බෞද්ධ ජනරජ ප්‍රවාදය – 43 වැනි කොටස – ‍සතියෙන් රට හැදීම
Posted on November 8th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

බුදුදහම තුළ සතිය සහ සම්ප්‍රජඤ්ඤයට විශේෂ තැනක් ලබා දී තිබේ. දීඝ නිකායේ පාථික වර්ගයේ එන දසුත්තර සූත්‍රයෙහි සතිය සහ සම්ප්‍රජඤ්ඤය හඳුන්වා ඇත්තේ බහුපකාර ධර්ම දෙකක් වශයෙනි. සතිය යනු එල්බගත් සිහිය ය. අර්ථ අනර්ථ විමසා අර්ථවත් මග ගැනීමත්, පහසුව සහ අපහසුව සළකා පහසු මග සළසාගැනීමත්, ගෝචර කරගත යුතු දෑ මැනැවින් හඳුනාගැනීමත්, අතරමග දී මුළා නොවීමත් සම්ප්‍රජඤ්ඤය තුළින් විස්තර කෙරෙයි.

සති සම්පජඤ්ඤ ධර්මතා දෙක පිළිබඳව දේශනා කෙරී ඇත්තේ ලෝකෝත්තර අරමුණ කරා යන ගමන වෙනුවෙනි. එසේ වුව ද, මෙම බහුපකාර ධර්ම දෙක ලෞකික ජීවිතයට ද අදාළ කරගත හැකි ය. මේ වන විට නවසීලන්තය වැනි රටවල අධ්‍යාපනයට ද සතිය (එළැඹගත් සිහිය) පිළිබඳ පුහුණුව ඇතුළත් කර ඇත්තේ ඒ අනුව ය. මෙම කාර්යය වෙනුවෙන් කැපවුණු පුහුණු කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එ රට සිටිති. සතිය සහ සතිමත් බව පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළු පවා ඔවුහු සංවිධානය කරති.

සතිය (සතිමත්බව) විසින් ආතතිය, කාංසාව සහ දොම්නස අඩුකරන බව; නින්ද ක්‍රමවත් කරන බව; තමන්ගේ හැකියාවන් පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිකරවන බව; සිත ප්‍රමෝදවත්කරවන බව; මානසික සෞඛ්‍ය වර්ධනය කරන බව; සහ අභියෝග මැද වැඩකිරීමට සිත පුරුදුකරවන බව මේ පිළිබඳව පර්යේෂණ කළ අය විසින් හඳුනාගනු ලැබ තිබේ. සතිමත් බව පුහුණ කළ තැනැත්තා අනවශ්‍ය දේ ගැන සිතීමෙන් සහ අරමුණක් නැතිව සිතීමෙන් වැළැකෙයි. නුහුරු නුපුරුදු සිදුවීම් හමුවේ කලබල නොවෙයි. තම මතක ශක්තිය පවා වර්ධනය කරගනියි. එ මෙන් ම, සිතෙහි ශාන්ත බව සහ කාරුණික බව වර්ධනය කරගනියි.

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් මේ ආශ්‍රිතව කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල ද අදාළ විශේෂඥයෝ නිරන්තරයෙන් හුවා දක්වති. යම් පුද්ගලයින් අනෙක් අයට වඩා සාර්ථකවන්නේ කිනම් හේතුවක් නිසා ද යන්න සෙවීම එම පර්යේෂණය මඟින් සිදුකර තිබේ. එම පර්යේෂණය සිදුකර ඇත්තේ දහසක (1000ක) නියැදියක් තෝරාගෙන ඒ අයගේ උපතේ සිට වයස අවුරුදු 32 වන තෙක් කරුණු විමසීමෙනි. පුද්ගලයකුගේ සාර්ථකත්වයට හේතුවන්නේ ඔහුගේ / ඇයගේ ජනවර්ගය, සමාජ පංතිය, ස්ත්‍රී – පුරුෂභාවය, දුප්පත් – පොහොසත් බව නොවන බවත් යමකුට තමන් කරන කාර්යය කෙරෙහි අවධානය යොමුකිරීමට ඇති හැකියාව සහ තමන්ව පාලනය කරගැනීමට ඇති හැකියාව ඒ සඳහා හේතුවන බවත් එම පර්යේෂණයෙන් හඳුනාගනු ලැබිණි.

බුදුදහමින් මගපෙන්වන ජනරජයකට මෙම කාරණය ආගන්තුක නොවේ. බුද්ධ චරිතය, ශ්‍රාවක චරිත යනාදියෙන් ද අපි මෙය වටහාගෙන සිටිමු. තව ද, සතිය සමඟ සම්ප්‍රජඤ්ඤය ද භාවිතයට එක්කිරීමෙන් අදාළ අරමුණු ඉතාමත් ඉහළින් සාර්ථක කරගත හැකි ය. අවශ්‍ය දැනුම, මගපෙන්වීම් සහ ආදර්ශ නොමදව පවතින නිසා මෙම භාවිතය ලෞකික ජීවිතයට එක්කිරීම අපහසු කාර්යයක් ද නොවන්නේ ය.

කෙසේ වුව ද, සාර්ථක පුද්ගලයකු බිහිකළ හැක්කේ ඔහුගේ / ඇයගේ කුඩා කාලයේ දී ම ඒ සඳහා පොළඹවන්නේ සහ පුරුදුකරන්නේ නම් පමණකි. ජීවිතයේ ආරම්භක කාලයේ පුහුණු කරන දෑ පුරුදු බවට පත්වෙයි. සති සම්ප්‍රජඤ්ඤයට අදාළ දැනුම සහ පුහුණුව පාසල් අධ්‍යාපනයට ඇතුළත්කිරීමෙන් මෙය කළ හැක්කේ ය. උඩින් කී පරිදි, මේ වනවිට නවසීලන්තය වැනි බෞද්ධ නොවන රාජ්‍යයන් ද ඒ කෙරෙහි යොමු වී තිබේ. අතරමග දී පාසල් හැරයෑම වැළැක්වීමට ද මෙම පුහුණුව උපකාරී වන බව ඔවුහු පවසති.

අධ්‍යාපනය යනු බාහිර දේ හඳුනාගැනීමට ළමයින් පුරුදු පුහුණුකිරීම පමණක් ද නොවේ. ළමයින් මුලින් ම හඳුනාගත යුත්තේ තමන් පිළිබඳව ය. ඒ සඳහා ඔවුන් පුරුදු පුහුණුකිරීම අධ්‍යාපනය තුළින් සිදුවිය යුත්තේ ය. මෙය කළ හැක්කේ ඉහතින් කී ආකාරයට සතිය සහ සම්ප්‍රජඤ්ඤය වැඩීමට ළමයින් හුරුකිරීමෙනි. එ බැවින්, පාසල් අධ්‍යාපනය තුළට මෙම කාර්යය ද ඇතුළත්කරවීම අත්‍යවශ්‍ය බව ඉතාමත් පැහැදිළි ය.

ඒ අනුව, ජනරජයේ අධ්‍යාපන කාර්යය අංශ හතරක් පිරිවසා ක්‍රියාත්මක විය යුතු බව හඳුනාගත හැකි ය. ළමයින්ට තමන් ගැන හඳුනාගැනීමට උපකාර කෙරෙන සතිය සහ සම්ප්‍රජඤ්ඤය වර්ධනය කරවීම ඒ අතර මුලින් ම වෙයි. තමන් ආශ්‍රිත බාහිර පරිසරය හඳුනාගැනීමට ඔවුන්ව පෙළැඹවීම දෙවනුවට වෙයි. ළමයින්ගේ ශරීර ශක්තිය වර්ධනය කරවන ගොවිතැන් ආදී බාහිර ක්‍රියාකාරකම්, ව්‍යායාම සහ ක්‍රීඩාවලට ඔවුන් යොමු කරවීම තෙවැනි කාර්යය වේ. පොත්පත්වල අඩංගු විෂයය කරුණු ඉගැන්වීම සතරවැනි කාර්යය වේ.

පොත්පත්වල අඩංගු විෂයය කරුණු ඉගැන්වීමට මුල්තැන දෙන, විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයකින් සාර්ථක පුද්ගලයෙක් බිහිකළ නො හැකි ය. එවැනි සාර්ථක පුද්ගලයන් හිඟ රටක් දිනෙන් දින පිරිහීමට පත්වීම ද වැළැක්විය නො හැකි ය. බෞද්ධ ජනරජයේ අවධානය යොමුවිය යුත්තේ සාර්ථක මිනිසුන් බිහිකිරීම කෙරෙහි ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress