Channel 4 වීඩියෝවට තොරතුරු දුන් මවුලානාගේ ගිණුමට ලැබුණු ලක්ෂ 700 ක් ගැනත් හෙළිදරව්වක්
Posted on September 5th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අළලා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කිරීමට නියමිත විඩීයෝව මේ වනවිට පාර්ශව රැසක දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (05) රාත්‍රී 11 ට මෙම වීඩියෝව විකාශය කිරීමට සූදානම් කර ඇති අතර මෙම මතභේදාත්මක වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක්ද මේ වන විට නිකුත් කර අවසන්.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ පැවති බව කියන හමුවක් පිළිබද සදහන් කරමින් මෙම වැඩසටහන නිර්මාණය කර ඇති බවයි බ්‍රිතාන්‍ය ද ටයිම්ස් පුවත්පත සදහන් කර තිබුණේ.

එමෙන්ම, මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ක්‍රියා කළ අසාද් හන්සීර් මවුලානා දුන් තොරතුරු මත බව ද වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව මෙරට දැඩිලෙස කතාබහට ලක්වුණේ මානුෂීය මෙහෙයුම් සමයේ මෙරට යුද අපරාධ සිදුවූ බවට මතභේදාත්මක වීඩියෝ විකාශ කිරීමත් සමගයි.

එම ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ කරුණු ශ්‍රි ලංකා රජය විසින් අවස්ථා ගණනාවකදී නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ අතර, මේ සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ද දැඩි සංවාදයකට ලක්වූ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර එහිදී සදහන් කළේ.

මෙම වීඩියෝව සදහා තොරතුරු ලබාදුන් බව කියන අසාද් හන්සීර් මවුලානාගේ බැංකු ගිණුමක් වෙත 2018 සිට 2020 දක්වා කාලය තුලදී විදේශ රටවලින් රුපියල් ලක්ෂ 700 ක මුදලක් ලැබී ඇති බවද අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ ප්‍රකාශ කළා.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් විමර්ශනයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මෝසමක් ගොනු කළා.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් මෙතෙක් අපොහොසත් වී ඇති බව සඳහන් කරමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress