මාලිමාවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
Posted on September 29th, 2025
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා විසින් ජාතික ජන බලවේගයට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.
මෙම පැමිණිල්ල අද (29) දින පෙරවරුවේ ගොනු කෙරිණි.
මෙම පැමිණිල්ලට හේතු වී ඇත්තේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම මාසික වැටුප පක්ෂයේ අරමුදලට බැර කර, දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමයි.
පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගම්මන්පිල මහතා පැහැදිලි කළේ, මන්ත්‍රීවරුන් 159 දෙනකු විසින් මාසිකව රුපියල් කෝටි 3කට වඩා වැඩි මුදලක් ලබා ගනිමින් එය පක්ෂ අරමුදලට බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් බවයි.
මෙම කරුණ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් අරඹන ලෙස ඉල්ලා තමන් අල්ලස් කොමිසම හමුවට පැමිණි බවද ඔහු වැඩිදුරටත් කීය.
2025 සැප්තැම්බර් මස 29 වන දින
අධ්‍යක්ෂ ජනරාල්තුමා
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
36 මලලසේකර මාවත
කොළඹ 7
හිතවත් අධ්‍යක්ෂ ජනරාල්තුමනි
මහජන අරමුදල් දේශපාලනික අරමුණු වෙනුවෙන් යෙදවීමෙන් ජාතික ජන බලවේගය සිදු කරන දූෂණයට නීතිය ක්‍රියාත්මක කිරීම
ජාතික ජනබලවේගය නියෝජනය කරන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ද ජනාධිපතිවරයාගේ ද සමස්ත වැටුප් සහ දීමනා එහි ප්‍රධාන දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට ලබා දෙන බවත් තම නඩත්තුව සඳහා පක්ෂ අරමුදලින් දීමනාවක් ලබා ගන්නා බවත් එම පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වන දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි. (ඇමුණුම 1 බලන්න).
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු දළ වශයෙන් මාසයකට රු 340,000ක පමණ දීමනා ලබයි (ඇමුණුම 2 බලන්න). 2024 අප්‍රේල් මස වැටුප් පත්‍රිකාව අනුව එකී දීමනාව සැකසෙන්නේ පහත දැක්වෙන පරිදිය.
මාසික දීමනාව 54,285.00
සංග්‍රහ දීමනාව 1,000.00
දුරකතන දීමනාව 50,000.00
කාර්යාල දීමනාව 100,000.00
ඉන්ධන දීමනාව 103,000.00
ප්‍රවාහන දීමනාව 15,000.00
පැමිණීමේ දීමනාව 15,000.00
කමිටු සහභාගී දීමනාව 2,500.00
එකතුව 340,785.00
මෙම දීමනා අතුරෙන් මන්ත්‍රිවරයෙකුට සිය කැමැත්ත පරිදි වියදම් කළ හැක්කේ මාසික දීමනාව, පැමිණීමේ දීමනාව සහ කමිටු සහභාගි දීමනාව පමණි. ඒ අනුව 2024 අප්‍රේල් මස මන්ත්‍රිවරයෙකුට ලැබුණු දීමනා වලින් තමන් කැමැති පරිදි වියදම් කළ හැක්කේ රු71,285.00කි. එනම් පක්ෂ අරමුදලට පරිත්‍යාග කළ හැක්කේ රු71,285.00කි.
අන් සෑම දීමනාවක්ම ලබා දෙන්නේ නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීමටයි. එබැවින් එම මුදල් වැය කළ යුත්තේ ලබා දෙන අරමුණ ඉටු කිරීමටයි. ඒ අනුව රු100,000.00ක් වූ කාර්යාල දීමනාව භාවිතා කළ යුත්තේ තම මැතිවරණ කොට්ඨාශය තුල කාර්යාලයක් නඩත්තු කිරීමටයි. කාර්යාල කුලිය, විදුලි බිල්පත්, ජල බිල්පත් සහ නඩත්තු වියදම් සඳහා එම මුදල වැය කළ යුතුය. එසේම ඉන්ධන දීමනාව භාවිතා කළ යුත්තේ මැතිවරණ කොට්ඨාශය පුරා සංචාරය කර මහජන ගැටළු හඳුනා ගැනීමට සහ උත්සව හා රැස්වීම් වලට සහභාගි වීමටය. ප්‍රවාහන වියදම් භාවිතා කළ යුත්තේ තම කාර්ය මණ්ඩලයේ මහජන සේවා සඳහා වන ප්‍රවාහන වියදම් ආවරණය කිරීමටයි. සංග්‍රහ දීමනාව භාවිතා කළ යුත්තේ තමන් හමුවීමට පැමිණෙන ජනතාවට අවම වශයෙන් තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමටයි.
දුරකතන දීමනාව භාවිතා කළ යුත්තේ තම දුරකතන, පැකුම් සහ අන්තර්ජාල සබඳතාවල මාසික බිල්පත් පියවීමටයි.
මේ අනුව නිශ්චිත මහජන සේවයකට වැය කිරීමට ලබා දෙන අරමුදල් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට යෙදවීම මහජන මුදල් අවභාවිතා කිරීමකි. දූෂණයකි. එබැවින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනා ද ජනාධිපතිවරයා ද මෙම දූෂණය නමැති වරද සිදුකර ඇත. එබැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
ඉහත දැක්වූ දේවානන්ද සුරවීර මන්ත්‍රිතුමාගේ ප්‍රකාශය අනුව සෑම මන්ත්‍රිවරයෙකුටම ජාතික ජන බලවේගය විසින් මාසික දීමනාවක් ලබා දුන්නත් කිසිම මන්ත්‍රිවරයෙකු තමන්ගේ ආදායමක් ලෙස එකී දීමනාව සිය වත්කම් ප්‍රකාශනයේ සඳහන් කර නොමැති බව ඔබ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කරන ලද වත්කම් ප්‍රකාශන නිරීක්ෂණය කිරීමෙන් පෙනේ. එබැවින් ජනාධිපතිවරයා ද ජාතික ජන බලවේගයේ සෑම මන්ත්‍රිවරයෙකු ද මෙම දීමනාව පිළිබඳ සඳහන් නොකිරීමෙන් ඔවුන් සියළුම දෙනා දූෂණ විරෝධි පනත යටතේ රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වසරක සිර දඬුවමක් ලැබිය හැකි වරදක් කර ඇති බව පෙනේ. එබැවින් ඔවුන්ට එරෙහිව නොපමාව නීතිය ක්‍රියාත්මක කරන මෙන් අපි කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමු.
මෙයට
දේශප්‍රේමිත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය