කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ඉතා ප්‍රශංසනීයයි..අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
Posted on June 7th, 2023
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
ක්ෂේත්‍ර රැසකට ආධාර ලබාදෙමින් දකුණු කොරියාව ලබාදෙන අඛණ්ඩ සහය වඩාත් ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කොරියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ලී ජින්-බොක් සහ කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජූනි 6 වැනිදා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීත්, බුසාන් හි නාගරික අධ්‍යක්ෂ ජනරාල් යූ ජෑන්ග් චෝ ජුනි 7 වැනිදා අරලියගහ මන්දිරයේදීත් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
කොරියානු ජනරජය සහ එහි පරිත්‍යාගශීලී නියෝජිතායතන මෙන්ම සංවර්ධන පදනම් ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ බොහෝ සුබසාධන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි. කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා වර්තමානයේ කැපී පෙනෙන මට්ටමකට වර්ධනය වන අතර දෙරටේ සහයෝගිතාවය ශාස්ත්‍රීය, විද්‍යා හා තාක්ෂණ සහ සංස්කෘතික සබඳතා ඇතුළුව ඉහළ මට්ටමක පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කොරියානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ලේකම් (දේශපාලන කටයුතු) විශේෂ නියෝජිත ලී ජින්-බොක් පැවසුවේ කොරියාව ශ්‍රී ලංකාවේ ආයෝජන, වෙළෙඳ සහ සංවර්ධන සහයෝගීතාව වැඩි කරන බවයි. තොරතුරු තාක්‍ෂණයේ තරුණ නිපුණතා සංවර්ධනය සඳහා තවදුරටත් සහාය ලබා දෙන බව පැවසූ ඔහු කොරියානු තොරතුරු තාක්ෂණ විශේෂඥයින් විසින් දැනට පවතින තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාන වෙත ඉගැන්වීම් පහසුකම් ව්‍යාප්ත කළ හැකි බව පැවසීය.
රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පැවසුවේ, කොරියානු සංවර්ධන ආකෘතිය සහ කොරියාවේ මානව සම්පත් ධාරිතා සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් පිළිබඳව එරටේ පුහුණුව ලත් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් දැඩි පැහැදීමකට ලක්ව සිටින බවත්, ඔවුන් ඒවා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවන බව සතුටින් සඳහන් කරන බවත්ය.
කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්ති මෙන්ම ධීවර ක්ෂේත්‍ර වැනි නව ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කිරීමට කොරියාවට දැන් අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා නියෝජිතයින් පෙන්වා දුන්නේය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ, අපනයනය කිරීමට හැකියාව ඇති ශාකසාර ඖෂධ නිෂ්පාදනය සඳහා කොළවලින් සාරය ලබා ගැනීම වැනි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම කොරියාවට ලබාදිය හැකි බවයි.
EXPO 2030 බුසාන් හි පැවැත්වීමට ගෙන ඇති යෝජනාව සහ එහි සූදානම පිළිබඳව ද කොරියානු නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.
කොරියාවේ ශ්‍රී ලංකාරාමයේ විජිතවංශ හිමි, කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංගුම් යූ, වෝවුක් ලී, හුන්සුං ලී, බියුවන් කාන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, අශෝක ප්‍රියන්ත, සිසිර ජයකොඩි, ජනක වක්කුඹුර, තේනුක විදානගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන් දෙනිපිටිය, යදාමිණි ගුණවර්ධන මෙම රැස්වීම් සඳහා සහභාගි විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය