කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන, නිපුණතා සංවර්ධන සහ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි කිරීමට පියවර.
Posted on May 18th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා 2023.05.17 දින කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පුළුල් කිරීමේ මාර්ග පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ දක්ෂ කාර්මික ශිල්පීන් බිහිකිරීම සඳහා අම්පාර ප්‍රදේශයේ හාඩි උසස් තාක්ෂණ ආයතනය පිහිටුවීමට මෙන්ම මගී ප්‍රවාහන දුම්රිය සංවර්ධනය සඳහා කැනඩාව අතීතයේ සිටම ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය. හාඩි ආයතනය උපාධි පිරිනමන තාක්ෂණික විශ්ව විද්‍යාලයක් බවට උසස් කිරීමේ යෝජනාව සලකා බලන ලෙස ඔහු කැනේඩියානු රජයෙන් ඉල්ලා සිටියේය.

වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමට ගෙන ඇති පියවර සහ උතුරු නැගෙනහිර සුළු ජාතීන්ට අදාළ ගැටලු විසඳීමේ ප්‍රගතිය පිළිබඳව ඔහු මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය. දැනට කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර සිටින ව්‍යාපාරිකයන් හට මෙරට ආයෝජන සිදු කිරීමේ අවස්ථාව ඇති බව අග්‍රාමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති පෙර නොවූ විරූ ආර්ථික අභියෝග ජයගෙන ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රගතිය පිළිබඳව වොල්ෂ් මහතා එම හමුවේ දී සිය සතුට පළ කළේය. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට ඔහු සහතික විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,   රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්  රංජිත් අශෝක, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරිනී ඉන්දිරාණි ජයවර්ධන යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress