ප්‍රේමජයන්ත්ගේ (නල්ලමලේ) හෘදසාක්ෂිය..
Posted on November 1st, 2015

 -කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා යුතුකම සංවාද කවය

පසුගියදා කඩුවෙල ශ්‍රීලනිප මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කරමින් පැවති ජනාධිපති සිරිසේන මහතා ද සහභාගී වූ උත්සවයේදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සංධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අපූරු අදහසක් පල කළේය.

හදිසියේ අවදි වූ සුසිල්ගේ හෘද සාක්ෂිය

අද අපට ජාතික ලැයිස්තුව ආදිය ගැන චෝදනා කරන සමහරක් දෙනා දන්නේ නෑ පසුගිය අවුරුදු 10 අපි සංධානය පවත්වාගෙන ගියේ කොහොමද කියල. සමහරු දන්නේ නෑ එදා සමහර අවස්ථාවල ජාතික ලැයිස්තු හිස් වෙච්ච ආසනයට මන්ත්‍රීවරු පත් කළේ කොහොමද කියලා. ලැයිස්තුවේ වත් නොසිටිය සමහරු පත් කරද්දි හෘද සාක්ෂියට එකඟව නොවෙයි අපි කටයුතු කළේ. ඒ කාලේ පක්ෂයේ මහ ලේකම් හැටියට මෛත්‍රීපාල ජනාධිපතිතුමත් මමත් දෙන්නම ඔය තත්වෙට මුහුණ දුන්නා.”
-සුසිල් ප්‍රේමජයන්ත : 2015- 10-29

ජනවාරි 8 ජනාධිපතිවරණයේදී ප්‍රේමජයන්ත මහතා නියෝජනය කළේ මහින්ද රාජපක්ෂ පිලයි. රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමේදී හෘද සාක්ෂිය සමග ඔය තරම් ගැටලුවක් තිබුණේ නම් ඒ මොහොතේ ඉතාමත් පහසුවෙන් වඩා කිට්ටු දේශපාලන සබඳතාවයක් ඇති තමාගේ අතීත නායිකාව සමගම සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින්නට ප්‍රේමජයන්ත මහතාට තිබිණ. එදා මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙතැයි යාන්තමින් හෝ සිතුනේ නම් සුසුල් ගේ හෘදසාක්ෂිය ඒ මොහොතේ ‘යහපාලනය’ වෙනුවෙන් අවදි වන්නට ඉඩ තිබිණ.

කෙසේ හෝ පරාජයෙන් පසු ශ්‍රීලනිප යේ මධ්‍යම කාරක සභාවේ බලය තමා යටතට නතු කර ගැනීමට සිරිසේන මහතා පෞද්ගලිකවම මැදිහත් වෙමින් ගෙන ගිය යටිකූට්ටු ක්‍රියාවලියේදී මුලින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ප්‍රේමජයන්ත මහතා අවසානයේ අනෙකුත් ජ්‍යේෂ්ඨයන් සමගම සිරිසේන මහතා පක්ෂ සභාපතීත්වයට පත් කරගැනීම එකඟ විය . ශ්‍රීලනිප යට විරුද්ධව කටයුතු කර ශ්‍රීලනිප ආණ්ඩුව පරාජය කර එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙක් පත් කරගත් පක්ෂයේ ද්‍රෝහියෙකු පක්ෂ සභාපතීත්වයට පත් කරගනිද්දී ප්‍රේමජයන්ත මහතාගේ හෘද සාක්ෂිය තිබුණේ කොහිද? [පක්ෂ සභාපතීත්වය සිරිසේන මහතාට බාර දුන්නේ මහින්ද රාජපක්ෂම නොවේදැයි දේශාපානයේ යටි පෙළ කියවා නොගත් දේශපාලන ළදරුවන් (විශේෂයෙන් සමාජ ජාලා – ගොසිප් අඩවි හරහා දේශපාලනය ඉගෙන ගන්නා ළදරුවන් ) අසන්නට ඉඩ ඇතත් ඒ සඳහා තිරය යට සිරිසේන මහතා ගෙන ගිය කුප්‍රකට මෙහෙයුම පිළිබඳව හොඳින් දන්නා අය සිදුවූයේ කුමක්දැයි දනිති. ]

තත්වය එසේ තිබියදීත් නැවත මහ මැතිවරණය අබියසදී මහින්ද රාජපක්ෂ මහතාට සංධානයෙන් අපේක්ෂකත්වය දී සංධානයෙන්ම තරඟ කරවීමට ක්‍රියාත්මක වූ කණ්ඩායමේ සුසුල් ප්‍රේමජයන්ත මහතා සිටියේ ඇයි? ඒ ප්‍රශ්නයට පිළිතුරු ප්‍රේමජනත මහතාම පසුගියදා ලංකාදීප පුවත් පතට ලබා දුම් සම්මුඛ සාකච්චාවක සඳහන් වේ.

එහිදී ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව මහ මැතිවරණයට ශ්‍රීලනිප ය තරඟ කළේ නම් ඔවුන්ට හිමි විය හැකිව තිබුණේ ආසන 30 කට ආසන්න ගණනක් බවයි. එසේ වූවේ නම් 2010 දී මහමැතිවරණයේදී මනාප පනස් දහසකට ආසන්න ගණනක් ලබා ලැයිස්තුවේ අගින් එල්ලී පාර්ලිමේන්තු ආ ප්‍රේමජයන්ත මහතාට බොහෝ දුරට මෙවර ගෙදර නවතින්නට ඉඩ තිබිණ. (2010 දීද ඔහු පාර්ලිමේන්තු ගියේ චන්දන කත්‍රිඅරච්චි මහතාගේ මනාප ගොඩ තමන්ට දා ගැනීමෙන් යැයි එකල මාධ්‍යවල චෝදනාද එල්ල විය.) ප්‍රේමජයන්ත මහතා බොරු රාජපක්ෂ හිතවාදී වේශයක් මවා ගත්තේ තමන්ට අත්වන ඒ ඉරණම පිළිබඳ කලින්ම ගණන් හදා තිබූ බැවින් වන්නට පුළුවන.

කෙසේ වුවත් සිරිසේන මහතාගේ අල්ලජ්ජී මැදිහත්වීම මත රාජපක්ෂ මහතා අතේ තිබූ ජයග්‍රහණය ගිලිහී ගියේය. එහිදී සිරිසේන මහතා තමාගේ මෛත්‍රිය” ප්‍රදර්ශනය කරමින් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය ඉබි යතුරු දමා සීල් කර , අධිකරණය හරහා මධ්‍යම කාරක සභාව කැඳවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අත් හිටුවා , කුප්‍රකට ගරිල්ලා ප්‍රහාර වැනි මාධ්‍ය නිවේදන දෙක හරහාත් එලෙස ශ්‍රීලනිප නායකයා ලෝක ඉතිහාසයේ පළමු වරට තම විරුද්ධ පාක්ෂික ජයග්‍රහණය වෙනුවෙන් ලැජ්ජාසහගත මැදිහත්වීමක නිරත විය. ඒත් සමගම මැතිවරණයට දින දෙකක් තිබියදී ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සංධාන ලේකම්වරුන් එම තනතුරුවලින් දොට්ට දමා තමාගේ හෙන්චයියන් දෙදෙනෙකු ඒ තනතුරුවලට පත් කර ගත්තේය. නමුත් ඒ මොහොතේ (ලේකම් ධූරය අත් හිටවූයේ සිකුරාදා හවසයි. ඒ සති අන්තයේ අධිකරණයට හමුවට යමට ඇති ඉඩ අහුරුවමිනි. ඒ සිරිසේන මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදය හැටිය. නමුත් මැතිවරණය පැවති සඳුදා දිනයේ) අධිකරණය හමුවට ගොස් ඒ ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති තීරණයට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට ප්‍රේමජයන්ත මහතාට ඉඩ තිබිණ. බොහෝ දෙනා ඒ වෙනුවෙන් ඉල්ලීම් කල බවද වාර්ථා විය. නමුත් ප්‍රේමජයන්ත මහතා එය මග හරිමින් මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන තෙක් කල් මැරීය.

මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ නම් ඒ පිළටත් පරාජය වූයේ නම් මෛත්‍රී පිලටත් හේත්තු වන්නට ප්‍රේමජයන්ත මහතා ඉඩ තබා ගත්තේ එසේය.

ඒ අර හෘද සාක්ෂියේ හැටිය.

2010 දී මනාප පනස් දහසකට ආසන්න ගණනක් ගත් ප්‍රේමජයන්ත මහතාට මෙවර මනාප 175000 ක් ලැබුනේ පසුගිය අවුරුදු 5 ඔහු කල අමුතු ජනතා සේවයක් නිසාවත් විශ්ව කර්ම ඇමති මෙහවරක් නිසාවත් නොවේ. ඒ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිනවා ය යන්න සමාජයට දුන් පණිවිඩයට ලැබුණු ප්‍රතිචාරයයි ඒ. ඒ බොරු රාජපක්ෂ හිතවාදී වෙස් මුහුණ නොවන්නට සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි අනිත් කෙරුම්කාර පණ්ඩිතයන්ට මෙන්ම ඔහුටද බොහෝ දුරට ලැයිස්තුවේ අගට වී ගෙදර නවතින්නට ඉඩ තිබිණ.(හැබැයි එසේ වූවත් බය වෙන්නට දෙයක් නැත. සිරිසේන මහතාගේ නල්ලමලේ ප්‍රජානත්ත්‍රවාදය ධාරරණත්වය යටතේ ජාතික ලැයිස්තුවෙන් යළි දියවන්නාවට ගොඩ වෙන්නටද තිබිණ. ජනතාව පස්සට පයින් ගසා ගෙදර යැවූ දුසිම් භාගයක් පමණ සිරිසේන මහතාගේ විලිලැජ්ජාසහගත මැදිහත්වීම හරහා නැවත පාර්ලිමේන්තුවටත් එතනින් නොනැවතී කැබිනට්ටුවේ හොඳම පුටුවලටත් පත් විය. )

සිසිල්ලාගේ හෘදසාක්ෂිය ගොළු වූ සිරිසේනලාගේ ජාතික ලැයිස්තු මංකොල්ලය

රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකට (බොහෝ දුරට ඒ ඩලස් අලහප්පෙරුම හෝ බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීධූරයට පත් කිරීම වන්නට පුළුවන ) පත්කිරීමේදී කම්පා වූ බව පවසන ප්‍රේමජයන්ත මහතාගේ හෘද සාක්ෂිය මෙවර මුලු ජාතික ලැයිස්තුවම මහ දවල් මංකොල්ල කද්දී මදක් හෝ සසල නොවූයේ ඇයි?

මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවූයේනම් මෙවර මැතිවරණයේදී ශ්‍රීලනිප යට අත්වන ඛේදජනක ඉරණම ප්‍රේමජයන්ත මහතාම පෙරකී සම්මුඛ සාකච්චාවේදී පිළිගෙන තිබිණ. එසේ නම් ඒ ආසන ප්‍රමාණයට හිමි ජාතික ලැයිස්තුව පත් කරගැනීමේදී එයට අකුල් හෙලූ සහ ලැජ්ජා සහගත ලෙස ප්‍රජාතන්ත්‍රවාදය – සාධාරණත්වය මහ දවල් නිරුවත් කරමින් කටයුතු කළ සිරිසේන මහතාට ඇති අයිතිය කුමක්ද? එස් බී, ජියමුණි, තිලංග ,ලක්ෂ්මන් යාපා වැනි ජනතා විරෝධී තම හෙංචයියන් රොත්ත ඇතුලට ඔබා ගත් ඒ ලැජ්ජා සහගත තක්කඩි ක්‍රියාදාමයට නිල මුද්‍රාව තැබුවේ සුසිල් ප්‍රේමජයන්ත මහතාය. ඔහුගේ අත්සන නොවන්නට බොහෝ දුරට ඒ නිර්ලජ්ජිත පත් කිරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් වන්නට තිබිණ.

ලංකා දේශපාලන ඉතිහාසයේ ජඩම පාවාදීමට තම අත්සන ගැසූ ප්‍රේමජයන්ත මහතා , එදා ඩලස් හෝ බැසිල් ගේ ජාතික ළැයිස්තු පත්වීම හෘද සාක්ෂියට විරුද්ධව සිදු කලා යැයි පවසන්නේ රෙද්දක් ඇඳගෙනද? “ජුදාස් සහ ප්‍රේමජයන්ත” මැයෙන් යුතුකම වෙබ් අඩවියේ ටික කලකට පෙර පළ කළ මේ ලිපිය කියවන්න. එදා ජුදාස්ට ජේසුතුමා පාවාදීමට සැනසිලි ලෙස ලැබුණු රිදී කාසි 30වෙනුවට අද ප්‍රේමජයන්තට ලැබී ඇත්තේ ඇමති කට්ටකි. එහෙව් ප්‍රේමජයන්තලා අද මහත්වරුන් සේ ඇවුත් හෘද සාක්ෂිය ගැන බයිලා ගසයි .
නල්ලමලේ හෘද සාක්ෂිය කියන්නේ මේවාටය.

-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress