පසුබසින ජවිපෙ කැරළිකරුවෝ තායිලන්තයේ කඳවුරු බදිති
Posted on March 5th, 2016

ධර්මන් වික්‍රමරත්න -ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 88 කොටස

මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ධර්මන් වික්‍රමරත්න එම බොහෝ සිද්ධීන් සියසින් දුටු  අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ  ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 40 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය                                           

ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) 2වැනි කැරැල්ල 1989 අගෝස්තු වන විට උත්සන්න වෙමින් පැවතිණි. ජවිපෙට එරෙහි සතුරු බලවේග එක පෙළට එකතුවීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබිණි. තම සතුරු බලවේග උපක්‍රමිකව වෙන්කර තැබීමට ජවිපෙ අසමත්වූ අතර  එජාප ආණ්ඩුව, ආරක්ෂක හමුදාව පමණක් නොව ශ්‍රිලනිප, වාමාංශික පක්ෂ සහ පැරණි සතුරන් ජවිපෙට එරෙහිව එක්කිරීමට අවශ්‍ය විෂය මූල තත්ත්වයක්ද ජවිපෙ විසින්ම නිර්මාණය කර දෙන ලදී. ජනාධිපති ප්‍රේමදාසගේ ඉන්දීය හමුදා විරෝධි ස්ථාවරයෙන් ජනප්‍රිය සටන් පාඨ සහ සන්නද්ධ හැකියාව පිළිබඳව අධි තක්සේරුවද ජවිපෙ ගිලිහෙමින් පැවතිණි. බරපතල මර්ධනයකට ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන්ට 1989 සැප්තැම්බර් ආරම්භයේ සිටම මුහුණදීමට සිදුවිය.

dharman05031602තායිලන්තයට පසුබැස ගිය ජවිපෙ කැරළිකරුවන්ගේ නියෝජිත කණ්ඩායමක් දේශපාලන රැකවරණ ලබාදෙන මෙන් අදාළ අංශ වලින් තායිලන්තයේදී 1990 ඉල්ලීමක් කල අවස්ථාවක්. වමේ සිට බද්දේගම කිඹිල්ලේ ජිනප්‍රිය, හමුදාවේද සිටි ගනේගම උපුල්, ගම්පහ ගාමිණී වැන්ඩකෝන්, වැලිගම සමන් ප්‍රියංකර සහ අනුරාධපුර උදය වලිසුන්දර.

පැවති අරාජික තත්ත්වයන් හමුවේ ජවිපෙ කැරළිකරුවන් පසුබැසීම 1989 ඔක්තෝබර් මස වනවිට ආරම්භවූ අතර කුඩා කණ්ඩායම් වශයෙන් ඔවුහු වනගත පෙදෙස්වලට පසු බසින්නට විය. මොණරාගල හම්බේගමුව, රත්නපුර සිංහරාජය සහ හම්බන්තොට වනගත පෙදෙස් ඔවුන්ගේ කඳවුරු බිම් බවට පත්විය. තවත් දහස් සංඛ්‍යාතික පිරිසක් කැරැල්ලෙන් පසුබැස ගොස් පෞද්ගලික මට්ටමින් සිය නිවෙස් වලින් බාහිරව ඥාතීන් සහ හිතවතුන්ගේ නිවෙස්වල ආරක්ෂිතව පසුවිය. එමෙන්ම ඉන්දියාව සහ තායිලන්තයටද සංක්‍රමණය වී දේශපාලන රැකවරණය ලබාගැනීමටද පිරිස් කටයුතු කලහ. එසේ 1989 ඔක්තෝබර් සිට1991 මාර්තු දක්වා ඉන්දියාවට සහ තායිලන්තයට වෙන් වෙන්ව 200ක පමණ පිරිසක්ද ජීවිතාරක්ෂාව සඳහා සංක්‍රමණයවී තිබිණි.

ශ්‍රී ලංකාවේ වනගතවූ කණ්ඩායම් 3ක් 1990 අගෝස්තු මස වන විට ජවිපෙ ඉතුරුවූ එකම දේශපාලන මණ්ඩල සභිකයා වශයෙන් නායකත්වයට පත්වූ සෝමවංශ‍ අමරසිංහ කැසට් පටියක් මගින් කල ඉල්ලීමක් මත නිල වශයෙන් විසිර ගොස් තිබුණද පිරිසක් 1991 දක්වාම වනගතව උඩවලවේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල රැදී සිටියහ. ඉන්දියාව සහ තායිලන්තයේ දේශපාලන රැකවරණ ලබාගත් පිරිසද 1991 ජුනි මස වන විට වෙනත් යුරෝපීය රටවලට සංක්‍රමණය වී දේශපාලන රැකවරණ ලබාගැනීමට සමත් විය. මේ එසේ තායිලන්තයට දේශපාලන රැකවරණ පතා පැමිණි ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරළිකරුවන්ගේ කථාවය.

dharman05031603එක්සත් ජාතින්ගේ සංවිධානය වෙනුවෙන් ලෝක විශ්ව විද්‍යාල සේවයේ විශේෂ නියෝජිතයෙකු තායිලන්තයේ කඳවුරු බැදගත් ජවිපෙ කැරළිකරුවන්ගේ නියෝජිත පිරිසක් සමඟ සහන සැලසීමේ සාකච්ඡාවකදී. වමේ සිට එගොඩබැද්දේ ගුණසිරි හිමි, වූස් විශේෂ නියෝජිතයා, වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි කැළණි සරසවියේ රතනාලංකාර හිමි සහ කොළඹ සරසවි නීති ශිෂ්‍ය කෑගල්ලේ දුමින්ද.

මානව හිතවාදී භික්ෂු සංවිධානය 1983 කළු ජූලියෙන් පසු ආරම්භවූ අතර එය ජවිපෙ දෙවන කැරැල්ලට පාදකවූ සාමූහික අභිලාෂයන් මෙන්ම රාජ්‍ය සාහසිකත්වයට එරෙහි නොබියව කටයුතු කල මානව හිමිකම් සංවිධානයකි. මානව හිතවාදී භික්ෂු සංවිධානයේ නායකයින්වූ මණ්ඩාවල පඤ්ඤාවංශ හිමියන්ද ජීවිත ආරක්ෂාව සඳහා  එක්සත් ජනපදයට ගිය අතර  භාතිගම්මන උත්තරානන්ද හිමි නිකවැරටියේ ගොඩනගන ලද වන අරමක අපිස් දිවියක් ගතකරමින් වර්තමානයේද වැඩ වසති. ජවිපෙ වෙනුවෙන් විනිවිද සඟරාව පළකලේ උඩුගොඩ සෝරත හිමි සහ එගොඩබැද්දේ ගුණසිරි හිමිය. විනිවිද සඟරාව 1987/88 කාලයේදී එක් සඟරාවකින් පිටපත් 62,000ක් අළෙවිවූ අවස්ථාද විය.  විනිවිද සඟරාවේ කලක් සම සංස්කාරකවරයාවූ කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන් භීෂණය හේතුවෙන් ප්‍රංශයට පිටුවහල් විය.කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි 70 සහ 80 දශකයේ මතුව ආ නව සාහිත්‍ය ප්‍රවණතාවයන් සහ රැඩිකල් භික්ෂු සම්ප්‍රදායට පුමුඛව දායකවූ භික්ෂුවක් ලෙස සැලකේ. මානව හිතවාදී භික්ෂු සංවිධානයේ භික්ෂූන් කිහිප දෙනෙකු ඔස්ට්‍රේලියාවේ රෙඩ්බානා ආයතනයේ අනුග්‍රහයෙන් තායිලන්තයේ සති තුනක පුහුණු වැඩසටහනකට 1985දී සහභාගීවූ අතර එය තායිලන්තයේදි මෙහෙයවන ලද්දේ ආචාර්ය සුලක් ශිවරාක්ෂ විසිනි.

dharman05031604

තායිලන්තයේ සිටි ජවිපෙ රැඳවියන් 127ක් වෙනුවෙන් සහන සැලසීමට ක්‍රියාකාරීව නායකත්වය දුන් කැළණි සරසවියේ සිසු බිංගිරියේ මහින්ද, මානව හිතවාදී භික්ෂු සංවිධානයේ විනිවිද සඟරාවේ සංස්කාරකවරයෙකුවූ එගොඩබැද්දේ ගුණසිරි හිමි, ගම්පහ ගාමිණී,1991 ආරම්භයේදී තායිලන්තයේ රැකවරණය ලබාගත් අන්තරේ භික්ෂු පෙරමුණේ නායක කැලණි සරසවියේ බලහරුවේ සෝම, දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ තාරපේරියේ රතනජෝති හිමි නමින් සිට පසුව උපැවිදිවූ සිරිවර්ධන, සෝමවංශ අමරසිංහට ශ්‍රී ලංකාවේන් ඉන්දියාවට පිටත්වීමට පෙර අවසන්වරට රැකවරණය සැලසූ දැනට කැනඩාවේ සිටින අම්පාරේ අයියා නොහොත් වික්‍රම(ඉහළ වමේ සිට).

මානව හිතවාදී භික්ෂු සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු සහ විනිවිද මාසික සගරාවේ සංස්කාරකවරයෙකුවූ එගොඩබැද්දේ ගුණසිරි හිමියෝ ලියුම්කරුට මාධ්‍ය ආයතනයේදී සහ ගෝතමී විහාරයේදී නිරතුරුව වසර කිහිපයක් තිස්සේ හමුවී තිබිණි. හදිසියේම ගුණසිරි හිමියෝ හමුවූයේ 1989 ඔක්තෝබර් 23වැනිදා කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ගතවීමට නියමිතව තිබූ තායි ගුවන් සේවයට අයත් යානයකදීය. ලියුම්කරු තායිලන්තයට ගියේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවකට සහභාගිවීම සඳහාය. දිවි බේරා ගැනීම සඳහා තමා පලා යන බවද ඒ සඳහා ලොකු වැඩ කරන පොඩි හාමුදුරුවන් කෙනෙකු උදව්කල බවද ගුණසිරි හිමියෝ පැවසූහ. බැංකොක් නුවර තෙක්ම උන්වහන්සේ ගුවනේදී සංවාදයක නිරත වෙමින් බොහෝ කරුණු කාරණා එහිදී ආවර්ජනය කළේය.  අවසානයේ තමාගේ තාවකාලික නවාතැන තායිලන්තයේ සුලක් ශිවරාක්ෂගේ ස්ථානය බැවින් හැකියාවක් ඇත්නම් එම ස්ථානයට රැගෙන යන මෙන් කාරුණික ඉල්ලීමක්ද කළේය. ලියුම්කරු එය ඉටුකල අතර සුලක් ශිවරාක්ෂද එයට කලින් හමුවී තිබිණි. තායිලන්තයේ මූලස්ථානය කරගත් කලාපීය පරිසර සංවිධානයක ලියුම්කරු තනතුරක් දැරූ හෙයින් ඉන් පසු 1991 මුල් භාගය දක්වාම මසකට වරක් පමණ තායිලන්තයට ගිය හැම අවස්ථාවකදීම ඉඩඇති විටදී ගුණසිරි හිමි සහ තායිලන්තයේ දේශපාලන රැකවරණ ගත් ජවිපෙ කිහිප දෙනෙක්ද හමුවිය.

පසුව 1989 දෙසැම්බර් පමණ වන විට සිංගප්පූරුව හරහා මැලේසියාවට පසුබැස ගිය ජවිපෙ කැරළිකරුවන් කිහිපදෙනෙකුද තායිලන්තයට පැමිණි අතර ඔවුහු සංවිධානගත වන්නට විය. තායිලන්තයේ ජවිපෙ ක්‍රියාකාරිකයින්ගේ සංවිධානය බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මානව හිමිකම් සංවිධානයක් ලෙස එයට ඉස්මතු වීමට නීතිඥ ප්‍රින්ස් ගුණසේකර, ආචාර්ය හේමා ගුණතිලක, ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු, ඇමෙනෙස්ටි ආයතනයේ ආසියානු කලාපය භාර නිලධාරිනියකවූ ඉංග්‍රීච් මසාජ් ඇතුළු පිරිසක් උදව් කලහ. ආචාර්ය සුලක් ශිවරාක්ෂ විසින් තම අධ්‍යාපන ආයතනයේ බාහිර සිසුන් ලෙස ඔවුනට හැදුනුම්පත් නිකුත්කල අතර තායිලන්තයේ ශිෂ්‍ය වීසා ඒ අනුව හිමිවිය. තෙමසකට වරක් ලඟ රටකට ගොස් යළි පැමිණි වීසා අලුත්කර ගැනීමට ඔවුන්ට සිදුවිය.

dharman05031605ජවිපෙ දේශපාලන රැඳවියන්ගේ ප්‍රශ්න විසදීම සඳහා මැදිහත්වීමට තායිලන්තයට පැමිණි හබරාදූව හිටපු මන්ත්‍රී සහ මානව හිමිකම් නීතිඥ ප්‍රින්ස් ගුණසේකර සමඟින් ගුණසිරි හිමි සහ රුහුණු සරසවියේ කථිකාචාර්ය කමල් කරුණාදාස(වමේ සිට).

සංවිධානගත තායිලන්තයේ සිටි ජවිපෙ හිටපු කැරළිකරුවන් පසුව එක්සත් ජාතින්ගේ සරණාගතයින් ලෙස පිළිගත් අතර මසකට ඔවුන්ගෙන් එක් අයෙකුට තායිලන්ත මුදලින් බාත් 5,000ක මුදලක් ඉදුම් හිටුම් සහ ආහාර සඳහා ලැබිණි. ඉන් බාත් 500ක් ජවිපෙ තායිලන්ත ක්‍රියාකාරිකයින්ගේ සංවිධානයේ මාසිකව අරමුදලට පරිත්‍යාග කල අතර සියළු මෙහෙයුම් සහ සම්බන්ධීකරණයන් එමගින් සිදුකරන ලදී. ජවිපෙ 2වැනි කැරැල්ල ඇද වැටීමෙන් පසු එසේ 1989 අවසානයේ සිට 1991 මුල් භාගය දක්වා තායිලන්තයට පසුබැස ගොස් දේශපාලන රැකවරණය ලබාගත් පිරිස 127ක් බවට වාර්තා විය. දේශපාලන රැකවරණ ලබාගත් එම පිරිස නොන්නබූරි ඇතුළු ස්ථාන 7ක සහ වට්ඉන්ද විහාර් පන්සලේ ස්ථානගතවී තිබිණි.

තායිලන්තයේ සිටි ජවිපෙ රැඳවියන් 127ක් වෙනුවෙන් සහන සැලසීමට ක්‍රියාකාරීව නායකත්වය දුන්නේ කැළණි සරසවියේ වානිජ පීඨයේ සිසු බිංගිරියේ මහින්ද රාමනායක(කැලණි සරසවියේ 83/84 කණ්ඩායමේ සාමාජිකයෙකුවූ මහින්දගේ දෙමාපියන් ගුරුවරුන්ය. පසුව ආචාර්ය පල්ලේකැන්ද රතනසාර හිමියන්ගේ සහාය ඇතිව රුසියාවේ වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවූ, කැලණි උපාධිධාරියෙකුදවූ මහින්ද වර්තමානයේ ඉහළ වෘත්තිකයෙකි), මානව හිතවාදී භික්ෂු සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු සහ විනිවිද සඟරාවේ සංස්කාරකවරයෙකුවූ එගොඩබැද්දේ ගුණසිරි හිමි, ගම්පහ ගාමිණී වැන්ඩකෝන්(ගම්පහ පදිංචිකරුවෙකුවූ ගාමිණී බණ්ඩාරනායක විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. 1978දී ජවිපෙට සම්බන්ධවූ අතර මුල් පෙලේ ක්‍රියාකාරිකයෙකුවූ අතර පසුව ස්විසලන්තයට සංක්‍රමණය විය), වැලිගම දෙණිපිටි‍යේ සමන් ප්‍රියංකර(ජපානයට සංක්‍රමණයවූ අතර සාර්ථක ව්‍යාපාරිකයෙකි) ඇතුළු අය වේ.

dharman05031606තායිලන්තයේදී ජවිපෙ රැඳවියන්ට නොමසුරු අනුග්‍රහය ලබාදුන් ආචාර්ය සුලක් ශිවරාක්ෂ, කැළණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක, ජවිපෙ ලන්ඩන් ශාඛාවේ ලේකම් පෝල් පීරිස්, ලෝක විශ්ව විද්‍යාල සේවයේ අධ්‍යක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, විද්‍යාභිවර්ධන සංගමයේ හිටපු සභාපති ආචාර්ය සුසන්ත ගුණතිලක සහ වොෂින්ටන් බෞද්ධ විහාරයේ භාවනාචාර්ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමි(ඉහළ වමේ සිට).

තායිලන්ත ජවිපෙ ක්‍රියාකාරි සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව මාසික සඟරාවක්ද 90 ජනවාරි සිට නිකුත් කරන ලදී. තායිලන්තයේ සිටින ජවිපෙ කැරළිකරුවන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම සඳහා තායිලන්තයේ බ්‍රිතාන්‍ය මණ්ඩලය විසින් ඉංග්‍රීසි පාඨමාලාවක්ද ආරම්භකල අතර එයට අනුග්‍රහය දක්වන ලද්දේ ලෝක විශ්ව විද්‍යාල සේවය මගිනි. සංවිධානයට පරිගණකයක් ඇතුළු අවශ්‍ය ලිපිද්‍රව්‍ය ලබාගත් අතර ජවිපෙ තායිලන්ත සංවිධානයේ සාමාජිකයින්ට පරිගණක පුහුණුව ලබා දෙන ලද්දේ මොරටු සරසවියේ රවි විසිනි. රෝහණ විජේවීර ඝාතනය වී වසරක් සැපුරුණ 1990 නොවැම්බර් 13වැනිදා ඉල් මහ සමරුවක්ද තායිලන්තයේ නිවසක 60කගේ සහභාගිත්වයෙන් පැවැත්විමට සංවිධානය සමත්විය. 

තායිලන්තයේ සිටි ජවිපෙ කැරළිකරුවන්ට තායිලන්තයේදී කිහිප දෙනෙක්ම උදව් උපකාර කළහ. ජවිපෙ ඝාතන තර්ජන වලට ලක්ව තායිලන්තයේ ජීවිත ආරක්ෂාව සඳහා වැඩ සිටි පුත්තලම කරුවලගස්වැව විජයාරාම විහාරයේ බුද්ධියාගම චන්දරත්න හිමි ජවිපෙ සාමාජිකයින්ට සිය පිණ්ඩපාතයෙන් තායිලන්තයේදී ලැබෙන ආහාර හා ඔහේලා මාව මරන්ඩනෙ හිටියෙ, කමක් නෑ මෙන්න කෑම තියනව, කනවල! කියමින් ඔවුනට පිදූහ. වරෙක එළවලු රැගෙන ගොස් උයා දුන්හ.

dharman05031607ශ්‍රී ලංකාවෙන් 1991දී ඉතාලියට පැමිණි පසුව බ්‍රිතාන්‍යයට සංක්‍රමණයවූ ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායකගේ පුත්‍රයාවූ සුචිර චාමික සහ දියණියවූ ජනිතා 1995දී ලංඩන් නුවරදී කැළණි සරසවියේ අහංගම අරියසිරි හිමි සමඟ(ඉහළ ඡායාරූපය). ගමනායකගේ බිරිඳ කරුණා 2007දී ශ්‍රී ලංකාවට පැමිණ රෝහණ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී සහ බාල දියණිය මායා හමුවූ අවස්ථාවක්.   

මේ අතරතුර ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ සමුළුවක් ලෝක සහයෝගිතා සංසදය නමින් 1990 මැයි මස තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට ඇමනස්ටි ඉන්ටර්නැෂනල්, ලෝ ඒෂියා, ඉන්ටර්නැෂනල් ඇලර්ට් ඇතුළු මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව කටයුතු කල අතර ඒ සඳහා මුල්වූ සම්බන්ධීකාරකවරයෙක් වූයේ කුමාර් රූපසිංහය. මෙම සමුළුවට සහභාගිවීමට ඉඩ දෙන්නයැයි තායිලන්‍තයේ ජවිපෙ ක්‍රියාකාරින්ගේ සංවිධානය ඉල්ලා සිටියද සංවිධායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. පසුව ඔවුහු නීතිඥ ප්‍රින්ස් ගුණසේකර, එගොඩබැද්දේ ගුණසිරි හිමි, මණ්ඩාවල පඤ්ඤාවංශ  හිමි ඇතුළු කිහිප දෙනෙක් ඒ වෙනුවට යෝජනා කළහ. එයද ප්‍රතික්ෂේප විය. එම සමුළුවට ශ්‍රී ලංකාවෙන් සුනිලා අබේසේකර, සරත් ප්‍රනාන්දු, රාජා ධර්මපාල, යොහාන් දේවානන්ද පියතුමා ඇතුළු පිරිසක්ද තායිලන්තයේ සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නියෝජිතයින්ද සහභාගි වූහ.

dharman05031608ජවිපෙ රැඳවියන් තායිලන්තයේ තමාසාක් සරසවියේ ගැටුමෙන් බේරුණු සිසුවෙකුවූ ප්‍රචාන් සමඟ සිය කටයුතු සම්බන්ධීකරණ සාකච්ඡාවකදී.

තායිලන්තයේ දේශපාලන රැකවරණ ලබන ජවිපෙ කැරළිකරුවන්ට අවශ්‍ය විදේශ රටවල දේශපාලන රැකවරණය ලබාගැනීම පිළිබඳව තායිලන්තයේ පිහිටි යුරෝපීය රටවල් සහ චීනය, ඉරාකය, වියට්නාමය, කාම්බෝජියාව තානාපති කාර්යාල සමඟද  ලාවෝස් නුවර පිහිටි  කියුබාව තානාපති කාර්යාල සමඟද සංවිධාන නියෝජිතයින් විසින් සාකච්ඡා පවත්වන ලදී. කියුබාව විසින් 12කට පමණ උසස් අධ්‍යාපනය ලබාදිමටද ඉරාකය විසින් 20 දෙනෙකුට පමණ රැකියා ලබාදීමටද මූලික අවබෝධයකට පැමිණ තිබිණි. එහෙත් ඉරාන ඉරාක යුද්ධය ඇතිවූ බැවින් ඉරාක රැකියා නොලැබිණි. තායිලන්ත ජවිපෙ ක්‍රියාකාරි සංවිධානය ජවිපෙ සමඟ ශ්‍රී ලංකාවේ සබදතා ඇතිකරගෙන තිබුණේ ජිනදාස කිතුලේගොඩ නොහොත් සුදු අයියා සමඟය. ඔහුද 1990 නොවැම්බර් මස අත්අඩංගුවට පත්වීමෙන් සම්බන්ධතා බිඳ වැටිණි.

බද්දේගම සමිත හිමියන්ගේ සහ ගාල්ල දිස්ත්‍රික් ශ්‍රිලනිප මන්ත්‍රී අමරසිරි දොඩංගොඩගේ මැදිහත්වීමෙන් ජීවිත ආරක්ෂාව සඳහා තායිලන්තයට පැමිණි පිරිස අතර සෝමරත්න, උපුල් සහ සුනිල් එදිරිසිංහ(ජපානයට සංක්‍රමණය විය), සිරිල් විතානාරච්චි (බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය) ඇතුළු පිරිසක් විය. එයට අමතරව තායිලන්තයේ දේශපාලන රැකවරණ ලබාගත් පිරිස අතර බද්දේගම කිඹිල්ලේ ජිනප්‍රිය(1991දී ජපානයට සංක්‍රමණ  විය), අනුරාධපුර උදය වලිසුන්දර(ඔස්ට්‍රේලියවට සංක්‍රමණය විය), කැළණි සරසවියේ රතනාලංකාර හිමි(භික්ෂු අංශයේ ක්‍රියාකාරිකයෙකි). ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී උපැවිදි විය), කොළඹ සරසවි නීති පීඨයේ ශිෂ්‍ය කෑගල්ලේ දුමින්ද(ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරිකයෙකි. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විය), මොරටුව සරසවියේ රවී(කම්කරු සටන් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිකයෙකි. මීගමුවේ පදිංචි ඔහු බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය), මහින්ද ජයසේකර(සෝමවංශ කුරුණෑගල සැඟවි සිටි නිවසක හිමිකරුගේ පුතාය. බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය), වත්තල හැදල නන්දන(ජපානයට සංක්‍රමණය විය), බද්දේගම නන්දසේන(හමුදාවේ හිටපු අයෙකි. ජපානයට ගොස් ඉතාලියට), හෝමාගම දුලානි ලර්නස්හි අධිපති විජේදාස සහ ඔහුගේ දරු පවුල(ජවිපෙ කැරළිකරුවන්ට රියදුරු පුහුණුව දුන් පාසැලක හිමිකරුය. නවසීලන්තයට පවුලම සංක්‍රමණය විය.), යක්කල බෝගමුවේ මහීපාල(රූපවාහිනියේ කලක් සේවය කල අතර සොහොයුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක් දරයි. ලංකාවට පැමිණ නිතිඥයෙකි), නිහාල්(සංවර්ධන සභා ඡන්දයට ජවිපෙන් ගාල්ලේ දිසාවට තරඟ ක‍ළේය. ගුරුවරයෙකි බ්‍රිතාන්‍යයේ), බද්දේගම උපල්(හිතහොද මිනිසෙකි.සන්දරවල පදිංචි ඔහු හමුදාවේද කලක් සිටි අතර ටාසන් වීරසිංහගේ මිත්‍රයෙකි. ජපානයට සංක්‍රමණය විය. පසුකාලයේ ලංකාවට පැමිණි විට ලිඳකට වැටී මිය ගියේය).

dharman05031609ශ්‍රී ලංකාවේ කැරළිකරුවන්ට රැකවරණය සැලසූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තායිලන්තයේ පිහිටි කලාපීය මූලස්ථානය.

එසේම තායිලන්තයට දේශපාලන රැකවරණය සඳහා පැමිණි ජවිපෙ 127 පිරිස අතර පහත අයද විය. නුවර නිහාල් තෙන්නකෝන්(ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විය), අහංගම අරියසිරි හිමි(බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය. උපැවිදිවී දෙදරු පියෙකි.), අරියවිජිත හිමි(උපැවිදි වි ප්‍රංශයේ සිටී), තලාකොලවැව විජිත හිමි(උපවැදිවී ප්‍රංශයේ සිටින තිදරු පියෙකි.), ජාඇල අයිවන් නොහොත් ජයලත්(ඉතාලියට සංක්‍රමණය විය), පුන්‍යරතන හිමි(ප්‍රංශයට සංක්‍රමණයවී උපැවිදි විය), රඹෑවේ විජිත හිමි(කොළඹ සරසවියේ සිසුවෙකි. උපැවිදිව දැන් ප්‍රංශයේ පදිංචි දෙදරු පියෙකි), තැන්නේවෙල චන්ද්‍රනන්ද හිමි(සරසවි භික්ෂුවකි. කැරැල්ලේ ඉදිරි පෙළ නියෙමුවෙකි. ඉතාලියට සංක්‍රමණයවී උපැවිදිව තිදරු පියෙකි), ගාල්ලේ 1989 දිසා ලේකම් දෙබරවැව ගාමිණී නොහොත් පල්ලේවෙල(බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය),මොරටුවේ ගරුසිංහ(ප්‍රංශයට සංක්‍රමණය විය), නවසීලන්තයට සංක්‍රමණය වූ පිරිස අතර බදුල්ලේ පත්මසිරි, වලස්මුල්ලේ එගොඩබැද්දේ කපිල, වතුරහැර සුමනතිස්ස හිමි(කැළණි සරසවියේ සිසු පසුව උපැවිදිය) ඇතුළත් විය.

dharman05031610මොරටු සරසවියේ මීගමුවේ රවී(වර්තමානයේ බ්‍රිතාන්‍යයේ පදිංචිය) සහ සෝමවංශ අමරසිංහට කුරුණෑගල නැවතී සිටි නිවසේ මහින්ද ජයසේකර නොන්කපුර්හි තාවකාලිකව ලැගුම්ගෙන සිටි රැඳවුම් නිවසක හිමිකරුවන්ගේ තායි දරු දෙදෙනෙකු සමඟින්.

ජවිපෙ සමාජවාදී භික්ෂු සංගමයට 80 දශකයේ අග භාගයේදී නායකත්වය ලබාදුන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම, දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේකම් තාරපේරියේ රතනජෝති ඇතුළු පිරිසක්ද තායිලන්තයට දේශපාලන රැකවරණ පතා 1991 මුල් භාගයේදී පැමිණියහ. කැළණි සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙවන වසර සිසුවෙකු වූ බලහරුවේ සෝම හිමි මාතර බලහරුවේ උපන්නෙකි. මාතර උපන් තාරපේරිය රතනජෝති හිමි කැළණිය සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. මෙම භික්ෂූන් තායිලන්තයට 1990 මැද භාගයේ සිට 1991 මුල් භාගයේදී පැමිණ දේශපාලන රැකවරණය ලබාගෙන පසුව යුරෝප රටවලට සංක්‍රමණයවී උපැවිදිව විවාහවී දරුවන්ද ලබා අද පවුල් ජීවිත ගතකරමින් සිටී. බලහරුවේ සෝම හිමි උපැවිදිව සිසිර නමින් ස්වීඩනයේ ජිවත්වන දෙදරු පියෙකි. තාරපේරිය රතනජෝති හිමි උපැවිදිව සිරිවර්ධන නමින් බ්‍රිතාන්‍යයේ ජීවත්වන දෙදරු පියෙකි.

dharman05031611තායිලන්තයට පසුබැස ගොස් දේශපාලන රැකවරණය සලසාගත් සමන් ප්‍රියංකර(කොටුව තුල ඇති ඡායාරූපය) සහ වර්තමානයේ ජපානයේ ඉහළ ව්‍යාපාරිකයෙකුවූ සමන් ප්‍රියංකර සිය ජපන් ජාතික බිරිඳ සහ දූ දරුවන් සමඟින්.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් 13 දෙනාගෙන් ජීවිතය බේරා ගැනීමට සමත්වූ එකම තැනැත්තා වන සෝමවංශ අමරසිංහ සිය බිරිඳ සහ දරුවා ආරක්ෂාවට 1989 අප්‍රේල් මස ජපානයට යවනු ලැබූවද යළි ඔවුහු 1989 සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණියහ. එම කාලය තුළ සෝමවංශ සහ දරුපවුලට ශ්‍රී ලංකාවේ රැකවරණය ලබා දෙන්නේ දැනට කැනඩාවේ සිටින වික්‍රම නොහාත් අම්පාරේ අයියාය. යළිත් 1989 දෙසැම්බර් 25 බිරිඳ සහ දරුවා‍ ඉන්දියාවේ කේරලයේ සිටින මිත්‍රයෙකු වෙත යැවීමට සෝමවංශ සමත් විය.ඉන්දියාවට වීසා ලබාගැනීම සඳහා ඔවුනට සහාය වනුයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවූ ඊෂ්වරන්ස් බ්‍රදරස්හි හිටපු තොග කලමනාකරුවෙකු වූ මාතලේ උපන් කොටහේනේ අල්විස් ඇවනිව්හි පදිංචි වික්‍රමසිංහම් නොහොත් සෙල්වාය. සෝමවංශගේ දරු පවුලට ඉන්දියාවේ තිවේන්ද්‍රම් නුවර තමාට හිතවත් ඉන්දීය ජාතික නිවසක නවාතැන් පහසුකම් සම්බන්ධීකරණය කරනුයේ සවුදි අරාබියේ රියාද් නුවර ජවිපෙ කමිටුවේ ප්‍රධාන සංවිධායක කුරුණෑගල මැල්සිරිපුර ජයසිංහය. රියාද්හි ජයසිංහ ගමන් බලපත්‍රයක් සැදිමට පසුව කටුනායකට පැමි‍ණීමේදී උපැවිදිවූ අමරේගේ ඔත්තුවක් අනුව ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඝාතනය විය. සෞදි අරාබියේ ශක්තිමත් සංවිධානයක් ලෙස ජවිපෙ ගොඩනැගුණේ ජයසිංහගේ මැදිහත්වීමෙනි.

dharman05031612ජවිපෙ කැරළිකරුවන්ගේ දේශපාලන රැකවරණය ඇතුළු මානව හිමිකම් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේදී 1993 පැවති සාකච්ඡාවකින් පසු බ්‍රිතාන්‍යයේ ජවිපෙ ශාඛාවේ නිලධාරින් සමඟ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ලේකම් ආරිය බුලේගොඩ.

හික්කඩු‍වේ රන්සිරිගේ සම්බන්ධීකරණයෙන් සෝමවංශ අමරසිංහ බෝට්ටුවකින් කුලසේකරපට්නම් වෙරළ හරහා ඉන්දියාවට ගොස් තියේන්ද්‍රම්හි සිය බිරිඳ අයිරාංගනී මාලනී මුණසිංහ සහ පුත්‍රයා හමුවන්නේ 1990 පෙබරවාරි 21වැනිදාය. පසුව සෝමවංශ සිය බිරිඳ සහ පුත්‍රයා සමඟින් තායිලන්තයේ දේශපාලන රැකවරණ සඳහා පැමිණෙන්නේ 1990 ඔක්තෝබර් මසදීය. තායිලන්තයේ ඔහුට දේශපාලන රැකවරණ අනිකුත් ශ්‍රී ලංකිකයින්ට මෙන් ලැබෙන අතර තායිලන්තයේදී එම කටයුතු සම්බන්ධීකරණය කළේ කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ ජවිපෙ සමාජවාදී භික්ෂු සංගමයේ ක්‍රියාකාරිකයෙකුවූ තායිලන්තයේ 1991 දේශපාලන රැකවරණ ලබාගෙන සිටි ජිනානන්ද හිමිය(ජිනානන්ද හිමිද 1991 ඉතාලියට ගොස් අරවින්ද නමින් උපැවිදිය). තායිලන්තයේ ජවිපෙ ක්‍රියාකාරිකයින් හමුවීම සෝමවංශ විසින් කිහිපවරක් ප්‍රතික්ෂේප කරන ලද අතර ඔහු බැංකොක් නිවසක තාවකාලිකව පදිංචිවී සිටියේය. පසුව සෝමවංශ 1990 නොවැම්බර් මස දරු පවුල සමඟ ඉතාලියට ගොස් වල්පොලගේ ධර්මසේනගේ නිවසේ නවාතැන් ගනී. ධර්මසේන 71 කැරැල්ලේදී අත්අඩංගුවට ගත් කැරළිකරුවෙකුවූ අතර 1980දී රෝමය බලා පැමිණි අයෙකු විය.පසුව සිය දරුපවුල සමඟ ඉතාලියේ සිට ප්‍රංශය හරහා බ්‍රිතාන්‍යයට ගෙන යන සෝමවංශ අමරසිංහ පක්ෂ කටයුතු ප්‍රතිසංවිධානය කරයි.  උපතිස්ස ගමනායකගේ වැන්දඹු බිරිඳ වන කරුණා සහ දරු දෙදෙනාද ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය බලා පැමිණි විට බ්‍රිතාන්‍යයට යන තෙක් පහසුකම් සලසන ලද්දේද රෝමේ ධර්මසේනය.

dharman05031613ජවිපෙ රැඳවියන් පිරිසක් තායිලන්තයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සමඟ. වත්තල නන්දන, බද්දේගම නන්දසේන සහ හෝමාගම දුලානි ලර්නස්හි අධිපති විජේදාසගේ දියණියද(වර්තමානයේ නවසීලන්තයේ පදිංචිය) මෙහි වේ. මෙම සාකච්ඡාවට යක්කල මහීපාල, විජේදාස යුවල සහ බෝගමුවේ නීතිඥ අළුත්ගමද සහභාගි විය.

සෝමවංශ සාකච්ඡාවක් දීම පවා ප්‍රතික්ෂේප කිරීමෙන් බලාපොරොත්තු බිඳවැටුණු තායිලන්තයේ සිටි සෙසු ජවිපෙ දේශපාලන රැකවරණය ගත් පිරිසද මාස 6ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔවුහු සියළු දෙනාම විවිධ රටවල තාවකාලික වීසා ලබාගෙන ගිය අතර පසුව එම රටවල දේශපාලන රැකවරණය ලබා ගත්හ. ජපානය සංක්‍රමණය වූ පිරිස 35ක් පමණ විය. සෙසු පිරිස් බ්‍රිතාන්‍යය, නවසීලන්තය, ස්විසලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඩෙන්මාකය ඇතුළු රටවලට යෑමට සමත්විය.

ජවිපෙ ලන්ඩන් ශාඛාවේ නායකයෝද තායිලන්තයේ දේශපාලන රැකවරණය ලැබූ ජවිපෙ කැරළිකරුවන්ට වෙනත් රටවලට යෑම සඳහා සුවිශේෂි මෙහෙයක් සිදුකළහ. කරුණා ගමනායක සහ දරු දෙදෙනා ඉතාලියේ සිට බ්‍රිතාන්‍යයට ගෙන ඒමටද ඉන්පසු ඔවුනට පහසුකම් සැපයීමටද ජවිපෙ ලන්ඩන් ශාඛාව කටයුතු කර තිබිණි. එම ශාඛාවේ ලේකම් පෝල් පීරිස්, ගුවන් ඉංජිනේරු සී. අයි. ප්‍රනාන්දු, නිතිඥ රංජිත් මෙන්ඩිස්, උප ලේකම් ආවාද ලැනරෝල් සහ තරුණ කොමියුනිස්ට් සංගමයේ ලන්ඩන් ශාඛාවේ ලේකම්ව සිටි චන්ද්‍රන පීරිස් ඇතුළු පිරිසක් එම කටයුතු වලට මුල් විය. රෝහණ විජේවීර ලෝක තරුණ සමුළුවට සහභාගිවීමෙන් පසු 1978 ජුලි මස 23වැනිදා බ්‍රිතාන්‍යයට ගිය අවස්ථාවේදීද ලන්ඩන් ශාඛාවේ සේවය ඇගයීමට ලක්කර තිබිණි. අනූවේ දශකය මැද භාගයේදී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ විසින් ලොව පුරා ජවිපෙ මුල් පෙළේ ක්‍රියාකාරින් ගණනාවක් සමඟ ආරවුල් ඇතිකරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජවිපෙ ලන්ඩන් ශාඛාවද සෝමවංශ අමරසිංහ විසින් පසු කලෙක විසුරුවා හරිනු ලැබීය. සෝමවංශ අමරසිංහගේ සංවිධාන දුෂ්ටියේ දුබලතාවන් හේතුවෙන් විදේශගතව දේශපාලන රැකවරණය ඉල්ලා සිටි බොහෝ පිරිසකට බලවත් හානිකර ප්‍රතිඵල උදාවූ බවට චෝදනා විය.

තායිලන්තයට 1989 නොවැම්බර් මස පැමිණ දේශපාලන රැකවරණය ලබාගත් වැලිගම සමන් ප්‍රියංකර ජවිපෙට එක්වූයේ අධ්‍යාපන ධවල පත්‍රිකා විරෝධය හරහා පාසැල් ශිෂ්‍යයෙකු වශයෙනි. ජවිපෙ දෙවැනි කැරැල්ලේ මාතර දිස්ත්‍රික්‍කයේ වගකීම් කිහිපයක් දැරූ සමන් බැංකොක් නුවර ජවිපෙ සංවිධානයේ  1990/91 මූල්‍ය කටයුතු භාරවද කටයුතු කළේය. පසුව 1991 ජුනි මස තායිලන්තයේ දේශපාලන රැකවරණ ලැබූ ජවිපෙ කැරළිකරුවන් 6 දෙනෙකු සමඟ ශිෂ්‍ය වීසා වලින් ජපානයට ගිය සමන් මුලින්ම කටයුතු කරන ලද්දේ වෙල්ඩර් කෙනෙකු වශයෙන්ය. පසුව සයුරු ඉන්ටර්නැෂනල් නමින් ප්‍රධාන ව්‍යාපාර දෙකක හිමිකරුවූ ඔහු දේපල වෙළෙඳාම් සහ වාහන අපනයන ක්ෂේත්‍රයන්හි රටවල් 44ක් සමඟ ව්‍යාපාර ගනුදෙනු කරන සමාගමක හිමිකරුවෙක් බවට පත්විය.

ජවිපෙ ජපන් කමිටුවේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් 1992 සිට 2008 මැයි 20වැනිදා තෙත් කටයුතු කල සමන් ප්‍රියංකර එම කාලය තුළ සෑම මැතිවරණයකදීම ජපන් කමිටුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් පමණ ජවිපෙට පරිත්‍යාග කිරීමට මුල්විය. ඔහු පවසන පරිදි ලංකා පුවත්පත අධික මුද්‍රණ වියදම් නිසා වැසුනු කල විමල් වීරවංශගේ දැනුවත් කිරීම මත රුපියල් ලක්ෂ 750ක් මුද්‍රණාලයක් වෙනුවෙන්ද පුවත්පතේ නඩත්තුව සදහා තවත් රුපියල් ලක්ෂ 105ක්ද සිය පෞද්ගලික ධනයෙන් වැයකර තිබිණි. එම මුද්‍රණාලය ගත්තේ ඔහුගේ නමිනි. සමන් ප්‍රියංකර වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ වී එෆ්.එම්. ගුවන් විදුලිය අරඹනවිට රුපියල් ලක්ෂ 250ක් ණය පදනම මත අයෝජනය කලද එය ඔහුට නොලැබුණ බවකි.

කැරැල්ලෙන් පසුබැස තායිලන්තයට පැමිණි ජවිපෙ කැරළිකරුවන්ට තම දැක්මට අනුව නව දේශයක් නව ලොවක් බිහි කිරීමේ අරමුණ මුළුමනින්ම බැහැරකර තිබුණේ නැත. තම විශ්වාසයත් ක්‍රියාකාරි සැලැස්මක් ඔවුන් සතුවූ අතර කුඩා කණ්ඩායමක් යන්න වැදගත් නොවීය. ලෝකය වඩාත් යහපත් තැනක් වී ඇත්තේ සියල්ල සිදුවෙමින් තිබියදී නිහඬව බලා සිටියවුන් නිසා නොව යහපත් සමාජයක් උදෙසා අරගල කරවුන්ගේ ධෛර්ය මත බව ඔවුහු පසක් කරගෙන සිටීයහ. පිටකොඳු බිඳගත් පරපුරක් දෙපයින් නැගිටවීම අසීරු වූවද අවස්ථානුකූලව තායිලන්ත ජවිපෙ ක්‍රියාකාරි සංවිධානය යෝධ ශක්තියක් වූ බව නොරහසකි.

අයුක්තිය සහ අසාධාරණත්වයට එරෙහි 80 දශකය අවසානයේදී නැගී සිටි මිනිසුන් දහස් ගණනක් මරා මහමඟ අළුකර දැමීය. තවත් දහස් ගණනක් වධ කඳවුරුවල අවසන් හුස්ම හෙළීය. අනේක විධි වධ බන්ධන වලට ලක්ව රැඳවුම් කඳවුරුවල වසර කිහිපයක් ගෙවා ජීවත්වීමට වාසනාව ලැබූ මිනිසුන් දහස් ගණනක්ද සිටී. තායිලන්තයට සහ ඉන්දියාවට පසුබැස ගොස් ලෝපුරා විදේශීය රටවල දේශපාලන රැකවරණය ලබාගත් ජවිපෙ දෙවැනි කැරැල්ලේ සාමාජිකයින් ගණනද දහසකට අධිකය. නිහඬතාවය රජකල යුගයක එය දෙපළු කරමින් හඬ නැගූ මෙම මිනිසුන්ගේ බහුතරයක හදවතේ පතුලට අදද කිදා බැස ඇත්තේ නිවහල් මිනිසෙක් සහ යුක්තිගරුක දේශයක් බවට සැක නැත.

ජවිපෙ 2වැනි කැරැල්ල ඇද වැටීමෙන් පසු පසුබැස ගොස් 1989 අගෝස්තු සිට 1991 දෙසැම්බර් දක්වා ආරක්ෂාව තකා විදේශගතවූ කැරළිකරුවන් හෝ ජවිපෙ හිතවතුන් පිළිබඳව ඔබ දන්නා ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com

තව කොටසක් ලබන සතියේ…    

One Response to “පසුබසින ජවිපෙ කැරළිකරුවෝ තායිලන්තයේ කඳවුරු බදිති”

  1. Christie Says:

    JVP is the Sinhala terrorist arm of the Indian Empire. See reference to Indian colonial parasite business men and Amnesty International. Amnesty International was and is receiving funds from India, Indian colonial parasites and vermin.

    They killed Sinhalese and they themselves who are Sinhalese got killed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress