රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය-2021 අග්‍රාමාත්‍ය ආර්යාවගේ ප්‍රධානත්වයෙන්
Posted on November 1st, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ “රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය-2021” අවසන් මහා තරගය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ පළමු වටය සඳහා නිර්ණායක සපුරන ලද සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් හතළිහක් තරග වැදුනේය.

එම කණ්ඩායම් හතළිහෙන් විස්සක් දෙවැනි වටයටත් දෙවැනි වටයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් පහක් අද දින පැවති අවසන් මහා තරගයටත් තේරී පත්ව තිබේ.

අවසන් තරගය පැවැත්වෙන අවස්ථාවට පැමිණි අග්‍රාමාත්‍ය ආර්යාව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය විසින් පිළිගනු ලැබුවාය.

අනතුරුව අවසන් මහා තරගයට එක්වූ තරගකරුවන් හා සුහඳ කතාබහක නිරත වූ අග්‍රාමාත්‍ය ආර්යාව එම කණ්ඩායම් පිසින ලද ආහාරවල රස බැලුවාය.

අධික ලුණු භාවිතය සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන අතර අධි රුධිර පීඩනය සහ ඊට අදාළ සංකූලතා ඇතිවීමේ අවදානම ඉහළ යයි.

දෛනික ලුණු පරිභෝජනයෙන් සියයට 80ක් නිවසේ පිසින ලද ආහාරවලින් ලැබෙන බැවින් ආහාර පිසීමේ දී ලුණු අඩු කිරීම සෞඛ්‍යට ඇති අහිතකර බලපෑම අවම කරයි.

ලුණු අඩු ආහාර වේලක ඇති වැදගත්කම පිළිබඳව ආහාර තාක්ෂණ සහ සූපශාස්ත්‍ර කටයුතුවල නියුතු වන්නන් මෙන්ම මහජනතාවට අවබෝධයක් ලැබෙන පරිදි මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු සහ යුනිසෙෆ් ආයතනයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress