සුද්දන් ලංකාව අත්හැ­රීමේ ඇත්ත කතාව
Posted on February 7th, 2021

ජානක පෙරේරා

 විම­ල­තිස්ස ඉන්ද්‍ර­සෝම 1948 දී (පසුව වෙළඳ කොමසාරිස්වරයකු විය)

පසුගිය ගිය බදාදා (පෙබරවාරි 4) අපි වසර එකසිය තිස්තුනක බ්‍රිතාන්ය පාලනයෙන් ලංකාව නිදහස් වීමේ 73 වන සංවත්සරය සැමරුවෙමු. ඒ ලැබූ නිදහස ගැන නොයෙකුත් අය විවිධ අර්ථකතන දෙති.

ලංකාවේ අවසාන අධිරාජ්‍ය විරෝධී සන්නද්ධ සටන වූ මාතලේ සන්නද්ධ නැගී සිටීම මර්දනය කරන ලද්දේ මෙරට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමට වසර සියයකට පෙර, එනම් 1848 දීය. ඉන්පසු යටත් විජිත පාලනයට සන්නද්ධ නොවන දැඩි විරෝධයක් මෙරට මතුවුයේ සුද්දන්ගේ සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධව මිගෙට්ටුවත්තේ ගුණානන්ද, අනාගරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, සිකිම් මහින්ද ආදීන් ගෙනගිය ජාතික ව්‍යාපාරයෙන් පමණි. එහෙත් අසල් වැසි ඉන්දියාවේ සන්නද්ධ සටන් එරට නිදහස ලබන තෙක් දිගටම පැවතින. වසර 1930 පමණ සිට ඒම සටන් මහත්ම ගාන්ධිගේ සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයට සාමාන්තරව දියත් විය.

එක්දහස් නවසිය හතළිහ දශකයේ අවසාන භාගයේදී බ්‍රිතාන්‍ය සහ අනෙකුත් යුරෝපීය අධිරාජ්‍යවාදීන්ට ලංකාව ඇතුළු අනෙකුත් ආසියානු යටත් විජිත මෙරට හැර යන්නට සිදුවීමේ සැබෑම හේතුව සහ එහි ජාත්‍යන්තර පසුබිම, මෙරට කිසිදු ඉතිහාස පොතක පැහැදිලිව මෙතෙක් උගන්වා නැත. ඒ වෙනුවට අපට අද දක්වාත් ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නේ මෙය හුදෙක් අපේ එකල නායකයින් ව්‍යවස්ථා සංශෝධන ඉල්ලීම් තුලින් ලේ නොසොල්ලා ලබාගත් නිදහසක් බවයි. ඇත්තම කතාව නම් සුද්දන්ට තවදුරටත් සිය ආසියානු යටත් විජිතයන් අල්ලා ගෙන සිටීමට නොහැකි වු හේතුව වුයේ ලොව පුරා පැතිරුණු සය වසරක භයානක යුද්ධයකි. වෙනත් වචනවලින් කියතොත් විදෙස් සටන් බිම් වලදී අනුන් හැලූ ලේ වලින් අපේ නිදහස් ඉක්මන් වූ බවයි.

ග්ලැඩ්වින් කොත­ලා­වල (පසුව එජාප බිබිල මන්ත්‍රී විය)

එදා හිරු නොබසින අධිරාජ්යය යනුවෙන් හැඳින්වුනු බ්‍රතාන්‍ය යටත් විජිත ආධිපත්‍යෙය් පිරිහීම ඇරඹුණේ 1930 ගණන් වල යුරෝපය පුරා ඇතිවූ ආර්ථික පරිහානියත් සමගය. වසර 1939 සැප්තැම්බර් තුන්වනදා බ්‍රිතාන්‍යය සහ එහි මිතුරු රාජ්‍යයන් ජර්මනියට සහ ඉතාලියට විරද්ධව යුදවැදීම බ්‍රිතාන්‍ය ආර්ථිකය වඩාත් අවදානම් තත්වයකයකට ඇද දැමීය. මේ සියල්ල ඉක්මවමින් ආසියාවේ යුරෝපීය යටත් විජීත බලයට තීරණාත්මක මරු පහර වැදුණේ 1941 දෙසැම්බර් හත්වනදාය.

එදින (ඇමෙරිකා වේලාවෙන්) උදේ අටට ජපන් නාවික-ගුවන් හමුදාවේ (Naval Air Force) ප්‍රහාරක යානා හවායි දිවයින් වල පිහිටි පර්ල් වරායේ නැංගුරම් ලා තිබු ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලහ. ඒ ප්‍රහාරයත් සමඟම එතෙක් යුරෝපයට සහ මැදපෙරදිගට සීමාවී තිබු යුද්ධය ලෝක යුද්ධයක් බවට පත්විය (දෙවන ලෝක යුද්ධය). ඒ සමඟම ජපානය සමඟ යුද ගිවිසුමකින් එකතු වී සිටි ජර්මනිය සහ ඉතාලිය තමන්ට විරුද්ධ බලවතුන් වූ බ්‍රිතාන්‍යට, එහි මිතුරු රාජ්‍යයන්ට සහ ඇමෙරිකා එක්සත් ජනපදයට විරද්ධව යුද ප්‍රකාශ කලහ. බ්‍රිතාන්‍යට සහ අනෙක් යුරෝපීය අධිරාජ්‍යවාදීන්ට දැන් සිදුවුයේ ජර්මනියට සහ ඉතාලියට විරද්ධව සටන් කරනවාට අමතරව ආසියාවේ සිය යටත් වලින් ජපනුන් පලවා හැරීමටද සටන් වැදීමය. වසර 1943 වන බ්‍රිතාන්‍යය විට හැර එරටට පක්ෂව සිටි යුරෝපීය රටවල් රැසක්ම ජ්ර්මනුන්ගේ ග්‍රහණයට නතුවී තිබුණි. ජපනුන් පර්ල් වරායට පහර දීමට ප්‍රධාන හේතුව වුයේ එරට චීනයත් සමග පැටලී සිටි යුද්ධයට විරුද්ධව ඇමෙරිකා එක්සත් ජනපදය ජපානයට සම්බාධක පැනවීමයි. චීනය කොමියුනිස්ට් වීමට පෙර ඇමෙරිකාවට හිතවත් රටක් විය.

ආසියාතික රටක් වූ ජපානය යුරෝපීය අධිරාජ්‍ය බලවතුන්ට එල්ල කල සන්නද්ධ අභියෝගය සුද්දන් ආසියාතිකයන්ට වඩා සුපිරි ජනකොටසක්ය යනුවෙන් ඔවුන් මවාගත් ප්‍රතිරූපයට සහ අභිමානයට බලවත් පහරක් විය. මේ යුද්ධය හේතුවෙන් යුරෝපීයය ආසියානු යටත් විජිත බලය එහි අවසානය කරා ඉක්මනින් ලඟා වීම ගැන වසර 2018 නොවැම්බර් 14 වනදා ජපන් පාර්ලිමේන්තුවේ අංක 101 දරන සාකච්චා කාමරයේ සම්මන්ත්‍රණයක් පැවැත්වින. එරට ඉතිහාස සත්‍යය ප්‍රචලිත කිරීමේ කිරීමේ සංගමය” (Society for the Dissemination of Historical Fact) මගින් සංවිධානය කෙරුනු එම රැස්වීමේ ප්‍රධාන දේශනය පැවැත්වුයේ ශ්‍රී ලාංකික නීතිඥ සේනක වීරරත්න මහතාය. එහි මාතෘකාව වුයේ “බටහිර ආධිපත්‍යයෙන් ආසියාව මුදාගැනීමේ විමුක්ති අරගලය ඇවිලුනේ පර්ල් වරායට ජපානය එල්ල කල ප්‍රහාරය නිසාය” යන්නයි. ජපාන පාර්ලිමේන්තුවේදී මෙවැන්නක් පවසමින් එරටට ස්තුති කල එකම ලාංකිකයා සහ ආසියාතිකයා වීරරත්න මහතාය. රැස්වීමේ මුලසුන දැරුවේ සංගමයේ සභාපති හිදෙකි කසේ මහතාය.

ඊට කලින්, එනම් 1979 සැප්තැම්බර් 20 දා, එවකට ජපානයේ හිරෝහිතෝ අධිරාජයා, ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා වෙනුවෙන් පැවැත්වූ රාජකීය භෝජන සංග්‍රහයකදී ඔහු මෙසේ පැවසීය. “මම යුද්ධවලට හෝ හිංසාවන්ට සහාය නොදෙන නමුත් 1939 ඇරඹුනු යුද්ධය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය අවසන් කරන බව මට හැඟී ගීයා. මම සහ මගේ මිතුරු හිටපු අගමැති, අපේ පළමු අගමැති ගේ පුත් මියගිය ඩඩ්ලි සේනානායක1940 දී ලංකාවේ සිටි ජපන් කොන්සල් වරයා හමුවී ජපන් හමුදා ශ්‍රී ලංකාවට පැමිණියහොත් අපේ නිදහස ලබාගැනීමට සහාය වෙනවා නම් ඔවුන්ට උදව් විය හැක්කේ කෙසේද යන්න ගැන සාකච්චා කලා” වසර 1990 අගෝස්තු 15 වනදා ලංකා ගාඩියන් සඟරාව(දැනට මුද්‍රණයේ නැති) සමග පැවැත්වූ සම්මුඛ සාක්ච්චවකදීද ජයවර්ධන මහතා මෙම කතාව නැවතත් පැවසීය.

ලංකාවට ගුවන් ප්‍රහාර මෙහෙයවූ ජපන් ජාතික කපි­තාන් මිත්සුඕ ෆුචිදා සහ ජර්මන් ධර්මදූත සංගමයේ ලේකම් නීතිඥ සේනක වීර­රත්න

යුද්ධය ඇරඹීමත් සමඟම “ආසියාව ආසියාතිකයන් සඳහාය” ” සුදු අධිරාජ්‍යවාදය” පරාජය කල යුතුය යනුවෙන් ජපන්නු දකුණු සහ අග්නිදිග ආසියාව පුරා රටවල ගුවන් විදුලි සහ වෙනත් මාධ්‍යයන් මඟින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියහ. වසර 1943 දී එවකට ජපන් අගමැති හිදෙකි තෝජෝ ගේ ප්‍රධානත්වයෙන් තෝකියෝ නුවර පැවති යුද්ධයෙන් ජපානය ජයගතහොත් ‘මහා නැගෙනහිර ආසියා සමෘධි සහයෝගිතා කලාපයක්’ (Greater East Asia Co-prosperity Sphere) පිහිටුවන බවටද ඔව්හු කියා සිටියහ. ජපනුන්ගේ යටි අරමුණු කුමක් වුවද ඔවුන්ගේ උද්වේගකාරී සටන් පාඨ සහ දිරි ගැන්වීම් එවකට යුරෝපීය යටත් විජිත වල අධිරාජ්‍ය විරෝධීන් බොහෝ දෙනෙකුගේ දේශප්‍රේමී රණකාමිත්වය උසිගැන්වීය. වසර 2007 දී තෝකියෝ නුවර ජපන් ජාතිකවාදී ‘යසුකුනි’ යුද සැමරුම් කෞතුකාගාරයට ගිය මේ ලියුම්කරුට තවදුරටත් මේ ගැන විස්තර දැනගැනීමට හැකි විය. (මේ කෞතුකාගාරය යුද විරෝධීන්ගේ විවේචනයට ලක් වුවකි)

පර්ල් වරායට එල්ල කල ප්‍රහාරයෙන් දෙමසක් ඇතුලත ජපන් හමුදා ෆිලිපීනය, බුරුමය(අද මියන්මාරය) , මලයාව (වත්මන් මැලේසියාව) සිංගප්පුරුව සහ ඉන්දුනීසියාව (එවකට ඕලන්ද නැගෙනහිර ඉන්දීය දූපත්) යටත් කරගත්හ. බුරුමය ජපනුන්ට යටත් වූ පසු ඔවුන්ගේ අනුග්‍රහයෙන් අවුංසාන් සෙනෙවියා (වත්මන් මියන්මාර රාජ්‍ය නායිකා අවුංසාන් සුකී ගේ පියා) යටතේ බුරුම දේශප්‍රේමී හමුදාව පිහිටුවන ලදී. වත්මන් මියන්මාර හමුදාවල නිර්මාතෘවරයා වුයේ ඔහුය.

ඉන්දීය නිදහස් සටනේ පතාක යෝධයෙකු වූ නෙතාජි සුභාස් චන්ද්‍ර බෝස් 1941 දී එරට සිර අඩස්සියෙන් පැන රටින් පලාගොස් පසුව මලයාවේදී ජපනුන්ගේ සහයෙන් ඉන්දියානු ජාතික හමුදාව පිහිටුවීය. එහි භටයෝ කලින් බ්‍රිතාන්‍ය-ඉන්දියා යුද හමුදාවේ සෙබළු වුහ. (එකල ඉන්දියාවට වත්මන් පකිස්ථානය සහ බංග්ලා දේශයද ඇතුලත් විය). සුභාස් චන්ද්‍ර බෝස්ට එකතු වුවන් අතර එකල මලයාවේ සහ සිංගප්පුරුවේ පදිංචි සිංහලයින් ඇතුළු ලාංකිකයන් පිරිසක් ද විය . ඔවුන් අතර විමලතිස්ස ඉන්ද්‍රසෝම, ග්ලැඩ්වින් කොතලාවල (පසු කලෙක එ.ජා.ප. බිබිල මන්ත්‍රී), ලයනල් දොඩම්පේ, සුසිරිපාල ද සිල්වා, හෙන්රි පෙරේරා, ජේම්ස් විමලසුරේන්ද්‍ර සහ සුමතිපාල පුංචිහේවාද විය. කොතලාවල, චන්ද්‍ර බොස් යටතේ වූ ඉන්දීය නිදහස් සංගමයට අනුබද්ධ ලංකා දෙපාර්තමේන්තුවේ ලේකම් වරයා විය. (SINHALESE IMMIGRANTS IN MALAYSIA AND SINGAPORE 1860-1990)

ජේ .ආර්. ජය­ව­ර්ධන  

පර්ල් වරායට පහර දුන් ජපන් නාවික-ගුවන් හමුදාවම 1942 අප්‍රේල් පස්වනදා සහ නවවනදා කොළඹට සහ ත්‍රිකුණාමලයට ගුවනින් බෝම්බ දැමුහ. එවකට බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ලංකාවට එල්ල කල ජපන් ප්‍රහාර හැඳින් වුයේ යුද්ධයේ ඉතාමත් අවදානම් අවස්ථාව (The Most Dangerous Moment) ලෙසයි. එම ප්‍රහාරයන් ගැන සිය අත්දැකීම් පදනම් කරගෙන විශ්‍රාමික බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා නිලධාරියෙකු වූ මයිකල් ටොම්ලින්සන් පොතක් ලිවීය. එහි නම ලෙස ඔහු යෙදුවේද චර්චිල්ගේ ඒ වචනයි. දෙවන ලෝක යුද සමයේ ටොම්ලින්සන් රත්මලාන ගුවන් තොටුපොලේ බුද්ධි අංශ නිලධාරියා (Station Intelligence Officer) විය. එවකට කටුනායකට සහ චීන වරායට අමතරව රත්මලාන ගුවන් තොටුපොලද බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ යුද යානාවල භාවිතය සඳහා යොදාගෙන තිබිණි. කොළඹ පැරණි තුරඟ තරඟ පිටිය, සීගිරිය අසල භූමිය සහ කොග්ගලද යුද ගුවන් යානා භාවිතය සඳහා ධාවන පථ ඉදිකෙරිණි.

වසර 1942 දෙසැම්බයේ දෙසැම්බරයේ ජපනුන් බෞද්ධ බුරුමය ආක්‍රමණය කිරීමත් සමග අවුංසාන් සෙනෙවියා යටතේ බුරුම දේශප්‍රේමී හමුදාව ආක්‍රමණියන්ට එක්වීම නිසා ලංකාවේ බෞද්ධයන් විශේෂයෙන් භික්ෂුන් බ්‍රිතාන්‍ය පාලකයන්ගේ සැකයට පාත්‍රවිය. එනිසා ඒ සැකය දුරු කිරීමට මහනුවර උඩුනුවර පිතලවත්තේ පැවැත්වූ මහජන රැස්වීමකදී අස්ගිරි විහාරයේ එවකට මහනායක ගුණරතන හිමියෝ යුද්ධයේදී බ්‍රිතාන්‍ය රජයට මෙරට බෞද්ධයන්ගේ පක්ෂපාතිත්වය හිමිවන බව ප්‍රකාශ කර සිටියහ. මල්වතු විහාරය වෙනුවෙන් එහි මහනායක ශ්‍රී ධීරානන්ද හිමියෝ රැස්වීමට සහභාගී වුහ. ගිහි බෞද්ධයන් නියෝජයනය කලේ ටී.බී. පානබොක්ක අධිකාරම් තුමාය. (Ceylon Observer 2.2.1942).

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා එහි යුද්ධෝපක්‍රමික වැදගත්කම වටහා ගත් ජර්මන් නාවික හමුදාපති අද්මිරාල් එරික් රේඩර් එරට චාන්සලර් (රාජ්‍ය නායක) ඇඩෝල්ෆ් හිට්ලර්ට 1942 වසරේ පෙබරවාරි මස 13 වනදා වාර්තාවක් සපයමින් ජපානය ඉන්දීය සයුරේ සිය පෙරමුණ රැක ගැනීම එහි වැදගත්ම ස්ථානය වන ලංකාව අල්ලාගැනීමට සූදානම් වෙයි” යනුවෙන් සඳහන් කළේය. (The Most Dangerous Moment).

යම් ලෙසකින් ජපන් හමුදා ලංකාවට ගොඩබට හොත් බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට භික්ෂුන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් තිබෙන බවට ආරංචියක් පැතිරුණූ බැවින් ඔවුන්ට සිවුරු හැර සාමාන්‍ය ජනයා සමග මිශ්‍රවන ලෙස එවකට රාජ්‍යමන්ත්‍රණ සභාවේ කතානායක සහ ස්වදේශ කටයුතු ඇමති ඩී. බී. ජයතිලක මහතා උපදෙස් දී තුබූ බවට කතාවක්ද ඇත. කෙසේ වෙතත් ජපනුන් 1942 අප්‍රේල් පස්වනදා කොළඹ නගරය සහ අවට පෙදෙස්වලට ගුවනින් පහර දුන් අවස්ථාවේ ජපන් ප්‍රහාරක යානයක වෙඩි පහර වැදීමෙන් බ්‍රිතාන්‍ය යානයක් බිමට වැටෙද්දී එහි නියමුවා පැරචුටයක ආධාරයෙන් කැළණි රජමහා විහාර බිමට පතිත වූ විට එහි භික්ෂුවක් විසින් ඔහුට රැකවරණ සැපයීම බ්‍රිතාන්‍ය යටත් විජිත රජයේ ප්‍රසාදයට සහ පැසසීමට හේතුවිය. ජපන් ගුවන් නියමුවා ඉතා පහතින් පියාසර කරමින් බිම සිටි බ්‍රිතාන්‍ය ගුවන් භටයාට යානයේ පියාපත්වල මැෂින් තුවක්කු වලින් වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙද්දී එම භික්ෂුව සිය සිවුරෙන් ඔහු වසාගෙන විහාර තුළට ගෙනගොස් ඇත.

ජපනුන් කොළඹට සහ ත්‍රිකුණාමලයට බෝම්බ දැමීමෙන් මසකට පමණ පසු ඔස්ට්‍රේලියාවට ආසන්නයේ කොකෝස් දූපත් වල පිහිටා තිබු ගුවන් විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක ආරක්ෂාවට බ්‍රිතාන්‍යයන් විසින් රඳවා සිටි ලංකා ගැරිසන් කාලතුවක්කු හමුදාවේ භටපිරිසක් ජපනුන්ට පක්‍ෂව ගැසූ කැරැල්ලක් අසාර්ථක විය. ඔවුන්ගේ නායකයා වුයේ කාලතුවක්කු හමුදා බොමඩිය වරයෙකු වූ ග්‍රේෂන් ප්‍රනාන්දුය. ඔහු ඇතුළු දෙදෙනෙක් ආපසු මෙරටට ගෙනවුත් වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරණ ලද අතර සෙස්සෝ මෙහිදී සිර දඬුවම් වලට ලක් වුහ. මේ සිද්ධිය යුද්ධය අවසන් වී වසර දහකයකටත් වඩා වැඩි කලක් පොදු ජනතාවගෙන් වසන් කරන ලදී. පසුව සිරෙන් නිදහස් වීමෙන් පසු ඉන් එක් කැරලි කරුවෙක් වූ ඩනියල්ස් මහතා ලේක්හවුස් දැන්වීම් අංශයට බැඳුණු අතර එහිදී ඒ ගැන ඔහුගේ අත්දැකීම් විමසන්නට මේ ලියුම්කරුට අවස්ථාව ලැබිණි.

ජපනුන් සිය හමුදා ලංකාවට ගොඩබැස්වීමේ අදහස පසුව අතහැරියේ ජපන් නාවික සහ යුද හමුදා බලධාරීන් අතර වූ මත භේදයක් නිසා බව පර්ල් වරායට, කොළඹට සහ ත්‍රිකුණාමලයට එල්ල කල ප්‍රහාර මෙහෙයවූ නාවික-ගුවන් හමුදා කපිතාන් මිත්සුඕ ෆුචිදා පවසයි (MIDWAY Mitsuo Fuchida & Masatake Okumiya).

ජපන් ආක්‍රමණය සිදුවන තෙක් ආසියාවේ ප්‍රධාන බ්‍රිතාන්‍ය නාවික යුද කඳවුර වුයේ සිංගප්පුරුවයි. එය ජපනුන්ට අත්වීමත් සමගම උපක්‍රමික වශයෙන් වැදගත් වූ එකම ස්ථානය ලෙස බ්‍රිතාන්යන්ට ඉතිරි වුයේ ලංකාවයි. වහාම අපරට ඔවුන්ගේ ප්‍රධාන ආසියා යුද කඳවුර බවට පත්කරන ලද අතර ත්‍රිකුණාමලය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නැගෙනහිර ආසියා මධ්‍යස්ථානය බවට පත්විය. ඒ අනුව එවකට මෙරට පාලනය කල ඇන්ඩ්රු කොල්ඩිකෝට් ආණ්ඩුකාරයාට අමතරව නාවික හමුදා අද්මිරාල් ජෙෆ්රි ලේටන් යුද ආණ්ඩුකාරයා (military governor)ලෙස පත්කරන ලදී.

ඒ යුද සමයේදී මෙරට යුද සෙබළුන් මෙන්ම අනෙක් බ්‍රිතාන්‍ය ආසියා අප්‍රිකා යටත් විජිත සහ ඔස්ට්‍රේලියාව වැනි බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යවල සෙබළුන්ද යුද පෙරමුණු වලට යාමට පෙර සටන් පෙරහුරුවල යෙදුනේ මෙරට දීය (මෙය එවකට ගැටවර වියේ සිටි ගුණදාස ලියනගේ ලියු ‘මිලිටේරි කාරයෝ’ නම් පොතේ අපූරුවට විස්තර වෙයි). වසර 1944 දී ලුවී මවුන්ට්බැටන් අද්මිරාල්වරයා යටතේ ක්‍රියාත්මක වූ අග්නිදිග ආසියා ප්‍රධාන යුද මූලස්ථානය (Southeast Asia Command Headquarters) නවදිල්ලියේ සිට මහනුවර පේරාදෙණියට ගෙනෙන ලදී.

ජපානයට නතු නොවී ඉතිරි වුයේ බ්‍රිතාන්‍ය යටත් විජිත තුනක් පමණි. ඒ ඉන්දියාව ලංකාව සහ මාල දිවයින්ය. ඉනුත් අතිශයින්ම ඔවුන්ට වැදගත් වුයේ ඉන්දියාවයි. එවකට එරට හැඳින්වුනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඔටුන්නේ මැණික (Jewel in the Crown) ලෙසිනි. එබැවින් යුද්ධය ජයගැනීමට මේ රටවල පක්ෂපාතිත්වය බ්‍රිතාන්‍යයට නැතිවම බැරි විය. ඒ වෙනුවෙන් ඉක්මනින් ඉන්දියාවට නිදහස ලබා දීම ගැන සලකා බලන්නට බ්‍රිතාන්‍ය රජය පොරොන්දු විය. මේ වන විට මහත්ම ගාන්ධි යටතේ සුද්දන්ට විරුද්ධව “වහා ඉන්දියාවෙන් පිටවෙනු ව්‍යාපාරය” (Quit India Movement) දියත් වී තිබුණි. ඊට සමාන්තරව ඉන්දියාව පුරා බ්‍රිතාන්‍ය- විරෝධී කැරලි කෝලාහල ඇතිවිය.

යුද්ධයෙදී ජපානයට කලින් එරට යුරෝපීය සගයා වූ ජර්මනිය 1945 දී පරාජය වීමෙන් ජපානය තනිවූ අතර ඇමෙරිකන් යුද්ධාධාර බ්‍රිතාන්‍යයට ලැබීමෙන් ඒ දෙරටටම ජපානය පරාජය කරන්නට හැකි විය. එහෙත් ඒ වනවිට සය වසරක යුද්ධයේ බලපෑමෙන් ඇතිවූ තත්වය හේතුවෙන් ආසියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බිඳ වැටීමට ආසන්න විය. වසර 1946 බ්‍රිතාන්‍ය-ඉන්දියා රාජකීය නාවික හමුදාවේ ඉන්දීය සෙබළුන් ගැසූ කැරැල්ල එරට එංගලන්ත පාලනයේ මිනී පෙට්ටියට වැදුනු අන්තිම ඇනය වීය. ඒ වනවිට බ්‍රිතාන්ය යුද සහ ආර්ථික ශක්තිය බෙහෙවින් පිරිහී තිබිණි. යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වූ පළමු මැතිවරණයෙන් එරට කොන්සවටිව් රජය පරදා ජයගත් ලේබර් පක්ෂ රජයට අකමැත්තෙන් වුවද එරට යටත් විජිත වලට නිදහස දීමට එම රජයට සිදුවිය. සිය අධිරාජ්‍ය ඔටුන්නනේ මැණික (ඉන්දියාව) බ්‍රිතාන්‍යයට අහිමි වීම ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීමට නිරායාසයෙන්ම මඟ පෑදීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress