ආචාරශීලි නිහඬ ඝාතකයා – පොල්පොට්
Posted on May 2nd, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

 ඔහු සන්සුන් නිහඬ චරිතයකි. කථා කිරීමට වඩා සවන්දීමට කැමතිවිය. දක්ෂ ගුරුවරයෙකි. අසන්නන් ග්‍රහණය කරගන්නා අයුරින් කතා කරයි. ඔහු ආචාරශීලිය. සෞම්‍ය ගතිගුණවලින් යුක්තය. ඔහු ජනතාව සංවිධානය කළේය. සිහනුක් රජයේ දූෂණ හා ජනතා පීඩන යාන්ත්‍රණය ඔහුගේ විවේචනයට ලක්විය. දුප්පත් ගොවීන් අතර ඔහු වීරයෙකු විය. සිසුහු ඔහුට සවන් දුන්හ. බොහෝ පිරිස් රැකියා අතහැර දමා පොල්පොට්ට සහයා දීමට ඔහු ක්‍රියාත්මක වූ ග්‍රාමීය ප්‍රදේශයට ගියහ. කම්පුචියාවේ අනාගතය පොල්පොට් බව ඔව්හු කීහ.

දුගී භාවයට, විරැකියාවට, රාජ්‍ය මර්ධනයට එරෙහිව ඔහු කථා කළේය. ජනතාවගේ ආදරයට පාත්‍රවීම ඔහුගේ අපේක‍ෂාව විය. අප දුප්පතුන් අතර ජනප්‍රිය වීමට නම් ඔවුන්ට සමානව ජීවත්වියයුතු බව පොල්පොට් නිතරම කීවේ. ඔහු කථාකළේ ජනතාව වෙනුවෙනි. ජනතා අභිලාෂයන් පිළිබඳවය. ජනතාව අමතන විටදී ඔහු ආකර්ෂණශීලි ලයාන්විත භාෂාවක් යොදාගත්තේය. ආත්ම දමනයෙන් යුතු ඔහු කිසිවිටෙක කෝප ගත්තේ නැත.

පොල්පොට් වටා ගොනුවූ ගොවි ජනතාව ඔහු වෙනුවෙන් සටන් කිරීමට ශපථ කළහ. ගොවීන් වෙනුවෙන් හඬක් නගන මේ පුද්ගලයා සෑම අංශයකින්ම පරිපූර්ණ පුද්ගලයෙකු බව ඔව්හු සිතූහ. පොදු සතුරාට එරෙහිව සටන් කිරීම සඳහා ඔව්හු පොල්පොට් වටා ඒකරාශී වූහ.

නිව්යොක් ටයිම්ස් පුවත්පතේ කතුවරියක් වන එලිසඛෙත් බේකර් තමා පොල්පොට් හමුවූ අවස්ථාව මෙසේ සිහි කැඳවන්නීය. 1978 දෙසැම්බර් 22 අපගේ හමුව සිදුවිය. එය අතිශයින්ම විරල අවස්ථාවක් බව පැවසිය හැක. ඒ මන්දයත්, ඔහුව හමුවීමට අවකාශ තිබුණේ සීමිත පුවත්පත් කලාවේදීන් පිරිසකටය. ඒ අතරින් බොහෝ දෙනෙකු කොමියුනිස්ට් රටවල පුවත්පත් වාර්තාකරුවන් වූ අතර බටහිර ජන මාධ්‍යයට පොල්පොට්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම අසීරුව තිබුණි.

ඔහු අප ආචාරශීලිව සිනහවකින් පිළිගත්තේය. මෙම පුද්ගලයා මිලියන ගණනාවක් මිනිසුන් මෙලොවින් අතුගා දමා තිබුණු බව මට සිහිවිය. ඔහු සිහින් හඬින් සිත් ඇදගන්නා විලසට කථා කළේය. ඒ අතරවාරයේ කරගැට රහිත සිනිඳු දෑත් මගේ නිරීක‍ෂණයට ලක්වූයේ නිරායාසයෙනි.

මරණයේ ගොවිබිම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මා කළ උත්සාහය නිරර්ථක විය. ඔහු ඒ සම්බන්ධයෙන් මට කිසිවක් කීවේ නැත. දිගින් දිගටම වියට්නාම් ප්‍රහාර හා වියට්නාමය විසින් කරන ලද හානි ගැන කීවා මිසක මිලියන 3 ක් කම්පුචියානුවන් මිය ගියේ කෙසේද යන්න ඔහුගේ දේශනයට අඩංගු නොවීය.

පොල්පොට්ගේ ඝාතනවලට කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් හෝ සහාය දුන් බලවේග දැන් නිහඬය. ඔහු බලයේ සිටි කාලයේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය පවා ඔහුට ආධාර කරන ලදී. වරක් මාඕ ඔහුට ප්‍රශංසා කළේය. “ඔබගේ ජයග්‍රහණය අති විශිෂ්ඨය. එක ප්‍රහාරයෙන් සියළුම පන්ති ඔබ අවසන් කළා. විශිෂ්ඨයි. අතිවිශිෂ්ඨයි” පොල්පොට් යන නමේ තේරුම Politique Potentelle හෙවත් සක්‍රීය දේශපාලඥයා යන්නය. එහෙත් මෙම සක්‍රීයතාව ගෙන ආවේ මරණීය පණිවිඩයකි.

කෙමරුජ් දේශපාලන න්යාය

මුල් කාලයේදී කෙමරූජ් සංවිධානය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයෙන් මාර්ගෝපදේශය ලබා ගත්හ. ක්‍රම ක්‍රමයෙන් එය ස්ටැන්ලිවාදී හා උගතුන්ට එරෙහිව ක්‍රියාකරන පක්ෂයක් බවට විකාශනය විය. මාක්ස්ට එදිරිව යමින් ඔව්හු කම්කරුවන් වෙනුවට ගොවීන් නියම නිර්ධන පන්තිය ලෙස තෝරාගත්හ. කාලයත් සමඟ ඔවුන්ගේ දේශපාලන ව්‍යුහය වෙනස් විය. අවසානයේ ඔවුන් තමන්ට ආවේණිකවූ නව දේශපාලන න්‍යායක් ගොඩ නංවන ලදී.

පොල්පොට් 1963 සිට 1991 දක්වා පක‍ෂයේ මහාලේකම් විය. කම්පුචියාව විදේශ රටවලින් තනිකිරීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය විය. කිසිම රටක් සමඟ නිළවශයෙන් සබඳතා නොපවත්වන ලදී. ඔවුන්ගේ දේශපාලන න්‍යාය තුළ පැවතියේ විශාල රික්තයකි. එම රික්තය පුරවනු වස් ද්‍රෝහීන්, කඩාකප්පල්කාරීන්, ප්‍රතිගාමීන්, ජනතා සතුරන් යනුවෙන් හඳුන්වනු ලැබූ අදිසි සතුරන් සොයා විශාල මෙහෙයුම් ක්‍රියාත්මක විය. කම්පුචියානු විප්ලවය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන 1-2 අතර ජනග්‍රහනයක් බව කෙමරුජ් නායකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඉතිරිවූවන් පොහොර විය යුතුය. මේ දේශපාලන න්‍යාය මගින් කම්පුචියාවේ ජනගහනයෙන් 25% ක් ඔව්හු මරා දැමූහ. පොල්පොට් තමදේශපාලන න්‍යාය විග්‍රහ කළේ කොමියුනිස්ට් සමාජයටයා හැකි කෙටිමාර්ගයක් ලෙසටය.

අන්කා දහම

කෙමරූජ්වරු අදහන ලද්දේ “අන්කා” දේශපාලන දර්ශනයයි. කෘෂිකාර්මික, ආර්ථීක ස්ථරයකින් වටවූ “අන්කා දහම” මගින් පෞද්ගලික දේපල, පුද්ගල නිදහස, නිදහස් අදහස් ප්‍රකාශනය, දැඩිලෙස සීමා කරන ලදී. බටහිර තාක්ෂණය ප්‍රතික්ෂේප කරන ලද ඔවුන් ප්‍රජාව ග්‍රාමීය ඉඩම්වලට කොටුකරන ලද්දේ ඔවුන් පාරිශුද්ධත්වයට පත් කරනු සඳහාය. පරාජීර්ණව තිබූ නාගරික ලෝකය වෙනුවට නව ගැමි ජීවිතයක් මගින් සියළු දෑ මුල සිට ආරම්භ කළයුතු බව අන්කා දහම මගින් ඔව්හු පැවසූහ. මුල සිටම ආරම්භ කරන පොදු ග්‍රාමීය සමාජය මගින් ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණය අත්පත් කරගෙන කොමියුනිස්ට්වාදයට පිය නැගීම ඔවුන්ගේ අරමුණ විය.

අන්කා දහම මගින් පොල්පොට් අපේක්ෂා කළේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු කිරීමය. එවිට පුද්ගලයා ස්වයංපෝෂිත වෙයි. ඔහු තම ආහාර වේල සඳහා එවිට අන්‍යයන් මත යැපෙන්නේ නැත. මේ මගින් ජනතාවට සමෘධිය ලඟාකරදීම පොල්පොට්ගේ දර්ශනය විය. එහෙත් පොල්පොට්ගේ අත්හදාබැලීම කෙළවර වූයේ මහා ව්‍යසනයකින්ය.

අන්කා දහම අනුව ගොවිබිම අප්‍රිය කළ ඕනෑම පුද්ගලයෙක් ජනතා හතුරෙකු ලෙස ගණන් ගැනිනි. ඔවුන්ට අත්වූයේ මරණයයි. සමානාත්මාවය රජයන සමෘධිමත් ලොවක් බිහි කිරීම පොල්පොට්ගේ මූලික අදහස වුවද, එය ක්‍රියාවට නැංවූයේ ජනතාවගේ ලේ සහ කඳුළු මතින්ය. කාලයත් සමඟ කෙමරූජ් නායකයන් අන්කා දහමේ සිරකරුවන් බවට පත්වූහ. ඔවුනට යළි ආපසු යාමක් ගැන සිතීමට පවා නොහැකි වූහ. න්‍යාය ගුරුකොට සෑම තීරණයක්ම ගත් ඔවුන් ප්‍රායෝගික ගැටලුවලදී ළදරුවන් මෙන් අසරණ වූහ.

පසු කාලෙක පොල්පොට් “අප ළදරුවන් මෙන් දණ ගෑවෙමු” යැයි ප්‍රකාශ කලේ න්‍යාය සහ ප්‍රායෝගිකවාදය අතර තිබූ පරතරය නිසාය. (Aබටන් යන වචනවට තේරුම් ගණනාවක් තිබේ. Aබටන් යන්න නිර්වචනය කොට ඇත්තේ සංවිධානය, යනුවෙන් වුවද කෙමරූජ්වරු පසුකාලීනව Aබටන් ආගමක් ලෙසට සකස් වූ ව්‍යුහයක් ලෙසට පරිවර්ථනය කළහ.)

මාඕ සහ ස්ටැන්ලිවාදය සමඟ පොල්පොට් න්යාය

මාඕ සහ ස්ටැන්ලිගේ දේශපාලන ව්‍යුහය අගය කළ පොල්පොට් එම ව්‍යුහයන් දෙකේ සම්මිශ්‍රණයෙන් යුත් අළුත් න්‍යායක් එළි දැක්වීය. ජාතිවාදය හා නට්සි අදහස් ද මෙම න්‍යාය තුළ දක්නට ලැබිණ.

සභාපති මාවෝ විසින් හඳුන්වාදුන් ප්‍රගතියේ මහා පිම්ම මගින් චීනයේ නාගරික ජනතාව ග්‍රාමීය ප්‍රදේශ කරා පිටමං කරනු ලැබීය. මෙම ක්‍රමවේදය ආදර්ශයට ගත් පොල්පොට් නොන් පෙන් නගරය ජනයාගෙන් හිස් කරන ලදී.

කම්පුචියාවේ නගරබද කම්කරුවන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අඩුවූ හෙයින් පොල්පොට්ගේ බලාපොරොත්තුව රැඳී තිබුණේ ගම්බද ගොවීන් කෙරෙහිය. මාඕ මෙන් පොල්පොට් ගොවීන් වැඩකරන පන්තියක් ලෙස ඔහු හැඳින්වීය. පොල්පොට් අදහස් කළ උටෝපියාව ගොඩනැංවීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන දෙකකට ආසන්න ජන ප්‍රමාණයක් බවත් අනෙක් පිරිස පාළන තන්ත්‍රයට බරක් බවත් කෙමරූජ් නායකත්වය විසින් නිබඳවම පවසන ලදී. එම නිසා අතිරේක මිනිසුන් ක‍ෂය කිරීමට ඔව්හු පියවර ගත්හ.

ස්ටාලින් විසින් “කලෙක්තිව් හසයිස්ත්වා” යනුවෙන් සඳහන් වූ සමූහ ගොවිපළවල් ක්‍රමය පොල්පොට්ගේ සිත් ගත්තාවිය හැක. එසේම පුද්ගල වන්දනාව මගින් පිරිපුන් ස්ටැලින්වාදය ඔහු ග්‍රහණය කරගත්තේය.

1931 හා 1951 අතරතුර කාලයේදී ස්ටැලින් මිනිසුන් 800,000 ක් මරා දැමීය. ගුලාර්ග් ශ්‍රම කඳවුරුවල සිරගත කෙරුණු මිනිසුන්ගෙන් බහුතරය යළි ජීවග්‍රාහීව පැමිණියේ නැත. ස්ටැලින් කලාක් මෙන් සමූහ ගොවි පළවල් ඇති කිරීම තුළින් ආහාරවලින් කම්පුචියාව ස්වයංපෝෂණය කිරීම පොල්පොට්ගේ අරමුණ වුවද ඔහු එය ක්‍රියාවට නැංවූයේ ස්ටැලින්ටත් වඩා බිහිසුණු අයුරිනි.

පොල්පොට්ගේ ෆැන්ටසිය.

ක්‍රිස්තුවර්ෂ 802 සිට 1431 දක්වා කම්පුචියාවේ පැවති ඉපැරණි ඇන්කෝර් ශිෂ්ඨාචාරය යළි ඇතිකිරීම පොල්පොට්ගේ සිහිනය වූයේය. එකල බටහිරින් තායිලන්ත, බුරුම, දේශසීමාව දක්වා ද, උතුරින් ලාඕසය දක්වා විහිදී පැවති මෙම ඇන්කෝර් ශිෂ්ටාචාර වටා දියුණු වාරිමාර්ග ක්‍රමයක් තිබුණි. මේකොං ගංගාවේ ජලයෙන් ගොවිතැන් කළ ඇන්කෝර් ශිෂ්ඨාචාරය ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයකි.

ඉන්දු භාෂාවක් වන නාගර භාෂාවෙන් ඇන්කෝර් යනු නගරය යන අදහස ගෙන දෙයි. ගල් කැටයම් මගින් සුවිසල් ආරාම බිහිකළ මෙම යුගය කම්පුචියාවේ ස්වර්ණමය කාලවකවානුවයි. රාමායණයෙන් හා මහා භාරතයෙන් ආභාෂය ලැබූ මෙම ඇන්කෝර් ශිෂ්ඨාචාරය මේ වන විට විනාශ වී ගොස් සියවස් 5 කට වඩා අධික කාලයක් ගතවී තිබුණද යළි ඇන්කෝර් යුගයක් ඇතිකිරීම පොල්පොට්ගේ මූලික දර්ශනය විය.

පොල්පොට්ගේ මෙම ෆැන්ටසිය සඳහා මිලියන ගනනාවක ජනතාව ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූහ. අතීත ඇන්කෝර් රජවරු දේවත්වයේ ලා සලකනු ලැබිණ. රටවැසියන් යුද සේවයට බඳවා ගන්නා ලද අතර, ආක්‍රමණය කරනු ලැබූ ප්‍රදේශවලින් ජනතාව වහලූන් සේ යදම් වලින් බැඳගෙන එනු ලැබිණ. එමනිසා ඇන්කෝර් ශිෂ්ඨාචාරයට නොකඩවා ශ්‍රමය අවහිරයකින් තොරව ලබාගැනීමට හැකිවූයේය. බලසම්පන්න හමුදාවක් ඔවුන් සතුවිය. තවද මේකොං නදිය වටා නිරන්තරයෙන්ම ගමනාගමනයේ යෙදුණු නාවික බල ඇණිද ඇන්කෝර්වරුන් සතුව පැවතිබවට සාක්ෂි තිබේ.

හින්දු ධර්මය හා මහායාන බුදු දහම ඇදහූ ඇන්කෝර් වාසීන් අසල්වැසි රටවල් සමඟද සබඳතා පැවැත්වූහ. ඉන්දියාව, ග්‍රීසිය, පර්සියාව, යන රටවල් මේ අතර වෙති. ඇන්කෝර් ශිෂ්ඨාචාරයේ පිරිහීම සඳහා හේතුකාරක කිහිපයක් පිළිබඳව පුරාවිද්‍යාඳයෝ මත පළකරති. අභ්‍යන්තර බල අරගල, තායිදේශයේ ආක්‍රමණ, මේ අතර වඩාත් පිළිගත හැකි සාධකවේ.

ඇන්කෝර් ශිෂ්ඨචාරයේ ශ්‍රී විභූතියට වශීවූ පොල්පොට් යළිත් මෙවැනි ශිෂ්ඨාරයක් කම්පුචියාවේ බිහි කිරීමට අදහස් කළේ කෙමරූජ් සංවිධානය මගිනි. එහෙත් මරණයේ ගොවිබිම මිසක අන් යමක් තම ජනතාවට ලබාදීමට ඔහුට හැකිවූයේ නැත. පොල්පොට්ගේ මාරක ෆැන්ටසිය නිසා මිලියන ගණනක් ජනතාව අවතැන් වී මරණයට පත්වූහ.

ඇන්කෝර් ශිෂ්ඨාචාරය හරහා පොල්පොට් දුටුවේ කොමියුනිස්ට් උටෝපියාවකි. විකෘති අන්දමට වැළඳගත් මාක්ස්වාදය හරහා පොල්පොට් නිර්මාණය කළේ මරණයේ ගොවි බිම් සමූහයකි. පැරනොයිඩ ආකෘතියක තැනුනු පොල්පොට්ගේ දර්ශනය මිලියන තුනක ජනතාව මිහිතලයෙන් අතුගා දැමීය.

පොල්පොට්ගේ ෆැන්ටසිය හඳුන්වනු ලැබුයේ Collectivist Utopia වශයෙනි. 1978 දී ඔහු කෙමරුජ් දේශපාලනය ගැන මෙසේ කීවේය. “අප අපටම ආවේනිකවූ සමාජවාදයක් ගොඩනංවන්නෙමු. එය කිසිඳු රටකින් ගත් කාබන් කොපියක් නොවේ. අපි කිසිම රටක් ගුරුකොට නොගනිමු. අපි විමුක්ති අරගලයේදී ලද අත්දැකීම් මේ සඳහා භාවිතා කරමු. ගතානුගතික පාසැල්, විශ්වවිද්‍යාල අපගේ නව ක්‍රමය තුල නැත. එවැනි ප්‍රතිගාමි ආයතන කම්පුචියානු විප්ලවයට පෙර බොහෝ තිබුණි. අප මෙවැනි සුන්බුන් ඉවත් කළ යුතුය. අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නැත. නගරවල ඉරණම ජනතාව තීරණය කරනු ඇත. නගරය යනු ධනවාදයේ දුගඳ හමන අසූචි වල බව කෙමරූජ්වරු පැවසූහ. එම නිසා නගරය කෙරෙන් ජනයා දුරුවිය යුතුය.”

Phnom Penh නගරයට පොල්පොට් තුළ තිබුණේ සැඟවුණු වෛරයකි. කෙමරුජ්වරු බලයට පත්වූ වහාම Phnom Penh හි ජනතාව පිටමං කරන ලදී. ග්‍රාමීය ගොවීන් නූගත් අහිංසක කිසිවෙකු සූරානොකන කොට්ඨාශයක් බව පොල්පොට් ඇදහීය. එම නිසා ඔවුන් වඩාත් ශුද්ධ වූ කොටසකි. මේ නයින් බලන කල නගරය දූෂිතය. ඔහුගේ ෆැන්ටසිය අනුව නගරයට හා නාගරිකයන්ට පැවත්මක් නොතිබිනි. Phnom Penh හි ජනයා අප්‍රේල් 17 දින ජනයා හෙවත් නව මිනිසුන්ය. මේ කොට්ඨාශය ධනවාදයේ විෂමචක්‍රය කරකවන්නන්ය. ඔව්හු නව කම්පුචියාවේ සතුරෝ වෙති.

අතීතය පිළිබඳ මතකය රෝගයකි.

කම්පුචියාවේ විප්ලවයට පෙර යුගය පිළිබඳ කල්පනා කිරීම කැමරුජ්වරුන්ට අනුව දරුණු වරදකි. අතීතය පිළිබඳ ශෝකවීම, කාංසාජනකවීම, මිනිසුන් පෙලු රෝගයක් බව කෙමරුජ්වරු පැවසූහ. අතීතය පිළිබඳ මතකය රෝගයකි. අතීතයට පැවැත්මක් නැත. අතීත මතකය නිසා වර්තමානය බිඳී යයි. එබැවින් අතීතය පිළිබඳ කල්පනා කරන්නා රෝගියෙකි. නැතහොත් කඩාකප්පල්කරුවෙකි. ඔවුන්ට දඬුවම් කළ යුතුය.

මේ ශුන් වසරයි

පොල්පොට් බලයට පැමිණි වහාම ශුන්‍ය වසර Year of Zero නිවේදනය කළේය. මේ අනුව 1975 අප්‍රේල් 17 ශුන්‍ය වසරේ ආරම්භය විය. ඔහුගේ අදහස අනුව කම්පුචියාව ධනවාදයේ, බටහිර සංස්කෘතියේ, නාගරික ජීවිතයේ, ආගම්වල හා විදේශීය බලපෑම්වලින් දූෂණයවී තිබේ. මෙම අංශ මගින් අපවිත්‍ර වූ කම්පුචියාව සුපිරිසිදු කළ හැකකේ යළි ශූන්යතාවට ගමන් කිරීම මගිනි. එම නිසා සෑම දෙයක්ම මුලසිට අරඹනු ලැබේ. ඒ සඳහා අතිතයේ හා වර්තමානයේ අංගයන් විනාශ කළ යුතුය.

ශුන්‍ය වසර ශුද්ධ වසරකි. අතීත ස්මරණයන් අමතක කිරීම හෝ විනාශ කිරීම මගින් නව දේශයක් උදාකළ හැක්කේ ඔවුන් තම තමන්ගේ අතීත ස්මරණ වලින් නිදහස් කිරීම මගිනි. ඒ සඳහා ඒකායන මාර්ගය ශුන්‍ය වසරයි. ශුන්‍ය වසර සනිටුහන් කරන්නේ නව ශිෂ්ඨාචාරයේ උපතයි. ශුන්‍ය වසරේ පන්තිභේද නැත. පාසල් නැත. මුදල් හුවමාරුව නැත. පොත්පත් භාවිතය නැත. රෝහල් නැත. අළු මතින් ලොවට එන ශුන්‍ය වසර අළුත් බලපොරොත්තුවක සේයාවක් දල්වයි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress