අද රසායනික පොහොර ගේනවා කියලා තීන්දු කරා කියලා කියනවා-එහෙම තීන්දුවක් අරන් නෑ-රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක
Posted on November 21st, 2021

තිසර සමල්    – අනුරාධපුර 

අද රසායනික පොහොර ගේනවා කියලා තීන්දු කරා කියලා කියනවා.මම ඒ පිළිබඳව ඉහළ ඉඳන් පහලට ඉන්න නිළධාරීන්ට කථා කරලා බැලුවා.නෑ එහෙම තීන්දුවක් අරන් නෑ, දීලීර හා පලිභෝද නාශක වලට පමණයි ඒ තීන්දුව අරන් තියෙන්නේ.ඒ අවස්ථාව හරි ලබා දුන්න එක ලොකු දෙයක් යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

 අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බළ මණ්ඩලය අමතමින්ය.

අනුරාධපුර මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී ආසන බල මණ්ඩලය, මිහින්තලය ආසන කාන්තා, තරුණ, ගොවි, ගුරු බලමණ්ඩල ඇතුළු අනුබද්ධ සංවිධාන සඳහා නිළධාරීන් පත් කර ගැනීමද සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි උපරිම සහයෝගය දුන්නා, මම එදා ජනාධිපතිවරණයේ මංගල රැළියේ  අනුරාධපුර සල්ගාදු පිටියේ වේදිකාවට නැග්ගා, අපි ඡන්ද ලක්ෂ 69 ක් ලබා ගත්තා.එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුලුවන්කම ලැබුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉල්ලන කොට ඒ වෙලාවේ හිටිය වඩාම හොඳ සුදුස්සා, ප්‍රථිපත්තිය හා අනාගත දැක්ම අනුව රටට යහපතක් කරන්න පුලුවන් නායකයා විදිහට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති කරන්න තීන්දුව ගත්තා.ඒ වගේම අපි ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලනකොට අපි තිබුණ දීගය ඉස්සරහට ගිහින් අපි පාර්ලිමේන්තු මැතිවරණයත් එකට ඉල්ලන්න තීන්දු කළා.මේ සියලු දේවල් අපේ පක්ෂය යහපත් බලාපොරොත්තු එක්ක ශ්‍රී  ලංකා නිදහස් පාක්ෂිකයාගේ හා රටේ අනාගතය වෙනුවෙන් ගත්ත තීන්දු, බැරිවෙලාවත් අපි ඒ තීන්දු ගත්තේ නැත්නම් බැරි වෙලා හරි මේ දේවල් මේ විදිහට නොවෙන්නත් පුලුවන්.හැබැයි අදත් අපි සතුටු වෙනවා එදා අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපතිකරවන්න අපි හිට ගත්ත එක ගැන, එදා රටේ ජනතාවට වගේම අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට හැමදාමත් මේ රටේ ජනතා ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටිය පක්ෂයක්.අද අපි ගාව ඉතුරු වෙලා යමක් තියෙනවා නම්, අද අපිට ආඩම්බරයෙන් කථා කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ඒ සියලු දේවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටට ලබා දුන් ජයග්‍රහණ කියන එක ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් කරමු, ඒ වෙනුවෙන් තමයි ආසන බල මණ්ඩල ඇතුළු අනුබද්ධ සංවිධාන පිහිටුවලා ඉදිරියේ එන ඕනෑම මැතිවරණකට සූදානම් වෙන්නේ.ඉදිරියේ එන මැතිවරණ වලදී සන්ධාන ගත වෙලාද? තනියමද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ක්‍රමවේදයකටද? මේ මොන විදිහකට වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් විය යුතුයි.අපි නෑ බෑ කිය කිය ඉන්නවාද? තාම වෙලාව නෙමෙයි කිය කිය ඉන්නවාද? එහෙම නැත්නම් අපි අපේ පක්ෂය ශක්තිමත් කරලා, ප්‍රවර්ධනය කරලා අනාගතයේ එන ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුලුවන් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම තමයි අපි හැමෝගෙම වගකීම වෙන්නේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ කවදාවත් මරන්න පුලුවන්, පාගලා දාන්න පුලුවන් පක්ෂයක් නෙමෙයි.අපි හැමදාමත් වැටිලා තියෙනවා, වැටුණු හැම වෙලාවේම නැගිටලා තියෙනවා.ඒ නැගිටින හැම වෙලාවකදීම රටට සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කරන්න අපි තීන්දු කලේ පක්ෂයක් විදිහට, අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කරගන්න හිටගත්ත බව ඇත්ත, අපි පක්ෂයක් විදිහට සන්ධාන ගත වෙලා පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලපු එකත් ඇත්ත, හැබැයි අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් දේශපාලන කටයුතු වලින් පැත්තකට වෙන්න  පුලුවන්කම තියෙනවාද?  අපි ආණ්ඩුවේ බව ඇත්ත, ජනාධිපතිතුමා හදන කොට ජනාධිපතිතුමන්ගේ පාර්ශවකාරයෙක් බව ඇත්ත, හැබැයි අපි දේශපාලන පක්ෂයක් ලෙස දේශපාලනය කළ යුතු වෙනවා.අපි සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් විදිහට, සන්ධානයේ ප්‍රධාන කොටස්කරුවෙක් විදිහට අපි අපේ පක්ෂයේ දේශපාලනය තමයි අපි ආරම්භ කරලා තියෙන්නේ.අපේ පක්ෂයේ දේශපාලන ගමන ආරම්භ කරලා තියෙන කොට අපිට මාධ්‍ය මගින් අහන්න දකින්න ලැබෙනවා සමහර වෙලාවට සමහර කට්ටිය නොයෙකුත් දේවල් කථා බහ කරනවා අපි ඒවා ගැන කණගාටු වෙන්නේ නෑ.ඒකට හේතුව අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දේශපාලන පක්ෂයක්, අද ඒ කථා කරන අයට අමතක වෙන්න පුලුවන් ඒ අයගේ මහ ගෙදරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා.ඒ නිසා ඒ අයට මතක් කරන්න ඕනකම තියෙනවා, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක අත්වැල් බැඳගන්නේ සහයෝගය ලබා දෙන්න, ගිවිසුම්ගත වෙලා, ඒ වගේම අපි සන්ධානයක් ලෙස පොහොට්ටුවත් සමඟ අත්වැල් බැඳගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ ගිවිසුම් ගත වෙලා,එහෙම නම් අපිට කාගෙන්වත් අහන්න ඕන නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරන්න.දේශපාලනය කරන කොට පාක්ෂිකයත් එක්ක කථා කරන්නේ මොනවද කියලා කාගෙන්වත් අහන්න ඕන නෑ අපිට, අපි අමනාපත් නෑ, ඒ අය සමහර විට ඒවා නොදන්නවා ඇති.සමහර විට අපි ලබා දුන්න ශක්තිය පිළිබඳව ඒ අයට හැඟීමක්- දැනීමක් නැතිව ඇති, අපි කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් විදිහට අපට තියෙන දේශපාලනය කිරීමේ අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නෑ.අපි ඉදිරි මැතිවරණ වෙනුවෙන් දේශපාලන පක්ෂයක් විදිහට අපි සූදානම් වෙනවා.

පොහොර ගැටලුව සමග ගොවිතැන ගැන කෘෂිකර්මය ගැන බොහෝ දෙනෙක් දැන් කථා වෙනවා.අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කළා,පක්ෂයක් විදිහට වගේම පුද්ගලිකවත් මේ ප්‍රශ්නය ගැන කිව්වා, අපි කෘෂිකර්ම ඇමතිතුමා ඇතුළු නිළධාරීන් බළධාරීන් එක්ක සාකච්ජා කළා.මේ කාබනික කෘෂිකර්මය ඉතාම හොඳයි, අපි සියලු දෙනාම මේකට කැමතියි.අපි දැන දැන මැරෙන්න කැමති නෑ, අපේ එකම ගොවි මහත්තයෙක්වත්  තමන් වවන දෙයින් කෙනෙක් මැරෙනවාට කැමති නෑ.අද ගොවි මහත්තයාට තියෙන්නේ තමන්ගේ වගාවෙන් බලාපොරොත්තු වෙන අස්වැන්න ලැබුණේ නැත්නම්, අස්වැන්නට මිලක් නොලැබුණොත් තමන්ගේ දරුවෝ පාසල් , පන්ති යවාගන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද? ලෙඩක් දුකක් හැදුනොත් බෙහෙත් හේත් ගන්නේ කොහොමද? ගොවීන්ට තියෙන ප්‍රශ්නය හා ගොවියට තියෙන භය  මේවා.කාබනික කෘෂිකර්මාන්තයට එකම ගොවිමහත්තයෙක්වත් විරුද්ධ නෑ,අපි කියන්නේ ගොවියට දෙන දේ හරි වෙලාවට දෙන්න, අපි ගන්න ලෑස්තියි කාබනික පොහොර හරි, රසායනික නොවන පොහොර පාවිච්චි කරන්න ලෑස්තියි.වෙලාවට මේවා ටික දුන්නොත් තමයි වෙලාවට මේ ටික දාලා අපේ අස්වැන්න අපිට ගන්න පුලුවන්කම තියෙන්නේ.දෙන්නම් කියලා කිව්වට හරි යන්නේ නෑ, වෙලාවට මේ ටික ලැබුණේ නැත්නම්, වෙලාවට මේ ටික කුඹුරට දැම්මේ නැත්නම් අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ.ඒ නිසා ගොවියන්ට අද පාරට බහින්න වෙලා තියෙනවා.සමහරු මේක අර්ථ දක්වනවා දේශපාලන ව්‍යාපාරයක් කියලා.මේක දේශපාලන ව්‍යාපාරක් නෙමෙයි.මේක ගොවියාගේ සැබෑ ප්‍රශ්නයක්.ආණ්ඩුව නිසි වෙලාවට රසායනික හෝ කාබනික පොහොර දෙනවා නම්, පාඩුවක් වුණොත් ඒ අලාභය ගෙවනවා කියලා විශ්වාසයෙන් කියනවා නම්, ඒක තහවුරු කරනවා නම් ඒක දකින්න-පේන්න තියෙනවා නම් අපේ ගොවිමහත්වරු භය වෙන්නේ නෑ.

අද රසායනික පොහොර ගේනවා කියලා තීන්දු කරා කියලා කියනවා.මම ඒ පිළිබඳව ඉහළ ඉඳන් පහලට ඉන්න නිළධාරීන්ට කථා කරලා බැලුවා.නෑ එහෙම තීන්දුවක් අරන් නෑ, දීලීර හා පලිභෝද නාශක වලට පමණයි ඒ තීන්දුව අරන් තියෙන්නේ.ඒ අවස්ථාව හරි ලබා දුන්න එක ලොකු දෙයක් යැයිද පැවසීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද මහතා ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress