ජපානය ශ්‍රි ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍ර ගවේෂණය කරයි…
Posted on November 25th, 2022

අග්‍රාමාත්‍ය මාධය අංශය

ශ්‍රී ලංකාව තුළ සිදුකළ හැකි නව ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ ඉහළ පෙළේ ව්‍යවසායකයින් පිරිසක් 2022.11.24 දින පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

එම දූත පිරිසට ජපානයේ රාජකීය පවුලේ සාමාජිකාවක් සහ තෝක්යෝ මෙට්‍රොපොලිටන් කවුන්සිලයේ හිටපු සාමාජිකාවක් වන සයිගෝ අයුමි මහත්මිය සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුප්‍රසිද්ධ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට ලබා දුන් සහයෝගය වෙනුවෙන් එතුමාට කෘතවේදීත්වය දැක්වීම සඳහා ජපානයේ ස්මාරකයක් ඉදිකරන ලද ව්‍යවසායක පවුලට අයත් කමිසකමොතෝ යූජි සහ කමිසකාමොතෝ හිසාකෝ මහත්මිය ඇතුළත් විය.

ජපානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව මෙහිදී ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම, ධීවර, මෝටර් රථ උපාංග, ඖෂධ සහ සත්කාරක කර්මාන්ත වැනි නව ක්ෂේත්‍රවල ආයෝජනය කරන ලෙස නියෝජිත පිරිසට ආරාධනා කළේය. වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පමණක් නොව, ජපන් භාෂා ඉගැන්වීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා දූත පිරිසට ආරාධනය කළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට වැඩි වැඩියෙන් ජපන් සමාගම් දිරිමත් කරන බවට නියෝජිත පිරිස මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික විය.

කමිසකාමොතෝ මහතා විසින් ජපන් භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද ජේ. ආර්. ජයවර්ධන මහතා පිළිබඳ කෘතියක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වූ අතර,   දූත පිරිස ජනාධිපති ජයවර්ධනගේ මුණුපුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා හමුවීමට කටයුතු කර, දිවංගත ජනාධිපතිතුමා පිළිබඳ නව ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය පහසුකම් සැළසීය.

නියෝජිත පිරිසට  සතෝෂ් රියෝසුකේ, සයිතෝ අයා, යමදා හිරොකෝ, නකාදේ රියෝෂින්, නෝසේ හිරෝෂී, සෙතෝ තත්සුහිකෝ, කවායි තොෂිහිකෝ, මියුරා යොසුකේ, සුසුකි නත්සුඔ, තනකා තාරෝ, සතෝ ඉචිරෝ සහ ඉකෙදා කඋතෙත්සු ඇතුළත් විය. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ නැගෙනහිර පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ මණ්ඩලයේ සභාපති අන්වර් මුස්තාෆා යන මහත්වරු ද මෙම හමුවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress