බුදු සමය හා මාක්ස්වාදය – part-I
Posted on September 3rd, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

(ඥානසාර හිමියන්ගේ මස් රාත්තල හා ලාල් කාන්තගේ පිරිත් නූල)

(528) ” ඩලස්ලා එක්ක අපි ඊයේ කතා කළා…” – YouTube

හැඳින්වීම

මෙම මාතෘකාව ප්‍රතිවිරුද්ධ සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රවාහ දෙකක් පිළිඹඳ විමර්ශනයකි.

*(1) මුර දේවතා සංකල්පයබොදු බල සේනා සංවිධානය

ලංකාවේ 1802 න් පසු ඉතිහාසය  සුද්දන්/කළුසුද්දන් හා පන්සල යන දෙකොටස අතර ඇතිවූ නොනවතින ගැටුමක් නොවේදැයි විමසා බැලීමේදී එම කතාවේ එකිනෙක හා බැඳුණු යුග (අවධි) 12 ක් පමණ හඳුනාගැනීමට හැකිය. නිදසුනක් වශයෙන් <බුද්ධාගම කියන්නේ බොරුවක්> යයි කී අවධිය, 1873 පානදුරා වාදය තෙක්ම පැවතියේය. මේ අවධිවලදී ඊට මූලිකවු හාමුදුරුනමක් හෝ කීපනමක් හෝ සිටියෝය. මෙහි 11 හා 12 වෙනි අවධි බොදු බල සේනා සංවිධානය  හා ගලබොඩ අත්තේ ඥානසාර හිමිඳුන් හා සම්බන්ධවය. (මෙම අවධි පිළිඹඳව දැන ගැනීමට අවශ්‍යනම් පහතින් ඇති ලින්ක් එකට යන්න).

LankaWeb – අස්ගිරි විප්ලවය (2017/7/30)

පෘතුගීසි-ලන්දේසි-ඉංග්‍රීසි-නිදහස්- යුග වශයෙන් අපට පුරුදුකල යුරෝපීය මානසිකත්වය වෙනුවට, මෙවැනි වඩා <අර්ථවත්> ඉතිහාස අවධි ගැන අපේ අවධානය යොමුවන්නේ ලෝකයේ වෙන කොහේවත් නැති ලංකාවේ <මුර දේවතා සංකල්පය> දෙස ජාත්‍යාණුරාගී ආකල්පයකින් බලන විටය. මිහිඳු හිමියන්ගේ ආගමණයෙන් පසු දිවයිනට එල්ලවූ විදේශ ආක්‍රමණ ජයගත්තේ පන්සල හා ගම  එකතුව රජුන් තැණූ, හා රැකූ  නිසාය. ලංකාව ථේරවාද බුදුදහම රැක ගත්තේ  එසේය. සෑම හාමුදුරුනමක්ම තම භික්ෂූ නමින් තමන් උපන් ගමට/නගරයට සම්බන්ධවීමද ලෝකයේ වෙන ලබ්ධීන් අතර නැත.

විශේෂයෙන් 1978 ට පසුව ලංකාවට ආ ආක්‍රමණ හෝ ගෙන්වාගත් ආක්‍රමණ (ක්‍රිස්තියානි මූලධර්මවාදය, ශාරියා අන්තවාදය හා ඉස්ලාම් ලෝක ව්‍යාප්තිය, ඊළම් වාදය, රට කැබලි කිරීමේ කුමන්ත්‍රණ, ගෝලීය කොම්පැනි ධනවාදය, R2P මානව අයිතිවාසිකම් බොරුව, ඉන්දියන්  ව්‍යාප්ත (මෝඩි?) වාදය) වලදී ඒවාට මුහුණදීමට නොහැකි තරමට සංඝ සංස්ථාව දුබලව, අසමඟිව ගොස් තිබුණේ පක්ෂ දේශපාලකයින් පන්සල රවටා ගැනීම නිසාය. දුස්සීල භික්ෂූන් සිවුරු ගලවා යැවීමට බලය සහිත සංඝාධිකරණයක් පිහිටුවීමටවත් ක්‍රියා නොකල බොරු බෞද්ධ පාලකයෝ ඒ වෙනුවට, පිරිවෙන් විශ්ව විද්‍යාල කිරීම, පෝය නිවාඩුදීම, බෞද්ධ ඇමති කෙනෙක් හා කොමසාරිස් කෙනෙක් පත් කිරීම, බුද්ධාගම රකිනවා යයි කියන  9 වෙනි  වගන්තිය නමැති බොරුවක් කිරීම වැනි පූච්චානම් වැඩ කලේය. මේවා නිසා සිංහල බෞද්ධයින් කබලෙන් ලිපට වැටීගියේය.

සෝම හාමුදුරුවන්ගේ භූමිකාව කුමන්ත්‍රණයක් යයි සිතෙන ආකාරයට නිමවූ පසුව දොරට වඩන ලද ජාතික හෙල උරුමය අච්චාරුවක්වී ගියේය. මෙවැනි අවාසනාවන්ත ඉරණමක් ඉදිරියේ මුරදේවතා අභියෝගය භාරගත්තේ ගලගොඩ අත්තේ ඥානසාර හිමිඳුන් විසින්ය. රටේ කළුසුද්දන්, පක්ෂ දේශපාලකයින් හා මේ යුද්ධය නම් කවදාවත්  දිණන්න බෑ කියූ NGO නඩ  විසින් ඥානසාර හිමියන්ගේ මස් රාත්තලම (pound of flesh) ඉල්ලීම ආරම්භවූයේ උන්වහන්සේ විසින් 2012 මැයි මුල බොදු බල සේනා සංවිධානය (BBS) ආරම්භකල වහාමය. බුද්ධ සාසනයේ හා රටේ පිරිහීමට හේතුව සිංහලයින්ට (බෞද්ධයින්ට) (හරිහමන්?) නායකයෙක් නැතිකමය යන BBS මතය, හීතල රුසියාවේදී සෝම හාමුදුරුවන්ගේ සැකකටයුතු අභාවයත් සමඟ කඹ වැනි පිරිත් නූල් අතේ බඳින්නට පටන් ගත් කපටි පක්ෂ දේශපාලකයින්ට බලවත් අභියෝගයක් විය. මෙවැනි බොරුකාර කළු සුද්දන්ව මීට පෙර හැඳින්වුණේ ඕල්කොට් බෞද්ධයින්, ඩොනමෝර් බෞද්ධයින් යනාදී වශයෙනි. ඇල්ලේ ගුණවංශ හිමියන්නම් ඔවුන්ට කියන්නේ ඕ මයි ගෝඩ් බෞද්ධයින් කියාය (යම් හදිසි ආපදාවකදී, මරණ භයකදී, ඔවුන්ගේ කටින් බුදු අම්මෝ යයි එලියට පණින්නේ නැත).

සුද්ධෝදනගේ පොඩි එකා (නටාෂා) වන්දනාව

අඩු වැඩි වශයෙන් දිගටම අළු යට ගිනිපුපුරක් සේ පැවති මේ ඥානසාර උණ එලියට පැන්නේ ජෙරෝම් ජරමරය හා ඊට බැඳුණු නාටාෂා නාඩගමත් සමඟය. සියළුම සිංහල බෞද්ධ විරෝධී කල්ලි කතාකලේ ජෙරෝම් හෝ නාටාෂා පිස්සුව ගැන නොව ඥානසාර හිමියන් සමඟ නාටාෂාගේ මානව හිමිකම් ගලපමින්ය. චන්ද්‍රිකාගේ තර්කය වූයේ නාටෂාට කලින් ඥානසාර හිමියන්ව හිරේට ගතයුතු බවය. ඇයට පහලින් සිටියේ DBS ජෙයරාජ් හා සේපාල්, සුදත්ත, සන්නස්ගල, බෲනෝ දිවාකර- හසලක තුෂාර-අභිෂේකා කෙළී slvlog ත්‍රිත්වය, ප්‍රංශයේ භාරත තෙන්නකෝන්, උඩුවරගෙදර ඉළන්දාරියා, පානදුරේ ලාල්, කල්ප ගුණරත්න යනාදී ngo ආශ්‍රිත හෝ නැති, පෙඩරල් කාරයින් වන හෝ නොවන, ජාතික වාදය, ජාති හා ආගම් වාදය සමඟ දැන හෝ නොදැන පටලවා ගෙන දඟලන ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි පංචස්කන්ධය. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ට උඩරට වඩිග රජුගෙන් ගැලවී පලායාමට සිදුවුයේ මෙම මුරදේවතා වගකීම ඉටුකරන්නට යෑම නිසාය. රජු සැළකුවේ මේ <එකැස්කණා> රාජ ද්‍රෝහියෙක් කියාය. ඒ අස්සේ කොළඹින්ද හාමුදුරුවන් ඝාතනය කිරීමට චරපුරුෂයින් යවන ලදී. මුර දේවතා සංකල්පයේ තවත් ලක්ෂණයක් වූයේ ජාතික කාර්යයන්ට මැදිහත්වන හාමුදුරුවරුන් හිටිහැටියේම සැකකටයුතු ආකාරයෙන් අපවත්වී යෑමය!

අවංක සමාජ දේශ-පාලනයේ අවාසි

ඥානසාර හිමියන්ටද මෙවැනි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවිය. 1990 ගණන් වල සිට මේ දක්වා එකම මතයක, ප්‍රතිපත්තියක, සිටිමින් සමාජ-දේශ-පාලනයේ නියැලී සිටින එකම පංචස්කන්ධය ඥානසාර හිමි පමණය. තම අවංක කැපවීම නිසා උන්වහන්සේ අමාරුවේ වැටුණ අවස්ථාද විය. අනිත් අතට  සිය තරුණ කාලයේ නිර්භීත භික්ෂුවක්වූ අතුරැලියේ රතන හිමි පවා අන්තිමේදී ඥානසාර හිමියන්ට චන්ද දායකයින් පූජාකල මන්ත්‍රීධූරය කුමන්ත්‍රණකාරී ලෙස හොරා කෑවේය! 2004 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටින රතන හිමියන් වෙනුවට ඥානසාර හිමියන් 2020 දී වත් පාර්ලිමේන්තු ගියානම් ඉතුරු 222 ටම උන්වහන්සේ අභියෝගයක් වීමට ඉඩ තිබුණේය.

දර්ශන හඳුන්ගොඩ මෙන් මේ අය දූෂණ එලිකිරීම් වැනි ක්‍රියා මඟින් යම් සේවයක් ඉටුකලත් ඔවුන්ගේ අත්දැකීම් හා දැණුම, රෝසි සේනානායකගේ මෙන් <බෞද්ධ විරෝධී> විෂබීජ වලට යටවී ඇත. මෙයට ඉන්ගිරිස්වලින් කියන්නේ tunnel vision යනුය. මොවුන්ට වෙනස්ව දයාන් ජයතිලක, ජෙහාන් පෙරේරා, වික්ටර් අයිවන් වැනි අය වඩා ශූක්ෂම ලෙස මේ ගේම් එක ගසමින් සිටී. මේ සියළු කොටස් වලට පසුබිම සදා දුන්නේ සුද්ධෝදන, යශෝදරා පවුල්වල ජාතකය (DNA?) ගැන ප්‍රසිද්ධියේ කතාකල, රනිල්ට හා ඇමෙරිකන් තානාපති කාර්යාලයට යහපාලන කාලයේදී කඩේ ගිය රන්ජන් රාමනායකය.

*(2) මාක්ස්වාදීන් හා ගඩොල් මෝඩයින්

මෙම ප්‍රවාහය ක්‍රිස්තියානි හා මාක්ස්වාදී යන නිඹුල්ලුන් දෙදෙනෙකුගේ බද්ධ වීමකි. බුද්ධ සාසනය හා සංඝ සංස්ථාව නොරිස්සීමට අමතරව දෙකොටසම, එව බලව නොව එව අදහව  යන මූලධර්මයට අනුගතය. (Come and believe, not come and examine). මේ අනුව මොවුන් ජේසුතුමාගේ, අල්ලා දෙවියන්ගේ හා මාක්ස්-ලෙනින්ලාගේ බෝට්ටුවේය. කය මිස හිස නැති (බැටලු පැටව් වැනි හීලෑ) නරයින් සේ හැසිරීම ඔවුන්ට පොදුය. දවසට පස් වතාවක් මක්කම දෙසට වැඳීම, සතීයේ කල පව් ඉරිදා පල්ලියට හොස් සෝදා ගැනීම, පෝප්තුමාගෙන් හෝ අරාබිකරයෙන් එන නියෝග/ෆත්වා අන්ධාණුකරණයෙන් වැළද ගැනීම ඔවුන්ගේ සංවිධාන ශක්තියය. මීට නොදෙවෙනිව යුද හමුදාවක වැනි විනයක් පෙලපාලියකදී වුවත්  මාක්ස්වාදීන් ප්‍රදර්ශනය කරයි.

අනිත් අතට බුද්ධ සාසනයේ ඇති අසීමිත නිදහස, සංවිධානයක් නැතිකම, සෑම පන්සල් විහාරාධිපති කෙනෙක්ම ස්වාධිපත්‍ය ඇත්තෙක්වීම, සිංහල බුද්ධාගමේ දුර්වලකමට හා භික්ෂූන්ගේ එකමුතුවක් නැතිවීමට හේතුවය.පක්ෂ දේශපාලකයින් පන්සල් රවටා ගන්නා අන්දමට අනික් ආබ්‍රහම්වාදී පල්ලි සමඟ ගේම් ගැසීමට සංවිධානයෙන් බාහිර පිට කාටවත් ඉඩක් නැත.

1930ස් ගණන්වල ලංකාවේ බෝවූ මාක්ස්වාදීන්ට අනුව රුවන් වැලි මහා සෑය සැදූ දුටුගැමුණු මහරජතුමා ගඩොල් මෝඩයෙකි (නමුත් මොවුන් පිරමිඩ් බැලීමට නයිල් ගඟට යයි!). තවද 1931 සිට ඩොනමෝර් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක හා ස්වදේශ කටයුතු ඇමතිවූ, සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම දත් (DSS හා SWRD සමඟ සසඳන විට) D. B. ජයතිලක මහතාට මාක්ස්වාදී මන්ත්‍රීන් ඇබිත්තයා කියමින් කෑගැසුවේ ඔහු කුඩාකල කැළණිය පන්සල ආශ්‍රිතව අධ්‍යාපනය ලැබූ නිසාය. 1930 ස් ගණන්වලදී මාක්ස්වාදීන් ප්‍රචලිත කල බෞද්ධ විරෝධී අදහස්, ආකල්ප, අදටත් එසේම පවතින බවට හොඳම උදාහරණය නම් සමනලී ෆොන්සේකා විසින් ඇගේ මුහුණුපොතේ කොපිකර යැවූ මීතොටමුල්ලේ කුණු ජේතවනාරාමයට දමන පින්තූරයය. නොබෝදා කැළණියේ jvp රැස්වීමට පැමිණි ඇයට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. එය දමිතා අබේරත්න අරගලයේ සිට සජිත් ලඟට යෑමේ කතාවට වඩා බරපතල දේශපාලන සංඥාවකි.

LankaWeb – සමනලීගේ ශාපය   (2017/4/27)

බොල්ෂෙවික්-ලෙනිනිස්ට් වාදය

සුද්දන්ගේ කාලයේදී පිටරට ඉගෙන ගැනිමට යෑමට ධනය තිබූ කළු සුද්දන්ගේ ළමයින්  (පිලිප්. NM, ලෙස්ලි, කොල්වින්ලා) ලංකාවට නැවත ආවේ මාක්ස්වාදී විෂබීජය සමඟය. ඉන්දියාවේ අම්බෙඩ්කාර් මෙන් දුප්පත් කුලහීනයෙකුට මෙසේ යෑමට ලැබුණා නම් ඔහු මාක්ස්වාදී විෂබීජය සමනය කරගන්නට ඉඩ තිබුණි. මොවුන්ගේ අන්දමන්දවූ ක්‍රියාකලාපය සැසඳිය යුතු ධර්මපාලතුමාගේ ආදර්ශය සමඟය. බටහිර, ජපානයේ තාක්ෂ දැණුම ලංකාවට ලබාගැනීමේ අවශ්‍යතාවය, බටහිර මාක්ස්වාදය හා පටලවා නොගන්නනට එතුමාට හැකිවිය. මේ සම්බන්ධකල හැකි අනිත් එකම පුද්ගලයාවූයේ පහල කුලයක යයි සැලකූ කම්කරු පක්ෂයේ නායකයාවූ ගුණසිංහය. ඔහු තෙම්පරාදු, විස්කි බොන, අල්ශේෂන් බල්ලන හදන, යුරෝපය අනුගමණය කරණ පුස්/හිස් මාක්ස්වාදියෙක් නොව කම්කරු ජනයාගේ නියම නායකයෙක් විය.

කළු සුද්දන්, පක්ෂ දේශපාලකයින් ලංකාවට කල විනාශය සැළකීමේදී මෙම මාක්ස්වාදී නඩ (කළු සුද්දන්) විසින් මුලින්ම කලේ බංගවේවා දේශපාලනයට ජනයා ඇද දැමීමය. පාර්ලිමේන්තුව කතා සාප්පුවක් කියමින් එහි ලැග සිටිමින් කඩාකප්පල්කාරී වැඩ කිරීමය. ඉන් පසුව කලේ සාදුකීන් පෙලෙනවුන්ට නැගිට අන්තිම සටනට සැරසෙන්නයයි දැන්වීමය. බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේ අවුරුද්දේ දිනගානට වඩා වැඩියෙන් ඔවුන් වැඩවර්ජන කලේ මහජන හිතකාමී රජය කඩාකප්පල් කරන්නටය. මොවුන් කැස්ට්‍රෝ ගේ කියුබාව වර්ණනා කරණ විට පිලිප් ගුණවර්ධන වාමාංශික ඇමති කියා සිටියේ ආණ්ඩුවට සහාය දෙනවා නම් කියුබාවක් ලංකාවේ දැකගත හැකිවන බවය. N.M. මගේ සැමියා නොමරා මැරුවා යයි මිසිස් බී 1960 චන්ද රැස්වීම්වලදී කිව්වේ මේ අර්ථයෙනි.

සේපාල් ගේ හා ලාල් කාන්තගේ ඉහතින් දැක්වෙන වීඩියෝ දෙක මෙම දෙවෙනි ප්‍රවාහයේ 2023 නාඩගමය. සේපාල් මුරදේවතා සංකල්පයට සිංහල දේවදත්තයෙක් මෙන් පහර දෙන්නේ යූටියුබ්  බලන්නන් හරහා ලැබෙන ඩොලර් ආදායම වැඩිකර ගන්නටය. අනිත් අතට ලාල්කාන්ත  තවමත් ඇන් ඇම්-කොල්වින් මනසේම හොල්මන් කරමින් සිටී. ඔහුගේ පිරිත් නූල, 1935 සිටම තටම තටමා 1964 දී N.M ලා දළදා මාළිගාවට මල් වට්ටියක් ගෙන ගියා මෙන්ම ප්‍රෝඩාවකි. <භාෂා දෙකක් නම් එක රටක්, එක භාෂාවක් නම් රටවල් දෙකක්> යන සිංදුව 1972 දී කොල්වින් අතහැර දැම්මා වැනිය. ලෝභ-ද්වේෂ-මානයෙන් පිරි මේ පංචස්කන්ධ සිංහල බෞද්ධ සංස්කෘතිය නොදත් ඩබල්ගේම් කාරයින්ය.

මීලඟ කොටස – ගාන්ධිගේ ඩබල් ගේම් එක හා හාමුදුරුවරු මාක්ස්වාදීන් බෞද්ධ කිරීමට ගත් උත්සාහ

Ven. Saranankara – BUDDHIST – MARXISM ALLIANCE (UK) (weebly.com)

Buddha, Marx & Matter – BUDDHIST – MARXISM ALLIANCE (UK) (weebly.com)

==================

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress