චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…!
Posted on March 20th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

අධිකරණයේ නඩුවකට පෙනී සිට කරුණු ඉදිරිපත් කළ නීතීඥවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව අවසන් වන තෙක් නීතීඥ වෘත්තීය කටයුතු වල යෙදීම අත්හිටුවා ඇති බව අද දින මාධ්‍ය වාර්තා කිහිපයක පළ විය. ලංකාදීප අන්තර්ජාල වෙබ් අඩවියේ මනෝප්‍රිය ගුණසේකර විසින් අධිකරණයට අපහාස කළ නීතීඥවරයෙකු රිමාන්ඩ් යන මාතෘකාව යටතේ පුවතක් පළ කරමින් එකී නීතීඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3කු විසින් නීතිපතිවරයාට නියම කර ඇති බවත් දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත  2024 පෙබරවාරි මස 01 වන සිට බලාත්මක කර අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාළ නීතිය ඒකාකාර ලෙස අදාළ වීම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් ලබා දීමේ කාර්ය පටිපාටිය පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස නීති පනවා ඇත.

එකී පනත මගින් අධිකරණය ඉදිරියේ නීති තර්ක, නීති කරුණු, ලේඛනමය හෝ වාචිකමය සාක්ෂිමය කරුණු ඉදිරිපත් කරන නීතිඥයන් හෝ පාර්ශවයන් මුල් අවස්ථාවේ සිටම නිදහස්ව, ස්වාධිනව, ජීවිත ආරක්ෂාවට තර්ජනයක් නොමැතිව සහ අපහාසයන්ගෙන් තොරව සිය කටයුතු සිදුකිරීමට අවස්ථාව දී තිබේද යන්න ප්‍රශ්නාර්ථයක් කර ඇත.

තමන් ඉදිරියේ සෑම පාර්ශවයක්ම ඉදිරිපත් කරන කරුණු සළකා බලා නීතියට අනුව විනිශ්චය කිරීම විනිසුරුවරයාගේ කාර්යය වන අතර නීතිඥවරයෙකු අධිකරණයේදී නීතිමය කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අහිමි කිරීම හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයෙකු කටයුතු කරන්නේ නම් නීතිඥවරයෙකු විනිසුරුවරයාගේ පෞද්ගලික ආකල්පද, පෞද්ගලික අභිලාශයන්ද තේරුම් ගැනීමට සිදුවිය යුතු තත්ත්වයක් උද්ගත වේ. එය අධිකරණයේ ස්වාධිනත්වයට පමණක් නොව සාධාරණ නඩු විභාගයකටද අයෝග්‍ය තත්ත්වයක් වන අතර අපක්ෂපාතී විනිශ්චයක් එමගින් අහිමිකර විනිසුරුතැනගේ පෞද්ගලික ආකල්ප, අරමුණු මත කටයුතු කරන නීති ගුරුකුල බිහිවීමට පටන් ගනී.

ඉහත පුවත දෙස අවධානය යොමු කිරීමේදී 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත  විධිමත් ලෙස නැවත සමාලෝචනය විය යුතු බවත් විනිසුරු ගරුත්වය, ආරක්ෂාව, රැකවරණය සහ අභිමානය මෙන්ම නීතිඥවරයෙකුගේ ගරුත්වය, ආරක්ෂාව, රැකවරණය සහ අභිමානයද තුළනය විය යුතුය. 

වරදක් කරන්නේ යැයි කියන අයටම චූදිතව හෝ සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අධිකරණ බලයද ලබා දීම ශිෂ්ට ලෝකය අනුමත නොකළ යුතුය.  එය අනුමත කළහොත් තමන්ගේ නඩුව තමන්ම විසදා ගැනීම නුසුදුසු බව කියන ස්වාභාවික යුක්ති මූලධර්මයද බිදවැටේ.

මහාධිකරණ නඩුවකදී චූදිතව ජීවිතාන්තය දක්වා සිරගතකළ හැකි පරිදි සාක්ෂි සටහන් සිය තනි අභිමතය අනුව වෙනස් කර චූදිතව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමේ දඩුවම් නියම කළ විනිසුරුවරයෙකු තවමත් සේවයේ යෙදෙයි.

අධිකරණය යනු නීතියේ රැකවරණය සළසන රන් දේවාලයකි. විධායකයේ අනීතික හස්තයෙන් බැටකන ජනතාව පිහිට පතා එන්නේ අධිකරණයටය. තමන්ගේ නඩුවට තමන්ම නියෝග දීමත්, තමන්ගේ ප්‍රකාශ සහ වාර්තා ප්‍රශ්න කිරීමට අවස්ථාව නොදීමත්, අවසානයේ ගත යුතු විනිශ්චය මුල් අවස්ථාවේ ගැනීමත් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ඇතුලු අධිකරණයට අපහාස කිරීමට දඩුවම් කිරීමට අදාල නීතියේ පවතින නීතිය මත පාලනයට ඇති අහිතකර ලක්ෂණය. ඒවා නිවැරදි කිරීමට ව්‍යවස්ථා සම්පාදකයන් කටයුතු කළ යුතුය.

අධිකරණයේදී නීතිය කතා කිරීම හෝ නීතියෙන් ලබා දී ඇති අයිතිවාසිකම් භාවිතා කිරීම මුල් අවස්ථාවේම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දක්වා දිව යන්නේ නම් ඒ නීතිය ස්ව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතියකි.

https://neethiyalk.blogspot.com/2024/03/blog-post.html

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col), සමායෝජක,

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

(2024.03.20)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress