ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ පළත් 7ක සිවිල් අභියාචනා මහාධිකරණවල සිංහල භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට පටහැනි වන්නේ ඇයි?
Posted on May 23rd, 2023

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් බලය පවරා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  33 ව්‍යවස්ථාවට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව බලවත් බවත් ඒ අනුව 33 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක්  SC FR  351/ 2018 ඇතුලු තවත් නඩු වලදී ඒකමතිකව තීරණය කර ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 දී පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු)

(එසේම ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීමට සහ නීති විභාග පැවැත්වීමට ගෙනා 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයද 2023.03.21දින පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත.) 

එකම කරුණක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන කිහිපයක විධිවිධාන පවතීනම් ක්‍රියාත්මක කළ යුත්තේ කවර විධිවිධානයද යන්න සහ ප්‍රධාන ව්‍යවස්ථාව අභිබවා වෙනත් ව්‍යවස්ථාවලට ක්‍රියාත්මක වීමට නොහැකි බවට SC FR  351/ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී විනිසුරුවරු 7කු ඒකමතිකව තීරණය කර ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, 23 ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව පිළිබඳව පැහැදිලිව විධිවිධාන දක්වා ඇති අතර, ඉංග්‍රීසි භාෂාව අධිකරණ භාෂාවක් හෝ නීති පැනවීමේ භාෂාවක් නොවේ. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේම පූර්ණ විනිශ්චය සභා තීන්දු අභිබවා ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ බස්නාහිර පළාත ඇතුලු පළාත් 07ක සිවිල් අභියාචනා මහාධිකරණවල ඉංග්‍රීසියෙන් නඩු විභාග කිරීම, තීරණ ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි නොවනවා පමණක් නොව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7කු  SC FR  351/ 2018 ඇතුලු තවත් නඩු වලදී ලබා දුන් ඒකමතික තීරණයටද අනුකූල නොවේ. 

බස්නාහිර පළාත ඇතුලු පළාත් 7ක අධිකරණ භාෂාව සිංහල භාෂාව විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ දක්වා තිබියදී එය මගහැර යාම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් එකී පළාත් 7 පිහිටි අධිකරණ වල නඩු විභාග කිරීම ඉහත ප්‍රධාන නීති තත්ත්වයන් අනුව නිවැරදි නොවේ. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ බස්නාහිර පළාත ඇතුලු පළාත් 7ක සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණවල අධිකරණ භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලටත්, පාර්ලිමේන්තුවේ චේතනාවටත් පටහැනි බව ඉහත නීති මූලාශ්‍ර අනුව කිව හැකිය. 

(ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පවරන ආකාරය පිළිබඳව 2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී 18 වන නීති අධ්‍යාපන වැඩසටහන නීතීඥවරු, නීති ශිෂ්‍යයන් ඇතුලු අයගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.) 

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ පළත් 7ක සිවිල් අභියාචනා මහාධිකරණවල සිංහල භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට පටහැනි වන්නේ ඇයි?

http://neethiyalk.blogspot.com/2023/05/7.html?m=1  නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress