සිංහල අපේ ශාක්‍ය ලකුණු … පෙරදිගට ගමනක් – 6
Posted on March 23rd, 2016

 වරුණ චන්ද්‍රකීර්ති

බුදුන් ගේ කුලය ගැන කිව්වාම කලබල වෙන දෙපාර්ශ්වයක් ඉන්නවා. එක පිරිසක් මේ කුල කතාවට කොහොමත් විරුද්ධයි. ඒ අය කියන විදිහට මිනිස්සුන්ව එක එක විදිහට වර්ගකරන එක වැරැදියි. එහෙම වර්ගකරන එක වැරැදියි කියන කතාව හරි. හැබැයි හරි වුනත් වැරැදි වුනත් මිනිස්සු එක එක වර්ගවලට අයිතියි. ඒ වර්ගකිරීම්වලට පදනම්වෙලා තියෙන්නේ ලේවල වෙනස්කම් නම් නෙවෙයි. කාගෙත් ලේ එකයි කියන එක ගැන වාදකරන්න  ඕන නෑ. ලේ වර්ග කීපයක් හඳුනගෙන තිබුණාට ඒ වෙනස්කම් මේ කුල වෙනස්කම්, ජනවර්ග වෙනස්කම් පදනම් කරගෙන තීරණය කරලා නෑ. ජාන සැකසුම් (ඞී. එන්. ඒ.) නම් පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස්වෙන්න පුළුවන්. සෙරොටෝනින් වාහක ජාන ගැන හොයන අය නම් කියනවා එච්-ටී-ටී-එල්-පී-ආර් 5 ජානය ඒ ඒ මිනිස් වර්ගවල (සංස්කෘතීන් ගේ) හරපද්ධති එක්කත් වෙනස්වෙනවා කියලා. ඒ මොනවා වුනත් මිනිස්සුන් ගේ වෙනස්කම් අපිට ඇස් පනාපිට ම පේනවා. මිනිස්සුන්ව වර්ගකරන මූලික ම පදනම තමයි සංස්කෘතික වශයෙන් ඒ ඒ ජන කොට්ඨාශවල තියෙන වෙනස. මේ සංස්කෘතික වෙනස තේරුම්ගන්න මිනිස්සුන් ගේ ඇට, මස්, නහර හාරලා අවුස්සලා බලන්න  ඕන නෑ.

බුද්ධෝත්පත්තියට පාදක කරගත්ත කාලය, දේශය, ද්වීපය සහ කුලය කියන කරුණු මත ඒ සඳහා තීරක වූ සංස්කෘතික පදනම හඳුනාගන්න පුළුවන්. භූගෝලීය, දේශගුණික සහ ඓතිහාසික සාධක පසුබිම් කරගෙන මිනිස්සු විවිධාකාර වූ සංස්කෘතීන් ගොඩනගා ගන්නවා. සංස්කෘතිය කියන වචනයෙන් ම ඒවා ගොඩනැගූ දේ බව කියැවෙනවා. මේ ගොඩනැගීම් ස්ථීර ව ඒ විදිහට ම තියෙන්නේ නෑ. අනවරතව වෙනස්වෙමින් ඉදිරියට ගලාගෙන යනවා. ඉතින් බුද්ධෝත්පාදය වෙනුවෙන් සුදුසු සංස්කෘතික පරිසරයක් අප මහ බෝසතාණෝ හඳුනාගත්තා. ඒ සංස්කෘතියට උරුමකම් කීවේ ශාක්‍ය වංශයේ අය.

මේ කුල කතාවට කලබල වෙන දෙවැනි පාර්ශ්වය බුදුන් ගේ කුලය තෝරන්නේ බමුණු ආගමේ ඉගැන්වීම් මිම්මක් කරගෙන. ඒ අය කියනවා බුදුන් උපන්නේ ක්ෂත‍්‍රිය කුලයේ කියලා. බ‍්‍රාහ්මණ, ක්ෂත‍්‍රිය, වෛශ්‍ය සහ ක්ෂුද්‍ර කියන්නේ බුදුන් ගේ ගර්හාවට ලක් වූ සමාජ බෙදීමක්. ඒ ක‍්‍රමය මත පදනම් වෙලා බුදුන් උපන් කුලය හඳුනාගැනීම ශාක්‍යකුල සිංහ වූ, ශාක්‍යකුල නායක වූ, ශාක්‍යකුල කෙතු වූ, ශාක්‍යකුල ප‍්‍රසාදනීය වූ, ශාක්‍යකුල ලොචන වූ, ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ, ශාක්‍යකුල භද්‍රඝට වූ, ශාක්‍යකුල කල්පද්‍රැම වූ, ශාක්‍යකුල තිලක වූ, ශාක්‍යකුල ප‍්‍රදීප වූ” අප ගේ ස්වාමිදරු වූ බුදුරජාණන්වහන්සේට කරන අවමානයක්. ඒ හින්දා, බුද්ධෝත්පත්තියට පදනම් වූ කාලය, දේශය, ද්වීපය හා කුලය කියන කාරණා සංස්කෘතික පදනමක් මතත් මව කියන කාරණය පවුල් පදනමක් මතත් තේරුම්ගන්න  ඕන.

කාලය කියන කාරණේ මිනිස්සුන් ගේ ආයුෂත් එක්ක තේරුම්කරන අයත් ඉන්නවා. ඒ අයට බෞද්ධ සාහිත්‍යය ගැන අවබෝධයක් නෑ. අනාගත වංශය කියන විදිහට මෛත‍්‍රිය බුදුරජාණන්වහන්සේ ගේ කාලයේ දී උපන් සත්ත්වයන්ට අසූ දහසක් අවුරුද්දට ආයුෂ වන්නේය.” බෞද්ධ පිළිගැනීම්වල හැටියට ආයුෂ කියන්නේ සත්‍යාවබෝධයට තීරක වෙන කාරණයක් නෙවෙයි. ඒ හින්දා, බුද්ධොත්පාදයට පදනම් වුනු කාලය කියන සාධකය ආයුෂත් එක්ක පටලවාගන්න හොඳ නෑ. කාලය කියන්නේ වෙනස්වෙමින් ඉදිරියට විකාශනය වන සංස්කෘතියක තීරක සාධකයක්.

මේ දක්වා කියපු කාරණා සළකා බැලූවා ම පැහැදිළිවෙනවා බුද්ධොත්පාදය සහ බුදුදහමේ ව්‍යාප්තිය සංස්කෘතික කාරණා මත තීරණය වුනා කියන එක. බුද්ධ වෘක්ෂය හැම පොළොවක ම පැළවෙන්නේ නෑ. කලින් ලිපියෙන් කියපු විදිහට ඒ වෘක්ෂය හොඳින් මුල් අල්ලාගෙන තියෙන්නේ මොංගොලොයිඞ් මිනිස්සු ඉන්න රටවල. එහෙම නම්, මේ රට බුද්ධ භූමියක් වුනේ කොහොම ද? කලින් කියපු විදිහේ මොංගොලොයිඞ් සාධකයක් මේ රටේ දකින්න අමාරුයි. මහා වංශයේ විස්තර කෙරෙන විදිහට පඬුවස්දෙව් රජු ගේ මෙහෙසිය වූ භද්‍රකච්චායනාව මගින් සිංහල රාජවංශයට – ඇත්තෙන් ම රජ පවුලකට; ශාක්‍ය සම්බන්ධයක් පෙන්වන බව ඇත්ත. ඒත් අපි හැමෝට ම කොහෙන්ද එහෙම සම්බන්ධකම්? බුදුදහම නිසා අපේ සංස්කෘතිය පෝෂණය වුනා. මේක පොඩි ළමයෙක්ට වුනත් තේරෙන කාරණයක්. හැබැයි තව දෙයක් අපි විමසා බැලිය යුතුයි. ඒ තමයි, උඩින් කියපු විදිහට අපේ සංස්කෘතික පසුබිම නිසා අපි බුද්ධාගම වැළඳගත්තා කියන එක. බුදුදහම වැළැඳගැනීමට යෝග්‍ය සංස්කෘතික පරිසරයක් මේ රටේ තිබුණා. අපේ සංස්කෘතික බිම බුද්ධ වෘක්ෂය පැළකරන්න, හදාවඩාගන්න සුදුසුයි. එහෙම නැති තැන්වලට බුද්ධාගම ව්‍යාප්ත වුනේ නෑ. එහෙම නැති තැන්වල මිනිස්සු බුද්ධාගම ප‍්‍රතික්ෂේප කළා. බමුණන්ට තැන දීපු ඉන්දියානුවෝ” බුද්ධගයාවෙන්, රජගහනුවරින්, පාටලීපුත‍්‍රයෙන්, සැවැත්නුවරින් බුද්ධාගම පිටමං කරන තැනට වැඩ සැළසුවා. බුදුන් උපන් බිම පවා බමුණු බලයට යටවුනා. දැන් මේ කාලයේ ඒ දේශය, දීපය, කුලය ඔක්කොම වෙනස්වෙලා. ඒත් මේ රටේ එහෙම වුනේ නෑ. අපේ මිනිස්සු බුද්ධාගම ආදරයෙන් වැළැඳගත්තා. ඉතාමත් ස්ථාවර බුද්ධශාසනයක් පිහිටුවන්න කටයුතු කළා. බුද්ධශාසනය ආරක්‍ෂාකිරීමේ වගකීම රජකමටත් ඉහළින් තියලා භාරගත්තා. තවදුරටත් ඒ වෙනුවෙන් පෙනීසිටිනවා.

ඒ කියන්නේ අපි සංස්කෘතික විදිහට බමුණු බලය පිළිගත් සමාජයකට නෑදෑකම් කියන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි. අපේ මොකක් හෝ සංස්කෘතික නෑදෑකමක් ශාක්‍යයන්ට තියෙනවා කියලා හිතන්න බැරි ද? අපේ සංස්කෘතික පදනමේ අපිට නොපෙනෙන මොංගොලොයිඞ් සාධකයක් තියෙනවා කියලා හිතන්න බැරි ද? මේ සිතුවිලි කිසිදු පදනමක් නැතිව පැන නැගෙන ඒවා නෙවෙයි. ඉන්දියාව කියන රටේ සංස්කෘතිය” මොන විදිහට ගොඩනැගුණු හා ගොඩනැගෙන එකක්” ද කියලා අපි නිරීක්ෂණය කළා. ඒ සංස්කෘතික ගොඩනැගීම් බොහෝ විට ආර්ය ආක‍්‍රමණවල ආභාෂයෙන් සිදු වූ දේවල්.

ආර්ය ආක‍්‍රමණ කියන්නේ මධ්‍යම ආසියාවේ ඉඳලා – විශේෂයෙන් ම, ඉපැරැණි පර්සියාව සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ඉඳලා; ඉන්දියානු උප මහාද්වීපයේ වයඹ පැත්තෙන් ගලාගෙන ආපු මිනිස් ප‍්‍රවාහ. මේ මිනිස් සංක‍්‍රමණ සාමකාමී විදිහට වගේ ම ප‍්‍රචණ්ඩ විදිහටත් වුනු බව පැහැදිළියි. ඉන්දු-ආර්ය සංක‍්‍රමණ න්‍යායයෙන් කියැවෙන විදිහට මේ මිනිස් ප‍්‍රවාහවල ආරම්භය ක‍්‍රිස්තු පූර්ව 1800 දී විතර වෙන්න ඇති. සමහර විට ඊට කලිනුත් මේ විදිහේ සංක‍්‍රමණ සිද්ධවෙන්න ඇති. වැදගත්වෙන්නේ මේ ආරම්භය ගැන වදවෙන එක නෙවෙයි. මේ විදිහේ සංක‍්‍රමණ ඉතිහාසය පුරා ම දිගින් දිගට ම වුනු බව අපි තේරුම්ගත යුතුයි. ගස්නියේ මොහොමඞ් ගේ පාලනය, දිල්ලි සුල්තාන් පාලනය, මූගල් පාලනය වගේ මේ හැම එකක් ගැන ම සළකා බැලිය යුත්තේ යම් යම් ආකාරයේ ආර්ය ආක‍්‍රමණවල අවස්ථා විදිහට. මේ මිනිස් ප‍්‍රවාහ දැන් වැළැක්විලා තියෙන්නේ යුරෝපීය යටත්විජිත පාලනය අවසන් වෙනකොට රටවල් බෙදලා දීලා ස්ථීර දේශසීමා ලකුණු කරලා දුන්න හින්දා.

අපේ රටට ආර්ය සංක‍්‍රමණවල බලපෑමෙන් ගැලවෙන්න පුළුවන් වුනා කියලා කියන්න බෑ. ඒත් අපේ සංස්කෘතිය ඒ මිනිස් ප‍්‍රවාහවලට මුළුමනින් ම ගොදුරුවුනේ නෑ. අපි හැමෝ ම දන්න කාරණයක් තමයි මේ රටේ කිසිදු ආකාරයක බමුණු සංස්කෘතියක් ගොඩ නො නැගුණු බව. අනෙක් කාරණය තමයි මේ කලාපයේ චෝල බලය දුර්වල වෙනකොට ගලාගෙන ආපු මුස්ලිම් සංස්කෘතික ප‍්‍රවාහවලට අපි නතු නොවීම. සමහරු හිතන්නේ මේක පෘතුගීසි බලය හින්දා වැළැක්වුණු දෙයක් කියලා. ඒත්, මාලදිවයින මුස්ලිම් වුනේ, ඉපැරැණි සිරි විජය රාජධානියට අයත් ප‍්‍රදේශ – ඒ කියන්නේ, දැන් තියෙන ඉන්දුනීසියාව, මැලේසියාව මුස්ලිම් වුනේ, පෘතුගීසීන් ගේ පැමිණීමට සෑහෙන කාලයකට ඉස්සර. ඒ රටවල් චෝල අධිරාජ්‍යයට ගොදුරුවුනු හින්දා දුර්වල වුනා. ඒ විදිහට දුර්වල වුනු සමාජවල මුස්ලිම් බලය ස්ථාපිත කෙරුනා. චෝල අධිරාජ්‍යයට අපේ රට මුළුමනින් ම අල්ලාගන්න බැරිවුනා. ඒත් අපේ සංස්කෘතියේ සෑහෙන වෙනස්කම් චෝල බලපෑම් නිසා සිදුවුනා. ඒ ගැන පස්සේ කතාකරන්න පුළුවන්. ඒත් අපිට අපේ සංස්කෘතික පදනම රැකගන්න පුළුවන් වුනා.

අපේ සංස්කෘතික පදනමේ තියෙන මේ අනන්‍ය බව හඳුනාගන්න තරම් ප‍්‍රමාණවත් පර්යේෂණ කරලා නෑ. හැමෝ ම වගේ උත්සාහ කරන්නේ ඉන්දියාව” කියන රටේ සංස්කෘතිය” එක්ක තියෙනවා කියලා කියන සම්බන්ධකම්” උලූප්පලා පෙන්නන්න. ඒත් අපේ සංස්කෘතිය ඇතුළේ අපිට ම ආවේනික වුනු දේවල් කොච්චර නම් තියෙනවා ද? අපි මේවා ගැන ප‍්‍රමාණවත් තරමින් විමසලා බලලා නෑ.

සිංහල භාෂාව ඉන්දු-ආර්ය භාෂාවක් විදිහට වර්ග කරලා තියෙන එක ඇත්ත. ඒත් අපේ භාෂාවේ ස්වරූපය ගැන එ තැනින් ඔබ්බට අවබෝධයක් අපේ බොහෝ දෙනකුට නෑ. ඇ-කාරය ගැන නම් හැමෝ ම වගේ කියනවා. ඒක නිකම් ම ශබ්දයක් වෙනුවෙන් අකුරක් දෙකක් යෙදීමක් විතරයිනේ කියලා කාට හරි කියන්න පුළුවන්. එ තැනින් ඔබ්බට තියෙන ආකෘතික වෙනස්කම් ගැන අපි හිතන්නේ නෑ. තව කොච්චර නම් කියලා වෙනස්කම් තියෙනවා ද? උදාහරණයක් විදිහට අපි ගණන් කරන විදිහ පෙන්නලා දෙන්න පුළුවන්. සිංහලෙන් අපි මොනවා හරි ගණන් කරනකොට මුලින් කියන්නේ ඒකකය. ඊට පස්සේ තමයි ගණන කියන්නේ. ගෙවල් හතරයි, මිනිස්සු දෙන්නයි, කිලෝ මීටර් පහළොවයි, රටවල් තුනයි, ගිගා බයිට් දෙකයි, … . මෙන්න මේ විදිහට තමයි අපි ගණන්කරන්නේ. අපි දාස් රුපියා, පත්තු රුපායි, ටෙන් රුපීස් කියන්නේ නෑ. ඒ කියන්නේ, අනිත් භාෂාවලින් කියන විදිහට ගණන මුලින් කියලා ඒකකය පස්සේ කියන්නේ නෑ. අපි කියන්නේ රුපියල් දහයයි කියලා.

මේ වගේ හාත්පසින් ම වෙනස් වූ භාවිතයක් බුරුම, චීන, මැලේ, ඉන්දුනීසියා වගේ භාෂාවලත් දකින්න නෑ. යම් පමණක හරි සමානකමක් දකින්න පුළුවන් තායි භාෂාවේ. ඒ භාෂාවෙන් ගණන් මිනුම් කියන කොට මිනිස්සු පහයි මිනිස්සු” වගේ යෙදුම් භාවිතා කරනවා කියලා කියනවා. ඒත් මේ ලේඛකයාට ඒ විවිධ වූ භාෂා ගැන දැනුමක් නැති නිසා ඒ ගැන යමක් හරියට ම කියන්න අමාරුයි. මේ ගැන තවදුරටත් හොයා බැලිය යුතුයි.

ඉංග‍්‍රීසියෙන් ලේඞීස් ෆස්ට් කියලා කීවාට දෙගොල්ලන් ම එකට දාලා කතාකරන කොට මේල් – ෆීමේල්” කියනවා. අපි කියන්නේ ස්ත‍්‍රී – පුරුෂ” කියලා. හැබැයි උපාසක – උපාසිකාවෝ” තරුණ – තරුණියෝ” වගේ යෙදුම් අපි අතරත් තියෙනවා. ඒත් පුරුෂාධිපත්‍යයක් ගැන මොන කතා කීවත් අපේ සංස්කෘතිය තුළ කාන්තාවන්ට ඉහළ තැනක් දීලා තියෙනවා. ගෙදර බුදුන් විදිහට සළකන්නේ අම්මා මිසක් තාත්තා නෙවෙයි. අම්මා බුදුවේවා” කියනවා මිසක් තාත්තා බුදුවේවා” කියලා අපි කියන්නේ නෑ. සමාජ කාරණාවල දී පිරිමි ඉස්සරහට ආවාට කවුරු කවුරුත් ගෙවල්වල තීරණගන්නේ ගෙදර උන්දෑ ගේ” බහට අවනත වෙලා. මේක සමාජයේ පහළ ඉඳලා ඉහළට ම එක විදිහට බලපාන කාරණයක්. හොඳ ම බේබද්දෙක් පවා යමක් සප්පායම් වෙලා ගෙදර යන කොට හොඳට කට පිහදාගෙන, දෙහි කොලයක්වත් හපලා බොහොම ගුණ යහපත් විදිහට තමයි ඒ පැත්තට අඩිය තියන්නේ.

ඉන්දියාව” කියන රටේ ස්ත‍්‍රී – පුරුෂ අනුපාතය ගැන බැලූවා ම පේනවා ඒ සංස්කෘතියේ ගැහැණුන්ට තියෙන තැන. ගැහැණු බහුතරයක් ඉන්නේ කේරළයේ විතරයි. පංජාබ්, හර්යානා, උත්තර් ප‍්‍රදේශ් වගේ ප‍්‍රාන්තවල පිරිමින් දාහකට ගැහැණු අනුපාතය අටසීයක් – අටසිය පනහක් විතර. ඉපදුන ගමන් හරි, ඉපදෙන්න කලින් හරි කාන්තා ජනගහනය අඩුකරන්න කළ යුතු දේ ආර්ය” සංස්කෘතියෙන් පෝෂණය වුණු පිරිමි වගේ ම ගැහැණුත් දන්නවා.

එහෙම නම් අපේ සංස්කෘතිය නෑකම් කියන්නේ කාට ද? අපි තාම අප ගැන දන්නේ නෑ. මේ කාරණය තව තවත් විමසිය යුතුයි.

වරුණ චන්ද්‍රකීර්ති

5 Responses to “සිංහල අපේ ශාක්‍ය ලකුණු … පෙරදිගට ගමනක් – 6”

  1. NAK Says:

    Thanks Varuna.

  2. Senevirath Says:

    අපි කවුදය් හඳුනා ගැනීම වැදගත් ” හුදු ”’ දේශපාලනය පමණක් නොව මේවා ගැන විශේෂයෙන් තරුණයන් උගත යුතුය් වරුණ අරුණ උදා කරන්න හැකි තරමින්

  3. Christie Says:

    Was Buddha born in the island? Yes.

  4. Senevirath Says:

    ක්‍රිස්ටි ඔබේ මතය සනාත කරමින් ධීර්ග ලිපියක් ලියන්න වෙබ් එකට

  5. Dham Says:

    This writer is writing all these to keep on repeating “කලින් ලිපියෙන් කියපු විදිහට ඒ වෘක්ෂය හොඳින් මුල් අල්ලාගෙන තියෙන්නේ මොංගොලොයිඞ් මිනිස්සු ඉන්න රටවල.” without any basis. To me , he has a hidden agenda.

    I too have not ruled out that our country could have been the “Jan- Budh – Dveepa”. But I don’t like to speculate. This is a huge , important research project MR could have started in 2009 with few million rupees of investments.
    We have no choice now keep on moaning the death of “Golden Opportunity”.
    What else can we do ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress