ශ‍්‍රී ලංගමය ශක්තිමත් කර විධිමත් මගී ප‍්‍රවාහන සේවයක් ජනතාවට
Posted on January 16th, 2017

සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

ගරු ජනාධිපති,
මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

රී ලංගමය ශක්තිමත් කර විධිමත් මගී රවාහන සේවයක් ජනතාවට ලබාදීමට සියලූම පෞද්ගලික බස්රථ කිසිදු වන්දියක් ලබානොදී රජයට පවරාගන්නා ලෙස ඉල්ලා සිටීම.

මගී ජනතාවට විධිමත් ප‍්‍රවාහන සේවයක් සපයන, පාසල්  ළමුන් සඳහා 90% ක මාසික ප‍්‍රවේශපත‍්‍ර සඳහා සහනයක් ලබාදී අගනා සේවයක් ඉටුකරන,  වැඩකරන ජනතාවට 35% ක සහනසේවාවක් ලබාදෙන, අභිමානවත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වසා දමන ලෙසටත්, එ්කාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කරන ලෙසටත්, ශ‍්‍රී ලංගමයට නව බස්රථ ආනයනය නොකරන ලෙසටත්, පෞද්ගලික බස් සංගම් ජනමාධ්‍ය මගින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමේ ප‍්‍රකාශය තුළ ශ‍්‍රී ලංගමය විනාශ කිරීමේ සැබෑම කුමන්ත‍්‍රණය දියත් කර ඇති බව අප සංගමය ඔබතුමාට ප‍්‍රථමයෙන් දන්වා සිටින්නෙමු.  එවැනි ඉල්ලීමක් සිදුකිරීමට පෞද්ගලික බස් සංගම්වලට නීතිමය හා සදාචාරාත්මක අයිතියක්  ද නැත. එම ඉල්ලීම ඇතුළත්  මාධ්‍යවල පළවූ  ප‍්‍රකාශන් ඔබතුමාගේ අවධානය සඳහා මේ සමඟ අමුණා ඇත.

මගී ජනතාවට විධිමත් ප‍්‍රවාහන සේවාවක් සැපයීමට නොහැකිවූ නිසාත්, ජනතාවට දැඩි පීඩනයක් ලබාදුන් නිසාත්,  පෞද්ගලික බස්රථ මාෆියාව හරහා ජනතාවට සිදුකරන ලද බලවත් අසාධාරණ ක‍්‍රියාවන් හා මානසික වේදනාවන් නිසාත්, මුදල් උපයාගැනීමේ එකම අරමුණ ඇතිව බස්රථ ධාවනය කළ නිසාත්, සමස්ත ජනතාවගේ බලවත් ඉල්ලීමට අවනත වූ 1956 ස්ථාපිත කරන ලද ආණ්ඩුව 1958 ජනවාරි 01 වන දින පෞද්ගලික  බස්රථ ව්‍යාපාරය අහෝසිකර අභිමානවත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ස්ථාපිත කරන ලද බව මෙවැනි මන්දබුද්ධික ඉල්ලීම්  ඉල්ලන පෞද්ගලික බස්රථ සංගම් මේ මොහොතේ තේරුම් ගෙන නැත. වටහාගෙන නැත. අවබෝධකරගෙන නැත.

මුදල් උපයාගැනීම හා ලාභය ලබාගැනිමේ ක‍්‍රියාවලිය එකම අරමුණ කරගෙන අප රට තුළ ක‍්‍රියාත්මක කරන පෞද්ගලික බස්රථ සංගම් අගනා සේවාවක් වශයෙන් පවත්වාගෙන යන අභිමානවත් ශ‍්‍රී ලංගමය වසා දමන ලෙසත් ශ‍්‍රී ලංගමයට අළුතින්  බස්රථ ආනයනය නොකරන ලෙසත්, එ්කාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කරන ලෙසත් ප‍්‍රකාශ කර සිටීම  රජයට සහ ශ‍්‍රී ලංගමට කරනු ලබන තර්ජනාත්මක ප‍්‍රකාශයක් වන අතර ශ‍්‍රී ලංගමයේ අභිමානය කෙළසා දමා ශ‍්‍රී ලංගමය අපකීර්තියට ලක් කිරීම මේ තුළින් සිදුකර ඇත.

ශ‍්‍රී ලංගමයට කළ හැකි උපරිම අපහාස, අවමාන, නින්දා, අවලාද  සිදුකරමින් ශ‍්‍රී ලංගමය විනාශ කරන එ්කාබද්ධ කාලසටහන් ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීම ප‍්‍රතික්ෂේප කළහොත් ශ‍්‍රී ලංගමයට නඩු පවරන බවටත්, ශ‍්‍රී ලංගමය වටලන බවටත් තර්ජනය කරන ලද මෙම පෞද්ගලික බස්රථ සංගම්  ශ‍්‍රී ලංගමය වසා දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම අප සංගමය දැඩි පිළිකුලකින් යුතුව හෙලා දකින්නෙමු.

ගරු ජනාධිපතිතුමනි,
මුදල් උපයාගැනීමේ එකම අරමුණ බවට පත්කරගෙන පවත්වාගෙන යන සමස්ත පෞද්ගලික බස්රථ ව්‍යාපාරයම 1958 ජනවාරි 01 වන දින සිදුකරන ලද ඓතිහාසික කාර්යභාරය ඉක්මවා ගොස් කිසිදු වන්දි මුදලක් ලබානොදී රජයට පවරාගෙන ශ‍්‍රී ලංගමය ශක්තිමත් කර විධිමත් මගී ප‍්‍රවාහන සේවයක් ජනතාවට ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස ඔබතුමාගෙන් අප සංගමය ඉමහත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.
මෙයට – විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

සම්බන්ධීකරණය :  071 5152319

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress