13 පූර්ණව බලාත්මක කළ හොත් එය රටේ ඒකීය භාවයට තර්ජනයක්
Posted on September 19th, 2023

චානක බණ්ඩාරගේ

Lankawebහි 10/8/23 දින පළ වුනු  ‘Land and Police powers must not be given to the Provinces යන ඉංග්‍රීසි ලිපියේ සංශෝධිත සිංහල අනුවාදය, එම මුල් ලේඛකයා විසින්ම.

1987 ඉන්දියා – ශ්‍රී ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ 13 වෙනි  සංශෝධනයේ ( උපලේඛන 9) සමගාමී ලැයිස්තුවට ඉඩම් සහ පොලිස් බලතල ඇතුළත් වන බව සත්‍යකි. නමුත් මේ බලයන් පළාත්සභා වලට නොදී සැමවිටම යටපත් කර තිබුණි. අවාසනාවකට, දැන් මේ බලතල ලබාදීමට අනවශ්‍ය හදිසියක් නිර්මාණය වී තිබේ – විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්සභා වලට.

දැන් ළඟදීම ජනාධිපතිවරණයක් (2024) එන නිසා දකුණේ දේශපාලනඥයෝ (සිංහළ) සිතන්නේ උතුරු නැඟෙනහිර පළාත් සභාවලට වැඩිපුර බලය ලබා දීමෙන් දෙමළ සහ මුස්ලිම් ඡන්ද තමනට තහවුරු කර ගැනීමට හැකි වනු ඇතැයි යන්නය. මෙයින් විද්‍යාමාන වනුයේ ඔවුන්ගේ දේශප්‍රේම ඌණතාවයයි.

යහපාලන රජය සමයේ (2015 – 2019) එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුදාව සතුව තිබූ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් දෙමළ ජනතාවට (ප්‍රශ්ණගත ඉඩම්වලින් 92%ක් පමණ) ලබා දුන්නේය. කලින් යාපනය HSZහි වූ ඉඩම් දැන් හමුදාවට නැත. 

දෙමළ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා යහපාලන රජය 2019 ජනාධිපතිවරණයට මොහොතකට පෙර උතුරට ජාත්‍යාන්තර ගුවන් තොටුපළක් ලබා දුන්නේය.

බ්‍රිතාන්‍ය පාලන කාලයේ පවා පළාලි තිබුනේ හමුදාව යටතේය. දැන් බෙදුම්වාදීන්ට කොළඹ මඟහැර කෙලින්ම උතුරට ගොඩ බැසිය හැකියි. මෙය රටේ භෞමික අඛණ්ඩතාවයට අනතුරකි.

උතුරට දෙමළ ආණ්ඩුකාරයෙක් පත් කිරීමේ සම්ප්‍රදාය පළමු වරට හඳුන්වා දුන්නේ සිරිසේන මහතාය.

දැන් නැගෙනහිරටද ඒ ‘නව සම්ප්‍රදාය’ බෝවීද?

ඉදින් සිංහලයාට ඒ ප්‍රදේශ පිළිබඳව කිසිම ඍජු  නියෝජනයක් දැන් නැත. 

ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඉදිරියේ දීද අපේක්ෂයකන් සුළු ජාතීන්ට නොයෙක් පොරොන්දු දෙනු ඇත.  මෙයින් දිගටම අසාධාරණයට ලක් වන්නේ සිංහළයායි.

පසුගිය වසර 45ක ඉතිහාසය එය මනාව දක්වයි.

චෙල්වනායකම් සිය දෙමළ ජනයාට කීවේ ඊළම දිනා ගැනීමට නම් ‘ටිකෙන් ටික’ ඉල්ලා සටන් කරන ලෙසයි.

දැන් සිදු වන්නේ ඒ දේයි.

අධි බලතල ඇති (වත්මන්) විධායක ජනාධිපති ධුරය තිබෙන තාක් මේ රටේ ඒකීය භාවය දැඩි  අනතුරේ පවතී. එය අහෝසී කල යුතු දෙයකි.

පළාත්වලට (විශේෂයෙන් උතුරට සහ නැගෙනහිරට ) ඉඩම් සහ පොලිස් බලතල ලබා දීම යන්නෙන් අදහස් වන්නේ ඉඩම් සහ පොලිසිය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බොහෝ දුරට එකම බලය පළාත් ආණ්ඩුවලට ලැබෙන හැඩකි. ඉන්පසුව, මූළික වශයෙන් පළාත් ආණ්ඩුවලට පළාත් තුළ ඔවුන් කැමති ඕනෑම ආකාරයකින් ඉඩම් විකිණීමට, පැවරීමට, බදු දීමට, උකස් කිරීමට, පරිත්‍යාග කිරීමට සහ අත්පත් කර ගැනීමට හැකිවනු ඇත?

ඉඩම් බලතල ලබාදීම යන්නෙන් අදහස් වන්නේ මධ්‍යම රජය විසින් එයට දැනට මුළුමනින්ම අයත් ඉඩම් (Crown Lands) සහ එම පළාත්වල මුහුදු වෙරළ පවා අහිමි වීමට ඉඩ සැලසිය හැකි බවයි?

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයෙන් ¾ ට අඩු ප්‍රමාණයක් උතුරු සහ නැගෙනහිර පළාත් සතුය.

මෙම බලතල දෙක ලබා දීමෙන් පසු, එම පළාත් දෙක නැවත ඒකාබද්ධ කිරීමටත්, පසුව ශ්‍රී ලංකාවෙන් වෙන් වීමට හිමිකම් පෑමටත් ඔවුනට හැකි විය හැක (එය රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1/3ක් පමණ ප්‍රමාණයකි). සම්ප්‍රදායික ජාත්‍යාන්තර නීතිය යටතේ, ඔවුනට තමන්ගේම කියා වෙනම රාජ්‍යකට හිමිකම් කීමට අවශ්‍ය වන මුලික අමුද්‍රව්‍ය මේ බලයන් පැවරීමත් සමඟ සිදුවිය හැක.

මධ්‍යම රජයට මෙම ප්‍රදේශවල සම්පූර්ණ බලය අහිමි වූ පසු වෙනත් පළාත්වල ජනතාවට උතුරු නැගෙනහිරට ගොස් ජීවත්වීම වඩාත් දුෂ්කර වනු ඇත. මෙය සිංහලයන්ට බලවත් අසාධාරණයක් වනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නම් පුරවැසියනට ගමන් කිරීමේ නිදහස ස්ථාවර කර ඇත (12 වැනි වගන්තිය).

මෙම බලතල දෙක ලබා දීමෙන් පසු උතුරු පළාත් රජයට දකුණේ වැසියන්ට ඉඩම් මිලදී ගැනීම පමණක් නොව එම ප්‍රදේශවලට පැමිණීම පවා ඵලදායී ලෙස (නිත්‍යානුකූලව) ඔවුනට අවහිර කිරීම කළ හැකි වනු ඇත?

ගජෙන් පොන්නම්බලම් මහතා පසුගිය කාලයේ යාපනයේදී කළ විගඩම් සිහියට නැගේ.

මෙම බලතල දෙක ලබාදුන් පසු පළාත් ආණ්ඩු දෙකට අවශ්‍ය නම් මධ්‍යම රජය මඟ හරිමින් ඉන්දියාවේ සිටින තම සගයනට ඉඩම් ලබාදිය හැකියි. වයිකෝ, නෙදුමරන්, සීමන් වැනි ශ්‍රී ලංකාවට සතුරුකම් දක්වා ඇතිවුනට පළාත් දෙකේ මහ ඇමැතිවරුන්ගේ ආරාධනයෙන් පළාලි මඟින් ශ්‍රී ලංකාවට පැමිණ මේ රටේ පැරා-මිලිටරි පන්නයේ කඳවුරු පවා පිහිටුවීම පහසු වනු ඇත?

පොලිස් බලතල උතුරු හා නැගෙනහිර පළාත් ආන්ඩු වෙත පැවරීමෙන් පසු නීතිවිරෝධී සංක්‍රමණ බෝට්ටු තොග ගණනින් දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නිදහසේ යාත්‍රා කල හැකි වේද? ඇතැම්හු ධීවර වේශයෙන් පැමිණිය හැක (මෙය දැනටමත් උතුරේ සිදුවන්නේ යයි සමහරෙක් පවසත්).

ඉහළ පොලිස් තනතුරු – පළාත්වල පොලිස්පති හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පහළට පත් කරනු ලබන්නේ පළාත් ආණ්ඩු ප්‍රධාන අමාත්‍යවරුන් විසිනි, කාලයත් සමඟ, මෙම පොලිස් බලකා දෙකෙහිම (උතුරු හා නැඟෙනහිර)  සඳහා දෙමළ කතා කරන ජනතාව පමණක් සේවය කිරීමට පුළුවන –  නැගෙනහිර පොලිසියේ දෙමළ කථා කරන මුස්ලිම් සංරචකයක් බිහිවිය හැක.

අද, උතුරේ සේවය කරන සිංහල පොලිස් නිලධාරීන් ද සිටින නිසා උතුරට යන සිංහලයන්ට (බෞද්ධ වන්දනාකරුවන් ද ඇතුළුව) එහිදී ඇතිවන බිය/ආරක්ෂා විරහිත බව අඩුය. අද නැගෙනහිර තත්ත්වයද මෙයමය.

සිංහලයන්ට තම පොලිස් සේවයට බැඳීමට ඉඩ නොදීමට උතුරු/නැගෙනහිර මහ ඇමතිවරුන් දෙදෙනාට බලය ලැබෙනු ඇත.   විග්නේෂ්වරන් හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිංහල ජනතාවට උතුරේ පදිංචි වීම වැලැක්වීම පිණිස ගත් ඉතා දැඩි උත්සාහය දන්නෝ දනිති.  

ලබන වරද විග්නේෂ්වරන් උතුරේ මහ ඇමති වෙනවා නොඅනුමානය.

අද ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවක් නොමැති බව වටහා ගැනීම වැදගත්ය. 2009 දී තිබු ත්‍රස්තවාදී ප්‍රශ්ණය විසඳුණි. මේ කෘර ත්‍රස්තවාදීන් නිදහසේ සටන්කාමින් ලෙස නුතන සිංහල තරුණ පරපුරට උකහා  දැක්වීමේ  කර්තව්‍යය නම් ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී.

දැන් රටේ ප්‍රධාන ජාතීන් දෙක එක පවුලක ආදරණීය සහෝදර සහෝදරියන් මෙන් සමගියෙන්, සමාදානයෙන් ජීවත් වෙත්. මෙය බෙහෙවින් දිරිමත් කළ යුතු ඉතාම හොඳ දෙයකි.

රජයන්  කළ යුත්තේ උතුරු නැගෙනහිර පළාත් ඇතුළු සියලුම ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට උත්සාහ කිරීමයි.

වසර 75 කට පෙර නිදහස ලබා ගැනීමෙන් පසු මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව දරුණු ‘රුධිර ගලනයකට’ අද ලක් වෙමින් පවතී. රට වෙනුවෙන් දැවැන්ත දේශපාලන, පරිපාලන හා ව්‍යූහාත්මක වෙනස්කම් ඇති කිරීමට මේ කාලය නොවේ. ජනවාර්ගික ප්‍රශ්ණය උග්‍ර කරනවා වෙනුවට සියලුම දේශපාලන පක්ෂ (UNP, SJB, SLFP, JVP, TNA, SLMC සහ වෙනත්) එක්ව ශ්‍රී ලංකාවේ බරපතල, දුක්ඛිත ආර්ථික තත්ත්වයෙන් එය ගලවා ගැනීමට උත්සාහ කළ යුතුය.

13 සංශෝධන විවාදය මේ අවස්ථාවේ  නැවත ගෙන ඒම අනවශ්‍ය කලබලයක් ඇතිවී තිබෙන බවක් පෙනේ. මෙයින් සිංහල දෙමළ බෙදීමක් ඇති විය හැකියි? (එවැනි දෙයක් නොවේවා යයි අප පතමු).

ශ්‍රී ලංකාව එහි දෙමළ සුළුතරය ඉතා හොඳින්, ආදරයෙන් බලා ගනී (මෙය සත්‍යකි).

දෙමළ ජනතාවට ආවේනිකවූ සාධාරණ ප්‍රශ්ණ වේ නම් ඒවා රජයන් මඟින් විසඳා දිය යුතුය.

අවාසි සහගත තත්ත්වයේ වෙසෙන සිංහලයන් ඔවුනටම ආවේනිකවූ ගැටලු රාශියකට මුහුණ දී සිටිත්.  ඒවා අසා, විසඳා දීමට කිසිවෙක් නොමැති සැටීයි.

සිංහලයන් මුහුණ දෙන ප්‍රධාන අසාධාරණයක් වනුයේ ශ්‍රී ලංකාවෙන් 1/3 ක් වන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වීමට ඔවුන්ට ඇති නොහැකියාවයි.

දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ දේශපාලන පක්ෂ ඔවුනට එම ප්‍රදේශවල පදිංචි වීමට බාධා කරත්.

දෙමළ ජාතිකයෙකුට කිලිනොච්චියෙන් පිටවී තංගල්ලේ පදිංචි වීමට පහසුය. මුස්ලිම් ජාතිකයෙකුට අක්කරෙයිපත්තුව අතහැර ගම්පහ ප්‍රදේශයේ පදිංචි විය හැකිය. නමුත් තංගල්ලේ හෝ ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන සිංහලයෙකුට කිලිනොච්චියේ හෝ අක්කරෙයිපත්තුවේ පදිංචි විය හැකිද? මෙය වත්මන් ශ්‍රී ලංකාවේ කිසිදා සිදු විය නොහැක.

ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් උඩරට දෙමළ ජනතාවට ඉමහත් උපකාර කරයි. මෙය ඉතා හොඳය. නමුත්,  උඩරට සිංහලයන්ගේ තත්ත්වය ගැන කුමක්ද? ඔවුන් ද තේ, (රබර්) වතුවල වැඩ කිරීමට කැමතිය, නමුත් ඔවුන්ට මෙම අයිතිය අහිමිය. එම ප්‍රදේශවල ජීවත්වීමට නිවසක් නොමැති, දිනකට එක් ආහාර වේලක් ගැනීමට දඟලන සිංහල ජනතාවක් සිටින බව කාටත් අමතකය; ඒ අයගේ දුක සොයා බැලීමට කිසිවෙක් නොමැත.

ප්‍රභාකරන් උතුරෙන් සියළුම සිංහලයන් එළවා දමන තුරු යාපනයේ සිංහල මහා විද්‍යාලය, මන්නාරම සිංහල මහා විද්‍යාලය, මඩු පාරේ සිංහල විද්‍යාලය වැනි සිංහල පාසල් තිබුණි. අද ඒ කිසිවක් නැත. ඒවා නැවත විවෘත කිරීමට රජයට නොහැකි මන්ද?

යුධ ජයග්‍රහණයෙන් පසු කිසිදු රජයක් උතුරේ සහ නැගෙනහිර අවතැන් වූ සිංහල ජනතාවට නැවත එම පළාත්වලට ගොස් ජීවත්වීමට අවංක චේතනාවෙන් දිරිගැන්වීමක් හෝ ආධාර/උපකාර කිරීමක් සිදු කර නොමැත.  නෙරපාහරින ලද සිංහළයෝ බොහෝ දෙනෙක් නැවත එම ප්‍රදේශවලට යාමට  නොඉවසිල්ලෙන් බලා සිටිත්.  නමුත් ඔවුනට ඒ අවස්ථාව රජයන් මඟින් ලබා නොදෙන බව ඔවුහු දනිත්.

යුද්ධයෙන් පසු යාපනය පැරණි දුම්රිය ස්ථානයේ කඳවුරු බැඳ සිටී උතුරේ පාරම්පරික සිංහලයන්ව (දෙමළ කථා කරන)  බලයෙන් ශ්‍රී ලංගම බස් රථවල පටවා උතුරු මැද පළාතට නැවත යවනු ලැබුවේ 2010 රජයයි.

අද, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට උතුරේ කුරුන්ධි, තිස්ස විහාරස්ථානවලට වැඩම කිරීමට පවා දෙමළ ජාතික සන්ධානය බාධා කරත්. මේ බරපතල ප්‍රශ්ණය පිළිබඳව ප්‍රශ්නයක් නැතුවාක් මෙන් රජයන් හැසිරේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බොරළුකන්ද පන්සළේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ඉඩ නොදීම නිසා එයට විරෝධතාවයක් ලෙස ගරුතර බෞද්ධ භික්ෂුන්වහන්සේලාට මහ පාර මැද නිදා ගැනීමට සිදු විය. 2023 අගෝස්තු මාසයේ සිදුවූ මෙය බෞද්ධයන්ට මුහුණ පෑමට සිදුවූ අවාසනාවන්ත තත්වයකි. නව නැගෙනහිර ආණ්ඩුකාරතුමා බෞද්ධ විරෝධියෙක් ලෙස හැඳින්වීමට මේ සංඝයාවහන්සේලාට සිදු විය.

යාපනය, නාවට්කුලි සිංහල ගම්මානය (යාපනයේ සිට කි.මී. 6), මන්නාරම මඩු පාර, නරිකාඩු. මඩකලපුව සහ ත්‍රීකුනාමලය යනප්‍රදේශවල වෙසෙන සිංහලයන්ට ඔවුන් එම ප්‍රදේශවල සුළු ජාතියක් වීම නිසා බොහෝ හිරිහැර කරදර  වලට මුහුණ පෑමට සිදුවේ.

බොහෝ විට ඔවුන් එම ප්‍රදේශවල ජීවත් වන්නේ ‘2 වන පන්තියේ’ පුරවැසියන් ලෙසය. .

1977 සිට සෑම රජයක්ම උතුරේ සහ නැඟෙනහිර සිංහලයන් මුහුණ දෙන අසාධාරනකම් ගැන නිහඩය.

මේ දේවල් සිද්ධ වන්නේ උතුරට ඉඩම් සහ පොලිස් බලතල නොදී තිබෙන මේ සමයේයි.

13 පූර්ණ ලෙස බල ගැන්වුවහොත් උතුරු නැගෙනහිර පිළිබඳව සිංහලයාට දැන් ඒ ප්‍රදේශ පිළිබඳව යම් අයිතියක්/උරුමයක් ඇත්නම් ඒවා ද අහිමි වී යා හැක.  

මෙවැන්නක් මේ අවස්ථාවේ සිදු කිරීම රටේ ඒකීය භාවය අහිමි වී යාමට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව සැළසීමකි.

මෙයට මූළික හේතුව නම් යුද්ධය පැරදුනත් දෙමළ බෙදුම්වාදීන් තමන්ගේ ඊලාම් සිහිනය තවමත් අත් නොහැර තිබීමයි.

මුස්ලිමානුවන් මෙරට තුල වෙනම රාජ්‍යක් සඳහා සටන් නොකරති.

බොහෝ TNA මන්ත්‍රී වරු ශ්‍රී ලංකාවෙන් පිටත්ව බටහිර රටවලට ගියවිට කථා කරන්නේ මේ රටට ඉතා අහිතවත් ලෙසයි. ඔවුහු ශ්‍රී ලංකාව පිළිබඳව බොහෝ අසත්‍ය ප්‍රවෘති ගොතා පවසති. මේ ලියුම්කරු ඔවුන්ව කෙළින්ම ප්‍රශ්ණ කල අවස්ථා ඇත; එවිට සමාව ගත් ප්‍රසිද්ධ මන්ත්‍රී වරුද ඇත.

ඔවුන් එම රටවලින් නොකියා ඉල්වන්නේ තමන්ගේ වෙනම රාජ්‍යක් බිහි කිරීමේ සටනට සහාය ලබා දෙන ලෙසයි.

ඉදින්, 13 පූර්ණව බලාත්මක කිරීම ‘පණින රිලවුන්ට ඉනිමං තැනීමක්’ වනු ඇත.  රජය එය ක්‍රියාත්මක නොකළ යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress