ජන සභා සංකල්පය, පන්සල හා පොලිසිය – part -3
Posted on November 1st, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

හැඳින්වීම

රට මුහුණපා ඇති අවාසනාවන්ත ඉරණම ඉදිරියේ, පෙලපාලියෑම හා ජනතාව කුලප්පු කිරීම, ඉදිරියේ පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීම සඳහා අළුත් පක්ෂ-මන්ත්‍රී කණ්ඩායම් රංචු ගැසීම් වෙනුවට, සියළුම පක්ෂ දේශපාලකයින් විසින් කල යුතුව තිබෙන්නේ රට ගැන සිතා මේ වලෙන් ගොඩ ඒමට තම සහයෝගය ලබාදීමය.  ජන සභා පැලැස්තරයක් නොව, නියමාකාරයේ ජන සභා ක්‍රමයක් සදාගැනීමට කරු ජයසූරිය මහතාට සහාය දීමය. ඊට හේතුව මේ හැම පංචස්කන්ධයක්ම හා පක්ෂ දේශපාලනය කරණ හාමුදුරුවරුන්, අනිකුත් පූජක වරුන් හා කාදිනල්තුමා විසින් අපට මතක් කරන්නේ නමින් කපුරුහාමි නමුත් කට ගඳයි යන  කියමන වීමය. රටේ දැනට නැති ප්‍රජා (නාස් ලණු) තන්ත්‍රවාදයක් ගැන කතාකරමින් දේශ-පාලනය කරණ සෑම කෙනෙක්ම (NGOලා වර්ගද ඇතුළුව), තමන් ජන සභා ක්‍රමයකට කැමතිද, අකමැතිනම් ඊට හේතු මොනවාද යන කරුණු ජනතාවට පැහැදිලි කල යුතුය.

මෙම සංදේශයේ 2 කොටසින් ඉදිරිපත් කල ජන සභා ආකෘතියට/රාමුවට හේතු මොනවාද යන්න පැහැදිලි කිරීම මෙම 3 කොටසේ අරමුණය. ජන සභා ක්‍රමයක් මඟින් ලබාගත හැකි නොයෙක් ආකාරයේ ප්‍රයෝජන (වාසි) 4 වන කොටසින් සළකා බැලේ.

*1.  ජන සභාවල සීමා නිර්ණය කිරීමකෝල්බෲක්  සූත්‍රය

කෝල්බෲක් සමිවරයා විසින් 1832 දී රට පලාත් 5 කට බෙදුවේ උඩරට රදලයින්ගේ දළ බිඳීම උදෙසාය.  මධ්‍යම පලාත,  පාණ්ඩුව හැදුන කෙට්ටු පඹයෙකු වැනි විය. දැන් කාලයේ මෙන්ම ඒ කාලයේත්, කුළල්කා ගනිමින් සිටි උඩරට අදිකාරම්ලා, නිලමෙලා රැවටීමට 1815 දී, ගජමන් නෝනා ගෙන් සිංහල ටියුෂන් ගනිමින්, බුලත් විට කමින් සිටි ජෝන් ඩොයිලි සමත් විය. කරගත් ගොන්කම වටහාගෙන 1818 දී කල කැරැල්ලෙන් ලබාගත්තේද ජන සංහාරයක් පමණය.  මීට අමතරව, 1798 දී සිටම නෝත් ආණ්ඩුකාරයා දැන සිටි කරුණක් නම් රටේ පන්සල් හා ගැමියා අතර තිබූ ගහට-පොත්ත වැනි බැඳීම (මුර දේවතා  සංකල්පය) බකල් කිරීමේ අවශ්‍යතාවය. එහෙත් බෙදා පාලනය කිරීමේ යටත් විජිත උපක්‍රමයට ගොඳුරු නොවී, පන්සල රට රැක ගත්තේය.  මෙහිලා පරිහාණිය ඇරඹුණේ 1931 සිට සිංහල ඩොනමෝර් කළු සුද්දන්  මඟින් අපේ හාමුදුරුවනේ යන ආමන්ත්‍රණය හරහාය. සුද්දන් විසින් කරගෙන ගියාටත් වඩා දක්ෂ ලෙස කුලය, ආගම, භාෂාව අනුව ජනයා බෙදා පාලනය කිරීමට 1948 න් පසු කළුසුද්දන් සමත්විය.

කෝල්බෲක්ට කලින් ඕලන්ද කාලයේ  ලංකාවේ කන්ද උඩරට සිතියම (1796) බොහෝදුරට රටේ පරිසරයට එකඟ වන අන්දමේ දිසාවනි 13 කින් සමන්විත විය (හොරස් පෙරේරා, ලංකාව: බටහිර ජාතීන්ගේ පාලන සමය, 1961, 66 පිටුව).  කෝල්බෲක් රටේ භූමිය බෙදීම් ක්‍රමය දැන් 2022 අගදීවත් අත්හල යුතුයයි ලංකාවේ නොයෙක් පරිසර සංවිධාන වලටවත් සිතෙන්නේ නැත! මා දන්නා තරමට ඒ සම්බන්ධයෙන් ලියන ලද ලිපි ඇත්තේ තුනක් පමණය. කෝල්බෲක් පලාත් 9 වෙනුවට, රට ප්‍රධාන ගංඟා ද්‍රෝණි හතකට බෙදීමට යෝජනාවක් ප්‍රථම වරට  භූගෝල විද්‍යා මහාචාර්ය C. M. මද්දුමබණ්ඩාර විසින් 1987 දී ප්‍රසිද්ධ කලේය (Ref. Chapter 4 in Fifty years of Sri Lanka’s independence: a socio-economic review, edited by A. V. de S Indrarathna, 1988, p. 83). ඔහුගේ එම සිතියම මෙම ලිපිය අග කොපිකර ඇත. 1987 දී JRJ විසින් පත්කල ඉඩම් කොමිෂම (සැසි වාර්තා අංක 3-1990) රටේ පරිපාලන ඒකකවල මායිම් ගංඟා නිම්න  අනුව සකස් කරන ලෙස නිර්දේශ කලේය. 

Language-blind regional development units (Island, 10/25/2006) හා APRC and the bio-regional vision (Island, 2/25/2009) යනුවෙන් ලිපි දෙකක් මා විසින්ද ලියන ලදී. පරිපාලන සේවා නිලධාරියෙකුවූ  K. Nanayakkara, විසින් ලියන ලද රචනාවකින් (Inviting failure: nature of the spatial unit of devolution, Island, (11/8/2017), පලාත් නවයේ කෘතිම බෙදීම පෙන්වා දුන්නේ ඒ මත රටේ ජලය මූලික දේශගුණික කලාප තුන (තෙත් (රෝස පාට), අතරමැදි (කොල), වියළි (දුඹුරු)) ආරෝපනය කිරීමෙන්‌ය. මෙහි පහතින් කොපිකර තිබෙන්නේ ඒ සිතියමය.

මේ සම්බන්ධයෙන් අළුත්ම ලිපියක් මහින්ද පනාපිටිය විසින් ලියා ඇත (Eco friendly regional development model, Island, 10/31/2022).

මේ රටේ පැවතියේ ගම්-වැව්-දාගැබ යන ආර්ථික-සමාජ-දේශපාලන, පරිසර ත්‍රිත්වය නොවේද යන යථාර්ථය අමතක කලත්, අඩුතරමින් රටේ ඇති නායයාම්, ගංවතුර යන ප්‍රශ්ණ දෙක විසඳාගැනීම සඳහාවත් ජලය මූලික කරගත් පරිපාල පාලන ඒකක ක්‍රමයක් අවශ්‍ය නොවේදැයි දේශ-පාලකයින්, රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතන නිලධාරීන්, හා විශේෂයෙන් විශ්ව විද්‍යාල වල භූගෝල විද්‍යා අංශයේ ගුරුවරුන්ටවත් නොසිතීම අවාසනාවකි.

මෙවන් පසුබිමක ස්වාභාවික, ජලය මූලික, ජන සභා  ඒකක ලබගන්නේ කෙසේද? එය ලබාගත හැක්කේ කෝල්බෲක් සූත්‍රයට අනුව ගම් මට්ටමේ ඒකකය වන ග්‍රාම සේවා වසම් හරහාය. 1978 ට පෙර 4,000 ක් වූ මෙම ග්‍රාම සේවක වසම් (GSN) සංඛ්‍යාව ප්‍රේමදාස අගමැති/ජනාධිපති කාලයේදී 14,000 ක් දක්වා වැඩිකරණ ලදී (ලෝක ඉතිහාසයේ මෙවැනි වැඩිකිරිමක් ගැන අසන්නට නොලැබේ). අද වනවිට 14,022 ක් වන මෙම GSN ප්‍රමාණය ස්වාභාවික මායිම් සහිත වනසේ නැවත සීමා නිර්ණය කල යුතුය. එසේ ප්‍රතිසංවිධානය කල විට මෙම සංඛ්‍යාව දැනට වඩා බෙහෙවින් අඩු ගණනක් වනු ඇත.

මෙම අළුත් GSN ඒකක, ජන සභාවක්, ජන සභාවක වෝඩ් එකක් යනාදී වශයෙන් ඒ ඒ ප්‍රදේශයේ භූගෝල විද්‍යාවට අනුරූප වන සේ ගලපා ගත හැකිය. මෙවැනි පියවරකින් ගම් මට්ටමින් ජනතාව බලවත් කිරීම යන ජන සභා වල අපේක්ෂාව හා මධ්‍යම රජයේ ගම් මට්ටමේ ඒජන්සිය වන GSN ඒකකවල කාර්යභාරය අතර සම්බන්ධතාවය පහසු කරවන්නේය.

*2. පක්ෂ දේශපාලනයෙන් තොර සම්මුති ප්‍රජා-තන්ත්‍රවාදය

මුන් 225 දෙනාගේ පාර්ලිමේන්තුව, පරණ පලාත් සභා මන්ත්‍රීප්‍රාණ වල පැටිකිරිය හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාගේ සවුත්තු හැසිරීම් ජනයාට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අරහංකලේය. ගමේ දේශපාලනයෙන් පක්ෂ දේශපාලකයා ඉවත් කල යුතුය. එපමණක් නොව ජන සභා හා සම්බන්ධවන අයට වංචා, දූෂණ  සඳහා තිබිය හැකි අවස්ථා නැති කල යුතුය.

ජන සභාව ගමේ ස්ථාවර ආයතනයක් මිස වර්ෂ කීපයකට පසු අළුතෙන් චන්දයෙන් පත්වෙන ආයතනයක් නොවිය යුතුය. කොටස් වශයෙන් සාමාජිකයින් ඉවත්වීමෙන් ජන සභාවේ සාමූහික වගකීම අඛන්ඩව  පවතී. යමෙකුට ජන සභාවක සේවය කල හැකි උපරිම කාලය සීමා කල යුතුය.

ඔවුන් විසින් ගන්නා තීරණ  සාමූහික තීරණ වියයුතුය. මේ සඳහා ඔවුන් සිතිය යුතු වන්නේ ඔවුන් තීරණයක් නොගෙන බෙදී ගියවිට තීරණ ගන්නේ ගමේ පූජක පක්ෂය හා පොලිසිය/යුදහමුදාව විසින් වීමය. මෙවැනි සූත්‍රයක් ලංකාවට අවශ්‍ය වන්නේ සමාජය අතිශයින් දූෂිතව ඇති නිසාය. ජන සභා මහජන නියෝජිතයින්, ආගමික නියෝජනය හා පොලිස්/හමුදා නිලධාරීන් යන තුන් කොටස, විනයගරුක සදාචාරත්මක හා දූෂණයෙන් තොර සමාජයක් ගොඩනඟා ගැනීම සඳහා, එකිනෙකාගේ මුරකාරයින් ලෙස බලය තුලනය කරන්නේය (checks and balances). සෑම පෘතග්ජනයෙක්ම ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්ධ නිසා, ඔවුන් තුලට හිරි ඔත්තප්ප යන ගතිගුණ දෙක නීති-රීති මඟින් ගෙන ඒම ජන සභා හරහා වර්ධනය කල යුතුය.

*3. ජන සභාවේ නිලධාරීන්ගේ ස්වාධීනත්වය

අවුරුදු 75 ක් පුරාම මුන් රට කෑවා යන කියමන පක්ෂ දේශපාලකයාටත්, නිලධාරියාටත් යන දෙපාර්ශවයටම අදාලය. ජන සභාව පක්ෂ දේශපාලනයෙන් තොර ආයතනයක් වුවත්, එහි මහජන නියෝජිතයින්ගෙන්, එහි නිලධාරීන් ආරක්ෂා කල යුතුය. ජන සභාවේ ලේකම් එහි ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ඔහු පත්කරණු ලබන්නේ ජාතික ජන සභා කාර්යාලය විසින්ය. ඔහුගේ රාජකාරිය පිළිඹඳ ප්‍රශ්ණයක් මතුවුවහොත් ජන සභාව විසින් ඒ පිළිඹඳව සාකච්චාකර, ජාතික කාර්යාලයට දැනුම්දී එහි උපදෙස් අනුගමණය කල යුතුය.  ජන සභාවේ පර්යේෂණ අධ්‍යක්ෂකවරයා, ජන සභාවට තොරතුරු දත්ත සපයන, ජන සභාවේ තීරණ ක්‍රියාත්මකවීම මොනිටර් කරණ, වාර්තාකරණ, පරිගණකගත කරණ නිලධාරියා වන්නේය. ඔහුගේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ඔහු වගකියන්නේ සිය ජන සභාවට හා ජාතික ජන සභා කාර්යාලයටය. ජන සභාවේ වාර්තාවක් යාවත්කාලීන (update) කල හැක්කේ ඔහුට පමණක් වන අතර ඒ සඳහා ඔහු ජාතික කාර්යාලයේ අනුමැතිය ප්‍රථමයෙන් ලබාගත යුතුය. යාවත්කාලීන කිරීමේදී පරණ වාර්තාවවල මුද්‍රිත (කඩදාසී) කොපියක්ද (විද්‍යුත් මාධ්‍යයට අමතරව) සුරැකිය යුතුය.

*4. මධ්‍යම-පර්යන්ත සම්බන්ධතා

A.  මධ්‍යම-පර්යන්ත සම්බන්ධතා යනු කොළඹ (රජය/ආණ්ඩුව) හා ගම (ජන සභා) අතර ඇතිවන  ගණුදෙනුවය. මෙය දෙයාකරය. (1) පාර්ලිමේන්තුව හා ජාතික ජන සභා මණ්ඩලය අතර ජාතික ප්‍රතිපත්ති සැදීමේදී ඇතිවන අදහස් හුවමාරුව හා (2) ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් වරුන් හා ජන සභා අතර ඇති සහයෝගය. මධ්‍යම රජයේ ප්‍රතිපාදන ජන සභාවලට ලැබෙන්නේත්, ජන සභා ප්‍රදේශය ඇතුලත ක්‍රියාත්මක වන  මධ්‍යම රජයේ සැලසුම්, ව්‍යපෘති කළමනාකරණය කරන්නේත් එම ලේකම්වරු  හරහාය. මධ්‍යම රජයේ ව්‍යපෘති ආරම්භවන්නේ ඒ සඳහා ජන සභාවේ එකඟතාවය ලබාගෙනය.

B. අභාවයට ගිය පලාත් සභා සුදු අලියාත්, විකෘති ප්‍රාදේශීය සභාත් වෙනුවට ඒවායේ කාර්ය හැකිතාක් දුරට ජන සභා වලට පැවරිය යුතුය.

C.  පාර්ලිමේන්තු මන්ත්‍රීලාට සංවර්ධන අරමුදල් නොදිය යුතුය. ඒවා මධ්‍යම රජයේ දිස්ත්‍රික් ලේකම්/ප්‍රදේශීය ලේකම් හරහා ජන සභා වලට ලබාදිය යුතුය.

D.  දැනට තිබෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ. පක්ෂ සංවිධායකලාගේ රැස්වීමක් නොව ජන සභා නියෝජිතයින් හා මධ්‍යම රජයේ නිලධාරීන් අතර රැස්වීමක් විය යුතුය.

E. පාර්ලිමේන්තුව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කරණ, ජාතික අය වැය අනුමතකරණ හා වියහියදම් මොනිටර් කරණ ආයතනයක් මිස, එයට පත්වන මන්ත්‍රීලා සංවර්ධන අරමුදල් භාර මුදලාලිලා නොවිය යුතුය. දූෂණ අක්‍රමිකතා වලට මුල මේ කාරණයය.

සාරාංශය

මෙම කොටසින් පෙන්වාදීමට උත්සාහ කලේ දැනට රටේ පවතින දූෂිත සමාජ-දේශපාලන සිස්ටම් එකෙන් ගැලවීම සඳහා ජන සභා සිස්ටම් එක (සංකල්පය) උපයෝගී කර ගත හැක්කේ කෙසේද යනුය. විවිධ මට්ටමේ පක්ෂ දේශපාලකයින්- නිලධාරීන් හා NGO ප්‍රමුඛ ව්‍යාපාරිකයින් යන දුෂ්ඨ ත්‍රිකෝණ විසින් රටට කර ඇති විනාශය තුලින් ඉගෙන ගත හැකි පාඩම් එමටය. පාර්ලිමේන්තුව, පලාත් සභා ජරමරය හා ප්‍රාදේශීය සභා යන තුනට එන මන්ත්‍රීලා වර්ග ගෙන යන වංක  හැසිරීම, ජන සභා වලට එන අයට කල නොහැකිවන ක්‍රමයක් නිර්මාණය කරගන්නේ කෙසේද? මේ සඳහා යම් විසඳුම් මෙම සංදේශයේ 2 හා 3 කොටස් වලින් යෝජනා කරන ලදී. මොවුන්ගේ ලෝභ-ද්වේෂ-මෝහ ගති අවම කිරීමට කලයුතු තව බොහෝ දේ තිබේ. මෙවැනි සාමකාමි විප්ලවයක් සඳහා ජන සභා සංකල්පයට ඇති විශේෂ සුදුසුකම නම්,  බෞද්ධ චින්තනය, භූගෝල විද්‍යාව, හා නීතිවිද්‍යාව යන මිනිස් දැණුම් සම්භාර තුනේ සම්මුති ප්‍රජාතන්ත්‍රවාදී මූලික අංග, භූමිය මත, ගම් මට්ටමින් ක්‍රියාවට නැංවීමට එයට ඇති විභවයය.

මෙම කරුණ මීලඟ අවසාන (4) කොටසින් සළකා බලමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress