යහපාලන ආණ්ඩුව එදා පුළුවන් තරම් ණය ගත්තත් කරපු දෙයක් නැහැ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on November 25th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කරන්න තරම් බංකොළොත් මට්ටමට වැටුණු යහපාලන ආණ්ඩුව එදා පුළුවන් තරම් ණය ගත්තත් ඉන් කරපු දෙයක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව ගුවන් යානා අංගනය හා උප ධාවන පථය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) මූල්‍ය ප්‍රතිපාදන යටතේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ පූර්ණ දායකත්වයෙන් නව ගුවන් යානා අංගනය සහ උප ධාවන පථය ඉදි කර තිබේ.

සෞභාග්‍යයේ දැක්ම යටතේ කඩිනම් කර ඇති මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී මුල්ගල තබා ආරම්භ කරන්නට යෙදුණු ව්‍යාපෘතියකි. යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මෙම ව්‍යාපෘතිය නවතා දමා තිබී ඇත. ඒ අනුව 2020 වසරේ දී නැවත ව්‍යාපෘතිය ආරම්භ කර අද දින මෙසේ ජනතා අයිතියට පත්කෙරිණි.

මෙම ව්‍යාපෘතිය මගින් නව ගුවන් යානා නැවැත්වීමේ අංගන 23ක් ඉදිකර ඇති අතර ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් යානා නැවැත්වීමේ අංගන සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගියේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නව ගුවන් යානා අංගනය හා උප ධාවන පථය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

ආසියාවේ කේන්ද්‍රීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් විදියට අපේ ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න අපි තීරණය කළේ 2010 දී. අපිට අවශ්‍ය වුනේ ගුවන්තොටුපොළ වර්තමානයට ගැලපෙන විදියට සංවර්ධනය කරන්න. ඒ වගේම තවත් වසර 20ක් එහා අනාගතය ගැනත් හිතලයි එදා අපි මේ සංවර්ධන සැලසුම් හැදුවේ. 

ජපානයේ හිටපු අගමැති ශින්ෂුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කළේ 2014 වර්ෂයේදියි. සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ආයෝජකයෝ  එක්ක ගිවිසුම් පවා අත්සන් කරලා තිබුණ වෙලාවකයි 2015 දි අපේ රජය පෙරලුණේ.

ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර දෙකකින් අවසන් කරන්න ඒ වන විටත් සැළසුම් සකස් කරල තිබ්බේ. ‍ 2015 දී බලයට පත් වුන යහපාලන රජය මේ ව්‍යාපෘති නියමිත පරිදි කරගෙන ගියේ නැහැ. අපේ  රජය බලයට ඇවිත් 2020 මාර්තු මාසෙදී තමයි පළමු අදියරේ වැඩ ආරම්භ කළේ.

අද අපි මහජනතාවට විවෘත කරන  මේ අදියරේ වැඩ ආරම්භ කිරීමත් යහපාලන ආණ්ඩුව ප්‍රමාද කළා. මේ ගොඩනැගිල්ලේ වහලයේ සැළසුම වෙනස් කරන්න ඒ අයට අවශ්‍ය වුනා. මුල් සැළසුමේ නෙලුම් මලක හැඩයට වහලය ඉදිකරන්න නියමිතව තිබුණා. ඒ වෙනුවට ශාක පත්‍රයක හැඩයට වහලයේ සැළසුම වෙනස් කරන්න විතරක් යහපාලන ආණ්ඩුව රුපියල් මිලියන 661 ක් වියදම් කළා.  ඒ විදියට සැළසුම වෙනස් කරන්න ගිය නිසා තමයි දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරන්න ප්‍රමාද වුනේ.

අද ඉදන් ගුවන්තොටුපොළේ ගුවන්යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 48ක් බවට පත්වෙනවා. මේ වෙනකල් තිබුණේ අංගන 25යි. මේ දක්වා එක අවුරුද්දකට  මිලියන 6ක් වන මගීන් හැසිරවීමේ ධාරිතාව 2023 වන විට මිලියන 15 ක් දක්වා  වැඩි වෙනවා.

මිත්‍රවරුනි,

ඔබට මතක ඇති කටුනායක ගුවන්තොටුපොළට කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ල වුන මිලේඡ්ච ප්‍රහාරය. එදා ගුවන්තොටුපොළේ සේවය කරපු අය ඒ ප්‍රහාරයේ බිහිසුනු බව අත්වින්දා. එදා ඇති වුන හදිසි තත්ත්වයේදී ලංකාවට එමින් සිටි ගුවන්යානා යොමු කරන්න වෙනත් ගුවන්තොටුපොළක් අපිට තිබුණේ නැහැ. මේ නිසා ආසන්න රටවලට ඒ ගුවන්යානා යොමු කරන්න සිදුවුනා. එදා තමයි අපේ රටට අතිරේක ගුවන්තොටුපොළක අවශ්‍යතාවය තදින්ම දැනුන දවස. ඒ අනුව තමයි අපේ රජය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අතිරේකව තවත් ගුවන්තොටුපොළක අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කළේ. ඒ අනුව අපි මත්තල ගුවන් තොටුපළ හැදුවා.

2015 දී බලයට ආපු යහපාලන ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ ආර්ථික සංවර්ධනයට දායක කර ගන්නවා   වෙනුවට  රාජපක්ෂලාගෙන්    පළිගන්න  වී ගබඩා කළා.

ඒ වගේ බංකොළොත් මට්ටමකට වැටුණු යහපාලන ආණ්ඩුව පුළුවන් තරම් ණය අරගත්තා. හැබැයි කරපු දෙයක් නැහැ. ණයක් ගත්තා නම් ඒ ණය මුදල් ආයෝජනය කරලා කරපු දෙයක් ‍තියෙන්න ඕනේ. මත්තල ගුවන්තොටු‍පොළ විනිමය උපයන්නේ අපේ රටට. ඒවා අපේ රටේ සම්පත්.

යහපාලන ආණ්ඩුවට කිසිම සංවර්ධන සැලසුමක්, සංවර්ධන ඉලක්කයක් තිබුණේ නැහැ.

මානුෂීය මෙහෙයුම මඟින් ත්‍රස්තවාදය අවසන් කරලා, රටට සාමය උදා වුනාට පස්සේ අපේ රටට එන සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිවුනා. ඇත්තටම සංචාරක කර්මාන්තය මෙරට විනිමය ඉපයීමේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට පත්වුණා. අපේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩිවෙනවාත් එක්කම ක්‍රමයෙන් ගුවන්තොටුපොළ පරිහරණය කරන ගුවන් මගීන් ප්‍රමාණය ද  වැඩිවුණා. 

කොවිඩ් වසංගතයත් එක්ක ජනතාවගේ ආරක්ෂාවට මූලිකත්වය දීලා කටයුතු කළ නිසා පහුගිය කාලයේ ගුවන්තොටුපොළ වසා දැමුවා. රටවල් අතර ගමනාගමනය නතර වෙලා අපේ රටට සංචාරකයින්ගේ පැමිණීමත් නතර වුනා.  සංචාරක ව්‍යාපාරය කඩා වැටුනා කියලා ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු අඩාල වෙන්න අපේ ඇමැතිතුමන්ලා ඉඩ තිබ්බේ නැහැ. ජනතාව‍ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව තිබුණාටත් වඩා හොදින් සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යන්න සුදුසු පරිසරය සකස් කරන්න සංචාරක ඇමැතිතුමා පියවර ගත්තා.

අපේ රජයන් බලයට පැමිණි හැම කාලයකදිම වැඩ කලේ ඉදිරි දැක්මක් සහිතව ක්‍රමාණුකුලවයි. එදා මහින්ද චින්තන වැඩපිළවෙල යටතේ ගුවන්‍‍තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික පසුබිම සකස් කරලා, ව්‍යාපෘති ක්‍රියාත්මක කරන තැනටම ගෙනාවා.

මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල මඟින් ද කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කරන බව කිව්වා.

කියනවා වගේම අපේ රජයන් බලයට පත්වුනාම වැඩ කරලාත් පෙන්වනවා. අපි කරන සෑම සංවර්ධන ව්‍යාපෘතියකම ප්‍රතිලාභ ලැබෙන්නේ අපේ අනාගත පරපුරට බව ප්‍රකාශ කරන්න ඕනේ. ඔබ සැමට සුභ අනාගතයක් ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක  මහතා

අවුරුදු පහක් නැවතිලා තිබූ සංවර්ධනය නැවත වතාවක් සංවර්ධන මාවතකට අරන් එන මොහොතක් මේක. මේ ව්‍යාපෘතිය ආරම්භ කරපු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා අපේ නායකතුමා අතින්ම මේක විවෘත කරන්න ලැබීම විශාල ගෞරවයක් සේ සලකනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවුරුදු කිහිපයක් මග නැවතිලා තිබුණා. මේ මග නැවතුණු  ව්‍යාපෘතිය නැවත පටන්ගන්නකොට  විශාල අභියෝග තිබුණත් ව්‍යෘපෘතිය කරගෙන යන්න කියල අපිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා  භාරදුන්නා.

අද අපි ලංකාවේ ව්‍යාපෘති දිහා බැලුවත්  ලංකාවේ සංවර්ධනය දිහා බැලුවත් මෑත ඉතිහාසයට ගත්තම සංවර්ධනයක් වෙලා තියෙනවනම් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භකරපුව විතරයි.  ගොඩබිම බැලුවත් මුහුද බැලුවත් ගුවන බැලුවත් කොහෙන් බැලුවත් සංවර්ධන ව්‍යාපෘතියක් තියෙනවනම් තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හදපුවා. කොළඹ වරාය ගත්තම වරාය වැඩිදියුණු කළේ එතුමා. හම්බන්තොට වරාය හැදුවා. ගොඩබිමෙන් හයිවේ ටික හැදුවා. පාරවල් ටික කාපට් කෙරුවා. අනිත් පැත්තෙන් ගුවනට යනකොට මත්තල ගුවන් තොටුපොළත් හැදුවා යැයි රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ඩී.වී චානක, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මිලාන් ජයතිලක, උපුල් රාජපක්ෂ, කෝකිලා ගුණවර්ධන, නලින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසිකොෂි හිදෙකි, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි, උප සභාපති රජීවසිරි සූරියාරච්චි, ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාදා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress