අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්න අවසන් ඡන්ද ප‍්‍රතිඵලය එයි.. ඒකාබද්ධයට 47යි.. එජාපයට 25යි.. ශ‍්‍රීලනිපයට 12යි..එජාප+ශ‍්‍රීලනිප දෙකටම 37යි..
Posted on September 26th, 2016

අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

දුමින්ද දිසානායකට අම්බලංගොඩින් පිලිතුරු

සංධානය දෙකට කැඩුනොත් ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රිලනිපයත් දෙකම පැරදිලා මී ලඟ මැතිවරණ එජාපය ජයග්‍රහණය කරාවි කියලා මීට දවස් තුනකට කලින් දුමින්ද දිසානායක ඇමතිතුමා කිව්වා.  සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් දෙකම පරාජයට පත්වෙලා එක්සත් ජාතික පක්ෂය අනාගත මැතිවරණ ජය ගන්නවා දැකීම දුමින්ද ඇමතිතුමාගේ සිහිනය වෙන්න්ට පුළුවන්.  අද ශ්‍රිලනිප මහ ලේකම් වුණත් එතුමා ජනපතිවරණයේ දී කටයුතු කලේ එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්නයි.  අදත් එජාප ආණ්ඩුවේ ඇමති ධූරයක් දරන්නේ එජාප ආණ්ඩුව ශක්තිමත් කරන්නයි.  නමුත් දුමින්දගේ සිහිනය සැබෑ වෙන්නේ නෑ කියලා ඊයේ අම්බලන්ගොඩ ජනතාව කිව්වා.

ඊයේ ප්‍රාදේශික 23කින් සමන්විත අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්න ඡන්දයක් තිබුණා. ප්‍රතිඵලය වුණේ මොකද්ද?  ඒකාබද්ධ විපක්ෂයට 47යි.  එජාපයට 25යි.  සිරිසේන ශ්‍රිලනිපයට 12යි.  එජාපය හා සිරිසේන ශ්‍රිලනිපය එක්ව ගත්තත් ඒත් ආසන 37 යි. අම්බලන්ගොඩ කියන්නේ ශ්‍රිලනිප දැවැන්තයෙකු වන දකුණු මහ ඇමති ශාන් විජේලාල්ගේ ආසනය කියන එක අමතක කරන්න එපා.  එතුමා ඡන්දය දුන්නු මහ වීදිය ප්‍රාදේශිකය ප්‍රතිඵලය කියන්නත් ලැජ්ජයි.  ඒකාබද්ධ විපක්ෂයට නියෝජිතයින් 7යි.එජාප 2යි. සිරිසේන  ශ්‍රිලනිපයට බිංදුවයි.

දුමින්ද දිසානායක ඇමතිතුමනි, ඔබේ සිහිනය සැබෑ වෙන්නේ නෑ.  පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපි එජාපයට පැරදුනේ තමුන්නාන්සේලා සමග සංධාන ගත වීමෙන් ජනතාව කලකිරීමට පත් වුණු නිසා.  අපි ඊ ළඟට එන මොන මැතිවරණය තරග කළත් එජාපයත් සිරිසේන ශ්‍රිලනිපයත් දෙකම එකට තබා පරාජය කරන්න ඒකාබද්ධ විපක්ෂය දැන් සවිමත් කියන එකයි අම්බලංගොඩ ජනතාව රටටම ලබා දෙන පණිවිඩය වන්නේ.

පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට උත්තර නෑ

පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 51ට විවාද සඳහා ලැබෙන්නේ ජවිපෙ මන්ත්‍රිවරුන් හයදෙනාට වෙන් කරන කාලයට සමාන කාලයක්.  ඒ නිසා විවාදයක දී අපේ කතා හරියට ටී ටිවෙන්ටි ක්‍රිකට් තරගක් පිති හරඹය වගේ.  අපට රටේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තිබෙන්නේ වාචික ප්‍රශ්න විතරයි.  නමුත් ඇමතිවරු වාචික ප්‍රශ්න වලට පිලිතුරු නොදෙන නිසා අද පාර්ලිමේන්තුව පුස්සක් වී තිබෙනවා.

ජනපතිතුමන් මැතිවරණ කාලෙ එතුමන් සරල ජනපති කෙනෙකු ලෙස විශාල පිරිස් අරං විදේශ ගතවෙන්නේ නෑ කියල රටේ ජනතාවය ප්‍රතිඥා දුන්නා. ඒ වගේම එතුමන් පොරොන්දු උනා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන්ට උපදේශකයන් වැඩියි , ලේකම් වරුන් වැඩියි , ව්‍යාපෘති අධ්‍යක්ෂක වරුන් වැඩියි ඒ නිසා තමන් ජනපති වූ පසු එවැනි තනතුරු අඩු සංඛ්‍යාවක් තමයි පත්කරන්නේ කියල. එතුමන් ඒ ප්‍රතිඥාවට අනුව කටයුතු කරනවාදැයි දැන ගන්න ජනතාවට පරම අයිතියක් තියෙනවා. ඒ නිසා  ජනාධිපතිතුමාගේ විදේශ සංචාරයන්ට සහභාගි වුණු අයගේ විස්තරත් ජනාධිපතිතුමා පත් කර සිටින උපදේශකයන් ලේකම්වරුන් ආදි gammanpilaනිලධාරින් පිලිබඳත් 2016.02.01 දින ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කලා.  දැන් මාස අටක් වුණත් අද වන තුරු පිලිතුරු නෑ.  හැමදාම මාසයක් කල් ඉල්ලනවා.

නීති විරෝධිව අත්පත් කර ගත් රාජ්‍ය වත්කම් යලි ලබා ගැනීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙතෙක් දරා ඇති වියදමත් අත්පත් කර ගෙන තිබෙන වත්කම් වල වටිනාකමත් ඇහුව්වා.  ඒක ඇහුව්වේ 2016.04.04.  අද වන තුරු පිලිතුරක් නෑ.  එදාම ඇහුව්වා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමට ආණ්ඩුවේ නොවන අයට කරපු ගෙවීම් මොනවා ද කියලා.  අද වන තුරු පිලිතුරක් නෑ.  මැතිවරණ සමයේ ප්‍රභල විවේචනයක් ඒල්ල වුනා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරු හෙලි කොප්ටර් භාවිතා කරනවා මේක වැරදියි කියල. නමත් අපි දැන් දකිනව හැමදාම උත්සව වලට ඇමතිවරු එන්නේ හෙලි කොප්ටර් වලින්. ඒ නිසා  ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරන ඇමතිවරුන්ගේ සහ නිලධාරින්ගේ තොරතුරු අප්‍රේල් 22 දා ඇහුව්වා.  අද වන තුරු පිලිතුරක් නෑ.  ණය අර්බූදයට වග කියන්න ඕනෑ රාජපක්ෂ ආණ්ඩුවයි කියලා ප්‍රචාරක දැන්වීම් දාන්න වියදම් කළ මුදල කීය ද කියලා මැයි 17 ඇහුව්වා.  අද වන තුරු පිලිතුරක් නෑ.  ‍

මේවාට පිලිතුරු නොදන්නවා නොවේ.  ඒවාට පිලිතුරු දුන්නාම ආණ්ඩුව අර්බූදයකට යන නිසා කල් මරනවා.  සාමාන්‍යයෙන් ප්‍රශ්නයකට මාස තුනක් ඇතුලත පිලිතුරු ලබා දිය යුතුයි සම්මතයක් තිබෙනවා.  නමුත් වත්මන් ඇමතිවරු මහජන ප්‍රශ්න ගැන සංවේදි නෑ.  ඒ වගේම ඇමතිවරු නිසි කලට නිසි ලෙසට පිලිතුරු දෙන බවට වග බලා ගැනීම කතානායකතුමාගේ වගකීමක්.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress