චැනල් 4 බොරු මත නොයැපෙන්නෝ  වෙමු
Posted on September 11th, 2023

චානක බණ්ඩාරගේ

යුද්ධය අවසානයේ චැනල් 4 විශාල බොරු තොගයක් ඇද බෑය. ශ්‍රී ලංකා හමුදාව තරම් මානව හිතවාදීව යුද්ධ කල තවත් යුද හමුදාවක් මෑත අතීතයේ ලොව කොහේවත් නොවීය. නමුත් අපේ රණවිරුවන් අහිංසක දෙමළ වැසියන් 40,000 යුද්ධය අවසාන සමයේ කෲර ලෙස මරා දමනු ලැබිය යන බොරු බේගලය ලොව පුරා ව්‍යාප්ත කර හැරීමට මුළීක වුයේ චැනල් 4 නාලිකාවයි (ඒ සංඛ්‍යාව 70,000ක් යයි පසුව සුමන්තිරන් පාරම් බෑය).

ඒ වෙනුවෙන් චැනල් 4 වාර්ථා වැඩසටහන් කිහිපයක් ප්‍රචාරණය කළහ. ඒවා බොරු බව දේශප්‍රේමින් කිහිප දෙනෙක් උදාහරණ ගෙන හැර පාමීන් ලිපි ආදිය මඟින් කරුණු පැහැදිලි කළහ. නමුත් බටහිර ලෝකයේ බොහෝ දෙනෙක් අදත් විශ්වාස කරන්නේ එම චැනල් 4 බොරු වැඩසටහන් ඇත්ත කියාය  – ශ්‍රී ලංකාව විසින් අහිංසක දෙමළ වැසියන් 40,000ක් මරා දැමීය කියාය.

මෙයට ප්‍රධාන හේතුව එවකට තිබු රජයේ උකටලී භාවයයි. චැනල් 4ට එරෙහිව තදින්ම ජාත්‍යන්තරයට සත්‍යය හෙළිදරව් කිරීම, නිතී මඟින් බ්‍රිතාන්‍යයේ ඔවුනට එරෙහිව නඩු පවරා ජය ගනු වෙනුවට එවකට තිබු රජය ඔවුනට ඔනෑම බොරුවක් කීමට ඉඩ සලසා බලා සිටියහ. කොටින්ම 2013 වසරේ පැවතී ශෝගම් සමුළුවට සහභාගී වීම සඳහා චැනල් 4 මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට විසා නිකුත් කිරීමට තරම් එවකට වූ රජය දීන විය.

චැනල් 4 කලේ දැවැන්ත බොරුවක් බව සෙසු ලෝකය කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වාසය කරන අප හොඳටම දනිමු. චැනල් 4 හරි යයි කියන මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක්ද මෙහි වෙත්, විශේෂයෙන්ම සමාජ  මාධ්‍යවේදීන්.  

LTTE සමඟ පවා ‘ඩීල්’ දැමු ප්‍රබල දේශපාලනඥයන් සිටින මේ රටේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සහ රටට ද්‍රෝහී වීම සඳහා වැඩ කරන අය සිටීම අප රටේ අවාසනාවකි.  ශ්‍රී ලංකාව ජාත්‍යාන්තරය හමුවේ ‘කුජීත’ වනු දැකීමට කැමති ශ්‍රී ලාංකිකයෝ වෙත්.

සමාජමාධ්‍ය ක්‍රියාකාරීන් නිසා (විශේෂයෙන්ම යු ටියුබ්) රටට අනාදරය කරන සංඛ්‍යාව බෙහවින් ඉහළ යමින් සිටී. දරුවන්, තරුණ පෙළ රටට විරසකව සිතීමට පෙලභීම/ඉගැන්වීම ඉතා කණගාටුවට කරුණකි. අප හැදෙන කාලයේ අපට පාසැලෙන් සහ නිවසින් උගන්වනු ලැබුවේ ජාත්‍යානුරාග දේ පමණි. අප අද  දේශප්‍රේමින්ව ජීවත් වන්නේ ඒ නිසාය.

දැන් සමාජ මාධ්‍ය අපේ ගරුතර මහා සංඝරත්නය හඳුන්වන්නේ ‘යෙලෝ පෙට්ස් හෝ පෙස්ට්ස්’ යන නම් වලිනි. ඉදින් අනාගත දරුවන් ශ්‍රී ලංකාවේ බුදු සසුණ නොරකිවී කියා සිතීම වැරදි නොවේ.

නවතම චැනල් 4 බොරුව (සැප්තැම්බර් 2023) මේ අය ඉතා තදින් ප්‍රචලිත කරත්. 

එක් වරක් දැවැන්ත බොරු ඇද බා අසුවූ පසු සාධාරණ ලෙස සිතන අය කරන්නේ එවැනි බොරු කාරයන්ව මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමයි. ඔවුන් කියන දෙයක් කිසි ලෙසකින් විශ්වාස නොකිරීමයි.

ශ්‍රී ලංකාව පිළිබඳව කලින් බොරු කිවූ චැනල් 4 නාළිකාව අප රට ගැන තවත් බොරු වීඩියෝවක් ඉදිරිපත් කිරීමට යන බව දැන ගත් කල්හිම (ඔවුන්ගේ පුර්ව වැඩසටහනක් ප්‍රචාරය කෙරිණි)  චැනල් 4හි නරක විශ්වාසනීයත්වය (bad credibility) පිළිබඳව අප විසින් ජාත්‍යාන්තරය දැනුවත් කළ යුතුව තිබුණි. චැනල් 4 වාර්ථා වැඩසටහන ප්‍රචාරය කරන දින දේශප්‍රේමි සංවිධානයක් විසින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පුවත්පතක චැනල් 4 නිරුවත හෙළිදරව් කරන සම්පුර්ණ පිටුවක (වෙළඳ) දන්වීමක් ප්‍රචාරය කළ යුතුව තිබුණි.  ද්‍රවිඩ ඩයස්පෝරා වැඩ කරන්නේ ඒ ලෙසිණි.

එවිට ඔවුන් බියවේ.

ශ්‍රී ලංකාව පිළිබඳව ඕනෑම බොරුවක් ප්‍රචාරය කිරීමට චැනල් 4 බිය නැත. මන්ද, අප රජයන් කටයුතු කරන්නේ දත් රහිත කොටින් ලෙස බව ඔවුන් දන්නා හෙයිනි.

මෙම චැනල් 4 නවතම වීඩියෝව භාවිතා කර අප පිළිබඳව ලොව සනිටුහන් වී ඇති නරක විශ්වාසනීයත්වය හරි මඟට දමා ගැනීමට දැන්වත් අප කටයුතු කල යුතුයි. මේ සඳහා රජය (විදේශ අමාත්‍යාංශය) සහ දේශප්‍රේමින් කැපවීමෙන් වැඩ කළයුතුයි.  

චැනල් 4 යනු ශ්‍රී ලංකාවේ එක් ප්‍රසිද්ධ දේශපාලන පවුලකට පහර ගැසීමට සැදී පැහැදී සිටින රුපවාහිනි නාලිකාවක් යයි කීම අසත්‍යයකි. චැනල් 4 වැඩ කරන්නේ දෙමළ බෙදුම්වාදයට ඉඩ දීමටය.

මේ නවතම වීඩියෝවෙන්ද ඔවුන් පහර දෙන්නේ රටේ වැඩිතරය වූ  සිංහල බෞද්ධයාටය. පාස්කු ඝාතන පිලිබඳ ව ඔවුනගේ වීඩියෝවෙන් 1983 දෙමළ ‘කළු’ ජුලීය, යුද්ධය අවසන් කාලයේ ද්‍රවිඩයන් සමුලඝාතනය පිලිබඳව ඉතා දැඩිව උලුප්පවා කරුණු දක්වයි. මේ පසුගිය සිද්ධීන්/ලසන්ත ඝාතනය පාස්කු ඝාතනයට සම්බන්ධ කිරීමට මොවුන් දරන අධික වෑයමෙන්ම  ඔවුන්ගේ ද්වේශසහගත බව විද්‍යාමාන වේ.

ද්‍රවිඩයනට මේ රටේ අසාධාරණ   සිදුවේය, ඒ නිසා ඔවුනට ඊළම ලබා දිය යුතුය යන ද්‍රවිඩ ඩයස්පෝරාවේ හඬයි චැනල් 4 නියෝජනය කරනුයේ.

අසාඩ් මව්ලානා නමැති කිසිදු විශ්වාසනීයත්වයක් නොමැති අයෙක් යොදවා පාස්කු ප්‍රහාරය ගැන වෙන කිසිදා නොනැගු කථාවක් චැනල් 4 එම ඛේධවාචකයෙන් වසර 4 1/2 ට පසු දැන් ගෙන හැර පායි. චැනල් 4 පාස්කු වාර්ථා වැඩසටහන මුළුමනින්ම ගොඩ නැගී ඇත්තේ අසාඩ් මවුලානා චැනල් 4 ඉදිරියේ (ඔහුගේ ප්‍රථම වරට) කරන පාපෝච්චාරණය මතය.

අසාඩ් මව්ලානා යනු පිල්ළේයාන්ගේ දීර්ඝ, ඉතාම කිට්ටු  සහචරයෙක් බව චැනල් 4 පැවසුවත්, පිල්ළේයාන් යනු අති දරුණු LTTE ත්‍රස්තවාදියෙක්ව සිටී බව චැනල් 4 තම ප්‍රේක්ෂකයන්ගෙන් සඟවයි. චැනල් 4 පුන පුනා පවසන්නේ පිල්ළේයාන් යනු ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලනඥයෙක් බවයි. ඔහු ද්‍රවිඩ බවක්ද නොකියයි.  

අසාඩ් මව්ලානා වැන්නෙක් දැන් ඔවුන් ඉදිරියට පැමිණ ලබා දෙන සාක්ෂිය ලොව පිළිගත යුත්තේ මන්දැයි චැනල් 4 කියා නොසිටීයි. යුරෝපීය මානව හිමිකම් සංවිධානයකට දිවුරුම් ප්‍රකාශයක් දුන් පමණින් අසාඩ් මව්ලානාගේ ‘සාක්ෂ්‍යය’ සත්‍යය එකක් වන්නේ කෙසේද?

ඒ රටවල සරණාගතභාවය ලබා ගැනීම/මුදල් සඳහා මිනිසුන් ඔනෑම බොරුවක් කියන බව චැනල් 4 දන්නා කරුණකි.

ශ්‍රී ලංකාවේ උසස් රාජ්‍ය නිලධාරියෙකු කියා, මුහුණ නොපෙන්වා, යමෙක් වෙනස් කල කටහඬකින් ඉංග්‍රීසි බසින් පාස්කු ප්‍රහාරය ගැන (බොරු) පවසයි. මේ අයුරින් වාර්ථා චිත්‍රපට නිපදවීමට ඔනෑම කෙනෙකුට පුළුවන.

චැනල් 4 දැනුවත්ව කරන මේ අසත්‍ය ප්‍රචාරය  සහ ඒවා ලොව පුරා ඉමහත් ලෙස ප්‍රචාරය වීම පිළිබඳව රටට සැබවින්ම ආදරය කරන සැබෑ දේශප්‍රේමින් ශෝක /ලැජ්ජා වෙද්දී, අපේම සමහර ශ්‍රී ලාංකිකයෝ සිටින්නේ ඒ ගැන  මහත් ඉහළ සතුටකිනි.  

පාස්කු ඛේධවාචකය ගැන සත්‍ය හෙළිදරව් කරගැනීම අත්‍යාවශ්‍යය. දැනටද බොහෝ දෙනෙක් අත්අඩංගුවේ පසුවේ. කාදිනල් තුමා පවසන්ණේ ජාත්‍යාන්තර මැදිහත් වීමක් මඟින් නව විමර්ශනයක් සිදු විය යුතු බවයි. එය පිළිගත හැකි ඉල්ලීමකි. නව විමර්ශනය මඟින් චැනල් 4 බොරුව හෙළි වුවහොත් රජය නිතී මඟින් චැනල් 4ට එරෙහිව කටයුතු කිරීමට පියවර ගත යුතුය.  

පාස්කු ප්‍රහාරය ජාත්‍යාන්තරකුමන්ත්‍රණයක් යයි හිටපු නිතීපති වරයා සිය සේවා කාලයේ අවසාන භාගයේ කිවා මතකය. ඔහු තරම් පාස්කු ප්‍රහාරය ගැන කරුණු දන්නා වෙනත් කෙනෙක් එකළ නොසිටියා විය හැක. නව විමර්ශනයට බඳුන් විය යුත්තේ මේවායි. ඔහුගෙන් දැනට කට උත්තරයක් ලබා ගෙන නොතිබේ?

සහරාන්ගේ බිරිඳ අදත් ජීවතුන් අතර සිටී, ඇය බොහෝ දේ දනු ඇත. නව විමර්ශනය ඉදිරියට ඇය කැඳ විය යුතුයි.

සාරා ජැස්මින් ඇත්තටම මැරීද?  නැතහොත් අදත් ජීවතුන් අතර ඉන්දියාවේද? එසේනම් ඉන්දියාව සමඟ සාකච්චා කර ඇයගෙන් මුළීක කටඋත්තරයක් ගැනීමට කටයුතු කල යුතුය.

පාස්කු සිද්ධියෙන් පසු ජාත්‍යාන්තර ISIS සංවිධානය එය තමන් විසින් මෙහෙයවන ලද්දක් බව (නැසීගිය අල් බග් ඩාඩි නායකයා) පවසන ලදී. එහි සත්‍යයක් තිබේද? ඒ පිළිබඳව සම්පුර්ණ විමර්ශනයක් කළේද?

2019 පාස්කු ඉරිදා රාත්‍රියේ කාත්තන්කුඩි හෝ ඒ අවට තරු පන්තියේ හෝටලයක රටේ ප්‍රසිද්ධ මුස්ලිම් දේශපාලනඥයෙක් සමඟ කථා බස් කර එදාම රටින් (රහසිගතව?) පිටව ගිය දිග ලෝගු හැඳි ඒ මැද පෙරදිග ජාතිකයන් කවුද? මේ ගැන කිසිවෙක් කථා නොකරන්නේ ඇයි?

මේ දේශපාලනඥයා නිදොස් කොට නිදහස්ද?

පාස්කු ප්‍රහාරයට පෙර කෝටි ගණන් විදෙස් මුදල් නැගෙනහිර මුස්ලිම් ප්‍රදේශ සංවර්ධනයට මැද පෙරදිග විදෙස් රටකින් ලබා දුණි. එහි නායකයන් පවා පුද්ගලික ගුවන් යානා මඟින් මේ ප්‍රදේශයට නිතර නිතර පැමිණ ගිය බව එකළ ආරංචි විය.

නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම, එහි පාරවල දෙපස රට ඉඳි ගස් පවා වැවීමට ඉඩ දුන් මැදපෙරදිග ධනවත් කණ්ඩායම් වෙත්.

අද, පාස්කු ප්‍රහාරයෙන් පසු එවැනි කිසිදු වැඩක් නැගෙනහිර සිදු නොවේ. එකවර, ඒ මන්ද?

මේ රටේ එකතරා භික්ෂුවක් විසින් මුස්ලිමානුවන්ට විරුද්ධව දැඩි වාග් ප්‍රහාර එල්ල කල බව අප දන්නා සත්‍යයකි.   

ඒවා නිසාද අලුත්ගම, ගිංතොට, දිගන, පුජාපිටිය වැනි ප්‍රදේශවළ අහිංසක මුස්ලිමානුවනට නොකඩවා ජාති වාදී ප්‍රහාර වලට ලක් වීමට සිදු විය.එවන් පසුබිමක් තුල සහරාන් වැනි ත්‍රස්තවාදීන් බිහිවීම අරුමයක් නොවේ. මහ මොලකරු සහරාන්ම වී, ඔහුට මුදලින්/ද්‍රව්‍යමය ආධාර කල අය ඔහු අසලින් සිටියාද විය හැක. මනා, විධිමත්  විමර්ශනයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. පාර්ලිමේන්තු කාරක සභාවකින් මේ දෙය කිසිසේත් කළ නොහැක.

අපට අවශ්‍ය පරම සත්‍ය දැන ගැනීමටය.

එදා ශ්‍රී ලංකාවේ මුස්ලිමානුවනට එදිරිව කරන ලද ජාතිවාදී ප්‍රහාර පිළිබඳව මුළු ඊස්ලාම් ලෝකයම සිටියේ ඉතා  නොසතුටිනි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවෙකු සොයන්නේ නම් එකී කරුණට අදාළ සියළුම කරුණු පදනම් කර එය සිදු කල යුතුය. මෙය හොර/බොරු/වංචා, බිය/සැකයෙන් තොරව එඩිතරව කල යුතු විමර්ශනයකි. එයට Scotland Yard හෝ/සහ තවත් ජාත්‍යාන්තර අපරාධ විමර්ෂණ කණ්යම්වල සහාය ලබා ගැනීම, එකතු කර ගැනීමේ වරදක් නැත.  

යම් මහ මොලකරුවෙක්/මොළකරුවන් හෙළිවුවහොත් ඔවුනගේ තරාතිරම කුමක් වුවත්, ලෝකයේ කොහේ සිටියත් ඒ පිළිබඳව ලොවම දැනුවත් කළ යුතුය. ශ්‍රී ලංකා නිතීය යටතට ඔවුන් හසුවන්නේ නම් නඩු පවරා ගරු අධිකරණයන් මඟින් වැරදි කරුවනට දැඩි දඬුවම් පැමිණ විය යුතුය.

අවසානයට – 1994 බලයට පැමිණි ජනාධිපතිනිය  තම සැමියා මරා දමන ලද්දේ 88/89 ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් බව දැන දැනත් එය R ප්‍රේමදාස මහතා නමින් ලගු කිරීමට උත්සාහයක නිරත විය. තමන් විශේෂ කොම්ෂන් සභාවක් පත් කලේ ඒ නිසා යයි ඇය එවකට පැවසීය. තමන්ගේ සැමියා මරා දමන ලද්දේ 88/89 ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් යයි  දැන් දේශපාලනය නොකරන ඇය පවසයි.

යමක් බොරුවක් බව දැන දැනත් එය, තම පුද්ගලික ප්‍රයෝජනයට, ආත්මලාභයට සහ පලිගැනීම උදෙසා  ප්‍රචලිත කරන අය නැත්තේ නොවේ. ද්‍රවිඩ බෙදුම්වාදී උවමනා මත රට දෙකඩ කිරීමට සුක්ෂමව වැඩ කරන චැනල් 4 වැනි වැනි ජාත්‍යාන්තර මාධ්‍ය ආයතන බලා සිටින්නේ ශ්‍රී ලංකා මාතාවට කෙළෙසින් හෝ පහර ගැසීමටය. මොවුනට ආවඩන බටහිර රටවල්/NGO, ඔවුන්ගේ මෙහි බළල් අත්, බෙදුම්වාදීන්, දේශද්‍රෝහීන් ශ්‍රී ලංකාව තුල අඩු නැතුව ඇත. ඒ බව දැන ගෙන වැඩ කිරීම, රටට ආදරය කරන අප සැමගේ වගකීමයි/කාර්ය භාරයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress