේ සිටින හැම පුරවැසියකුගේම ආරක්ෂාව සුරක්ෂිත කරනවා. රටතුල විනය මනාව පවත්වා ගැනීමට මේ නීතිය කොතරම් උපකාරී වෙනවාද?

ඔබ ඉදිරියේ මහා කඩතුරාවක් තියෙනවා. ඒකට කියන්නේ නීතිය කියලා. ඔබට මේ කඩතුරාවෙන් එහා කිසිවක් පෙනෙන්නේ නැහැ. ඊට හේතුව වන්නේ මේ ඇත්තේ සැබෑ ලෙසම ඝන කඩතුරාවක් බැවිණි. නිදහස් ලෝකය දකින්නට නම් සැබෑ ලෙසම මේ කඩතුරාව ඉරා බැලිය යුතුයි. ඒකට ඔබ බයයි. ඒ නිසා ඔබ මියයන්නේ සදාකාලික අන්ධයෙක් විදියටයි. ඔය කියන නීතිය යටතේ මේ රටේ ජනතාවට එකද සුද්දෙක් වරදක් කරලා නැහැ. කැප්පෙටිපොල මහා අධිකාරම්, පුරන් අප්පු, හෙන්රි ප්‍රේද්‍රිස් යන ජාතික විරුවන් ඝාතනය කර දැමීමට භාවිතා කලෙත් ඔය ඔබ ගුණ වයන කඩතුරාව බව අමතක කරන්න එපා..

ඔබ මගේ මනස අවුල් කරනවා. විශේෂයෙන්ම මම නිදහස සම්බන්ධව දරණ ආකල්ප වලට පහර ගසනවා. ඔබ සිත තුල මේ නිදහස සම්බන්ධව ඇති දේ අවංකව එලිදරව් කරන්න ඔබට බැරිද?

මට ඇත්තටම පුළුවන් ඒ උනාට මම ඒ කරන කාර්යය පලක් නැති කාර්යයක්, ඒ සම්බන්ධවත් කථා කරන එකවත් වැඩක් නැහැ. පලක් නැති දෙයක් සම්බන්ධව ඇයි අපි කථා කරන්නේ?

ඔබ කියන්නේ ඔබ කියනදේ සමාජයට තේරෙන්නේ නැහැ කියලද?

අපෝ නැහැ.නමුත් මට පෙන්නේ ඔය කියන තරම් සමරන්න නිදහසක් නැති බවයි. බලන්න මෙරට ජනතාව ලක්ෂ 69ක් චන්දය ලබාදී බලයට පත්කළ ජනාධිපතිවරයාගේ වසරක ධුර කාලය දෙස. එතුමාට පුර්ණ වසරක කාලයක පාලනය නිසිලෙස කරන්නට එතුමාට නිදහසක් තිබුනාද? සත්‍ය වශයෙන්ම එතුමාට සිය සෞභාග්‍යයේ දැක්මේ කීසිවක් නිසිලෙස ආරම්භ කිරීමට නිදහසක් තිබුනේම නැති බව ඔබත් මමත් මෙරට ජනතාවත් ඉතාම හොදින් දන්නවා. අඩුම තරමින් එතුමාට පොරොන්දුවූ ආකාරයට උපාධිදාරින්ට රැකියාදිමටත්ද, දුප්පත් පවුල්වල දරුවන්ට රැකියා ලක්ෂයක් ලබාදීමටත් නිදහසක් තිබුනාද? ඇත්තටම එහෙම නිදහසක් තිබුනේ නැහැ. ඒ සඳහා එතුමාට වසරක කාලයක් බලා සිටීමට සිදුවුයේ ඇයි? එතුමාට එහෙම හිතුනාට ජනතාවට සේවය කරන්න නිදහස නැති නිසයි. තවමත් එතුමාගේ අතපය ගැට ගසා ඇති යදම් ප්‍රමාණය විශාලයි. මේ යදම් වලට කියන්නේ නීති රීති කියලයි. එහෙම තත්වයක් ඇති සමාජයක නිදහස සමරනවා කියන්නේ මහා පිස්සු වැඩක් ලෙසයි මට පෙන්නේ. මට මම දරණ මතයට එරෙහිව යන්න තරම් සාධක මට ලැබිලා නැති නිසා මම ඒ මතයේම එල්බ ගෙන ඉන්නවා. මගේ මතය සමාජයයේ මතය නම් නෙමෙයි. ඉතින් සමාජයට පිලිගන්වන්න අසීරු මතයක් මම ඇයි සමාජ ගත කරන්නේ?

කරුණාකරල අපිටත් පොඩ්ඩක් කියන්නකෝ, මොකක්ද ඔය මතය කියලා.

හ්ම් එහෙනම් අපි මෙහෙම පටන් ගනිමු. ඇත්තටම අපි නිදහස ලබාගත්තේ කාගෙන්ද කියල ඇහුවොත් ඔබ කියාවි බ්‍රිතාන්‍ය කිරීටයෙන් කියල; ඔව් සත්‍යය කථාව ඒක තමයි. නමුත් සත්‍ය වශයෙන්ම එදා මේ රට ආක්‍රමණය කලේ කවුද? බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගම්. බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගම් ආක්‍රමණය කරපු රට, බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා ගත්තා යන මතයේ මේ රටේ ජනතාව අවුරුදු 63ක් ම බැදී සිටියහ. එතකොට සැබෑ ලෙසම අපිව ආක්‍රමණය කල ඒ වෙළඳ සමාගම් පද්ධතිය අද කෝ? එදා මේ රටට කඩා වැදුන ඒ වෙළඳ සමාගම් ජාලය එදාටත් වඩා ප්‍රබල ලෙස මේ රට වෙලමින් ජනතාව පෙලමින් එදාට වඩා ප්‍රබල ලෙස මේ රටතුල අධිරාජ්‍යහිතවාදී කාර්යයක්  ඉටුකරමින් ඉන්නවා. අපි සැබෑ ආක්‍රමණකයාගෙන් මේ රට ගලවා ගත්තේ නැති අතර, ඒ සතුරා අප අතරටම වී අපවම විනාශ කරමින් සිටින මොහොතේම, අප ඒ ආක්‍රමණිකයාගෙන් රට නිදහස් කර ගත්තාය යන මතයේ එල්බගෙන, විශාල වියදමක් දරාගෙන නිදහස් උත්සවයක් පවත්වමින් ඉන්න බවක් මට හැඟෙනවා..

අපට සිදුව ඇත්තේ කුමක්ද? ඔබ මොහොතක් සිතන්න. එදා මුඩුබිම් පනත නීතිගත කොට ඒ  මගින් අපේ ජනතාවගේ ඉඩම් කොල්ලකාගත් ආක්‍රමණකයා, අපේ රටේ මනා කෘෂිකර්මය සම්බන්ධව නිපුනතාවයකින් යුත් ජනතාවට රැකිය ලක්ෂ ගනනාවක් නිර්මාණය කර, එම රැකියා කරන ලෙස  බලකලවිට, අපට තොපේ රැකියා එපා අපට අපේ ඉඩම් දියව්! යන මතයේ එල්බගෙන සිටි මෙරට ජනතාව, වර්තමානයේදී, ඉඩම් ඉල්ලනවා වෙනුවට, අපට රක්ෂාවල් දියව්! යන සටන් පාඨය පෙරට දමාගෙන පාරක් පාරක් ගානේ සිටින විට නිදහස ලැබිලා තියෙන්නේ කාටදැයි ඔබට වැටහෙන්නේ නැද්ද?

එදා මුහුද බඩ තීරුව ආක්‍රමණය කරමින් මෙරටට සංක්‍රමණය වූ ඒ ආක්‍රමණිකයා, පසුව මෙරට නගර සියල්ලම සිසාරා ගොස්, අද ගම් දනව් සියල්ලම ආක්‍රමණය කර හමාරය. එහෙත් ඒ බවක් අප සමාජයට නොහැඟෙන්නේ ඇයි?

මේ වනවිට මේ සතුරා  අපේ ගෙවල් තුලටද කඩා වැදී අප සතු සෑම දෙයක්ම ඩැහැ ගනිමින් සිටියද, ඒක නොපෙනෙන, ඒ බවක් නොහැඟෙන ජාතියක් බවට අප පත්ව හමාරය. ඒ ඇයි? ඒ පමණක් නොව මේ සතුරා ජාතියක ආක්‍රමණය කලයුතු අතිවැදගත්ම මූලස්ථානය වූ ජන මානස කේෂ්ත්‍රය තුල විශාල පරාශයක් ආක්‍රමණය කරල ඉවරයි.. ඒ සිඳුවීම් කිසිවක් අපට තේරෙන්නේම නැහැ. ඔබ කන බොන දේ, ඔබ ඇඟේ තවරන සබන් වර්ගය, ඔබ අත සෝදා ගැනීමට භාවිතා කරන සබන් වර්ගය, ඒවා භාවිතා කරන වාර ගනන, ඔබ දත් මැදීමට භාවිතා කරන, දත් බුරුසුව, ඔබේ රූප ලාවන්‍ය සඳහා භාවිතා කරන සකල විද ක්‍රීම් වර්ග, සුවඳ විලවුන් වර්ග සියල්ලක්ම තීරණය කරන්නේ ඒ ආක්‍රමණිකයා බව ඔබට තේරෙන්නේම නැහැ. ඒ තේරුනද එය එතරම් බරපතල ආක්‍රමණයක් බව වත් ඔබට තේරෙන්නේ නැහැ. මුළු රටම ආක්‍රමණය කරන ලද ඒ සතුරා, ඔබගේ මොලයේ විශාල පෙදසක්ද මේ වන විටත්  ආක්‍රමණය කරල ඉවරයි. මේ වනවිට රට බේරගන්න පෙර ඔබේ මොලය මේ ආක්‍රමණිකයාගෙන් බේරා ගැනීමේ සටනකට යන්න ඔබට සිද්ධ වෙලයි තියෙන්නේ; එහෙත් ඒ බව වටහා ගන්නවත් බැරි තත්වයකයි ඔබ සිටින්නේ. තමන්නේ ශරීරාංගයක් වන තම මොලයේ හිමි කමක්වත් නැති ඔබට සැමරීමට කොහේ තියෙන නිදහසක්ද?

මේ වනවිට අප ජනතාව ආක්‍රමණිකයාගේ රොබෝවරුන් බවට පත්ව හමාරයි.

ආක්‍රමණිකයා, මේ රටේ ජනතාවගෙන්  පැය අටේ නීතිය  අහෝසි කර ඇති අතර, මේ මිනිසුන්ට ඒ බවක් වැට හෙන්නේ නැත. සෙල් ෆෝන් එකක් හා ලැප්ටොප් එකක් අතැති මේ සේවකයා පැව 24 පුරාම රාජකාරියේ නියෙලෙන බව ආක්‍රමණිකයා ඉතා මැනවින් දනී. නමුත් එම කාර්යයේ යෙදෙන සේවකයාට නොවැටහේ. එපමණක්ද නොව මේ රටේ ජනතා කලා කරුවන්ට උරුමව තිබූ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා විදේශීය ශිල්පීන්ව යොදවමින් මෙරට කලා කරුවන්ගේ ආර්තික අවස්ථාවන් අමු අමුවේ උදුරා ගත්තද, ඒ සම්බන්ධව  ජනමාධ්‍ය ඇමති හෝ සංස්කාතික කටයුතු පිලිබඳ ඇමතිනි හෝ එයින් බැටකන කලාකරුවන්වත් හඬක් නැංවීමට ඉදිරිපත් නොවන්නේ මහා බ්‍රිතාන්‍යයටත් වඩා මේ බහු ජාතික සමාගම්වල ප්‍රබලතාවයයි.

ප්‍රචාරණය සඳහා මහා මුදලක් වියදම් කරන මෙ බහුජාතික සමාගම් අහිංසක සිල්ලර කඩ මුදලාලිලාගේ වෙළඳ මධ්‍යස්ථාන වල ඔවුනගේ ප්‍රචාරක පුවරු සවිකරන්නේ සතයකදු මුදලක් ප්‍රචාරණය සඳහා එම කඩ හිමියන්ට නොගෙවමිණි. එම කඩහිමියාට හිමිවන්නේ එම ප්‍රචාරක පුවරුවේ කුඩාවට සටහන් කරන එම වෙළඳ සැලේ නාමය පමණි. මෙවන් වූ ආකාරයට මෙරට තුල හැසිරෙන මේ ආක්‍රමණිකයා, තමන්ගේ නිශ්පාදිතයට තමන්ට හිමිවිය යුතු මුදල පමණක් නොව, කඩහිමියා ලබන මුදලත්,  පාරි භෝගිකයා ගෙවන මුදලත් නියම කරන්නේ තමන් සර්වබලධාරී යක්ෂයා බවට මේ රටට පෙන්වමිණි. නමුත් එය වටහා ගන්නා මුදලාලි කෙනෙක්වත් පාරිභෝගිකයකුවත් දේශපාලකයෙකුවත් මේ රටට අහිමි කර ඇත්තේද එදා මේ රට ආක්‍රමණය කල ඒ වෙළඳ සමාගම් ජාලයේ වර්තමානයයි. මේ රටේ බඩුමිල පාලනය කරන්නේ කවුදැයි ඉහත සඳහන් කල කරුණු පොජ්ජෙන් මනාව පැහැදිලි වුවද, එම සමාගම් වලට එරෙහිව නැගිටීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම මෙරට ජන මනසහි ස්වභාවය විදහා පායි.

ඔය  ප්‍රකාශ කලේ දිග අරින්න තියෙන මහා කථාන්දරයක ඉතා ස්වල්පයක් පමණයි. එම දිග හැරෙන කථාන්දරයේ නිදහස හිමි එකම ලාභියා වන්නේ එදා මේ රටට කඩා පැන මහා සංහාරයක් සිඳුකර ඔවුනගේ යාන්ත්‍රණය මෙහි ස්තාපිත කල ඒ සමාගම් ජාලයයි. එවන් තත්වයක් යටතේ අපි 73වන නිදහස් සමරු උත්සවයක්ද පවත්වමු.
අපට උරුම, ඒ හා සමානව දිනා ගැනීමට උස් නිදහසක් ඇත. එය අවබෝධ කර ගැනීමට තරම් මෙරට ජන විඤානය ඉහල තලයක නොමැති වූ බැවින් එදා එස් මහින්ද හිමියන් ඇසූ ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිහළුන්නේ යන්න අදටත් වලංගුය.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress