පුස්කොළ පොත් විකුණා ජාතියේ දත් ගැලවීම
Posted on January 31st, 2017

මතුගම සෙනෙවිරුවන්

             සිංහල ජාතිය වසර දෙදහස්පන්සීයක් පුරාවට එක්රැස් කල සංස්කෘතිය ලේඛන ගතව පවතින අවස්ථා දෙකක් ඇත. එකක් නම් ශිලාලිපි සහ මුද්‍රා වන්ය. අනෙක් වැදගත්ම සමුච්චය පුස්කොළ ලේඛනීය සම්ප්‍රදායයි. රටේ ව්‍යවස්ථා පුද පූජා සහ ආඥාවන් මෙන්ම වෙළෙඳ සබඳතාද ප්‍රකට කරවන ශිලාලිපි මෙන්ම සීගිරි කැටපත් පවුරු ගීයෙන් කියැවෙන්නේ ද ජාතියේ සාහිත්‍ය ලෙන්ගතු කමයි.මේ කිසිවක් මිළ කළ නොහැකිය. ක්‍රි.පූ. දෙවන සියවසේ වලගම්බා සමයේ බැමිණිතියාසාය නොහොත් නියන්සායක් පැමිණි කල්හි සිංහල භික්ෂූන් වහන්සේලා කරකොළ වළඳමින් සිය බණ දහම් වන පොත් කලේ ඉතා ඉක්මනින් එය ග්‍රන්ථාරූඩ කරලීම පිණිසය. මාතලේ අලු විහාරය එයට සුදුසු තැනැක් යැයි කල්පනා කරන්නට ඇත. සිංහල භික්ෂු පරම්පරාව මිහිඳු මහ රහතන් වහන්සේ ගෙන් ඇරඹුණි යැයි කීවද බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථාවේදී මහණව බණ දහම් රැක ගත් යක්ෂ ගෝත්‍රික ස්වාමීන් වහන්සේලා සිටි බව අප්‍රකට ඉතිහාස පුවත් දක්වයි. දඹදිවින් පැමිණි මහාවිහාරීය භික්ෂූන්ට වඩා මේ සිංහල භික්ෂූන් වන්සේලා ජාතිය සතු මහඟු නිධාන පණ මෙන් රැක ගත්හ. එයින් එකක් නම් පුස්කොළ ලේඛනීය සම්ප්‍රදායයි.

             මෙම සම්ප්‍රදාය මගින් බිහිවූ ග්‍රන්ථ අංශ කීපයකට බෙදා දැක්විය හැකිය. එහි ප්‍රධානතම අංශය වන්නේ ත්‍රිපිටකයයි. දෙවැන්න නම් බණ කතා සාහිත්‍යයි.අනතුරුව වංශකතා දැක්විය හැකිය.වංශකතා අතර පරම්පරාගත විස්තර ඇතුලත් විත්ති ලේඛන සම්ප්‍රදායක්ද දක්නට ලැබේ.වලගම්බා යුගයේ රටේ ප්‍රධාන මූලස්ථානය වූයේ අභයගිරියයි. සිවුසැට කලාවන් ගෙන් සමන්විත රටේ ආර්ථික සම්ප්‍රදායේ මූලස්ථානය එය විය. අනුරාධපුර යුයේ අටමහතැන් යයි සඳහන් වන අෂ්ඨ මූලායතන ඇරණු කොට අභයගිරි සම්ප්‍රදාය විසින් ජාතියේ හෘදස්පන්දනය වන දැනුම ලේඛන ගත කරන ලදී. පෙර යක්ෂ රාක්ෂ ජනතාව විසින් පණ මෙන් රැක ගත් මේ දැනුම් සම්ප්‍රදායට දඹදිව චීන මෙන්ම වෙනත් සම්ප්‍රදායන්ගෙන් දැනුම උකහා ගැනීමට හැකි විය.ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවා ගෙන පැමිණි අවස්ථාවේදී මෙරටට පත් ශිල්ප ශ්‍රේණි හැට හතරක් විය. ඔවුන් සතු දැනුමද දේශීය කෝවේ දමා මකවා ගෙන වැඩට ගැන්ම සිදු විය. ලංකාවේ ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථ බිහිවූයේ ඒ ආකාරයටයි. වෛජයන්තය රූපාවලිය බිම්බ  මානය මංජු ශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ග්‍රන්ථය වාස්තු රත්නාවලිය ඉතා ජනප්‍රිය ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථ වෙයි.මීට අමතරව සිංහල වෙදකම අරභයා ලියැවුණු වෛද්‍ය ග්‍රන්ථ සහ වට්ටෝරු පොත් ද මන්ත්‍ර පොත්ද රාශියක් දිවයින පුරා දක්නට ඇත.

           සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන පරිදි මේවා විකල්ප වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම පිණිස ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකට යැවිය යුතු වෙයි. එයට තමා ඉදිරියේදී පියවර ගන්නා බවද වැඩිදුරටත් පවසා තිබේ. පළමුවෙන්ම කිව යුතුව තිබෙන්නේ විකල්ප යනුවෙන් වෛද්‍ය ක්‍රමයක් පැවතීමට නොහැකි බවයි. වර්තමාන ඇලොපති වෛද්‍ය ක්‍රමය ලොව පුරා ප්‍රචලිතව තිබෙන අතර එයට විකල්පයක් ලෙසින් සිංහල වෙදකම සහ ආයුර්වේද ක්‍රමය භාවිතා කිරීම යනු එම ශාස්ත්‍රයන්ටත් කරන නිගාවකි. ඔහු පටලවා ගෙන ඇත්තේ මෙතනිනි. බටහිර වෙදකම හැදෑරූ  අමාත්‍යවරයාට සිංහල වෙදකම පෙනෙන්නේ විකල්ප වෛද්‍යක්‍රමයක් විලසිනි.ඒ දේශීය වෛද්‍ය දර්ශනය ගැන අවබෝධයක් ඔහුට නොතිබෙන බැවිනි . පසුගිය කාලයේදී ආයුර්වේද සංස්ථාව තුළ නව ශාකශාර නිෂ්පාදන ප්‍රචලිත කරන්නට ඔහු මුල් තැන දුන්නේ ඒ නිසා  විය හැකිය.

       සිංහල වෙදකම ඇලොපතියට සාපේක්ෂ විකල්පයක් නොවේ. එය මේ රටේ ජනතාවගේ හද ගැස්ම හඳුනන රටේ ගහකොළ පරිසරය අනුව වර්ධනය වූ දේශීය ශාස්ත්‍රයකි. එය මේ රටේ ජනතාවගේ වෛද්‍ය ක්‍රමයයි.කලක් තිස්සේ සිද්ධ ආයුර්වේද වෛද්‍ය ක්‍රම මගින් එය පෝෂණය වුවද එයට ආවේණික වූ ප්‍රතිකාර විධියක් තිබේ.ඒවා සිංහල වෛද්‍යවරුන් අතර අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි විය. සිංහල සර්ප වෙද මහත්වරුන් පාෂාණම් මිශ්‍ර විසගලක් සාදති. එම රෝගියාගේ ද්ෂඨ මුඛයට තැබූ විට එයට විෂ ඇදෙන අතර පසුව දෙහි ඇඹුලෙන් සෝදා හැර සුරැකිව තබා ගනී. මෙම ගල නිෂ්පාදනය කොට එහි ප්‍රත්‍යක්ෂ බව දැන ගැනීමට වෛද්‍යවරුන් අනුගමනය කරන ක්‍රම දෙකක් ඇත. එකක් නම් කූඩැල්ලෙකුට ස්පර්ශ කිරීමයි. එහිදී වෙනත් පර්යේෂණ විධියක් ඔහුට නැත. එය ඔහුට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි විය.

      සෞඛ්‍ය අමාත්‍යයවරයා යෝජනා කරන්නේ දේශීය වෛද්‍ය පරම්පරා මගින් නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයට පරිත්‍යාග කරන දේශීය වට්ටෝරු පොත් ගැන විය යුතුය. ඒවා වරක් හිටපු දේශීය වෛද්‍ය අමාත්‍ය වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා විසින් තල්පතේ පිළියම් ලෙසින් මුද්‍රණයෙන්ද ප්‍රකාශයට පත් කරන ලද්දේ ජනතාව වෙත එම දැනුම ගලා යනු පිණිසය. එය දැනුම සංරක්ෂණයේ මහඟු අවස්ථාවක් විය. වසර දහස් ගණනක් තිස්සේ පාරම්පරිකව භාවිතා කළ ඇතැම් වෛද්‍ය පුරුදු අභාවයට ගොසින් ඇත. නාවින්න පර්යේෂනායතනය විසින් පර්යේෂණයට ලක් කළ යුත්තේ එලෙස අභාවයට ගොස් ඇති අත්දුටු ප්‍රත්‍යක්ෂ ක්‍රම වේදයන් ගැනය. එහෙත්  එවැනි ක්‍රියාදාමයකට එහි ඉඩක් ඇති බව නොපෙනේ. ඔවුහුද නවීන පර්යේෂණ ක්‍රම මගින් වට්ටෝරු වල හෝ ඖෂධ වල රසායනික සංඝටක වෙන් කිරීමට උත්සාහ කරති. එය ආයුර්වේද දර්ශනයට හෝ සිංහල වෛද්‍ය දර්ශනයට එකඟ වන්නේ නැත.වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සැරසෙන්නේ එවැනි අනුවණ ක්‍රියාවකට මුල පිරීමයි.

       ලංකාවේ පවතින දේශීය දැනුමට මෙතෙක් ආරක්ෂණයක් දක්වා නොමැති අවස්ථාවක රටේ දේශීය දැනුම අඩංගු ග්‍රන්ථ විදේශිකයන්ට නිරාවරණය කිරීම අපරාධයකි. එක්සත් ජාතීන් ගේ ප්‍රඥප්ති කීපයක් මගින් දේශීය දැනුම ආරක්ෂා කළ යුතු බවට ප්‍රකශ වී ඇති නමුදු එය තවමත් නිල මට්ටමින්  සිදුව නොමැත. විශේෂයෙන්ම දේශීය දැනුමේ ආරක්ෂාව පතා බුද්ධිමය දේපළ නීතිය පවා හරිහැටි සකස් වී නොමැත. එවැනි තත්ත්වයක් යටතේ පුස්කොළ පොත් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකට භාරදීම නරින්ට කුකුළන් බාර දුන්නා හා සමානය. ඔවුහු එම වට්ටෝරු විහ්ලේෂණය කර ලෝකයට දෙන්නේ අයුර්වේදයටත් නැති දේශිය වෙදකමටත් නැති සංකර බෙහෙත් කැප්සියුලයකි.  දේශීය වෙදකමේ දර්ශනය අනුව ප්‍රතිකාරයකින් පසුව රෝගියා නිරෝගී පුද්ගලයෙකු බවට පත් වෙයි. නමුත් ඇලොපති ක්‍රමය අනුව පුද්ගලයා නිරෝගී නොවේ. ඔහු බෙහෙත් ගනිමින් රෝගය පාලනය කරමින් ජීවත් වෙයි.දියවැඩියා රෝගීන් උදාහරණයකට ගත හැකිය.මෙවැනි විකෘති වෙදකමකට දේශීය ඖෂධ සහ වට්ටෝරු යොදාගැනීමට කිසිවෙක් උක්සාහ දරන්නේ නම් එහි යට පවතිනු ඇත්තේ වානිජ පරමාර්ථයකි.අද ලෝකයේ හරිත රත්තරන් යයි කියන්නේ මෙවැනි වූ ජාන සම්පතකටයි.පුස්කොළ පොත් නොමිලේ දීම නොහොත් අව භාවිතය තුළ  දැවැන්ත අලෙවි සැලැස්මත් තිබෙන බව අප පෙන්නා දෙන්නේ එහෙයිනි.

මතුගම සෙනෙවිරුවන්

One Response to “පුස්කොළ පොත් විකුණා ජාතියේ දත් ගැලවීම”

  1. Christie Says:

    1956 බන්ඩ ඇවිල්ල Sඉන්හල වෙදකම වන වට්ටොරු වෙදකම විනාස කර දැමුවේය. ඉන්දියානු වෙද සහතික ඇති අයට රජයේ රැකියා ලැබින. ඇස්ප්‍රෝ පෙති කුඩුකර ඉටි සමග ගුලිකර වෙදකම කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress