බුදු සමය හා මාක්ස්වාදය – part-III (ඥානසාර හිමියන්ගේ මස් රාත්තල හා ලාල් කාන්තගේ පිරිත් නූල)
Posted on September 17th, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

මුර දේවතාවුන්ව  රැවටීම

[අවුරුදු 17 ක් පුරා සටන්කර, දෙවරක් පැරදී, රට තුලත් සිටි සිංහල හතුරන් පරදා, කීර්ති කුමාරයා (I විජයභාහූ) වසර 70 ක චෝල ආධිපත්‍යය නිමකල හැටි. මේ ඓතිහාසික සිදුවීමඊළම් සටන හා 2023  ලංකාවේ සිංහල කළුසුද්දන් සමඟ සසඳන්න]

පලවෙනි විජයභාහු රජතුමා (1055-1110) නිසා නොවේ නම් ලංකාව ඉන්දියාවේ කොටසක් වෙන්න තිබුණා යයි දකුණු ඉන්දියාවේ ප්‍රකට දෙමළ ඉතිහාසඥයෙකු වන නීල කණ්ඨශාස්ත්‍රී ලිව්වේය. ලංකාවට එල්ලවූ විදේශ ආක්‍රමණ වලදී හාමුදුරුවරු පන්සල්වලට වී නවගුනවැල් ගනිමින් භාවනා කර කර සිටියා නම් සිංහල ජාතියක් හෝ ත්‍රිපිටකයක් ඉතුරුවන්නේ නැත.

(577) විජයබා රජු සහා බිසෝ වරු | King Vijayaba and his queens | Neth Unlimited History Sri Lanka 116 – 02 – YouTube

දැන් දැන් මෝඩි විසින් බුදු දහමේ අයිතිකාරයා ලෙස හැසිරෙනවා සේ පෙනෙතත්, ඉන්දියාවෙන් මෙන්ම අනිත් ඔහු සිතන අළුත් අඛන්ඩ භාරත් සිතියමේ ඇෆ්ගනිස්තානය වැනි ප්‍රදේශ වලිනුත් බුද්ධාගම අතුගෑවී ගියේ ගහට පොත්ත සේ යාවුනු ගිහි-පැවිදි ගම් ඒ රටවල නොවූ නිසාය. දැන් රනිල් විසින් පාලමකින්, බිංගෙයකින් ඉන්දියාවට පූට්ටු කරන්නට යන ලංකාව දූපතක්වූ නිසාය.

මෑත කාලය ගැන සිතුවොත්, නෝත් ආණ්ඩුකාරයාගේ (1798) සිටම මේ පන්සලේ <උවඳුර> සුද්දා දුටුවේය. සුද්දට විරුද්ධව සිදුවූ අරගල සිංහල බෞද්ධයින් හා පන්සල විසින් එකතුව කල සටන් විය. 1880 දී ඕල්කොට් ආගමණයත් සමඟ පන්සල් පිලිකන්නට තල්ලුවී ගොස් ඕල්කොට් බෞද්ධයින් පිරිසක් බිහිවිය. මෙය 1551 සිට කෝට්ටේ රජු කතෝලික වීමත් සමඟ ක්‍රිස්තියානි කළු සුද්දන් පිරිසක් බෝවුනා වැනිමය.

පෘතුගීසි, ලන්දේසි කාල වලදී කතෝලික සිට රෙපරමාදු යනුවෙන් පල්ලි  මාරුකල මේ සිංහල ක්‍රිස්තියානි කළු සුද්දන් ඉංග්‍රිසී කාලයේදී ඇන්ග්ලිකන් පල්ලියට ගියේය. 1931 දී සර්ව ජන චන්දබලය ලැබීමත් සමඟ සිංහල බෞද්ධ චන්ද ලබා ගැනීම සඳහා බොරු බෞද්ධයින් විය. මේ නිසා මොවුන්ට කියන්නේ ඩොනමෝර් බෞද්ධයින් කියාය. කැඩිච්ච සිංහල කතාකල මොවුන් ගමේ හාමුදුරුවන් හරහා ගම්වැසියා අල්ලාගත්තේ බොරු පොරොන්දුද සමඟය.

1940 ස් ගණන්වල දෙවන ලෝක යුද්ධ කාලයේ අද්මිරාල් ලේටන් පවා 1802 දී නෝත් ආණ්ඩුකාරයා මෙන්ම සිවුරට භයවූයේය. ජපනුන් ලංකාවට ගොඩබැස්සොත් හාමුදුරුවරු සතුරාගේ පැත්ත ගනීවියයි හාමුදුරුවරුන් සිරකඳවුරු වලට ගෙනියන්නට ලේටන් ප්ලෑන් කලේ ඇමෙරිකාවේ පුරවැසියන්වූ ජපන් වැසියන්ව ඇමෙරිකාවේ හිරකඳවුරුවලට ගෙන ගියා වගේමය.

සුද්දන්ට වඩා දක්ෂ හා කූට ලෙස පන්සල් දමනය කර ගන්නට සිංහල කළුසුද්දන් සමත්විය. බුද්ධ ශාසනයේ ඇති නිදහස හා නම්‍යශීලි භාවය ප්‍රයෝජනයට ගනිමින්, අනිත් ලබ්ධීන් මෙන් මධ්‍යම සංවිධානයක් විසින් පන්සල්වලට උපදෙස්, නියෝග දීමක් නැති නිසා පක්ෂ දේශපාලකයෝ හාමුදුරුවරුන් බිලිබා ගත්තේ සුළු වරදාන ලබා දෙමින්ය. මේ අනුව යම් පන්සලක හාමුදුරුකෙනෙක් තමන් නොදැනම කපටි දේශපාලකයාගේ ගොඳුරට අසුවී ගියේය. සෝම හිමිඳුන්ගේ අකල් වියෝවත් සමඟ මේ දේශපාලකයින් කඹ වැනි පිරිත් නූල් අතේ බැඳ ගැනීමේ පුරුද්දක් ආරම්භකර ගත්තේය. මොවුන්ට කියන්නේ පිරිත් නූල් බෞද්ධයින් කියාය. ලාල් කාන්තද පැටලුනේ මෙවැනි නූලකටය.

ආණ්ඩුව සරණං ගච්චාමී කියා ශික්ෂා පදයක් නැහැ හාමුදුරුවනේ!

දේශපාලකයින් හාමුදුරුවරු රැවටීමේලා හොඳම උදාහරණයක් නම් සර්ව ජන චන්ද බලය දීමට හා කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධවූ D.S.සේනානායක මහතා, රත්නපුරේ භික්ෂූ අභ්‍යාස විද්‍යාලයක් සදන්නට උදව්කිරීමට චන්ද කාලයේ පොරොන්දුවී අගමැතිවූ පසු 29 වෙනි වගන්තිය යටතේ එය කල නොහැකියයි හේනපිටගෙදර ඥානසීහ හිමියන්ට කල අවඥාසහගත ප්‍රකාශයය. එක පැත්තකින් සමාජ සේවා කරණ හාමුදුරුවරුන්ව පොලිටිකල් මන්ක් යයි හඳුන්වන ගමන් අනිත් අතට ඔවුන් හරහා ගමේ චන්ද ලබාගැනීමට ක්‍රියාකිරීම  අදටත් <ඕ මයි ගෝඩ්> සිංහල බෞද්ධ දේශපාලකයින්ගේ ඩබල් ගේම් එකය. යම් හදිසි ආපදාවකදී ඔවුන්ගේ කටින් <බුදු අම්මෝ> යයි පිට නොවෙන බව පවසන ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ දේශපාලකයින්ට කොඩි උස්සාගෙන ගිය පසු පන්සලට ඉතුරුවුනේ කොඩිවල පොලු පමණක් බව පෙන්වා දෙයි.

හිත හොඳ ගෑණු

සිංහල බෞද්ධ යයි කියාගන්නා මේ කළුසුද්දන් සිංහල බෞද්ධයින්ට (හා දුප්පත් සිංහල කතෝලිකයින්ට) සැළකුවේ හරියට සමහර පිරිමි හිත හොඳ ස්ත්‍රීන්ට සළකන අන්දමට වගේය යන කරුණ මහජනයාට ප්‍රසිද්ධියේ ඒත්තු ගැන්වුයේ 2012 මැයි මස පිහිටවූ බොදු බල සංවිධානය විසින්ය. ඊට පෙර වජිරාරාමේ නාරද, මඩිහේ පඤඤාසීහ වැනි හාමුදුරුවරුන්ගේ සංදේශවලට කාදිනල්ලාගේ ටෙලිෆෝන් කෝල් වලට තිබුණා වැනි රශ්මියක් (බලයක්) නොවීය. මහානායක හිමිවරු ගැන කියණුම කවරේද?

සිංහල බෞද්ධයින්ට දුන් දිරච්ච ලණු හෙවත් ලණු ගිලීම

1815 හිට්ලර් තාලයේ ගිවිසුමෙන් රැවටුණු හොර උඩරට නිලමෙලා නිසා අහිමිවූ සිංහල බෞද්ධ අයිතිවාසිකම් සාධාරණ ලෙස නැවත ලබා දෙනවා වෙනුවට, කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන දායාදය හැරෙනවිට වෙන කිසිවක් අවංක චේතනාවෙන් සිංහලයාට ලබාදීමට සිංහල බෞද්ධයයි කියා ගන්නා කළු සුද්දෝ ක්‍රියාකලේ නැත. ලෝකයේ කොහේවත් නැති අන්දමට කාති උසාවි මඟින් මුස්ලිම් පිරිමින්ට මුස්ලිම් ආගමේ හා ඒ ආගමට හැරෙන ස්ත්‍රීන් ලිංගික භාන්ඩ වශයෙන් භාවිතාකල හැකිවී තිබෙන ක්‍රමය 1951 දී නීතියක් මඟින් ලබා දුන්නත් (ටී.බී. ජයාගේ ඉල්ලීමට ඩී එස් සේනානායක විසින්), සංඝ සමාජය දුස්සීලයින්ගෙන් ශුද්ධකිරීමට සංඝාධිකරණයක් පිහිටුවන ලෙස කල ඉල්ලීම 2023 අගදීවත් ඉටුකර නැත.

ඒ වෙනුවට කර ඇති ප්‍රෝඩා ගැන බලන්න.

*1. රටේ ප්‍රාණනාලී දෙකක්වූ මහාපිරිවෙන් දෙක පේරාදෙණි මොඩලයේ බටහිර විශ්ව විද්‍යාල කර (1959), අන්ද මන්දවූ භික්ෂූන් සබන් පැක්ටරියක සබන් කෑලි මෙන් සමාජයට දැමීම. මේ වනවිට පාලි බෞද්ධ විශ්ව විද්‍යාල පවා අරක්කු තැබෑරුම් වැනිය;

*2. සෙනසුරාදා-ඉරිදා වෙනුවට පෙර පෝය-පෝය  සති අන්ත නිවාඩු ක්‍රමයක් ගෙනැවිත් රට විකාරයක් කල ඩඩ්ලිගේ 1965-70 පෙඩරල් ආණ්ඩු සමය;

*3. බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙනවා යන  බොරුව (1972 SLFP-LSSP-CP  ව්‍යවස්ථාව);

*4. JRගේ ධර්මිෂ්ට සමාජයක් නමැති බොරුව (1977à);

*5. JRගේ බහුභූත ව්‍යවස්ථාව මඟින් ගෙනා බොරු 9 වෙනි වගන්තිය (1978). මේ නිසා බුද්ධාගමට අළුතෙන් කිසිදෙයක් නොලැබුණ අතර සෙසු ආගම් හා මහාවංශ විරෝධී ලෝකය( එය තමන්ට වන් අසාධාරණයක් ලෙස පෙන්වාදීම;

*6. R. ප්‍රේමදාසගේ බුද්ධ සාසන අමාත්‍යාංශය හා බුද්ධ සාසන කොමසාරිස් – මේවා මඟින් පන්සල් දේශපාලකයින්ගේ හිරගෙවල් බවටත්, අන්‍යාගමික NGO කාරයින්ට පන්සල්වල තොරතුරු ලබාගෙන මුදල් ආධාර දිය හැකි පන්සල් වල නායක හිමිවරුන් රවටා ගත හැකිවීම, තවද දැන් ආණ්ඩුවෙන් පන්සල් බලා ගන්නවා යන මතයක් ගම් වැසියන්ට ඇතිවී ඔවුන් පන්සල් වලට ආධාර නොදීමේ ප්‍රවනතාවයක් ගොඩ නැඟීයාම. බුද්ධ සාසන කොමසාරිස් හොරෙක් යයි චෝදනා ඇත්තේ දළදා මාළිගාවේ හොරු ඉන්නවා යන කතාව වගේමය;

*7. වරින් වර, කලින් කලට, බුද්ධ සාසන කොමිෂන් සභා පත්කර, වාර්තා හමස් පෙට්ටියේ දමා බෞද්ධයා රැවටීම.

මේ අන්දමේ රැවටිලි/පූචානම් කතා අදටත් සිදුවේ. සෑම දිස්ත්‍රික්කයකම වෙහෙරවල් 50 බැගින් අවුරුදු 5 ක් තුල හදනවායයි සජිත් මැතිඳු ප්‍රතිඥාවක් දුන්නේය.  ඊට නොදෙවෙනිව රනිල් මැතිඳු මහාවීහාර භූමියේ අළුත් ථේරවාද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ජපන් ආධාර සහිතව හදන්නට පොරොන්දු විය. මෙ කතා අසා සිටිනා හාමුදුරුවරු සතුටින් උද්දාම වෙයි.   අළුත් වෙහෙරවල් වෙනුවට තිබෙන පරණ රජ මහා විහාර ටික පිළිසකර කර රැක දෙන්නයි කියා ඉල්ලන හාමුදුරුනමක් ඉන්නවාද? සජිත්ගේ බිරිඳට බුද්ධාගම රකින්නියක් යන නම්බුනාමයක්ද නොබෝදා එක් නිකායකින් පිරිනැමුවා නේද?

අනිත් පැත්තෙන් පොසොන් කියන්නේ ලංකාවට සිදුවූ පලවෙනි ආක්‍රමණය යයි උපුල් ශාන්ත සන්නස්ගලට වරක් පැවසූ රනිල්තුමා දැනටමත් ගම්පහ පැත්තේ තිබෙන නාලන්දා ජාත්‍යන්තර සරසවියට ආධාර කරමින්, අරක්කු බොන සිසුන් සිටින භික්ෂු සරසවිය හා අනුරාධපුරේ භික්ෂු සරසවිය විනය ගරුක ආයතන කිරීමට කැපවෙනවා නම් කොතරම් අගේද?  එහෙමත් නැත්නම් කුරුන්දි රජමහා විහාරයේ, යාපනේ තිස්ස රජමහා විහාරයේ වැනි ප්‍රශ්ණ ඇතිකිරීමට තුඩුදෙන ක්‍රියා/කතා වලින් ඔහු වැලකී සිටිනවා නම් නරකද? කොටින්ම කියනවා නම් මිහින්තලේ නායක හිමියන්ට හිරිහැර කිරීමට මිහින්තලේ ලයිට් කපනවා වෙනුවට ඔහුට හා අගමැති දිනේෂ්ට කලහැකි දෙයක් නම් මිහින්තලේ අතීත ශ්‍රී විභූතිය (ලෝකයේ මුල්ම ආරෝග්‍ය ශාලාව වැනි) පෙන්වන නටබුන් නඟා සිටුවා විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීම නොවේද?

සර්වාගමික පූට්ටුව හා බහු ජාතික නාඩගම (Interfaith myth and multi-ethnic dilemma)

මේ ආකාරයට බුද්ධ සාසනයට එල්ලවන නොයෙක් කාඩ්බෝඩ් හතුරු ආන්තරා හා ක්‍රිස්තියානි හා ශාරියා අන්‍යාගමීකරණයට අමතරව දැන් කාලයක සිට එන තවත් කරුමයක් නම් සර්වාගමික පූට්ටුවය. මෙය බටහිර යටත් විජිත වාදයේම තවත් මුහුණුවරකි. 1500 කාලයේ යුරෝපයේ සිට සෙසු ප්‍රදේශවල ජනයා ශිෂ්ටාචාරී කරන්නට බයිබලය හා කඩුව සමඟ ආ සුදු ජාතිකයින්ට, ලංකාව උදාහරණයක් වශයෙන් ගත්තොත් බුදුදහම අතුගා දමන්නට නොහැකිවිය.

1873 පානදුරා මහා වාදයෙන් <බුද්ධාගම කියන්නේ බොරුවක්> යන සුද්දන්ගේ හා ක්‍රිස්තියානි කළුසුද්දන්ගේ මතවාදය මිථ්‍යාවක් බව ඔප්පු වුවත්, එම අදහස 2021 දී කාදිනල්තුමා විසින් රටපුරා රතන සූත්‍රය දේශනා කරන ලෙස කල ඉල්ලීම වනතෙක්ම දිය යටින් ගිය ගින්දරක්ම විය. බටහිර රටවල ක්‍රිස්තියානි පල්ලි වලට යන ජනයා අඩුවීයාමත් සමඟ, ඊට මුහුණදීමේ එක් උපායක් වශයෙන් ඉන්ටර්ෆේත් ජරමරය ඉදිරියට ආවේය.

The Interfaith Movement Mobilizing Religious Diversity in the 21st Century.

Edited By John Fahy, Bock Copyright 2020

මෙය යටත් විජිතවාදය තවදුරටත් ගෙනයාම සඳහා පිහිටුවා ගත් UNO, World Bank, IMF යන ආයතන හා මානව හිමිකම් රැකදීම සඳහාම ඇතිකල ජිනීවා HRC  හා R2P  වැනිම සුද්දන්ගේ තවත් උපක්‍රමයකි.  තම ලබ්ධිය වෙනුවෙන් මිනීමරා ගැනීම කලේ ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමිකයින් මිස ඉන්දියාවේ හින්දූන් හෝ ලංකාවේ බෞද්ධයින් නොවේ. ලංකාවේ පන්සල්වල ශුද්ධ භූමියෙන් සියේට 10-20 අතර ප්‍රමාණයක් වෙන්වී ඇත්තේ හින්දු දෙවි දේවතාවියන්ටය. ඓතිහාසිකව බෞද්ධයින්, මුස්ලිම් හා කතෝලික සරණාගතයින්ට රැකවරණය දුන්නේය. එව බලව මිස එව අදහව (come and examine, not come and believe) යයි නොපවසන බෞද්ධයින් විසින් අන්‍යාගමීකරණය කරන්නේද නැත.

දේවවාදය හෙවත් බටහිර ආබ්‍රහම් ආගම් වාදය හා සර්ව බලධාරී දෙවියෙකු නැත, තම  ගැලවීම ඇත්තේ තමන්ගේ අතේමය යනුවෙන් ජීවන ක්‍රමයක් පෙන්වා දෙන බුදුදහම එකට පෑස්සිය නොහැකිය. මේ නිසා සර්වාගමික පූට්ටුව යනු දේශපාලකයින් ප්‍රයෝජනයට ගන්නා තුරුම්පුවක් වැනිය. ලෙබ්බේලා සමඟ එකට ඉදගෙන ආහාර ගැනීම වැනිදේ විහිළු ආගමික සමඟියකි. ගෝල්පේස් අරගලකාරයෝ කුමන්ත්‍රණකාරයින් සැපයූ බුරියානි පැකට් බෙදාගත්තා වැනිය.

ඉන්ටර්ෆේත් ගිලගත් මුල්ම අගමැතිවූයේ R. ප්‍රේමදාස විය යුතුය. ඔහු පූසාරීන්ගේ ග්‍රහණයටද අසුවිය. චන්ද්‍රිකා ගෙන් පසු මහින්ද දකුණු ඉන්දියාවේ කෝවිල් සරණ ගියේය. රනිල්, අනුර බණ්ඩාරනායක සායි බබාගේ ආශ්‍රමයට ගියේය. මෙම සර්වාගමික ලෙඩේ උග්‍රව තිබුණේ දි. මු. ජයරත්න මහළු අගමැතිටය. වෙනකක් තබා සම්බුද්ධ ජයන්ති උත්සව කොමිටියට ඔහු ලෙබ්බේලාවත් පත් කලේය!

මෙහි හාස්‍යජනකම කතාව නම් පන්සල් භූමිය තුල මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ලබ්ධිකයෙකුට පූජාවක් වුවත්, බෞද්ධයෙකුට පල්ලියක් තුල ගාථාවක් කීමට ඉඩක් නැතිවීමය. තවද උතුරේ පැරණි බෞද්ධ නටබුන් හින්දු නටබුන් යයි කියමින් ජනයා උසිගන්වන්නේ, පෙලපාලි යන්නේ ක්‍රිස්තියානි පූජකයින් හා මන්ත්‍රීලාය.

බහු ජාතික සිංදුව (multi-cultural/multi-ethnic)

ලංකාවේ සිංහල ජාතිය එහි ඓතිහාසික උරුමකරුවන් වුවත්, සෙසු ජනවර්ග වලට කිසි භාධාවකින් තොරව ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේය. එම සහජීවනය විනාශකලේ පක්ෂ දේශපාලක කළු සුද්දන් විසින්ය. සිංහලයාට ලෝකයේ ඇති එකම නිජබිම මේ දිවයින පමණය. ථේරවාද බුදුදහම, ත්‍රිපිටකය ලෝකයට දායද කලේ සිංහල හාමුදුරුවරුය. විදේශ ආක්‍රමණ වලින් රට බෙරාගත්තේ, විශේෂයෙන් සුද්දන් සමඟ සටන් කලේ සිංහලයින්ය.

සිංහල කළුසුද්දන් විසින් අනිකුත් ජාති මාමක සිංහලයින් හඳුන්වන්නේ ජාතිවාදීන් ලෙසය. ජාතිවාදියා කියන්නේ තමන්ගේ ජාතිය උසස් යයි කියමින් සෙසු ජනවර්ග පහත් කොට සලකණ අයටය. ජාතිකවාදී කියන්නේ තම ජාතිය හතුරු බලවේගවලින් රැකගැනීමටය.

බෙදා පාලනය කිරීමේ (divide and rule) උපක්‍රමය යටතේ ජනවර්ග භේදභින්න කල සුද්දන් විසින් දැන් බහුජන සමාජයක් සඳහා වැදිබණ කියමින් සිටී. මේවා බදාගන්නා ලංකාවේ මෝඩ දේශපාලකයින් හා අවස්ථාවාදී නිලධාරීන් උප්පැන්න සහතිකයෙන් සිංහල ජාතිය යන්න ඉවත් කිරීමට පවා කුමන්ත්‍රණ කරමින් සිටී.

මෙම සර්වාගමික, බහුජාතික යන කතා බොරුකාරයින්ගේ බොරු වැඩ බව පෙනෙන්නේ සුමන්තිරන්ගේ පුතා හා විග්නේශ්වරන්ගේ පුත්තු දෙන්නාමත් සිංහල ස්ත්‍රීන් හා විවාහවී සිටියදී මේ දෙන්නාම දකුණේ සිංහල ආණ්ඩු දෙමළ ජනයා සමූලඝාතනය කරනවා යයි ලෝකයට ප්‍රකාශ කිරීම නිසාය.

පසුගිය ලිපි තුනෙන් පසුබිමක් සපයා ගත්තේ ලාල් කාන්තගේ පිරිත්නූලේ බලය ගැන විග්‍රහ කිරීම පිණිසය.  JVP/NPP පිරිසට රාජ්‍ය බලයට මැදිහත් වීමට ලැබී ඇති අවස්ථාව රටම විනාශවී යෑමේ අනතුරකින් බේරා ගැනීම සඳහා හරවා ගන්නේ කෙසේද යන්න විමසා බැලීම මෙම ලිපි මාලාවේ මීලඟ අවසාන කොටසය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress