සහරාන්ගේ නීතීඥයා වත්මන් අධිකරණ ඇමති.. ඔහු මඩකලපු ගොස් සහරාන්ට පෙනී සිටියා…
Posted on March 3rd, 2026

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අද මෙරට අධිකරණ ඇමති ධුරය හොබවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රත්නපුර පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා කියා සිටියේ වත්මන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා එදා මඩකලපුවට ගොස් සහරාන්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා බවයි. රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වැනි බුද්ධි අංශ ප්‍රධානීන් සිරගත කර පීඩාවට පත් කරමින්, සහරාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ඇමතිකම් ලබා දීම හාස්‍යයට කරුණක් බව ඔහු අවධාරණය කළේය.

ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය හරහා කොටි ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා මෙරට බුද්ධි අංශ සහ ආරක්ෂක හමුදාවන් බෙලහීන කරමින් පවතින බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය. රණවිරු යන වචනය පවා භාවිත කිරීමට මැලි වන පාලනයක් අද බිහි වී ඇති බවත්, ජයමංගල ගාථා සහ සිංහල අවුරුදු චාරිත්‍ර වැනි ජාතික උරුමයන් පවා රජය විසින් නොසලකා හරිමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම වත්මන් රජය ආර්ථිකය හැසිරවීමේදී අසාර්ථක වී ඇති බව පැවසූ වීරවංශ මහතා, හොරු ඇල්ලීමේ සටන් පාඨවලින් බලයට පැමිණි පිරිස් අද මහා දවාලේ මහා පරිමාණ දූෂණවල නිරත වන බව පැවසීය. විශේෂයෙන් බාල ගල්අඟුරු ගෙන්වීම, බාල ඖෂධ ආනයනය සහ හාල් මිල පාලනය කිරීමට අපොහොසත් වීම හරහා ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බවත්, මෙවැනි ක්‍රියාවල බර අවසානයේ විදුලි බිල සහ බදු හරහා සාමාන්‍ය ජනතාව මතම පටවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රට වැටී ඇති මෙම අගාධයෙන් ගොඩගැනීමට නම් ප්‍රතිපත්ති පාවා නොදෙන, රටේ සංස්කෘතික සහ ජාතික උරුමය හඳුනන නව නායකත්වයක් අවශ්‍ය බව පවසමින් වීරවංශ මහතා සිය දේශනය අවසන් කළේය

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress