සෝවාන් මාර්ගය, විචිකිච්ඡාව හා එහි ප්‍රහානය – විඳිම්දෝ මිදෙම්දෝ දෙගිඩියාව –  තෙවෙන කොටස -සක්කාය දිට්ඨිය හා එහි ප්‍රහානය
Posted on April 25th, 2024

තිස්ස ගුණතිලක

භාහිරය දැකීම (දැකීම ඇසීම විඳීම මනසිකාරය – දිට්ඨ සුත මුත විඤ්ඤාත) ප්‍රශ්ණයක් නොවේ. ප්‍රශ්ණයක් වන්නේ භාහිරය ඇති සැටියෙන් නොදැකීමයි (නොඇසීමයි, නොදැනීමයි, මනසිකාරය නොවීමයි).

භාහිරය හෙවත් ස්වභාවධර්මය (nature) පවතින්නේ අනාත්මීය ස්වභාවයෙනි. එනම් දෙයක් යමක් කෙනෙක් නැති ඒ නිසාම ගින්නක් ආශ්වාදයක් (හෝ ගැටීමක්) ඇතිනොවන ශුන්‍යත ස්වභාවයෙනි. තිලක්ෂණයේ ‘සබ්බේ සංකාරා අනිච්චාති’ යනුවෙන් දැක්වෙන්නේ භාහිරයේ පවත්නා සියල්ලම (සබ්බේ සංකාරා – ස්කන්ධයේ හමුවන සංකාර නොවේ.) අනිච්ච එනම් අගයක් නැති, නන්දියක් වින්‍දනයක් ඇති නොවන, අනාත්මීය, ශුන්‍යත ස්වභාවයෙන් පවතින බවයි. සම්පූර්ණ සද්ධර්මය තුලම විග්‍රහ වන්නේ භාහිරයේ නැතහොත් ස්වභාවධර්මය තුල පවත්නා මෙම අනිච්ච, ශුන්‍යත ගුණය හසුකරගැනීමයි. එසේනම් එවැනි ශුන්‍යත ගුණයකට යටත්ව භාහිරය පවතිනාබව පලමුවෙන්ම දැනගත යුතුය (ජානතෝ). 

විඤ්ඤාණමායාවෙන් වැසිපවතින භාහිරයේ යථාභූත ස්වභාවය කෙනෙකුට පහසුවෙන් හසුකරගැනීම අසීරුය. අප භාහිරය දකින්නේ විඤ්ඤාණමායාව හරහා බැවින් එහි ඇති අනාත්මීය, ශුන්‍යත ස්වභාවයක් නොදැනෙයි. විඤ්ඤාණමායාව නැමැති කඩතුරාවෙන් භාහිරයේ යථාභූත ස්වභාවය වැසීපවතියි. අපට දැනෙන්නේ භාහිරයේ දෙයක් යමක් කෙනෙක් ඇති සේය. ඒ දෙයක් යමක් කෙනෙක් වූ භාහිරය විදිමින් අප සියළුදෙනාම දිවි ගෙවයි. භවය සකස් කරමින් ගෙනයන මෙම දිවිපෙවෙත (භාහිරය සත්‍ය ලෙස ගෙන ගතකරන දිවිය) බුදුන්වහන්සේ අනාර්ය අට මග හෙවත් අට පිලිවෙත බවත් එයින් මිදීම පලමුවෙන්ම නොපමාව කල යුතුවූ ක්‍රියාව බවත් තම පලමු ධම්ම දේශනාවේ පලමු වගන්තියෙනුත් (කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො – ධම්මචක්කපවත්තන සූත්‍රය පලමු වගන්තිය),

සහ

පරිනිර්වාන මංචකයේ දෙසු අවසාන බුද්ධාවවාදය (අප්පමාදේන සම්පාදේථ – භවය සකස්කරනා අනාර්ය දිවිපෙවෙත හේතුවෙන් ප්‍රමාදීවූ, මජ්ඣි වූ සිහිය නොපමාවම යථා ස්වභාවයට පත්කරගන්න. එනම් අනාර්ය දිවිපෙවෙතින් වහ වහාම මිදෙන්න.)

මනාව පැහැදිලි කල සේක. එසේ දේශනාකලේ භාහිරයේ සත්‍ය ස්වභාවය දැනගැනීමේ අවබෝධකිරීමේ වැදගත්කම මත මුළු සද්ධර්මයම රදාපවත්නා බැවිනි. සබ්බේ සත්තා සියල්ලන්ම අඳුරේ ගිලී දුකට පත්වී දිවිගෙවන්නේ භාහිරයේ පවත්නා මෙම අනාත්මීය, ශුන්‍යත ස්වභාවය ග්‍රහනය කරගත නොහැකි නිසයි. මෙම නොහැකියාව භවය සකස්කරයි.

භාහිරය යතාභූත ස්වභාවයෙන් ගන්නවා/දකිනවා/දැනෙනවා යනු මෙම අනාත්මීය ස්වභාවයෙන්ම ගැනීමයි. එවිට භාහිරය උපාදාන වීමක් සිඳු නොවන අතර භාහිරය හේතුවෙන් භවය සකස් වීමක් (යායං තන්හා පොනොභවිකා – ආත්මීය වීමක්) හෝ ඒ නිසා භාහිරය විඳිනා ‘මම’ සිටිනා බවක් (ඉත්ථ භාවයක්) හෝ නොදැනේ, නොහැඟේ. මේ බුද්ධ වචනයයි, සද්ධර්මයයි.

දැන් අප භාහිරය අනාත්මීය ශුන්‍යත ස්වභාවයෙන් නොදැනෙන දිවිපෙවෙතක් නිසා භවය සකස්වන බවත් එම ස්වභාවය සක්කාය දෘශ්ඨිය බවත් භවය සකස්කරනා දිවිපෙවෙත සීලබ්බත පරාමාසය බවත් හොදින් දනිමු.

කොටින්ම පවසතොත් දුක ඇතිවීමට හේතුව (දුක්ඛසමුදය සත්‍යය) සක්කාය දෘශ්ඨියයි. නැතහොත් ඉත්ථභාවයයි. මෙම ඉත්ථභාවය ආත්ම දෘශ්ඨියටත් ආත්ම සංඥාව ඇතිවීමටත් දොරටුවයි.

සද්ධර්මය ගැන අවබෝධයක් නැති පෘතග්ජනයාට භාහිරය හසුවන්නේ දෙයක් යමක් ඇති ආශ්වාදජනක (නන්දිරාග සහගතා) ස්වභාවයකිනි. එනම් යතාභූත ස්වභාවයට විරුද්ධ ස්වභාවයකිනි. ඒ නිසා පෘතග්ජනයාට ඉත්ථභාවයක් දැනෙයි. සක්කාය දිට්ඨිය යනු මෙසේ විඳිනා ‘මම’ ඉන්නා ස්වභාවයක් තුල දැනෙනා ඉත්ථභාවයයි. බුදුන්වහන්සේ සෝතාපන්න සූත්‍ර දේශනාවේ පෙන්වා දෙන්නේ ඉත්ථභාවය නැතහොත් ‘මම’ ඉන්නාබව දැනෙනා ස්වභාවයට හේතුව විඤ්ඤාණමායාව තුල ජනිතවන පංචඋපාදානස්කන්ධ යයි. පංචඋපාදානස්කන්ධය නිසා භාහිරය ආත්මීයව (නන්දියෙන්, තෘෂ්ණාවෙන්) සෑමවිටම අල්ලා ගනියි.

සක්කාය දෘශ්ඨි ප්‍රහානය යනු මෙමමමසිටිනාබව දැනෙනා, විඳිනාඉත්ථභාවය බව දැනගැනීමයි. සිලබ්බත පරාමාස ප්‍රහානයෙන් ‘මම’ සිටිනා බව දැනෙන ස්වභාවයෙන් මිදෙන දිවිපෙවතට (ආර්ය අට පිලිවෙතට – අශ්ඨාංගික මාර්ගයට) ඔබ අවතීර්ණ වෙයි (switched on to a life pattern that captures soullessness). මෙය දිවිපෙවෙතක් මිස ප්‍රතිපදාවක් නොවෙයි.

විචිකිච්ඡාව හා ප්‍රහානය

සක්කාය දෘශ්ඨි ප්‍රහානය දන්නා ඔබ දැන් විචිකිච්ඡාව යනු කුමක්දැයි හොදින් දැනගත යුතුය.

සෘතවත් ආර්ය ස්‍රාවකයා තමා සක්කාය දෘශ්ඨිය නිසා දුකට පත්වී සිටිනා බවත් එයින් මිදීමට නම් අනාර්ය අට පිලිවෙත තුල ගෙවන දිවිපෙවෙතෙන් මිදී සීලබ්බත ප්‍රහානය කලයුතු බවත් දනියි.

මෙය ඉතාමත් සරල ක්‍රියාවක් සේ පෙනේ. එසේ නම් අප සියළුම දෙනා මෙම සීලබ්බත පරාමාසයෙන් මිදී සක්කාය දෘශ්ඨිය ප්‍රහානයට උත්සුක නොවන්නේ මන්ද?

1. ඒ ප්‍රථමයෙන්ම භවය සකස් කරන්නාවූ සක්කාය දෘශ්ඨිය පිළිබඳවූ දේශනාව ගැන දැනුමක්, විශ්වාශයක් නොමැතිකමයි,

2. දෙවනුව සක්කාය දෘශ්ඨිය ඇතිකරවන සීලබ්බත පරාමාස (අනාර්ය) දිවි පෙවෙතකට හුරුවූ අප එමගින් ලබාදෙන වින්දනයට පුරුදු පුහුනු වී එයට රාගයෙන් (හෝ ද්වේශයෙන්) ඇලී සිටීමට කැමැත්තක් (ඡංදය) දක්වන අතර එයින් පිටස්තර ලෝකයක්, දිවිපෙවෙතක් ගැන විශ්වාසයක් නොමැතිකමයි,

3. තෙවනුව, එම ඡංදයෙන් රාගයෙන් මිදී ආර්ය දිවිපෙවතකට හැරීමේ, පිවිසීමේ ප්‍රතිලාභ පිළිබඳ විශ්වාශයක් දැනීමක් නොමැති කම, හා

4. සතරවනුව, සක්කාය දෘශ්ඨිය ප්‍රහානය කිරීමේ එකම මග සීලබ්බත පරාමාස ප්‍රහානය බවට විශ්වාශයක් දැනීමක් නොමැතිකමයි.

සෘතවත් ආර්ය ස්‍රාවකයන් වන අපට ඉහත කරුනු ගැන දැනුමක් හා විශ්වාසයක් ඇත. නමුත් අපි දිගින් දිගටම සක්කාය දෘශ්ඨිය තුල සිරවී ගෙවන්නාවූ දිවියේ මිහිර දුකම බව දැන දැනත් එයින් මිදීමට අලස භාවයක් දක්වයි. මෙසේ සක්කාය දෘශ්ඨියෙන් මිදීමට දක්වන අලසභාවය, මන්දෝත්සාහය  ‘විචිකිච්ඡාවයි.

ඉංග්‍රීසි භාෂාවේ Dilemma හා perplexity යනුවෙන් හඳුන්වන්නේ මෙම විචිකිච්ඡා ස්වභාවයයි. එනම් ඔබ සිටින්නේ උභතෝකෝටිකයක සිරවීය. සක්කාය දෘශ්ඨිය (භාහිරය විඤ්ඤාණමායාව තුල ආත්මීය සේ දැනීම නිසා භාහිරය දෙයක් යමක් කෙනෙක් සේ දැනෙන, එසේ දැනෙනා මම සිටින ස්වභාවය) නිසා භවය සකස්වීම නොහොත් ඉත්ථභාවය තුල ඇත්තේ දුකම බව ඔබ දනී. නමුත් එම ඉත්ථභාවය නිසා ලබන්නාවූ වින්දනයට දක්වන ආසාව හා කැමැත්ත ඔබව සක්කාය දෘශ්ඨි ප්‍රහානයට මන්දෝත්සාහි බවකට පත්කරයි. මෙම උභතෝකෝටිකයේ (dilemma) සිරවුන ඔබව අධිශ්ඨාන/උත්සාහ භංගත්වයකට (perplxcity) ඇද දමයි. මෙම තත්වය විචිකිච්ඡාවයි. 

සක්කාය දෘශ්ඨිය ඉදිරිපත්කරන වින්දනය තුල සිරවී ‘දැන් එයින් මිදෙම්දෝ තවදුරටත් විදිම්දෝ’ යි උභතෝකෝටියක (dilemma) සිටිනා ඔබට එහිදී ඇතිවන ව්‍යාකූලබව නිසා ඇතිවන උත්සාහ භංගත්වය (perplexity) විචිකිච්ඡාවයි – confusion resulting from complexity of the dilemma.

in default, අප සියළු දෙනාම මේ මොහොතේ සිටින්නේ මෙම විචිකිච්ඡාව තුලයි. හොදින් සිතා බලන්න. ධර්මය ගැන සම්පූර්ණ නොවුනත් යම්‍තාක් දුරට දැනුමක් ඔබට ඇත. සෝතාපන්නය පිළිබඳව පලවන මෙම ලිපි පරිශීලනය කරනා ඔබගේ ධම්මට්ඨිය ඥාණය අනෙකුත් අයට වඩා වැඩිය. එහෙත් ඔබ තවමත් සක්කාය දෘශ්ඨිය ප්‍රහානය කර සොතාපන්න අවස්ථාව උදාකරගැනීමට වීරිය, උත්සාහ, අධිශ්ඨාන නොකරයි. එයට හේතුව මෙම උභතෝකෝටිකය (dilemma) හා එයින් ජනිතවන භංගත්වය නැතහොත් ඉහත සඳහන් සිව් විශ්වාසයන් බිදවැටීම (perplexity) බව ඔබට වැටහෙන්නේ නම් ඔබ විචිකිච්ඡාව ප්‍රහානය කලේ වෙයි.

විචිකිච්ඡාව යනු සැකය නොවෙයි.

පලමුවෙන්ම විචිකිච්ඡාව යනු ‘සැකය’ නොවන බව දත යුතුය. මාගධී භාෂාවේ ‘සැකය’ අරුත් ගැන්වීමට බුදුන්වහන්සේ භාවිතා කලේ ‘කංඛති’ නැතහොත් ‘කඬ්ඛති’ යන වචනයයි. බොහෝ දේශකයින් පවසනා පරිදි ‘බුද්ධාදි අටතැන් ගැන ඇති සැකය’ සේ විචිකිච්ඡාව ගැනීමම ධර්මයට (දෙයක් යමක් කෙනෙක් නැති අනාත්මීය ශුන්‍යතාවය) නොගැලපෙයි. ඔවුන්ට මෙම ධර්මය හා නොගැලපීම හසුවන්නේනම් අද දවස සෝවාන් වූවන් හා එහි දිගුවක්වන රහතන් වහන්සේලාත් හමුවීම සුලභ වනු ඇත. ධර්මය සේ අධර්මය දේශනා කරනා UTube දේශකයින් නිසා අද දවස ලෝකය රහතන්වහන්සේලාගෙන් හිස් ස්ථානයක් බවට පත්වී ඇත.

බුද්ධාදි අටතැන් ගැන ඇති සැකය

දුක ඇතිවීමට හේතුව සක්කාය දෘශ්ඨිය බව දන්නේ කී දෙනාද? ලෝකයේ වැඩි දෙනෙක් එය නොදන්නවා සේම දන්නා අයද ඒ ගැන එතරම් තැකීමක් නොකරයි. මොවුන් සැම අයත්වන්නේ අශ්‍රෘතවත් පෘතග්ජන කුලකයටයි (set). දුකට හේතුව සක්කාය දෘශ්ඨිය බව දන්නා අපි සෘතවත් ආර්ය ශ්‍රාවක වෙමු. සෘතවත් ආර්ය ස්‍රාවකතෙමේ මෙම මෙම දුකට හේතුවන සක්කාය දෘශ්ඨිය ගැන තවදුරටත් විමසයි. ඔහුගේ හෝ ඇයගේ එම විමසීම සැලසුම් සහගත නම් (structured) එම විමසුම දිවයන්නේ බුද්ධාදි අටතැන්‍ හරහාය. සමහර අය මෙම විමසුම සැකයට හේතුවන කරුනක් නිරාකරනය කිරීමක් ලෙසද තවත් අයෙක් තම සද්ධර්ම දැනුම වර්ධනය පිනිසද කරනු ඇත. කෙසේ වෙතත් බුද්ධාදි අටතැන් සොයන්‍නාට සද්ධර්ම දැනුම ඇතිවෙයි, වර්ධනය වෙයි. බුද්ධාදි අටතැන් ගැන සැකයක් ඇතිනම් එය දුරුකරගැනීම වැදගත්ය. මක්නිසාද යත් එම සැකයට හේතුව දුරුකිරීම ඔබගේ සත්‍ය ඥානය වර්ධනයට හේතුවන බැවිනි. එම සැකය හා එම සැකය දුරුකිරීම විචිකිච්ඡා ප්‍රහානයට කෙලින්ම (directly) හේතු පාදක නොවෙයි.

1.සත්ථරි කංඛති, 2.ධම්මෙ කංඛති, 3.සංඝෙ කංඛති, 4.සික්ඛාය කංඛති, 5.පුබ්බන්තේ කංඛති, 6.අපරන්තෙ කංඛති, 7.පුබ්බන්තාපරන්තේ කංඛති, 8.ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මේසු කංඛති.”

පෙර ආත්මයක් (5) හෝ පසු ආත්මයක් (6) ගැන සැක ඇතිකර නොගැනීම බුදුන්වහන්සේ දේසනා කල ‘අනාත්ම ධර්මය’ හා කිසිසේත් ගැලපීමක් නැතිබව ඔබගේ බුද්ධියට හසුවිය යුතුය. පෙර හා පසු ආත්‍ම හමුවන්නට ‘කෙනෙක්’ සිටිය යුතුය. කෙනෙක් නැති අනාත්ම ධර්මයක් තුල පෙර පසු ආත්ම භවයන් කොයින්ද?

එසේ නම් 5. පුබ්බන්තේ කංඛති හා 6. අපරන්තේ කංඛති යනු මොහොතකට පෙර ඇතිවූ හා මේ මොහොතට පසුව ඇතිවන ස්කන්ධ ස්වභාවයන් ලෙස දත යුතුය.

ඉහත සඳහන් ‘කංඛති – සැක’ දුරුකිරීමෙන් වන්නේ ඔබගේ සත්‍ය ඥාණය වර්ධනය වීමක් මිස ඒවා සෝවාන් තත්වයට පත්වීමට ප්‍රහානය කල යුතු ධර්මතාවයක්වන විචිකිච්ඡාව හා සම්බන්ධකමක් නැත (no direct relationship).

විචිකිච්ඡාවට හේතුව සැකය නොව සද්ධර්මය නොදැනීමයි. එනම් සත්‍ය ඥාණය නොමැති කමයි. සත්‍ය ඥාණය ඇති තැනැත්තා සද්ධර්මය තුල එයට පදනමවූ භවය සකස් කරනා සක්කාය දෘශ්ඨිය හා එම භවය සකස් කිරීමට හේතුව වූ අනාර්ය අට පිලිවෙත (දිවිපෙවෙත) හෙවත් සීලබ්බත පරාමාසය හා එහි ප්‍රහානය දකියි. අනුසෝතගාමීම මෙතෙක් ආ සසර ගමන (මව් කුස සිට මේ මොහොත දක්වා විවිධ ස්කන්ධ සකස් කරමින්, භවය සකස් කරමින් පැමිනි ගමන) පටිසෝතගාමී එනම් භවය සකස්‍ නොවන මාර්ගයකට පරිවර්තනය කල හැකිබව දැනීමෙන් (ජානතෝ) දනියි. 

වයස අවු 7 තේ දුක්සහිත ජීවිත ගතකරනා දරුවන් සෝවාන්වන ආකාරය

මොවුන්ට පෙර පුරුදු රැස්කිරීමක් හෝ රැස්වූ දත්ත (data) බලවත්වී බලගැන්වීමකට ලක්වීමක් නැත. ඔවුන්ට ‘මගේ’ යයි බදාගැනීමට කිසිවක් නැත. ඔවුන්ගේ ඉත්ථභාවය (සක්කාය දෘශ්ඨිය) බලවත් නොවී ඉතාමත් ශේෂව පවතියි.

ඉත්ථභාවය නොහොත් මම මගේ ස්වභාවය නැතහොත් සක්කාය දෘශ්ඨිය බලවත්ව නොපවතින බොහෝ අවස්ථාවල එයින් මිදීමක් හෝ මිදෙන දෙගිඩියාව (උභතෝකෝටිකය)ක් හෝ මිදෙනා බලාපොරොත්තු භංගත්වය (විචිකිච්ඡාව) යන්න අදාල නොවන (not applicable) සංසිද්ධියකි.

මොවුන් ගෙවන්නේම අල්පේච්චතාවය හා සමාන ජීවිතයි. එම දිවිපෙවෙත් බොහෝවිට නොදැනුවත්වම පාහේ භාහිරය දෙයක් යමක් නොවන ජීවිත දැක්ම (ආර්ය අට පිලිවෙත – සීලබ්බත පරාමාස ප්‍රහානය) හා හොඳින් ගැලපෙයි.

ඔවුන්ට අවශ්‍යවන්නේ ධර්මය යනු භාහිරයේ දෙයක් යමක් නැති ඔවුන් දැනුදු ජීවත්වනස්වභාවයම බව පෙන්වාදීම පමනයි. එම දැනුම ලද සැනින්ම මුල් සංයෝජන තුනම නොදැනුවත්වම (auto) ප්‍රහානය වී ඇති මෙම දරුවන් සෝවාන් අවස්ථාවට පත්වීමට ඇති සම්භාවතාවය ඉතා ඉහලය.

රතන සූත්‍රයේ 9වන ගාථාවසෝතාපන්න අවස්තාව 

සහාවස්ස දස්සනසම්පදාය – තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච  – සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි

සහාවස්ස දස්සනසම්පදාය – 

අනාර්ය අශ්ඨාංගික මාර්ගයෙන් මිදී ආර්ය අශ්ඨාංගික මාර්ගයට සමාධිගත වීම නොහොත් ඒ අයුරින් දිවිපෙවෙත සකසාගෙන එය තුල පැවැත්ම දර්ශන සමාපත්තිය හෙවත් සෝවාන් මාර්ගය හා එක්වීමයි.

එසේ උසස්වූ සෝවාන් මාර්ගයට පිලිපැනීමත් සමඟ

තයස්සු ධම්මා ජහිතා භවන්ති – ධර්මතා (ධම්මා) තුනක් (තයස්සු) ක්ෂයවී අතහැරෙයි (ජහිතා භවන්තු).

සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච – සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි

දැන් ඔබගේ සක්කාය දෘශ්ඨිය, විචිකිච්ඡාව හා සීලබ්බත පරාමාසය ප්‍රහානය පිළිබඳ දැනුම, පෙර තිබුනාවූ දැනුමට වඩා අළුත්බවක් හෝ කිට්ටුවන්ත බවක් දැනෙන්නේනම් මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ඉටුවී ඇත.

මෙම ලිපි තුනෙන් සාකච්ඡා කල සෝතාපන්න මාර්ගය නැතහොත් භවය සකස් නොවනා දිවිපෙවෙත සූත්‍රපිටකය අනුසාරයෙන් ගලපා ගැනීමට ඊලග ලිපියෙන් උත්සාහ කරමු.

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

eMail:  tgunite@tpg.com.au

2024 අප්‍රේල් මස 26 වනදා

Sent from Tissa’s Phone

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress