ජනාදිපතිගේ ජාතිය ඇමතීමේ කතාවට පිළිතුරු කතාව
Posted on December 6th, 2025
ප්‍රසංග අල්විස් උපුටාගැණීම මුහුනුපොත
ඔබතුමා ඊයේ පැවැත්වූ ජාතිය ඇමතීමේ කතාව අසා සිටියදී මට ඇතිවූ අදහස් මෙසේ ලියා දක්වමි.
ඔබතුමා එම කතාවේ පැවසූ මගේ හිතට වදින වැදගත්ම කැරුණු දෙක නම් ?
1) “මෙය ඉතිහාසය විසින් රටම ව්‍යසනයට පත් කිරීමේ පළමු අත්දැකීම”
2) “අපට ඉදිරියට මුහුණ දීමට සිදුවන්නේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාන්විතයන්ට සහ නැවත ගොඩනැංවීමේ කාර්යභාරයට බව අප සිහිපත්කල යුතුව තිබෙනව”
මෙහි පැවසූ පලවෙනි කරුණ නම් ඔබතුමා පැවසූ “පළමු අත්දැකීමය.” පහතින් සඳහන් කරන ගෙවුන සියවසේ මේ රට මුහුණදුන් මහා ඛේදවාචක ප්‍රමාණය හමුවේ ඔබතුමා සිටියේ විපක්ෂයේ නිසා එම කතාව අතිශය නිවැරදිය. මෙම වැකිය “මෙය ඉතිහාසය විසින් රටම ව්‍යසනයට පත් කිරීමේ [මගේ] පළමු අත්දැකීම” ලෙස වෙනස් විය යුතුය. ඔබතුමා ඒ කිසිදු ව්‍යසනයකට සම්බන්ද නොවී ඒ කාලයේ වටිනා උපදෙස් ප්‍රමාණයක් දුන්නා අපිට මතකය. ඒවා කාටත් මතක නිසා නැවත නැවත කීමෙන් පලක් නැත.
දෙවන කරුණ නම් අප පහුගිය සියවස ගනිමු. එනම් 1925 සිට 2025 දක්වා කාලයයි. මෙම සියවසේ අප රට මුහුණදුන් ප්‍රථම දරුණු ඛේදවාචකය නම් 1971 කැරැල්ලයි. එහිදී මියගිය ප්‍රමාණය 8,000ක් 10,000ක් ප්‍රමාණයේ පවතින අතර සිදුවූ දේපොළ විනාශය ඇස්තමේන්තු කර නැත.
දෙවන ඛේදවාචකය නම් 1983 කළු ජූලියයි. එයින් අහිංසක දෙමල ජනතාව 3000ක් පමණ මිය ගිය අතර තිස් වසරක යුද්ධයේ ආරම්භයද එය විය. දෙමළ ජනතාවගේ දේපොළ කර්මාන්තශාලා එහිදී සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර එකල සිටි පාලකයා පොලිසියට එම කාලය තුල නිවාඩුද ලබා දුන්නේය.
තෙවන ඛේදවාචකය 1988 1989 කැරැල්ලයි. එවකට පැවති රජය සහ ඔබතුමාගේ පාක්ෂිකයින් අතර වූ ගැටුමින් මිය ගිය ගණන 40,000 ඉක්මවා ඇත. ඔබ තුමන්ලා විනාශ කල රජයේ දේපොළ වල වටිනාකම ඩොලර් බිලියන ගණනකි.
හතරවන ඛේදවාචකය සුනාමියයි. එහිදී වෙරළබඩ තීරයේ සුළු කොටසක් හැරුන විට මීටර් 100ක් පමණ ගොඩබිමට වන්නට තිබු සියළු ඉදිකිරීම් සුනු විසුනු වී මිනිස් ජිවිත 30,000ක් පමණ නැතිවූ බව කවුරුත් දන්නා කරුණකි.
මේ සියවසේ ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දුන් දරුණුම ඛේදවාචකය තිස් වසරක යුද්ධයයි. එයින් රටට අහිමිවූ ඩොලර් ප්‍රමාණය බිලියන ගණනක් වන අතර මිනිස් ජීවිත 100,000 150,000 ප්‍රමාණයක් රටට අහිමි විය.
ඊළඟට පැමිණුනේ කොවිඩ් වසංගතයයි. එයින් මිනිස් ජීවිත 16,000ක් පමණ නැතිවූ අතර දේපොළ හානියක් සිදුවුයේ නැතත් සංචාරක ව්‍යපාරය සහ විදේශ ප්‍රේෂණ නැති වීමෙන් රටම ආර්ථික වශයෙන් බංකොලොත් විය.
මෙවර වර්ෂාවෙන් පසු ඇතිවූ තත්වයෙන් පසු අප රටේ සංචාරක ව්‍යාපාරයට යම් බලපෑමක් සිදු වුවත් ඉහත සඳහන් සියලු ඛේදවාචකයන් ගෙන් එම ක්ෂේස්ත්‍රයට වූ බලපෑමට වඩා එය අවමය. එනම් ඉදිරියට අපට සංචාරක ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වුන අදායම මඳක් අඩුවෙන් හෝ ලැබෙනු ඇත.
කොවිඩ් සමයේ මෙන් විදේශ ශ්‍රමිකයින් අපේ රටට නැවත පැමිණෙන්නේ නැත. එනම් විදේශ ප්‍රේෂනද සතයක් වත් අඩු නැතිව ලැබෙනු ඇත.
ඇඟලුම් කම්හල් සහ රටේ අනෙක් අපනයන කර්මාන්තවලට තරමක බලපෑමක් මෙයින් ඇතිවුවත් ඉහත සඳහන් කිසිදු ඛේදවාචකයකින් ඒවාට වූ බලපෑම මෙන් ප්‍රමාණයක් මෙයින් වූයේ නැත.
මේ වර්ෂාවෙන් වූ ජිවිත හානි ප්‍රමාණය මේ වනවිට 334ක් වන අතර එය 3000ක් වුවත් ඉහත සඳහන් ඛේදවචයන්ගෙන් වූ ජීවිත හානි වලට වඩා අවමය.
මෙයින් වන අපට දැනෙන ප්‍රධාන බලපෑම් නම් මාස තුනක් පමණ වනතුරු එළවළු ඇතුළු පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහල යාම සහ සහල් පිටරටින් ආනයනය කිරීමට සිදුවන බැවින් සහල් මිල තරමක් ඉහල යාමය.
මේ දැවැන්ත වර්ෂාව නිසා ජල විදුලි බලාගර සියල්ල ඉදිරි මාසයක පමණ කාලයක් 100% ක්‍රියාත්මක වනු ඇත. එයින් රටට ඉතුරු වන ඩොලර් ප්‍රමාණය මිලියන 100ක් පමණ වනු ඇත. ඩොලර් මිලියන 100 යනු ලංකාවට මාස හයකට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට යන වියදමට සමාන මුදලකි.
ඔබතුමා මෙම ඛේදවාචකය සියවසේ දැවැන්තම ඛේදවාචකය ලෙස ඊයේ කතාවේ හඳුන්වනු ලැබුවේ කුමන පදනමකින්ද යනු ගැටළු සහගතය. සමහරවිට අනාගතයේ ඔබතුමන්ලා කරන කුමන හෝ කාර්යයක් අසාර්ථක වුවහොත් නිදහසට කරුණු ලෙස මෙම ඛේදවාචකය පිටින් දැමීමට හිතාගෙන සිටිනවා විය හැක.
එහෙත් මා මෙහි ඉතාම ධනාත්මක පැත්තක් දකිමි. එනම් ඔබතුමා දෙවනුව සඳහන් කල කැඩුණු රජයේ දේපොළ නැවත ප්‍රතිසංස්කරණය කිරීමයි. මහා මාර්ග, පාලම්, දුම්රිය මාර්ග, ගොඩනැගිලි ඇතුළු සියළු දෑ නැවත ගොඩනැඟීමයි. ඔබතුමන්ලා පසුගිය අයවැයෙන් ප්‍රාග්ධන මුදල් සඳහා වෙන් කල ප්‍රමාණය (Budgeted CapEx) රුපියල් බිලියන 1,259.8 වන අතර වැය කළ මුදල (Actual Utilized CapEx) රුපියල් බිලියන 389.6කි. ඔබතුමන්ලාට ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘති නැතිව හෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවබෝධයක් නැතිව හෝ වෙනයම් කාරණයකට පසුගිය කාලයේ හොඳට තිබුන පාරවල් වල තාර ගලවා නැවත තාර දැම්මෝය. දැන් එසේ කිරීමට අවශ්‍ය නැත. ඔබතුමන්ලාට රටම වැඩබිමක් කල හැක. මෙම වසරේද අයවැයෙන් ඊට සමාන මුදලක් ප්‍රාග්ධන වියදමට වෙන් කර ඇත. මේ මුළු වියදම අලාභානි වූ දේවල් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට යෙදවුවහොත්?
රටම වැඩ බිමක් වනු ඇත.
කැඩුණු බෝක්කු පාලම් දුම්රිය මාර්ග මහා මාර්ග අලුතින් ප්‍රතිසංස්කරණය වනු ඇත.
රැකියා නිර්මාණය වනු ඇත.
බර වාහන, ඩෝසර් ක්‍රියාකරවන්නන්, මේසන් බාස් වරු, කම්කරුවන්, ඉංජිනේරුවන් නිර්මාණ ශිල්පින් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඇති සියළු වෘතින් වල නියැලෙන පුද්ගලයින්ට රැකියා ලැබෙනු ඇති අතර ඔවුන්ට ඇති ඉල්ලුම වැඩිවී වේතන ඉහල යනු ඇත.
ගමට මුදල් ගලා යනු ඇත.
ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වාහන අලුත්වැඩියා කරන තැන් බිහිවනු ඇත. ඔවුන්ට අවශ්‍ය කෑම නවාතැන් ඇතුළු යටිතල පහසුකම් ලබා දීම මාර්ගයෙන් ගමේ මිනිසුන්ට මුදල් ලැබෙනු ඇත. පොඩි මිනිහා ඉදිකිරීම් කරන කම්කරුවන්ට අවම බුලත් විටක් හෝ විකුණා අදායම් උපයනු ඇත.
මුදල් සංසරණය වනු ඇත.
වර්ධනය වන ආර්ථිකයක ප්‍රධානම අංගය මුදල් සංසරණය වීමය. එනම් මිනිසුන් මුදල් වියදම් කිරීමට පෙලඹවීමය.
මේ වූ ඛේදවාචකයෙන් කෙසේ හෝ නැගිටිමු…
ප්‍රසංග අල්විස්