බද්ද වැඩි කරන්න පෙර හිතවත් ව්‍යාපාරිකයන් ළූණු ටොන් 18,000ක් අර්තාපල් ටොන් 23,000ක් ගෙන්නලා..
Posted on August 29th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

අර්තාපල් සහ ළූණු සඳහා බද්ද පනවන බවට වූ තොරතුර එම බද්ද පැනවීමට පෙර තමන්ට කීකරු ව්‍යාපාරිකයන්ට රජය විසින් ලබා දී ඇතැයි සමගි ජන බලවේග දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු, හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක කොළඹ සජබ කාර්යාලයේදී පැවසීය.

මේ හේතුවෙන් බදු අය කිරීමට පෙර ආණ්ඩුවට හිතවත් කූට ව්‍යාපාරිකයන් අල සහ ළුණු තොගයක් ලංකාවට ගෙනැවිත් අවසන් බවත් ඔහු කීවේය.

පසුගිය දින 10 තුළ ළූණු ටොන් 18,000ක් සහ අර්තාපල් ටොන් 23,000ක් බද්ද අය කිරීමට පෙර ලංකාවට ගෙන්වා ඇති බව දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු සඳහන් කළේ ය.

ඒ අනුව, දේශීය ගොවීන්ට ඔවුන්ගේ අස්වැන්න විකුණා ගැනීමට වෙළෙඳපොළක් නැති වී යන බව ඔහු කීය.

ආණ්ඩුව බරපතළ ලෙස රටේ ගොවීන් අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත් දුක් විඳ බැංකුවලට ණය වී ලබාගත් අස්වැන්න විකුණා ගැනීමට අවස්ථාවක් නොදී ආණ්ඩුවට හිතවත් කූට වෙළෙන්දන්ට වෙළෙඳපොළ විවෘත කර දී තිබෙන බවටත් ඔහු චෝදනා කළේ ය.

ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී, පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලය ආර්ථික වශයෙන් ශක්තිමත් කළ ආණ්ඩුවට ශක්තිය ලබා දුන් කූට ව්‍යාපාරිකයන් වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා වැඩි වේගයකින් වර්තමාන ආණ්ඩුව ආරක්ෂාව සලසමින් සිටින බවටත් ඔහු තවදුරටත් චෝදනා කළේ ය.

සචිත‍්‍ර පෙරේරා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress