ඉතලියානු සින්ඩ්‍රෝමය
Posted on September 13th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

1999 – 2009 අතර කාලය තුලදී මම අධ්‍යාපන ප්‍රතිකාර විෂය පිළිබඳව විශේෂ උනන්දුවකින් ක්‍රියා කලෙමි. ළමුන් බොහෝ විට අධ්‍යාපන දුර්වළතා පෙන්වන්නේ කායික සහ මනෝ විද්‍යාත්මක හේතූන් නිසා බව මගේ උපකල්පනය විය. මේ අනුව අධ්‍යාපන ප්‍රතිකාර මගින් ළමුන් ගේ අධ්‍යාපන දුර්වළතා වලට පිළියම් යෙදිය හැකි බව මම පෙන්වා දුනිමි. මගේ අත්දැකීම් අළළා අධ්‍යාපන ප්‍රතිකාර නමින් පොතක් 2002 වසරේදී එළි දැක්වූයෙමි. 

අධ්‍යාපන ප්‍රතිකාර විෂය සම්බන්ධයෙන් කටයුතු කරන විට චර්‍යාත්මක  ආක්‍රමතා මෙන්ම මනෝ කායික ආබාධ සහ චිත්තාවේගීය ගැටළු තිබූ ළමුන් කාණ්ඩයක් මගේ අවධානයට යොමු විය​. මෙම ළමුන් කාණ්ඩය තුල එක් පොදු ලක්‍ෂණයක් මම දුටිමි. එය නම් මෙම ළමුන් ගේ අධ්‍යාපනික දුර්වළතා, චර්‍යාත්මක ගැටළු සහ මනෝ කායික ගැටළු ආරම්භවී තිබුනේ පියාගේ ස්ථිර හෝ තාවකාලික වියෝගය සමගය​. මෙම නියැඳියේ බහුතරයේ පියවරු ඉතාලි ගොස් තිබූ අතර ළමුන් බොහෝ විට සිටියේ මව සමගය​. 

ruwan13091601

ළමා මනෝ විද්‍යාවේ මාතෘ දුරස්ථකරණය (Maternal Deprivation ) පිළිබඳව ඔටෝ රෑන්ක් , ඇනා ෆ්‍රොයිඩ්, ජෝන් බෝල්බි ,  මේරි ඇනිස්වත් වැනි මනෝ විද්‍යාඥවරු / විද්‍යාඥවරියන් ගැඹුරු ලෙසින් අධ්‍යනය කර ඇති නමුදු පීතෘ වියෝග සහලක්‍ෂණය (Paternal deprivation Syndrome ) අධ්‍යනය කොට තිබෙන්නේ සාපේක්‍ෂව අඩු මට්ටමකටය​. එසේම  පීතෘ වියෝග සහලක්‍ෂණය ලංකා සමාජයේ   අධ්‍යනය කොට තිබෙන්නේ ඉතාම සීමිත පිරිසකි. 

පියාගේ ස්ථිර හෝ තාවකාලික වියෝගය සමග කායික සහ මනෝ විද්‍යාත්මක සිම්ප්ටෝමයන් පෙන්වන ලද ළමුන් මම වැඩිදුරටත් අධ්‍යනය කලෙමි. පියාගේ මරණය​, පවුල් ආරවුල් නිසා පියාගේ නික්මයාම ,  පියා ඉතාලියට යාම යන සංසිද්ධීන් නිසා මෙම ළමුන් තුල අධ්‍යාපන ගැටළු , චර්‍යාවේ ගැටළු  මෙන්ම සමහරක් විට හිටි හැටියේ ගොත ගැසීම​, ඇඳ තෙමීම වැති තත්වයන් නිරීක්‍ෂණය විය​. එසේම සමහර ළමුන් තුල මනෝ කායික ආබාධ ද හඳුනා ගැනුනි. මෙම තත්වය මම පොදුවේ ඉතලියානු සින්ඩ්‍රෝමය ලෙස නම් කලෙමි. 

ඉතලියානු සින්ඩ්‍රෝමය ද මාතෘ දුරස්ථකරණ සින්ඩ්‍රෝමය මෙන් ක්ලමථ-ජනකය​. පීතෘ වියෝග සහලක්‍ෂණය නිසා පසුකාලීනව වැඩිහිටි සමයේ විශාදය , කාංසාව වැනි අක්‍රමතා මතු වීම මෙන්ම සමාජ විරෝධී  පෞරුෂ ලක්‍ෂණ මතු වීමේ අවධානමක් තිබේ. මෙම සින්ඩ්‍රෝමයේ ලක්‍ෂණ පෙන්වන ළමුන්ට වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර අවශ්‍ය කෙරේ. තවද මෙම තත්වය ගැන ලංකාවේ ළමා වෛද්‍යවරු මෙන්ම මනෝ චිකිත්සකයන් තව දුරටත් අධ්‍යනය කිරීම වැදගත් වේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress