රටේ ලොකුම හොරකම සිදු කළ විදේශිකයාට යන්න දීලා අලුත් හොරු සොයනවා – දිලුම් අමුණුගම
Posted on January 12th, 2018

සිරිල් විමලසුරේන්ද්‍ර උපුටා ගැන්ම දිවයින

ලංකා ඉතිහාසයේ ජනතාවට අයත් ලොකුම මුදල් සොරකම සිදු කළ විදේශිකයාට යන්ට හැර යහපාලන ආණ්‌ඩුව දැන් අලුත් හොරුන් සොයන්ට උත්සාහ කරන බව මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා (ඒකාබද්ධ විපක්‌ෂය) නුගවෙලදී පැවති මාධ්‍ය හමුවකදී පෙරේදා (10 දා) පස්‌වරුවේ පැවසීය.

සොරකම් කළ රුපියල් එකළොස්‌ කෝටිය මේ වනවිට ලංකාවේ තිබේද නැත්ද කියා සැකයක්‌ තිබේ යෑයිද පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පැවසීය.

රටේ සිදු වූ මහා මුදල් වංචාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පමණක්‌ නොව නීත්‍යානුකූලව පත්වී සිටි අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා අස්‌ කර නීති විරෝධී රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ වත්මන් ජනාධිපතිවරයාත් වගකිව යුතු යෑයිද පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා පත් කිරීමටත් යහපාලන ආණ්‌ඩුව ජයග්‍රහණය කරවීමටත් දින 100 වැඩසටහනටත් සහාය දුන් ජනතා විමුක්‌ති පෙරමුණත් මහ බැංකු බැඳුම්කර මුදල් කොල්ලයට වගකිවයුතු බවද අමුණුගම මහතා පැවසීය.

තවදුරටත් අදහස්‌ දක්‌වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා මෙසේද පැවසීය. මහ බැංකු මුදල් සොරකම සම්බන්ධයෙන් නිකුත් කළ කොමිෂන් වාර්තාවේ පිටපතක්‌ රවි කරුණානායක මහතා ඉල්ලා සිටින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය විශ්වාස නොකරන නිසා විය හැකියි. අල්ලා ගත් හොරා අතහැර දමා අලුතෙන් හොරුන් සොයන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලකරන්නේ නියම හොරා අමතක කර දැමීමටයි. නැවත ජනාධිපති පදවියට තරග කිරීමට ඉදිරිපත් නොවන බවට මුලදී පොරොන්දු වුණ මෛත්‍රිපාල සිරිසේන මහතා දැන් අධිකරණයේ පිහිට පතනවා තවත් වරක්‌ ජනාධිපති පදවියේ ඉන්ට තිබෙන ඕනෑකම නිසයි. තවත් ටිකක්‌ ඉන්ට පුළුවන් කියා බලනවා.

අද රට ඉතාම කනගාටුදායක තත්ත්වයකට පත්වී තිබෙන බව පිළිගන්නවා. පළාත් පාලන මැතිවරණය මේ රජයට විරුද්ධ ජනමත විචාරණයක්‌ බව දකින්ට තිබෙන නිසා ආණ්‌ඩුව නොයෙක්‌ උපක්‍රම යොදනවා. දැන් බොහෝ දේ ජනතාවට බෙදනවා. විවෘත කරනවා. පොරොන්දු දෙනවා. මේවාට ජනතාව රැවටෙන්නේ නැහැ. ආණ්‌ඩුවට විරුද්ධව දැන් ජනමතය ගොඩනැඟී අවසානයි.

මන්ත්‍රීවරයාගේ නුගවෙල කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

සිරිල් විමලසුරේන්ද්‍ර

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress