‘සමාජ ආරක්ෂණය සඳහා ඇති අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැනෙමින් පවතී’ – එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) 6 වැනි සමාජ සංවර්ධන කමිටුවේදී (CSD) ශ්‍රී ලංකාව පවසයි.
Posted on October 22nd, 2020
UNESCAP හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය හා තානාපති කාර්යාලය බැංකොක්, තායිලන්තය
පවතින COVID-19 වසංගත තත්ත්වය සමාජ ආරක්ෂණය අන්කවරදාකටත් වඩා අවශ්‍ය බව ඔප්පු කර ඇතැයි බැංකොක්හි එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී 2020 ඔක්තෝබර් 20 හා 21 දිනයන්හි පැවැති එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) 6 වැනි සමාජ සංවර්ධන කමිටුවේ (CSD) සභාපතිත්වයට ඒකමතිකව පත්වූ UNESCAP හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපතිනි සමන්තා කේ. ජයසූරිය මහත්මිය සැසිවාරය ආරම්භ කරමින්පැවැසුවාය.
කමිටුවේ මූලික තේමාව ‘සමාජ ආරක්ෂණය’ වූ අතර තවදුරටත් සමුළුව අමතමින්, කලාපීය රටවල් වසංගත තත්ත්වයෙන් ඇතිවන සමාජ ආර්ථික බිඳවැටීම්වලට ප්‍රතිචාර දැක්වීමට සහ ඒවායින් ආරක්ෂා වීමට සැළසුම් සහගත ක්‍රමවේදයන් අනුගමනය කර තිබුණද, අප COVID-19 වසංගත තත්ත්වය හමුවේ නොදන්නා සහ අවිනිශ්චිත වාතාවරණයන් කරා තවදුරටත් පියමන් කරන බැවින් ඊට මුහුණදීමේ ප්‍රධාන මෙවලමක් ලෙස, සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමේ ක්‍රම ඇති කිරීමට සමාජ සංවර්ධන කමිටුවට අවස්ථාවක් ලබාදිය හැකි බව තානාපතිනි ජයසූරිය මහත්මිය සිහිපත් කළාය.
‘ආසියා පැසිෆික් කලාපයේ සමාජ ආරක්ෂණය සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැළැස්ම’ සහ ‘ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සහ ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියා පැසිෆික් අමාත්‍ය ප්‍රකාශයේ අන්තර්ගත කැපවීම් ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය අධීක්ෂණය සඳහා වන ආසියා පැසිෆික් දර්ශක රාමුව’ යන ප්‍රධාන ලේඛණ දෙක කමිටුව විසින් අනුමත කරන ලදි.
න්‍යාය පත්‍රයේ අංක 2 යටතේ අදහස් දක්වමින්, සහකාර නිත්‍ය නියෝජිත සරිතා රණතුංග ‘ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය සඳහා සැමට ප්‍රවේශය ලබාදෙමින්ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, විශේෂ අවශ්‍යතා සහිත හා අවදානමට ලක්විය හැකි කාණ්ඩයන් සඳහා සමාජ ප්රතිලාභ ලබාදීම මඟින්ද, පුරවැසියන්ට සමාජ ආරක්ෂණය හා සුභසාධනය සහතික කරමින්, සුවිශේෂී ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව අවධාරණය කළාය. COVID-19 වසංගත කාලයේදී අවදානමට ලක්වූ මිලියන 6කට අධික පවුල්වල සුභසාධනය සඳහා සහ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පිහිටවීම ඇතුළුව COVID-19 පැතිරීම පාලනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනුලැබූ ක්‍රියාමාර්ග පිළිබඳවද ඇය සඳහන් කළාය. සමාජ ආරක්ෂණය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව සහ ඊට ප්‍රයෝජනවත් මෙවලම් ලෙස අනෙකුත් සාමාජික රටවලින් ඉගෙනීමට සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට ගතික කලාපීය වේදිකාවක් නිර්මාණය කිරීමේ වැදගත්කමද ශ්‍රී ලංකාව විසින් අවධාරණය කරන ලදී.
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අධ්යක්ෂ (සැලසුම්) එම්.රාමමූර්ති මහතා සහ ශ්‍රී ලංකා ධරණීය සංවර්ධන කවුන්සිලයේ සහකාර අධ්යක්ෂ, නදීකා අමරසිංහ යන නිලධාරීහු කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ සමුළුවට සම්බන්ධ වූහ. සාමාජික රටවල්, ජාත්‍යන්තර සංවිධාන හා සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් බැංකොක්හි එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී මෙන්ම අන්තර්ජාලය ඔස්සේද නියොජිත පිරිස් සමුළුවට සහභාගී විය.
UNESCAP හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය හා තානාපති කාර්යාලය
බැංකොක්, තායිලන්තය
2020 ඔක්තෝබර් 21