වඩ්ඩමාන වෙහෙරට වධ බන්ධන -බුද්ධ ශාසන ඇමතිට මන නන්දන
Posted on March 21st, 2024

මතුගම සෙනෙවිරුවන්

             වුවනියා දිස්ත්‍රික්කයේ වවුනියා උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නයිනමඩු වන රක්ෂිතයේ පවතින අතිශයින් වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වන වඩ්ඩමාන පබ්බත විහාරය නොහොත් වඩුන්නාගල ට පසුගිය ශිව රාත්‍රී දිනයේ දී මන්ත්‍රී රවි හරන්ගේ අනුගාමිකයන් පිරිසක් කඩා වැදී පූජාවක් පවත්වන විලාශයෙන් කල කෝලාහලය පොලිසිය විසින් වලක්වා ගනු ලැබූයේ මහත් ආයාසයෙනි. මේ පිරිස අතරින් අට ‌ෙදනෙකු අත්අඩංගුවට පත් වූ අතර මාර්තු 11 දින පැවති නඩු විභාගයේ දී ඔවුහු තව දුරටත් හිරගත කොට  ඇත. වඩ්ඩමාන පබ්බත විහාර පරිශ්‍රයේ ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් පැරණි සිංහල  බ්‍රාහ්මී අක්ෂර මගින් කොටවන ලද ලේඛන තුනක්  කටාරම් සහිත ගල්ලෙන් වල පිහිටා තිබේ.එයට අමතරව වඩුන්නාගල පර්වත මස්තකයේ ගරාවැටුණු දාගැබ් දෙකක් ආරාම සංකිර්ණයන්හි නටබුන් මෙන්ම දිය නොසිදෙන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ.

          වඩ්ඩමාන නොහෙත් වඩුන්නාගල පර්වත සිඛරය බවුන් වඩන යෝගාවචරයන් වහන්සේලාට අතිශයින් වැදගත් තපෝවනයකි.ගොදුරු ගම් වශයෙන් පැවති ජනාවාස වඩාත් දුරකින් නොවූ බැවින් ප්‍රත්‍ය පහසුකම් සැපයීමට දුෂ්කරතා ඇති නොවෙයි.මෙහි හාත්පස යම් ගවේෂණයක් සිදු කලහොත් පුරාණ සිංහල ජනාවාසයන්ගේ වැදගත් සළකුණු මතුකර ගත හැකිව බව නිසැකය. 1964 වර්ෂයේ දී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රථම වරට මෙම ස්ථානයට වැඩම කරන කල්හි. උන්වහන්සේට මගපෙන්වන ලද්දේ දෙමළ මනුෂ්‍යයෙකි. පුරාණ සිංහල ගම්මාන මේ අවට පිහිටි බව එම පුද්ගලයා පැවසූ ආකාරය උන්වහන්සේගේ ග්‍රන්ථයන්හි දක්වා තිබේ.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2013 වසරේදී මෙම ස්ථානය පිළිබඳ ගවේෂණය කර වාර්තාවක් සකස් කරතිබේ. එහි සඳහන් කර ඇති ආකාරයට මෙම ස්ථානය පැහැදිලිවම බෞද්ධ විහාරයකි.වර්තමානයේ දී එහි අයිතිකරුවා වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. 1940 පුරාවස්තු ආඥා පනත අනුව මේ පුරාවිද්‍යා ස්ථානය රැක ගැනීමට එම දෙපාර්තමේන්තුවට බරපතල වගකීමක් පැවරී තිබේ.

       2018 වසරේ දී මෙම ස්ථානයට කඩා වැදුණු දෙමළ පිරිසක් විසින් එහි පවතින කටාරම් කෙටවූ ගල්ලෙන ආශ්‍රිතව අනවසර ඉඳි කිරීමක් කොට හින්දු දේව පිළිම තැන්පත් කොට පුරාවස්තු විනාශයක් සිදු කර තිබේ. අනතුරුව පර්වත මස්තකයේ ශිව පිළිමය තැන්පත් කර ඒ පර්වතයට නැගීමට යකඩ පඩිපෙළක් ඉඳි කිරීම නිසා සිදු වූ පුරාවිද්‍යා හානිය මත දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වවුනියා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුතුනක් විභාග වෙමින් පවතී.මින් පුරාවිද්‍යා නාම පුවරුව කැඩූ නඩුව සාක්ෂි නොමැති කමින් බහා තබා අති අතර අනෙක් නඩු දෙක( බී /806/23 සහ බී/2086/20) විභාග වෙමින් පවතී. මෙවැනි තත්වයක් තිබියදී  2023 මාර්තු මස අවසාන සතියේ දී නැවතත් උතුරු පළාතේ දේශපාලඥයන් කීප දෙනෙකු ගේ සාභාගිත්වයෙන් මෙම ස්ථානයේ දේවරූප තැන්පත් කිරීමට සැරසෙන බව සැළ වූ බැවින් වවුනියා පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ආර්.ජී. ජයතිලක මහතා වහා ක්‍රියාකාරී වී මෙම සාපරාධී ක්‍රියා වැළක්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට  නෙදුන්කර්නි පොලිස් ස්ථානාධිපති වෙත 2023/03/30  සහ 2023/04/01 දින ලිපි දෙකකින් දන්වා ඇත.

      නමුත් මෙම ස්ථානයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව හැඟී ගිය හෙයින් උතුර භාර ‌නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ වවුනියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද දැනුම්වත් කර තිබේ. එහෙත් 2023/04/02 දින මෙම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදේශීය දේශපාලඥයන් ඇතුළු පිරිසක් ඩෝසර යොදා රක්ෂිතය එළිපෙහෙළි කරමින් මාර්ගය පාදා ට්‍රැක්ටරයක් මගින් විශාල ශිව ලිංගයක් ප්‍රවාහනය කර වඩුන්නාගල පර්වත මස්තකයේ පවතින පැරණි දාගැබ හාරා විනාශ කර එම දේවරූප තබා ඇත.

           මෙරට අතීතයේ සිට පැවති බෞද්ධ සිද්ධස්ථාන විදෙස් සතුරු ආක්‍රමණ හමුවේ ඝන වනයට යට වී ජරාවාසව ගරා වැටුණු පසු සියවස් ගණනාවක් තිස්සේ බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට ඉඩ නොලැබුණි.පෙර පිහිටි රට වශයෙන් සැළකූ දැදුරු ඔයෙන් ඉහළ ප්‍රදේශය සහ මහවැලි ගගෙන් නැගෙනහිර ප්‍රදේශය මෙලෙස ජන ශූන්‍ය භාවයට පත්ව තිබුණි. පරංගි ආක්‍රමණ සහ ලන්දේසි අත් පත් කර ගැනීම් හමුවේ ජන ශූන්‍ය මේ පෙදෙස් වල දෙමළ වහල් ජනතාව සහ මුස්ලිම් වානිජයන් පදිංචි කරවූහ.අනුරාධපුර ශුද්ධ නගරය සංවර්ධනය කරනු වස් වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රී මතාණන් කළ මහා මෙහෙය නිසා නුවර කලාවිය යළි පිබිදෙනු දක්නට හැකි විය.බ්‍රිතාන්‍ය පාලනය යටතේ තවදුරටත් දෙමළ ජනාවාස පුලුල් වුවද වෙළෙඳ අභිප්‍රායන් මත දකුණෙන් සංක්‍රමණය වූ සිංහල ජනතාව උතුර සහ නගෙනහිර පදිංචි වී සේරුවාවිල නාග ද්වීපය මුහුදු මහා විහාරය වැනි අතිශයින් වැදගත් බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර ගර ගත්හ.ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ බෞද්ධ ප්‍රබෝධය තව තවත් පුලුල් විය.ජනපද බිහි වීම නිසා ගරාවැටුණු සිද්ධස්ථාන යළි ගොඩ නැන්වෙන්නට විය.නමුත් අසූව දශකයේ දී ආරම්භ වූ කොටි ත්‍රස්තවාදී යුද්ධය හමුවේ උතුරේ සිටි සිංහලයන් මෙන්ම නැගෙනහිර පදිංචිව සිටි සිංහලයන්ටද ගම්බිම් දමා සරණාගත කඳවුරු වලට ගාල් වන්නට සිදු විය.ඉන්දියන් හමුදාවේ කුරිරුකම් නිසා චීනවරාය නායක ස්වාමීන් වහන්සේ ඝාතනය වූ ආකාරය කාටත් හොඳට මතක ඇතැයි සිතමි.2009 වසරේ සිට කොටි ඝාතක යුද්ධයෙන් පීඩා විඳි ප්‍රදේශ ක්‍රමයෙන් නිදහස් වීමට පටන් ගත් අතර හමුදාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්වී කරන ලද ගවේශණ වල ප්‍රතිඵලයක් වශයෙන් උතුර සහ නැගෙනහිර පෙදෙස් වල පමණක් පැරණි නටබුන් සහිත ස්ථාන 1700 කට වඩා සොයා ගන්නට යෙදුණි.මේ අතරින් වඩ්ඩමාන පබ්බත විහාරයද එක් ස්ථානයකි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2010 සට 2013 දක්වා කරන ලද ගවේශණ වලදී පර්වත මස්තකයේ පැවති දාගැබක නටබුන් පැහැදිලි ලෙසට දක්නට ලැබුණි.නමුත් 2018 දී අලුතෙන් ගොඩ නන්වන ලද කෝවිල නිසා මේ දාගැබ සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

          මෙම ස්තානයේ පැරණි නාමය වඩ්ඩමනා විහාරය වුවද ඔවුහු මෙයට වෙඩිකිරිනාමලේ යනුවෙන් දක්වන නාම ස්වරූපය දැනට ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසිද්ධ වී ඇතිවාට නිසැකය. හේතුව ඉන්දියාවේ ශිව සේනා ආධාර ලබා මේ අන්තවාදීන් වරින් වර ඇති කරන කලබල මධ්‍යයේ ඔවුන්ගේ මාධ්‍ය ප්‍රචාරක යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමයි.උතුර නියෝජනය කරන රවිහරන් පොන්නම්බලම් වැනි දේහපාලනඥයන්ද හිටපු පළාත් සභා මන්ත්‍රී වරුද මෙම විනාශයට සෘජුව සම්බන්ධය. මේ නඩු සඳහා  පෙනී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා බවද නොරහසිකි.මෙම 12 වනදා වවුනියා උසාවියේ පැවති නඩු විභාගයේ දී පුරාවිද්‍යා වර්තාව සිංහල බසින් සකස් කර ඇතැයි ද එය පිළි ගැනුමට නොහැකි යයිද කියා ඔහු මහත් කලබගෑනියක් කර ඇත.

   1940 පුරාවස්තු ආඥා පනත අනුව නටබුන් තත්වයේ තිබෙන සෑම පැරණි ස්ථානයක්ම පුරාවිද්‍යාව මගින් ආවරණය වේ.ඒ ස්ථාන ගවේෂණය කොට එහි මුල් ස්වරූපය පීලිබඳ දෙපාර්තමේන්තුව දරන අදහස ප්‍රකාශ කරති. ඒ අනුව මෙරට හමු වූ වැඩි ප්‍රමාණයක් පුරා විද්‍යා ස්ථාන බෞද්ධ සිද්ධස්ථානයත් වෙති. නමුත් පුරාවිද්‍යා පනත අනුව යම් කිසි ස්ථානයක විනාශයක් සම්බන්ධ නඩු කටයුත්තක් සිදු වන කල්හි දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්ය වශයෙන් සිදු වන්නේ පුරාවිද්‍යා හානිය ගණනය කිරීමයි. ඒ ස්ථානයේ අනන්‍යතාවය ඉස්මතු කරන්නේ වාර්තාවකින් පමණි. වඩුන්නාගල පැරණි බෞද්ධ විහාරයේ ශිව පූජා පැවැත් වීමට ශිව සේනා අනුගාමිකයන්ට ඉඩ හසර ලැබෙන්නේ ඒ නිසාය. අවාසනාවකට මෙරට වත්මනෙහි බුද්ධ ශාසන භාරව සිටින්නේ ශාසනික පැවැත්ම පිළිබද අබමල් රේණුවක වත් හැඟිමක් නොහමැති පුද්ගලයෙක් යටතේය.පුරාවිද්‍යා ස්ථානයක් වුවද බෞද්ධ විහාරයක් නම් බුද්ධ ශාසන ඇමති ලෙසට ඔහුට මැදිහත් වීමට තිබෙන් අයිතිය පැහැදිලිය.වඩුන්නාගල යනු බෞද්ධ විහාරයක් බවත් ඒහි වෙනත් පූජා පැවැත්වීමට ඉඩ දිය නොහැකි යැයි බුද්ධ ශාසන ඇමති වශයෙන් ඔහුට ප්‍රකාහ කළ හැකිය. එහෙත් ඔහු නිහඬය. ඒ වෙනුවටඉන්දියාවේ අනුග්‍රහයෙන් ශිව පූජා පැවැත්වීමද භගවත් ගීතා සංර්දර්ශණ පැවැත්වීමද ඔහුගේ මන නන්දනයට හේතු වේ.  ත්‍රිකුනාමලය කන්නියා උණුවතුර ළිං ආශ්‍රිත බෞද්ධ ආරාමයේ අවසර පත්‍රයේ තිබූ බෞද්ධ වචනය ඉවත් කිරීමට කරන ලද උපක්‍රමය මේ සියුලු දෙන සම්බන්ධය. කුරුන්දි විහාර ධාතු නිදාන උත්සවය අවස්ථාවේ දී දෙමළ සන්ධානයේ මන්ත්‍රී වරුන්ගේ ඉල්ලීම පරිදි එය නැවැත්වීමට පුරාවිද්‍යා අදයක්ෂ ජනරාල්ට නියෝග දුන් හැටි අපට මතකය. ඒ කිසිවක් ලිඛිතව නොවේ.මෙවැනි තත්වයක් යටතේ ඇතිව තිබෙන ආරාජිකත්වය මගහැර යෑමට කල හැකි දේ බොහෝය. ඒ සඳහා සූදානම් වීම නුවණට හුරුය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress