ණයට අරගෙන සැපට කකා පෙරටම…
Posted on November 18th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට යෝජනා කරන,මෙවර අය – වැයට” විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි එම සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

‘පැරණි මාවතේ පැරණි ආකාරයටම’

අප කාගේත් ජීවිතවලට ඉතාමත් සෘණාත්මක ලෙස බලපා ඇති මේ ආර්ථික අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුවක් තමයි ඉවක්බවක් නැතිව ණය අරගෙන, ඵලදායී නොවන ආකාරයට වියදම් කිරීම. එය එකම හේතුව නොවුණත් ප්‍රධානතම හේතුවක්. මීට අමතර හේතු ලෙස රාජ්‍ය කළමනාකරණයේ තිබුණු වැරදි, නායකත්වය තුළ තිබුණු වැරදි මෙන්ම ආර්ථික මොඩලය තුළ තිබුණු වැරදි අපට පෙන්වා දිය හැකියි. ‘ණයට අරගෙන – සැපට කකා’ ආපු ඒ නාස්තිකාරී ගමන දැන් දරුණු ලෙස ප්‍රශ්න කෙරී තිබෙනවා. එසේ තිබියදීත් ඒ පැරණි මාවතේ පැරණි ආකාරයටම යළි ඉදිරියට යෑමට සූදානම් වෙනවා නම් ඒක ඉතාම භයානක ඛේදවාචකයක්.

‘අර්බුදයට සරිලන නායකත්වයක් නොමැතිකම’

මෙවැනි අවස්ථාවක ඉදිරිපත් කරන අයවැයෙන් ඕනෑම රටවැසියකු බලාපොරොත්තු වෙනවා, ‘ණය බර තවදුරටත් වැඩි නොකරාවි’ කියා. ‘ණය ගෙවාගත නොහැක’ කියා මහ බැංකුව මගින් ණය හිමියන්ට නිල වශයෙන් දන්වා ඇති රටක, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉල්ලා සිටින රටක අයවැය යෝජනා එන්නෙ තවදුරටත් ණය ගැනීමටයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැයෙන් විදේශීය ණය රුපියල් බිලියන 560ක් සහ දේශීය ණය රුපියල් බිලියන 1844 ක් ලෙස සම්පූර්ණ ණය රුපියල් බිලියන 2404ක් ලබා ගැනීමට යෝජනා කර තිබෙනවා. මේ විදිහට තවත් රුපියල් බිලියන 2404කින් රටේ ණය බර වැඩි වුණාම, ලබන වසරේ ණය ගෙවීම සඳහා යම් හැකියාවක් ලැබුණත් එය අහිමි වෙනවා. මෙමගින් ඉතාම පැහැදිලියි අද මේ රටට ලැබෙන්නේ අර්බුදය පියමං කිරීමට සරිලන ප්‍රශස්ත නායකත්වයක් නොවෙයි, කියා. තවදුරටත් බලන්නේ මෙතෙක් ආපු පැරණි වැරදි සහගත මාවතේම ඉදිරියට යන්න.

‘ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම’

එක පැත්තකින් මේ අයවැයෙන් රුපියල් බිලියන 2404ක් අලුතින් ණය විදිහට ගන්න යෝජනා කරනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් මේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණාගෙන කන්න යෝජනා ගෙනල්ලා තිබෙනවා. ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවය හැර, අන් සියලු ආයතන ලාභ ලබන ආයතන. දිගින් දිගටම පාඩු ලබන, ඒ පාඩුවේ බර මහජනයා වෙත පැටවෙන ආයතන පිළිබඳව පමණයි කවර හෝ පිරිසකගේ ‘කොළ එළි’ දැල්වී තිබුණේ ‘ඒවා විකුණා දැම්මාට කමක් නැහැ’ කියා. කිසිදු රටවැසියෙක් අපේක්ෂා කරන්නේ නැහැ, ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කතා කරමින් ඇවිල්ලා, දැන් කරන්න හදන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන ටික විකුණා දමන්නයි. යම් රාජ්‍ය ආයතනයක් පාඩු ලබනවා නම් එය විකිණීම පිළියමක් නොවේ. ලාභ නොලැබීමට හේතු සෙවිය යුතුයි. නමුත් ‘පාඩු ලබනවා’ කීම උප්පරවැට්ටියක් ලෙස යොදාගන්තා. ඇතැම් ආයතන පාඩු ලබන තත්ත්වයට පත්කර ‘පාඩු ලබනවා’ කියා විකුණා දැම්මා. එක ආකාරයකට ‘පාඩු ලබනවා’ කියා විකුණා දැමීම, කන්න ඕනේ වුණාම කබරගොයා තලගොයා කර ගැනීමක්.

‘දෙපැත්ත කැපෙන ආයුධය’

රාජ්‍ය කළමනාකරණය යටතේ ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දෙනවා කියන්නේ ඒවායින් අපේක්ෂා කරන මහජන සේවාවන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා, කියන එක. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ අපි දන්නවා මාර්ගගත ක්‍රමය යටතේ පාසල් ගුරුවරුන් හා පෞද්ගලික පංතිවල ගුරුවරුන් උගන්වන විට ඒවා සමග සම්බන්ධ වීමට අවශ්‍ය දුරකථන සංඥා ලැබෙන ආකාරයට ඇතැම් දරුවන් ගස් උඩ නැංගා. බොහෝ රටවල එවැනි සම්බන්ධතා ලබා දෙන්නේ රජයෙන්. ඒ නිසා ගෙවල් 10ක් තිබෙන ගමටත් එම පහසුකම ලැබෙනවා. නමුත් පෞද්ගලික අංශය ගෙවල් වැඩිපුර රාශිභූත වෙලා තිබෙන ප්‍රදේශවලට විතරයි මෙවැනි සේවා පහසුකම් ලබාදීමට උනන්දු වෙන්නේ. තවත් නිදසුනක් ගත්තොත් විදුලිබල මණ්ඩලය ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 03ක් පමණ ගිහිල්ලා ගෙවල් දෙක තුනක් තිබෙන තැන්වලටත් විදුලි සැපයුම ලබා දී තිබෙනවා. පෞද්ගලික අංශයට විදුලිය සැපයීම ලබා දුන්නොත් ඔවුන් එම පිරිවැය දරන්නේ නැහැ. දුෂ්කර ගම්මානවලට එහෙමනම් විදුලිය ලැබෙන්නේ නැහැ. මේ ආකාරයට ‘දෙපැත්ත කැපෙන ආයුධයක්’ පාවිච්චි කරලා මෙතෙක් විකුණා ගැනීමට බැරි වුණු ලාභ ලබන රාජ්‍ය ආයතන ටික අර්බුදය අස්සේ විකුණා දමමින් යළි රාජ්‍ය ආයතන විකුණන් කෑමේ ජාවාරම ඇරඹීමටයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාගේ පොහොට්ටු බලඇණිය සමඟ සූදානම් වන්නේ.

‘අපි අය – වැයට විරුද්ධයි’

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අපි මේ අය-වැයට කිසිසේත්ම පක්ෂ වෙන්නේ නැහැ. උත්තර ලංකා සභාගය හැටියට ගොනු වෙලා ඉන්න අපේ මන්ත්‍රීවරුන් සියලුදෙනා අයවැයට විරුද්ධව කරුණු දක්වලා, ඊට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරලා තිබෙනවා.

අලුතෙන් දුප්පතුන් ලක්ෂ 29ක්!

ලෝක ආහාර සංවිධානය පවසනවා, ‘ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් අලුතෙන් දුප්පතුන් ලක්ෂ 29ක් නිර්මාණය වී තිබෙනවා’ කියා. වතුකරය තුළ අලුතෙන් ඇතිවූ දුප්පත්කම 52%ක් පමණ වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ආණ්ඩුව නිෂ්පාදන අපනයනයට දිරි දෙනවා වෙනුවට අපනයනය කරන නිෂ්පාදනවලටත් බදු ගහන්නයි යන්නේ. අපනයනය කරනු ලබන නිෂ්පාදනවලට බදු ගැහුවාම ඒ නිෂ්පාදනවල මිල ඉහළ ගිහිල්ලා ඒවාට ජාත්‍යන්තර වෙළඳපළ තුළ තරග කිරීමේ ඉඩකඩක් නැති වෙනවා. ලෝකයේ ඇතැම් රටවල් තම රටේ අපනයන නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරග කිරීමේ හොඳ අවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා පිරිවැයෙන් කොටසක් රජය විසින් දරනවා. නිදසුනක් ලෙස අපනයන නිෂ්පාදනයක පිරිවැය රුපියල් 100ක් නම් ජාත්‍යන්තර වෙළෙඳපොළට එහි මිල නියම වන්නේ රුපියල් 120ට නම් ඒ මිලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරග කිරීමට නොහැකි නම් රජය ඒ නිෂ්පාදන පිරිවැයෙන් රුපියල් 50ක් දැරුවොත් එම නිෂ්පාදනයට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ හොඳින් තරග කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. එවිට එම නිෂ්පාදනය හරහා රටට ඩොලර් ලැබෙන්න පටන් ගන්නවා. මේ විදිහට අපනයන නිෂ්පාදනවලටත් බදු ගැසීමෙන් ලැබෙන සොච්චම් අපනයන ආදායමත් අඩුවේවි. අලුත් දුප්පතුන් තවදුරටත් වැඩිවේවි. රට මානව ඛේදවාචකයක් කරා වේගයෙන් ඇදී යාවි.

‘කරව්! නැත්නම් පලයව්!!’

ඇතැමුන්ට රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ධනාත්මක අදහසක් තිබෙනවා. ඇතමුන් ‘උන්නු හැටියට මළා මදැයි’ කියා සිතනවා. කොහොම නමුත් ඉතාමත් සද්භාවයෙන් අපට මේ අනතුරු ඇඟවීම සිදුකිරීමට වෙනවා. මේ යන්නේ යළි රුපියල් බිලියන 2404ක ණයක් ලබාගෙන ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන් කන රජයේ නාස්තිකාර වියදම් එලෙසම පවත්වාගෙන යන පැරණි ගමනමයි. ඒ නිසා අපි උත්තර ලංකා සභාගය හැටියට ඒ ගමනට එරෙහිව නොවැම්බර් 19 වැනිදා දැවැන්ත මහජන සමුළුවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ‘කරව්! නැත්නම් පලයව්!!’ යන සටන් පාඨය යටතේයි එම දැවැන්ත මහජන සමුළුව පවත්වන්නේ. ‘කරව්!’ කියන්නේ ‘කරනවානම් හරියට කරන්න!’ කියන ඒකයි. ‘එහෙම නොකරනවානම් වද නොදී යන්න’ කියලා කියන එකයි ‘නැත්නම් පලයව්!!’ කියන එකෙන් අර්ථවත් වෙන්නේ. හරියට කරන බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා අපට ඒ සඳහා බල කිරීමේ වගකීමක් තිබෙනවා. අපි ඒ මහජන සමුළුවේදී ‘අවම වැඩපිළිවෙළක්’ ඉදිරිපත් කරනවා, ‘අඩුම තරමින් මේ ටික කරපල්ලා. එහෙම කරනවානම් විතරයි නුඹලාට සදාචාරාත්මකව බලයේ රැඳෙන්න පුළුවන්’ කියා.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress