මුදල් අච්චු ගැසීමේ කබ්රාල්ගේ වාර්තාව නන්දලාල් කඩයි.. ණයත් නොගෙවා මුදල් අච්චු ගැසීම පුදුමයක්..
Posted on November 17th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මුදල් අච්චු ගැසීමේ ආදීනව සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් ප්‍රකාශ කළ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ වන විට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මුදල් අච්චු ගැසීමේ වාර්තාව ද බිඳ දමා ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අයවැය විවාදයට එක් වෙමින්.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

මුදල් අච්චු ගැසීමේ කබ්රාල් වාර්තාව නන්දලාල් බිඳ දමයි

ජනාධිපතිතුමා කෙතරම් බුදු බණ අසා තිබුණත් කතා පුරාවට දහම් පද තිබුණත් ඇසිය යුතුම බණ පදය අසා නැති බවයි අයවැය දෙස බලද්දී පෙනෙන්නේ. ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාලියේ ලෝකාවබෝධ සූත්‍රයේ බුදුන් වහන්සේගේ සුවිශේෂි ගුණයක් පැවසෙනවා. යථාවාදි තථාකාරි – යථාකාරි තථාවාදි කියන මේ ගුණයෙන් පැවසෙන්නේ කියන දේ කරන කරන දේ කියන ගුණයයි. ජනාධිපතිතුමාට වගේම මහ බැංකු අධිපතිතුමාටත් මේ ගුණය නෑ කියන එකයි අපි පහුගිය කාලයේ නිරීක්ෂණය කලේ.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා තනතුර භාර ගනිමින් රටට ප්‍රකාශ කලේ තමන්ගේ පූර්වගාමින් දැවැන්ත ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසා රටේ උද්ධමනය ඇති වෙලා රටේ ආර්ථික අර්බූදය තීවුර වෙලා තියෙනවා කියලයි. එහෙම කිව්ව නන්දලාල් මහ බැංකු අධිපති තමයි ඉතිහාසයේ දැවැන්තම මුදල් අච්චු ගැසීම සිදු කර තිබෙන්නේ. මේ කතා වේ ඇත්ත නැත්ත අපි ඉලක්කම් එක්ක අවබෝධ කර ගනිමු.

මහචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මහ බැංකු අධිපති ධූරය දරණ විට 2020 මාර්තු 13 සිට 2021 සැප්තැම්බර් 14 දක්වා දින 551ක් තුල රුපියල් බිලියන 1,206ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කලා. ජනතාවට තේරෙන භාෂාවෙන් කිව්වොත් දවසකට රුපියල් බිලියන 2.18 බැගින් මුදල් අච්චු ගහලා තිබෙනවා. නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරය දැරූ 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 5 දක්වා දින 203 කාලය තුල රුපියල් බිලියන 446ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තිබෙනවා. ජනතාවට තේරෙන විධියට කිව්වොත් දවසකට රුපියල් බිලියන 2.2 බැගින් මුදල් අච්චු ගහලා. ඒ කියන්නේ මුදල් අච්චු ගැසීමෙන් මහචාර්ය ලක්ෂ්මන්ට වඩා කබ්රාල් මහතා දශම ගණනකින් ඉදිරියෙන්.

දැන් අපි මුදල් අච්චු ගැසීමේ ආදිනව ගැන මාධ්‍ය පුරා වැදි බණ දෙසූ නන්දලාල් මහතාගේ වාර්තාව බලමු. එතුමා 2022 අප්‍රේල් 6 සිට සැප්තැම්බර් 30 දක්වා දින 175 තුල රුපියල් බිලියන 590ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා. ඒ කියන්නේ දවසකට රුපියල් බිලියන 3.37ක මුදල් අච්චු ගැසීමක්. නන්දලාල් යුගයේ මුදල් අච්චු ගැසීම 55%කින් වර්ධනය වෙලා. ලක්ෂ්මන් – කබ්රාල් යුග වල දී ඩොලර් බිලියන ගණනින් ණය ගෙවන්න ඩොලර් මිල දී ගන්න යොදා ගත් රුපියල් ද මේ අතර තිබෙනවා. නමුත් ණය නොගෙවෙන පසුබිමක දීත් මෙතරම් රුපියල් අච්චු ගැහුව්වේ ඇයි?

අයවැයෙන් අළුත් ආයතන 11ක් බිහි වේ

ආණ්ඩුවේ ආදායම ඇද වැටුණත් වැටුප් ගෙවන්න අවශ්‍යයි. විශ්‍රාම වැටුප් ගෙවන්න අවශ්‍යයි. සමෘද්ධි වගේ සහනාධාර නවත්වන්නත් බෑ. මුදල් අච්චු ගහලා හරි ඒ වියදම් දරන්න ඕනි. නමුත් මේ අය වැය දිහා බැලුවහම තේරෙන්නේ ආණ්ඩුව හැසිරෙන්නේ හාරලක්ෂය ඇදිච්ච මුදලාලි වගේ කියලයි. ලෝස් නැතිව වියදම් කරන අය වැයක් මේ හදලා තියෙන්නේ.

ලංකාවේ ආර්ථික අර්බූදයට එක් ප්‍රධානම හේතුවක් තමයි ලෝකයේ දැවැන්තම රාජ්‍ය අංශයක් නඩත්තු කිරීම. මේ ගැන ජනාධිපතිතුමා එතුමන්ගේ කතා වල පාර්ලිමේන්තුවට වරින්වර කිව්වා. එහෙම කිව්වත් මෙවර අයවැයෙන් නව රාජ්‍ය ආයතන 11ක් බිහි කර තිබෙනවා. ස්ථිර නොවන කමිටු, ජනාධිපති කොමිෂන් සභා, ජනාධිපති කාර්ය සාධක බලකායන්, පවතින ආයතන ඒකාබද්ධ කර බිහි කරන නව ආයතන මේ 11ට අයිති නෑ.

අලුත් ආයතන එකොළහක් එනවා කියන්නේ අධ්‍යක්ෂකවරුන් වාහන කාර්යමණ්ඩල වලට අලුතින් වියදම් කරන්න වෙනවා. මෙතන තියනවා උපාධි තත්වය සහතික සහ ප්‍රතීනන මණ්ඩලය කියලා අලුත් ආයතනයක්. විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් ඕක කරගන්න බැරිද. ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරිය කරන කාර්යභාරය මහබැංකු වෙන්කර ගන්න බැරිද. ඇයි මේ අලුත් ආයතන හදන්නේ.

ණය බර වැඩි කරන අර්බූදය උග්‍ර කරන අයවැයක්

අයවැය හිඟය රුපියල් බිලියන 2,400ක් කිව්වාම ණය ගැනීමේ අවශ්‍යතාවය රුපිනල බිලියන 2,400ක් ලෙසයි ජනතාවට දැනුනේ. දේශීය සහ විදේශීය ණය ආපසු ගෙවීම් මේ තුල නෑ. අයවැය පොතේ දෙවන ඇමුණුමේ දක්වා තිබෙනවා අපේ ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 4979ක්. රුපියල් ට්‍රිලියන 5ක්. සමස්ත ණය රුපියල් ට්‍රිලියන 25 ක්. 2023 වසර සඳහා පමණක් ණය ගන්නවා රුපියල් ට්‍රිලියන 5ක්. ඒ කියන්නේ රටේ සමස්ත ණය රුපියල් ට්‍රිලියන 5 කින් ඉහළ යනවා.

මේ ණය දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඇයි රට බංකොලොත්. බංකොලොත් රටකට කවුරුවත් ණය දෙන්නේ නැහැ. මේ ට්‍රිලියන පහේ බර දරන්න වෙන්නෙත් මහබැංකුවට මයි. තවත් ට්‍රිලියන පහකින් මුදල් අච්චු ගහන්න වෙනවා. කබ්රාල් මහත්තයාගේ වාර්තාව නන්දලාල් මහත්තයා කඩනවා මේ වසරේ. නන්දලාල් මහත්තයාගේ වාර්තාව 2023 රුපියල් ට්‍රිලියන 5 ක් අච්චු ගහලා බිඳින්නයි මේ උත්සාහ දරන්නේ.

ආණ්ඩුවත් මහ බැංකු අධිපතිත් කන්දකාඩුවට

මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කෙතරම් මේකෙ වේදනාව දැනගෙන හිටියත් ආදීනව දැන ගෙන හිටියත් මත්කුඩු අත්හරින්න බෑ. අපි කියනවා ඒකට ඇබ්බැහි වීම කියලා. අපේ මහ බැංකු අධිපතිතුමා මුදල් අච්චු ගහන්න දැන් ඇබ්බැහි වෙලා ඉවරයි. එහි ආදීනව ගැන කෙතරම් කතා කළත් කෙතරම් දැනගෙන හිටියත් මට ඒක නවත්වන්න බෑ. අපේ ආණ්ඩුව ණය ගන්න එකට ඇබ්බැහි වෙලා ඉවරයි. ඒ නිසා මහ බැංකු අධිපතිතුමා අපේ ආණ්ඩුවත් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ට යවලා මේ ඇබ්බැහිවීම් වලින් පුනරුත්ථාපනය කළ යුතුයි කියල මම යෝජනා කරනවා.

– Media unit

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress