රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇතැම් දේශපාලනඥයින් සිදුකරන මැර තර්ජන, ගර්ජන, බලපෑම්
Posted on January 30th, 2017

සමස්ත රාජ්‍ය සේවයේ උපාධිධාරීන්

ගරු ජනාධිපති,
 මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

2017.01.30.

ගරු ජනාධිපතිතුමනි,

රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇතැම් දේශපාලනඥයින් සිදුකරන මැර තර්ජන, ගර්ජන, බලපෑම් වැළැක්වීමට නිසිපියවරක් ගන්න.

            පසුගිය සතියේ දිනක වත්මන් යහපාලන රජයේ ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝ්ජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනතාවද සම්බන්ධ කරගනිමින් මාධ්‍යද පිරිවරා ප‍්‍රසිද්ධියේ දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට සිදුකරන ලද තර්ජන, ගර්ජන, බලපෑම් සමස්ත රාජ්‍ය සේවයේ උපාධිධාරීන් ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු. එමෙන්ම සමස්ත රාජ්‍ය නිලධාරීන්ටම නිදහසේ ස්වාධීනව සිය රාජකාරිය හෘද සාක්‍ෂියට එකඟව සිදුකරගෙන යාමට අවශ්‍ය නිදහස් හා සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ද කඩිනමින් පියවර ගන්නා මෙන්ද අප සංගමය ඔබතුමාගෙන් වගකීමෙන් ඉල්ලා සිටිමු. 

            පසුගිය රජය යටතේත්, වත්මන් රජය යටතේත් බලයට පත්වන හා පත්වුනු ඇතැම් දේශපාලනඥයින්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට එල්ල වන තර්ජන, ගර්ජන, බලපෑම් වල අඩුවක් හා වෙනසක් නැතැයි අපි ඔබතුමාගේ අවධානයට යොමුකරවමු. 

            දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට ප‍්‍රසිද්ධියේ සිය රාජකාරිවලට බාධා කරමින් සිදුකරනු ලැබූ බලපෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක සම්මත ක‍්‍රමවේදය නොවන අතර නැවත සමාජය ම්ලේච්ඡත්වයට ගමන් කරනවාද යන්න මතුවන ගැටළුවකි.

            2015 වර්ෂයේදී සමස්ත රාජ්‍ය සේවයෙන් සාතිශය බහුතරයක් පැවති පාලනය තුළ විඳින ලද පීඩාවන්ට හා නිදහසේ රාජකාරි කිරීමට අදාළව එල්ලවී තිබූ බලපෑම්වලට එරෙහිව එම රජය වෙනස් කිරිමට පියවර ගත්තද වත්මන් රජයද එම නොහික්මුණුකම් ඉතා කෙටිකාලයකින්ම අවස්ථා කිහිපයකදීම ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. 

            පැවති රජය යටතේත් කුරුණෑගල දිස්ති‍්‍රක්කය නියෝජනය කළ අමාත්‍යවරයෙකු නිකවැරටිය ප‍්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව ඉතාම දැඩි බලපෑමක් හා තර්ජනය කිරීමක් කරමින් සිය දේශපාලන ගජමිතුරන්ට අවශ්‍ය වන පරිදි වැඩකටයුතු කිරීමට පරිසරයක් ගොඩනගා ගැනීමට දැරූ උත්සාහයත්, එම දිස්ති‍්‍රක්කයේම මන්තී‍්‍රවරයෙකු, ග‍්‍රාමනිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කරමින් පහරදීම් පවා සිදුකළ අවස්ථා එම රජය යටතේත් දක්නට ලැබුණි.

            රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ට ද එවැනිම අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවූ අවස්ථා ඇත. එවකට රුවන්වැල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සංවර්ධන නිලධාරියෙකුට රාජකාරියේ යෙදී සිටියදීම පහරදීම එමෙන්ම වත්මන් රජය නියෝජනය කරන මතුගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයට අයත් පළාත් සභා මන්ති‍්‍රවරයෙකු සංවර්ධන ව්‍යාපෘතියක රාජකාරිවල නියැලෙමින් සිටි ගර්භනී අවස්ථාවේ පසුවූ නිලධාරිනියකට බැණ තර්ජනය කරමින් රාජකාරියට බාධාකළ අවස්ථා ඇතුළු සිදුවීම් විශාල ප‍්‍රමාණයකට සංවර්ධන නිලධාරීන්ට ද මුහුණ දීමට සිදුවී ඇත.

            මේ කිසිදු සිදුවීමකදී අදාළ මන්තී‍්‍රවරයාට හෝ අමාත්‍යවරයාට එරෙහිව ඔවුන්ට අදාළ පක්‍ෂ වලින් කිසිදු විනය කි‍්‍රයාමාර්ගයකදු නොගෙන එම මැරකම්, නොහික්මුණුකම්, චන්ඩිකම් බවට පත්විමට ඉඩහැර සමාජගතවීමට කටයුතු කර ඇත. එවැනි අමන කි‍්‍රයාකාරකම්, වීරකි‍්‍රයා බවට පත්වීමට ඉඩහැර ඇත. 

ගරු ජනාධිපතිතුමනි,

            දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරිවලට බාධා කරමින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන පවා කතා කරන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ මෙම නොහික්මුනු කි‍්‍රයාමාර්ගයට එරෙහිව පියවරක් ගන්නා මෙන් සමස්ත රාජ්‍ය සේවා උපාධිධාරීන් වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු. එමෙන්ම තවදුරටත් මෙවැනි පහත් කි‍්‍රයා අනුමත් නොකරන, මෙවැනි කි‍්‍රයා වළක්වමින් රාජ්‍ය සේවකයින්ගේ සිය රාජකාරි පරිසරය ආරාක්‍ෂා වන ආකාරයට මෙන්ම එවැනි සිදුවීම් වලදී ඔවුන්ට ද රැුකවරණයක් ලැබෙන පරිදි විධිමත් වැඩපිළිවෙලක් දියත් කරන මෙන් අප සංගමය නැවතත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. 

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප‍්‍රධාන ලේකකම්,

පිටපත් :-      

  1. ගරු අග‍්‍රාමාත්‍ය – රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා. (අ.ක.ස/දැ.ගැ.පි.)
  2. ගරු  ස්වදේශ කටයුතු අමාත්‍යතුමා (අ.ක.ස/දැ.ගැ.පි.)
  3.         ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා. (අ.ක.ස/දැ.ගැ.පි.)
  4. ගරු කබීර් හෂීම් අමාත්‍යතුමා – ලේකම් එක්සත් ජාතික පක්‍ෂය. (අ.ක.ස/දැ.ගැ.පි.)
  5. ගරු ජනාධිපති ලේකම්තුමා. (අ.ක.ස/දැ.ගැ.පි.)
  6. ලේකම් – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය. (අ.ක.ස/දැ.ගැ.පි.)
  7. ලේකම් – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය. (අ.ක.ස/දැ.ගැ.පි.)
  8. සියලූ දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්. (දැ.ගැ.පි.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress