වයස් සීමාව අඩුකිරීමෙන් තරුණ උපාධිධාරීන්ට මාණ්ඩලික සේවයේ රැකියා අවස්ථා අහිමිවෙයි – තාරුණ්‍යයේ හඬ
Posted on June 10th, 2014

තාරුණ්‍යයේ හඬ

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු සඳහා වන විභාගය වෙනුවෙන් ඉදිරිපත් විය හැකි වයස් මට්ට අඩු කිරීම හේතුවෙන් ලාංකීය තරුණ උපාධිධාරීන් එම ශ්‍රේණියේ රැකියා අවස්ථා අහිමි වන බවත් මෙයින් ඔවුන්ට බලවත් අසාධාරනයක් වී ඇති බවත් අද දින (10) පැවැති මාධ්‍ය හමුවේදී තාරුණ්‍යයේ හඬ සංවිධානයේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සම කැඳවුම්කරු ගයාන් ජානක සහෝදරයා ප්‍රකාශ කරයි.
වැඩි දුරටත් අදහස් දක්වමින්……..
‘‘අපේ රටේ මාණ්ඩලික සේවයේ තනතුරු සඳහා පැවැත්වෙන තරඟ විභාගයේ වයස් සීමාව අවුරැදු 28 දක්වා අඩු කරලා තියන එකත් ශ්‍රීලංකා රෙගුවට බදවා ගැනීම ස‍ඳහා වයස් සීමාව අවුරැදු 32 සිට 28 දක්වා අඩු කරලා තියන එකත් කියන මේ කරැණු දෙක නිමිත්ත කරගෙන තමයි තාරුණ්‍යයේ හඬ සංවිධානය මෙම මාධ්‍ය සාකච්චාව පවත්වන්න අදහස් කළේ. විශේෂයෙන්ම තරුණ උපාධිධාරීන්ගේ අවධානයට ලක්කරන්න, මේ සම්බන්ධයෙන් රජය අවධානයට ලක්කරන්න ඕනකම තියන නිසා තමයි තාරැණ්‍ය හඬ සංවිධානය විදිහට මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් කරන්න අරමුණ වුණේ. ඒ වගේම මේ මොහොත වන විට රටතුළ නීති අධ්‍යාපන කේෂත්‍රය තුළ මතුවෙලා තියන ගැටලුකාරී තත්වයත් පිළිබ‍ඳවත් අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ දන්නවා, අපේ රටේ මාණ්ඩලික තනතුරු ලබා ගැනීම ස‍ඳහා වුණු දීප ව්‍යාප්ත සේවා ආයතනවල තනතුරැ 14ක් තියෙනවා. ශ්‍රීලංකා රේගු නිළධාරී තනතුර. ශ්‍රීලංකා පරිපාලන සේවය, ශ්‍රීලංකා විදේශ සේවය, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිළධාරී තනතුර, ශ්‍රීලංකා කෘෂිකර්ම සේවය, ශ්‍රීලංකා විද්‍යාත්මක සේවය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවය, අධ්‍යාපන පරිපාලන සේවය ආදී මාණ්ඩලික සේවයට අයත් තනතුරැ 14ක් තියෙනවා. මේ මාණ්ඩලික සේවයේ තනතුරැ සඳහා අපේ රටේ පත්කර ගන්නේ උපාධිධාරීන්. හැබැයි දැන් පසුගිය 6 වැනිදා ආණ්ඩුව ඉදිරිපත් කළ ඒ ගැසට් නිවේදනය සහ මැයි මාසයේ ඉදිරිපත්කරපු ඒ ගැසට් නිවේදනයෙන් අභියෝගයට ලක්වෙලා තියෙන්නේ මේ උපාධිධාරීන්ට ඒ තනතුරු සඳහා පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටින්න ඕනී වයස් සීමාව අඩු කරලා තියන එක ඔවුන්ට ගැටලුවක් බවට පත්වෙලා තියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මීට වසර කිහිපයකට පෙර පාරිපාලන සේවය සඳහා උපාධිධාරියෙකුට යෑමට අවශ්‍ය නම්, ඔහුට උවමනාවක් තිබුණ නම් තමන්ගේ වයස අවුරුදු 35ක් වුණත් ඒකට බාධාවක් වුණේ නැහැ. නමුත් දැන් පසුගිය 6 වැනිදා ඉදිරිපත් කළ ගැසට් නිවේදනයේ පැහැදිලිව තියනවා අවුරුදු 28 දක්වා අඩුකරලා තියනවා. දැන් හරිම පැහැදිලි, වෙන්නේ මොකක්වත් නොවෙයි ඇත්තටම ඒ දීපව්‍යාප්ත සේවාවන් වල, නැත්තනම් මාණ්ඩලික සේවයේ තනතුරු සඳහා උපාධිධාරීන්ට ඇතුල් වෙන්න තියන ඉඩකඩ ඒ වයස් සීමාව ක්‍රමාණුකූලව අඩුකිරීම යටතේ ප්‍රශ්න ගණනාවකට අද ලංකාවේ තරුණ උපාධිධාරීන්ට මුහුණ දීමට සිදුවෙලා තියෙනවා.
ඔබ දක්වා දැන් අපේ රටේ විශ්වවිද්‍යාල පතිපාදන කොමිසමේ අනුමැතිය ලබාගෙන තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනව. එතකොට අද ඒ සල්ලි තියෙන, ඒ වියදම් කරන්න පුලුවන් අයට පුලුවන්කම ලැබිලා තියෙනවා ඒබලයට, මුදලට උපාධිය ගන්න. ඒ නිසා ඇත්තටම ගත්තොත් ඔවුන්ට පුලුවන් වෙලා තියනවා අඩු වයසින් මුදල් දීලා උපාධිය අරගෙන මෙන්න මේ මාණ්ඩලික සේවය සඳහා ඇතුලත් වෙන්න. එකෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබපු අපේ දුප්පත් අම්මා තාත්තගේ දරුවන්ට ක්‍රමානුකූලව අවස්ථාව අහිමිවෙලා තියනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපි විශ්වාස කරන විදිහට වයස්සීමාව එන්න එන්න අඩුකරපුවාම මතුවෙන්න පුලුවන් තවත් ගැටලුවක් තමයි තනතුරක් සඳහා තෝරාගන්න කොට ඒ තෝරාගන්නා මේ විභාගය සඳහා වැඩි පිරිසක් සහභාගි වුනොත් තමයි ඒ සඳහා තරඟකාරිත්වය තියෙන්නේ. එතකොට ඒ අතරෙන් තමයි හොඳම කෙනා තෝරාගන්න පුලුවන් වෙන්නේ. දැන් මේ වයස් සීමාව අඩු කරන එක ඇතුලේ ඒ විභාග සඳහා පෙනී ඉන්නේ ඉතාමත්ම සුලුතරයක්. මොකද වයසම ඒකට බාදාවක් විලා තියෙනවා.
අපි යෝජනා කරවා වයස වැඩි කිරීම යටතේ වැඩි පිරිසකට මේ විභාගය ස‍ඳහා පෙනී ඉන්න පුලුවන්. එතනින් උපරිම දක්ෂතා දක්වන කෙනාට තේරිපත්වීමේ ඉඩකඩ ලැබෙනවා. ඔබ දන්වා අපේ රටේ සාමාන්‍යයෙන් පාසලකට ළමුන් 100ක් ඇතුලු වුණාට පස්සේ ඒ ළමුන්ගෙන් 5%කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලට තේරීපත්වෙන්නේ. ඇත්තටම ගත්තොත් ඒ නිදහස් අධ්‍යාපනයේ යම්තරමක් හෝ තිබෙන නිසා තමයි මෙවැනි මට්ටමකට හෝ අපේ රටේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවන් විශ්වවිද්‍යාලට යෑමට පුලුවන්කම තියෙන්නේ. නමුත් දැන් ක්‍රමාණූකූලව වෙලා තිබෙන දේ තමයි. ඒ විදිහට විශ්වවිද්‍යාලයට එන දරුවන්ට ඒ රාජ්‍ය සේවය යටත් මොකක්හරි මට්ටමකට පියවරක් තියාගැනීමට තිබෙන අවස්ථාව ක්‍රමානූකූලව අඩුවෙලා තියෙනවා. දැන් ආණ්ඩුව මේකට ගොඩනගන තර්කය තමයි රාජ්‍යය සේවයේ මාණ්ඩලික සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ වයස්සීමාව අඩු කිරීමෙන් රාජ්‍ය සේවය තුළ ඔහුට වැඩිපුර කාලයක් සේවය කරන්න පුලුවන් කියලා. දැන් අවුරුදු 28කින් බඳවා ගත්තොත් අවුරුදු 32ක් රාජ්‍ය සේවයේ ඉන්න පුලුවන් කියන එක. අවුරුදු 32 සීමා වුනොත් මෙන්න මේ කාලය අඩුවෙනවා කියන එක. ඇත්තටම රාජ්‍ය සේවය වැඩි කාලයක් ඔවුන්ගේ සේවය ලබාගැනීම සඳහා වයස් සීමාව අඩු වෙනවා කියන එක. තාරුණ්‍යයේ හඬ සංවිධානය හැටියට මෙන්න මේ තර්කයට එකඟවෙන්න බැහැ මොකද පහුගිය කාලයේ අපි දැක්කා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩිකලා සහ ඉදිරියේදී මේක අවුරුදු 65 දක්වා වැඩිවෙන්න තියන ඉඩකුත් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ එහෙම බැලුවමත් අවුරුදු 32 කියන වයස් සීමාවවත් මේ සඳහා තියා ගත්තොත් තවත් අවුරුදු 28ක් රාජ්‍ය සේවයේ සේවය කිරීමට පුලුවන්කම තියෙනවා.
ඉතිං මේ නිසා ආණ්ඩුව ගේන මේ තර්කයට අපට එකඟ වෙන්න බැහැ. ඒක අපට පිළිගන්න බැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නෙ වෙන මොකක්වත් නෙමෙයි. එකක් තමයි අපේ රටේ මේ තරුණ උපාධිධාරීන්ට මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු සඳහා ඉදිරිපත් වෙන්න, ඒ විභාග සඳහා පෙනීසිටින්න බාධා වී තිබෙන මේ වයස් සීමාව අවම වශයෙන් අවුරුදු 32 දක්වා වැඩි කරන්න කියන එක. අනෙත් එක තමයි මේ ක්ෂේත්‍ර 14 තුළ නිරන්තරයෙන් කරන වෙනස්කම් නවත්වන්න කියන එක. මොකද අපි කවුරුත් දන්නවා දරුවෙක්ට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ට ජීවිතයේ කිසියම් මාර්ගයක් තිබෙනවා. කිසියම් අභිලාෂයක් තිබෙනවා. සාමාන්‍ය පෙළ පාස් වුණාට පස්සෙ, උසස් පෙළට ආවට පස්සෙ, විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ ඔහු තමන්ගේ ජීවිතේ ප්ලෑන් කරනවා. එතනින් එහාට තිබෙන විභාගය මොකක්ද, ඒක පරිපාලන සේවයේ නම්, එතකොට ඔහු ඒකෙදි බලාපොරොත්තු වෙනවා තමන්ගෙ වයසත් එක්ක මේක සංසන්ඳනය කරන්න. අපි අවුරුදු 5න් පාසල් අධ්‍යාපනයට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ඊට පස්සෙ උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයෙන් උපාධිය අරගෙන එනකොට අවුරුදු 24 – 25ක් වෙනවා. ඊට පස්සේ අවුරුදු 28 – 30 ‍වෙනකොට නිශ්චිත කාලයකදි පරිපාන සේවයට ඇතුළත් වෙන්න පුළුවන් කියලා මෙන්න මේ විදියට උපාධිධාරියෙකුට තමන්ගේ ජීවිතේ නිශ්චිත ක්‍රමවේදයකට සැලසුම් කරගන්න තියෙන හැකියාව ආණ්ඩුව නිතර නිතර සිදු කරන මේ වෙනස්කම් නිසා නොහැකි වෙලා තිබෙනවා. අවිනිශ්චිත වෙලා තිබෙනවා. ඒ නිසා නිරන්තරයෙන් කරන මේ වෙනස්කම් නතර කරලා නිශ්චිත ක්‍රමවේදයකට අනුව මේක පවත්වන්න කියලා අපි යෝජනා කරනවා. ඒ විතරක් නෙවෙයි එමඟින් අපේ රටේ උපාධිධාරීන්ට මෙම මාණ්ඩලික තනතුරු සඳහා ඇතුළත් වීමට අවස්ථාව පුළුල් කරන්න කියන එකත් රාජ්‍ය අංශය තුළ උපාධිධාරීන්ට ඉහළට යාමට තිබෙන මේ ඉතාමත් සීමිත ඉඩකඩ හෝ කප්පාදු නොකර ඒ සඳහා අවස්ථාව සුරකින ලෙසත් අපි ආණ්ඩුවට මෙම මාධ්‍යය සාකච්ඡාව තුළින් බලකර සිටිනවා.
ඉන් අනතුරුව සිය අදහස් දක්වමින් තාරුණ්‍යයේ හඬ සංවිධානයේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සාමාජික නීතීඥ තුෂාර රණතුංග සහෝදරයා දැක්වූයේ මෙවන් අදහසකි.
‘‘මේ වන විට සම්පූර්ණ නීති ක්ෂේත්‍රයම දරුණු අර්බුධයකට ගිහින් තිබෙන මොහොතක නීති අධ්‍යාපනයත් එවැනිම අර්බුධයකට ගිහින් තිබෙනවා. නමුත් මේ ගැන කිසිවෙකුත් හඬ නැගීමක් සිදුකරන්නේ නැහැ. මොකද ඉහළින් වෙන බලපෑම්වලට ඔවුන් යටත් වෙලා. නීති ප්‍රවේශය තුළ තිබෙන ප්‍රධානතම ගැටළුව තමයි මෙතෙක් නීති ප්‍රෙව්ශ විභාගය පැවැත්වූයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම. ඒ නිසා මෙතෙක් ඕනෑම කෙනෙක්ට ඒ ඕනෑම භාෂාවකින් විභාගයට පෙනී සිටීමේ අයිතිය තිබුණා. නමුත් දැන් නීති අධ්‍යාපන සභාව අත්තනෝමතිකව කටයුතු කරමින් එය ඉංග්‍රීසි මාධ්‍යයට පමණක් සීමා කරලා තිබෙනවා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය නොලත් ශිෂ්‍යයන්ට නීති ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීමේ හා නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ඉඩකඩ විශාල ලෙස ඇහිරී තිබෙනවා. මොකද නීති ප්‍රෙව්ශ විභාගය ලංකාවේ තිබෙන තරඟකාරීම විභාගයක්. එහි ප්‍රවේශය සඳහා එක ලකුණත් වැදගත්. 20000ක් පමණ දෙනා ලියන විභාගයෙන් වසරකට නීති ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන්නේ 200 – 225ක් වැනි පිරිසක්. ඒ නිසා මේ තත්වය තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ අයට විශේෂයෙන් ඉතා පහසුවෙන් අවස්ථාව ලැබෙනවා නීති විද්‍යාලයට ප්‍රවේශ වන්න. විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමින් අධ්‍යාපනය ලබන අයට මෙහිදී විශාල අසාධාරණයක් සිදු වෙනවා. ඒ නිසා අපි බල කර සිටිනවා මේ රටේ තරුණයින්ගේ භාෂා අයිතිය උල්ලංඝනය නොකර මේ විභාගය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම පවත්වන්න කියලා. අනෙත් කාරණය තමයි නීති විද්‍යාලයට ඇතුළත් වීමේ වයස් සීමාව අවුරුදු 30 දක්වා කප්පාදු කර තිබීම. නමුත් මේ කප්පාදු කිරීම සඳහා සාධාරණ හේතුවක්ද නැහැ. මොකද නීතීඥවරයෙක්ට සිය දක්ෂතාවය මත සිය ජීවිත කාලය පුරාම වුවද සිය වෘත්තියේ යෙදීමට බාධාවක් නැහැ. ඒ නිසා මේ වයස් සීමාව අනවශ්‍ය බාධාවක් ලෙසයි අපි දකින්නේ.
මේ අතර මෙම මාධ්‍ය හමුව සඳහා තාරුණ්‍යයේ හඬ සංවිධානයේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සම කැඳවුම්කරු ගයාන් ජානක සහෝදරයා, තාරුණ්‍යයේ හඬ සංවිධානයේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සාමාජික නීතීඥ තුෂාර රණතුංග සහෝදරයා මෙන්ම එම සංවිධානයේ සාමාජික අසිත නිරෝෂණ සහෝදරයාද සහභාගී වූහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress