“දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම” යනු කුමක්ද?
Posted on June 29th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මේ දිනවල කරලියේ ඇති මාතෘකාව වන්නේ “දේශීය ණය  ප්‍රතිව්‍යුහගත කිරීමයි” මේ තුලින් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ රජයේ දේශීය ණය බර අඩුකිරීම හෝ ඒවා ගෙවීමට සඳහා සහන කාලයක් ලබාගැනීම යයි අපට අනුමාන කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා රජය විදේශයන්ටත් ණය, දේශීය වශයෙන් මෙරට ජනතාවටත් ණයබරිත රාජ්‍යකි. මේ ණය බරිත රාජ්‍යට මෙරට ජනතාවගේ ශුභ සිද්ධිය උදෙසා සිදුකල හැකි කිසිවක් නැත. දැන් ණයකාරයා රජය බවට පරිවර්තනයවී ණය හිමියා මෙරට ජනතාව බවට පත්වී හමාරය. දැන් ජනතාවගෙන් ලබාගත් ණය වලට සිදුකරන්නට යනදේ  ජනතාවටද නොතේරෙන ආකාරයට කරන කටයුත්තට දී ඇති නාමය “දේශීය ණය  ප්‍රතිව්‍යුහ ගත කිරීම” යයි නම් කොට ඇත.

ණය බරිත වුවද අපට රාජ්‍යක් අවශ්‍යව ඇති බැවින් මේ ණයකාරයාව සුරක්ෂිත කිරීමට අපට සිදුව තිබේ. එවන් පසුබිමක් යටතේ,මේ “දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම ” යයි මුමුණමින් මේ සිදුකරන්නට යන දේ සම්බන්ධව ජනතාව දැනුවත් විය යුතුය.

රට බංකොලොත්ය. එය සිදුකරන ලද්දේ මෙරට රාජ්‍ය නිලධාරි පැලැන්තිය ප්‍රමුඛ දේශපාලන අධිකාරිය විසින් සිදුකරන ලද විනාශයන්ට අනුවය. දැන් රට විශාල වශයෙන් ණය උගුලේ පැටලවූ අය විසින්ම රට ගලවා ගැනීමට ඉදිරිපත්ව කටයුතුකරන බැවින් නරියා “කුකුල් කොටුව ප්‍රතිව්‍යුහ ගත කිරීම”ට සුදානම් වෙන බවක් අපි දකින්නෙමු.

මේ දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලියේදීද පෙරමුණගෙන කටයුතු කරන්නේ, 2015දී සිදුකල බැදුම්කර වංචාව සිදුකල යාන්ත්‍රණයම වීම නිසා එවැනිම දුෂිත ගනුදෙනුවක් මෙවරද සිදුවෙයි අනිසි බියක් ඇතිකරගත යුතු නොවේ.නමුත් සිදුකරන්නට යන්නේ කුමක්දැයි ඔවුන් නොකියන බැවින්, අපි තේරුම්ගෙන එය අපට වැටහෙන ආකාරයට කුමක්දැයි පැවසීමට අපට සිදුව තිබේ.

ඉලක්කය වන්නේ වර්ෂ 2020දී රුපියල් බිලියන 2814ක්වූ ශ්‍රී ලංකාවේ ඇති අති දැවැන්තම අරමුදල වන  සේවක අර්ධසාධක අරමුදලයි. මේ අති දැවැන්ත මුදල අයිතිවන්නේ, එහි වත්මන් සාමාජිකයින්ට පමණක් නොවේ. වත්මන් සාමාජිකයින්ගේ සියලුම මුදල් ගෙවා දැමු පසුවද ඉතිරිවෙන මුදල අති විශාලය. එබැවින් කිසිදු බියක් නැතිව මහා බැංකු අධිපතිවරයාට “වත්මන් සාමාජිකයින්ගේ මුදල් වලට කිසිම හානියක් වෙන්නේ නැතැයි ” පැවසිය හැකිය. හානියක් වන්නේ, වසර 1960 ගණන් වල සිට මෙය ඉතා මැනවින් පාලනය කොට මේ අරමුදලට බැර කල ලාභාංශ වලටය.  වසර 63ක පමණ කාලයක් පුරා අතීත පරපුර විසින් වර්තමානයට උරුම කල ඒ ලාභාංශය සැබෑ ලෙසම රජයේ දේශීය ණය ගෙවීමට උපයෝගී කර ගන්නවාද? එසෙත් නැතිනම් ඒ මුදල 2015දී මෙන්ම දේශපාලකයින් හා නිලධාරින් බෙදා ගනීවිදැයි යන සැකය ජනතාව තුල ඇතිවීම සාධාරණය.ඒ වර්ෂ 2015 මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඉතිහාසයට එක කොට ඇති කළු පල්ලම හේතුවෙනි. අප “දේශීය ණය  ප්‍රතිව්‍යුහ ගත කිරීම” දෙස බලාගෙන ඉදිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress