ශ්‍රී ලංකාවේ ජාතික විහිළුව තිරගත වෙමින් පවතී.
Posted on August 6th, 2026
Chandrasena Pandithage
නඩු ලක්ෂ 11ක් අධිකරණ තුල ගොඩගැසී ඇති බව පැවසේ. එම නඩු කඩිනමින් විසදීම සඳහා සියලුම විනිසුරුවරුන්ගේ සේවාකාලය වසර දෙකකින් දිගු කිරීමට වර්තමාන රජය යෝජනා කරයි.
නඩු ලක්ෂ 11ක් සියලුම විනිසුරුවරුන්ගේ සේවාකාලය වසර දෙකකින් දිගු කිරීම තුලින් විසඳා අවසන් කල හැකිනම් අප එයට විරුද්ධ විය යුතු නොවේ. සහයෝගයදී අධිකරණය තුල ඇති නඩු තදබදය නිම කිරීමට සහය දිය යුතුමය.
රාජ්‍ය කාලකන්නිත්වය විසින් නිර්මාණය කරන ලද, නඩු තදබදය කඩිනමින් විසදීම සඳහා කාල කලමනාකරණය නිසි ලෙස අවබෝධයකින් සිදුකල යුතු කටයුත්තකි. අප පවතින තත්වය දෙස මදක් විපරම් කර බලමු. කාල රාමුව තුල එක නඩුවක් සම්පුර්ණයෙන්ම අවසන් කිරීමට සතියකින් කල හැකිනම් මේ නඩු ලක්ෂ 11 නිමකිරීමට සති ලක්ෂ 11ක කාලයක් මිඩංගු කිරීමට සිදුවේ. එය අවුරුදු වලින් ගණනය කළහොත් වසර 21,153ක කාලයක් අවශ්‍ය වේ. මෙවන් කාලයක් ගතවෙන කටයුත්තක් වසර 3නක සිය ඉදිරි පාලන කාලය තුලදී ඉටුකිරීමට මේ රජය ඉටු කිරීමට වෙර දැරීම ඇත්තෙන්ම පැසසිය යුතුය. ඒ සඳහා අවශ්‍ය කරන විනිසුරු උතුමන්ලාගේ සංඛ්‍යාව බුද්ධිමත් ඔබම ගණනය කර බලන්න. ඒ විනිසුරුතුමන්ලාටත් මේ බැරෑරුම් කටයුත්ත නිමකිරීමට වසර දෙකක සේවා දිගුවක් නොව ඊට වඩා සේවා දිගුවක් වුවද ලබාදීමට සහය දෙන්න. එසේ සහයදී ඔබ විසින් බලයට පත් කරගන්නා ලද උගතුන් ගෙන් සපිරි රජයේ හැකියාව මනාව අවබෝධ කරගන්න.