රොයිටර් ගේ චීන කොළණිය
Posted on May 17th, 2017

වරුණ චන්ද්‍රකීර්ති 

1977 අවුරුද්දේ යුනෙස්කෝ සංවිධානය කොමිසමක් පත්කළා. ඒකේ ලොක්කා විදිහට පත්කළේ 1974 දී නොබෙල් සාම තෑග්ග දිනාගත්ත ශ්වොන් මැක්බ්‍රයිඩ් ව. මේ කොමිසම පත්කරන්න හේතුවුනේ ඇමෙරිකානු ජනපද සංගමයත් බ්‍රිතාන්‍යයත් ප්‍රංශයත් මුල්කරගත්ත ප්‍රවෘත්ති ඒකාධිකාරියට විරුද්ධ ව ඇතිවෙච්ච කලබලය.

මේ කලබලය ගැන කියන්න කලින් තව පොඩි කාරණයක් පැහැදිළිකරන්න ඕන. යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමෙරිකා කියන එක සිංහලෙන් කියන්න ඕන ඇමෙරිකානු ජනපද සංගමය කියලා නෙවෙයි ද? සෝවියට් සංගමය කියලා එකකුත් තිබුණානේ. ඉතින් ඒ හින්දා මේක අපිට ආගන්තුක යෙදීමක් වෙන්න විදිහක් නෑ. ඇමෙරිකා එක්සත් ජනපදය කිව්වා ම ඒකෙන් කියැවෙන්නේ එක ජනපදයක් ගැන. ඒත් තියෙන්නේ ජනපද පනහකුයි තව තව මොනවා ද ගොඩකුයි එකතුවෙලා හදාගත්ත සංගමයක්නේ. ඉතින් ඒකට අපි ඇමෙරිකානු ජනපද සංගමය කියමු.

ඇසෝසියේටඩ් ප්‍රෙස්, රොයිටර්, ප්‍රංශ පුවත් සේවය තමයි ලෝකයට ප්‍රවෘත්ති බෙදන වැඩෙන් සියයට 80 කට ම වගකියන්නේ. මේ කතාව ලේසි කරගන්න ඕන හින්දා අපි මේ අයට රොයිටර්ලා කියලා කියමු. අපේ රටවල් ඇතුළේ සිද්දවෙන දේවල් ගැන නම් ප්‍රවෘත්ති ලියන්නේ අපේ ම අය. ඒත් අපේ හපන්කම් මේ දේශසීමාවලින් එහාට යන්නේ නෑ. අපි ගැන ලෝකයට කියන්නේ රොයිටර්ලා. අනෙක් රටවල්වල වෙන දේවල් ගැන අපිට කියන්නෙත් රොයිටර්ලා. ඉතින් මේ කාරණයට විරුද්ධ ව තමයි මුලින් කියපු කලබැගෑනිය ඇතිවුනේ. ඒ කලබලේ ඉහළින් ම සාකච්ඡා කෙරුණේ කොළඹ දී. ඒ, 1976 නොබැදි රාජ්‍ය නායක සමුළුව පවත්වපු වෙලාවේ. ඉතින් ඒ කලබලය මුල්කරගෙන පත්කරපු මැක්බ්‍රයිඩ් කොමිසම 1981 දී වාර්තාවක් නිකුත්කළා. ඊට පස්සේ? ඊට පස්සේ මොකුත් නෑ.

අදටත් අර පරණ විදිහ ම තමයි. අන්තර්ජාලය තිබ්බත්, ෆේෂ්බුක් වගේ සමාජ ජාල සෙල්ලම් තිබුණත් ඒවා හරහා පැතිරෙන්නෙත් රොයිටර්ලා කියන දේවල් ම තමයි. ඉතින් අපි බාහිර ලෝකය ගැන දැනගන්නේ, තේරුම්ගන්නේ රොයිටර්ලා ගුලිය අඹරලා දෙන විදිහට තමයි. උදාහරණයක් කියමුකෝ. මේ ලෝකයේ වැඩියෙන් ම වායු දූෂණය තියෙන නගරය මොකක් ද කියලා මේ ලිපිය කියවන පාඨකයන්ට තමන්ගෙන් ම අහන්න පුළුවන්. අතිබහුතරයක් කියාවි චීනයේ පෙයි-චිං කියලා. මොකද රොයිටර්ලා ඒ ගැන දවල් රෑ නැතුව කියනවා. ඒත් වායු දූෂණය ගැන 2015 අවුරුද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්කරපු වාර්තාවෙන් පෙයි-චිං නගරයට දීලා තිබුණේ 59 වැනි තැන. ඒ වාර්තාවේ මුල් තැන දිනාගෙන තිබුණේ නවදිල්ලිය. ඒත් ඒ ගැන රොයිටර්ලා කියන්නේ නෑ. ඉතින් අපිට දැනගන්න විදිහකුත් නෑ.

චීනයයි ජපානයයි අතර සෑහෙන්න ආරවුල් තියෙනවා. තායිවානය පේන මානයේ තියෙන තියාඕ-යූ දූපත් සම්බන්ධ ආරවුලත් ඒ අතරින් ප්‍රධානයි. 2012 අවුරුද්දේ මේ කලබලේ බොහොම සද්දේට නැගලා ගියා. අපේ ආණ්ඩුවේ ඉංග්‍රීසි පත්තරේ පෙරලා පෙරලා ඒ කලබලය වාර්තාකරලා තියෙන හැටි මේ ලේඛකයා හෙව්වා. මොකද ඒ කාලේ තිබුණු ආණ්ඩුව චීනයත් එක්ක බොහොම ඇයි හොඳයිකම් පැවැත්වුවානේ. ඒත් ඒ පත්තරේ මේ ආරවුල ගැන පළකරපු හැම වාර්තාවක් ම ලබාගෙන තිබුණේ ප්‍රංශ පුවත් සේවයෙන්. ඒ අයගෙන් මිසක් ශින්-හුවා එකෙන් ප්‍රවෘත්ති ගන්නේ නෑ කියලා ගිවිසුමක්වත් තියෙනවා ද දන්නේ නෑනේ. ඉතින් ඒ ගැනත් මේ ලේඛකයා හෙව්වා. එහෙමත් නෑ. ශින්-හුවා එකෙන් ගත්ත ඒවාත් ඒ පත්තරේ පළකරලා තිබුණා. හැබැයි ඒ වෙන වෙන ප්‍රවෘත්ති. ඉතින් අපි තියාඕ-යූ දූපත් ආරවුල ගැන දැනගත්තේ රොයිටර්ලාගෙන්.

දැන් දැන් අපේ රටේ චීන කොළණියක් හදන බවට කතාවක් තියෙනවා. චීන්නු ආයෝජනය කරන්නේ අපේ රටේ විතරක් නෙවෙයිනේ. ඉතින් මේ වගේ ම කතා තව තව රටවල්වලත් පැතිරෙනවා. පැරැණි සේද මාවත් මුල් කරගෙන ආරම්භ කරලා තියෙන “මාවතක් හා තීරයක්” වැඩපිළිවෙලට ලෝකයේ රටවල් හා ප්‍රදේශ 65 ක් සම්බන්ධ කරගෙන තියෙනවා. පැරැණි මුහුදු සේද මාවතේ සන්ධිස්ථානයක් හින්දා අපේ රටත් මේ වැඩේට හවුල්. මේ වැඩේ ගැන රොයිටර්ලා කියන දේවල් ඇහුවොත් නම් පෙනෙයි චීන්නු ලෝකය පුරා ම යටත්විජිත හදන බවක්. ඒත් ඒක ද මේ වෙන්නේ?

දැනට ලෝකයේ වැඩි ම විදේශ විනිමය සංචිත තියෙන්නේ චීනයට. ඒ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන තුනකටත් – ඒ කියන්නේ ඩොලර් බිලියන තුන්දාහකටත් වඩා වැඩියි. මේ විදිහේ සල්ලියක් ලෝකයේ වෙන රටකට නෑ. රටේ දළ ජාතික නිෂ්පාදනය වගේ දෙගුණයකටත් වඩා – සියයට 250 කටත් වඩා; ජපාන ආණ්ඩුව ණය වෙලා. ජපානය කියන්නේ ලෝකයේ තුන්වැනියාට දළ ජාතික නිෂ්පාදිතය තියෙන රටනේ. ඉතින් ඒ ආණ්ඩුවේ ණය බර ගැන අපිට හිතාගන්න පුළුවන්. ඉතින් හුඟක් දියුණු රටක් වුනාට ලෝකේ වටේ සල්ලි ආයෝජනය කරන්න පුළුවන්කමක් ජපන් ආණ්ඩුවට නෑ. ඉන්දියාව කියන රටේ රාජ්‍ය ණය නම් එච්චර ලොකු නෑ. දළ ජාතික නිෂ්පාදියෙන් සියයට 70 ක් විතර ඇති. ඒත් චීනයේ තරමට ම ජනගහනයක් ඒ රටේ ඉන්නවානේ. ඒ වුනාට, ඒ රටේ දළ ජාතික නිෂ්පාදිතය චීනයේ ප්‍රමාණයෙන් පහෙන් පංගුවක් විතරයි. ඉතින් ලොකුවට සද්ද බද්ද කළාට මේ අය ළඟ එහෙමකට සල්ලියක් නෑ.

ඉතින් ඉන්දියාවේ තියෙනවා වගේ අට ගුණයක් විතර විදේශ විනිමය සංචිත තියෙන චීන්නුන්ට ඕන ඒ සල්ලි කොහෙ හරි ආයෝජනය කරන්න. වැරැදිලා හරි අපි ළඟ ලොකු මුදලක් ඉතුරුවුනොත් අපි වුනත් කරන්නේ ඒ සල්ලි පැටව් ගස්සවන විදිහක් හොයන එකනේ. අපේ සමහරු සක්විතිලා පස්සෙ පවා ගියානේ. “මාවතක් හා තීරයක්” වැඩේ හරහා කෙරෙන්නේ මේ ආයෝජන වැඩේ. මේ විදිහට කරන ආයෝජනවලින් අපේ රටට ලැබුණු ලොකු ම දේ තමයි කොළඹ වරාය නගරය හදන වැඩේ. ඒකට ආයෝජනය කරන්නේ අර කියපු ඩොලර් බිලියන තුන්දාහකටත් වැඩි සංචිතවලින් ඩොලර් බිලියන 1.5 ක් විතර මුදලක්. ඒ කියන්නේ චීන්නු ළඟ තියෙන විදේශ විනිමය සංචිතවලින් කොළඹ වරාය නගරය වගේ ඒවා දෙදාහක් විතර හදන්න පුළුවන්!

මේ විදිහට ආයෝජනය කරන්න හදන සල්ලිවලින් අපිට වැඩක් ගන්න බැරි ද? ඇයි අපි චීන කොළණි කතා කිය කියා ඉන්නේ? පකිස්ථානයේ හදන ආර්ථික මාවත කියන ව්‍යාපෘතියට චීන්නු ආයෝජනය කරලා තියෙන මුදල ඩොලර් බිලියන 46 ක්. ඒ කියන්නේ, වරාය නගර තිහක් හදනවා තරම් ලොකු මුදලක්. ඒත් පකිස්ථානයේ ඇතුළේ වැඩවලට ඇඟිලි ගහන්න අල්ලපු වත්තේ ලොක්කාට බෑ. ජපානය වුනත් ඒ ගැන මොකුත් කියන්නේ නෑ. ඉතින් පකිස්ථානයේ චීන කොළණියක් හදනවා කියලා කියන කෙනෙක් නෑ. ඒත් අපේ රටේ එහෙම නෙවෙයි. අපේ රටට ආවොත් එළුවෙක්ට වුනත් රැවුල කපාගෙන යන්න පුළුවන්.

වැදගත් ම කාරණේ තමයි මේ ආයෝජන සෙල්ලම්වලට පිටපත් ලියන්නේ කවුද කියන එක. කවුද මේවාට ඕන කරන සැලසුම් හදන්න ඕන? චීන්නු ද? නෑ! අපේ රටට ඕන ආයෝජන මොනවා ද කියලා තීරණයකරන්න ඕන අපි. ගෙයක් හදන්න සල්ලි නැතිනම් අපි බැංකුවලින් ණය ගන්නවානේ. හැබැයි ගෙදර පැලෑන අදින්නේ බැංකුවෙන් නෙවෙයි. ඒක කරන්න ඕන අපි. කලින් ලිපියෙන් කියපු විදිහට මහවැලිය හදන්න අපිට සැලසුමක් තිබුණා. ඒක කරන්න ඒ කාලේ හැටියට නම් සමහර රටවල් ආධාර උපකාර කළා. එහෙම කවුරුවත් සල්ලි දෙන්නේ නැති වුනා ම අපි ණය ඇරගෙන ඒ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. සැලැස්ම අපේ – සල්ලි ඒ අය ගේ.

හැබැයි ආයෝජනය කරනවා කියලා කියන්නේ පිනට සල්ලි දෙනවා කියන එක නෙවෙයිනේ. අපි වුනත් සල්ලියක් යටකරන්නේ ප්‍රතිලාභයක් බලාගෙන. ඉතින් මේ “මාවතක් සහ තීරයක්” වැඩපිළිවෙල චීන්නු හඳුන්වන්නේ වින්-වින් වැඩක් කියලා. ඒ කියන්නේ, මේ සල්ලිවලින් අපිටත් යමක් ලැබෙනවා. ඒ අයටත් යමක් ලැබෙනවා.

දැන් බලපු බලපු තැන චීන්නු ඉන්නවානේ කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක ඇත්ත. මොකද ඒ බව අපිට පේනවානේ. මේ ළඟ දී එක හාදයෙක් කසිප්පු පෙරලාත් අහුවුනේ. හැබැයි අපිට පේන්නේ නැති කට්ටියකුත් මේ රටේ ඉන්නවා. ඒ, ඉන්දියාවෙන් ඇවිල්ලා අපේ රටේ වැඩකරන අය. ඒ ප්‍රමාණය ලක්‍ෂ දෙකකටත් වඩා වැඩියි කියලයි කියන්නේ. අක්කරපත්තුව දිහා කුඹුරු කපන වැඩ පවා කරන්නේ ඒ මිනිස්සු. එක දවසක් මේ ලේඛකයා ගිය බස් එකට ගිරිඋල්ල නගරයෙන් ටිකක් අමුතු පෙනුමක් තියෙන හාදයෙක් ගොඩවුනා. මේ ලේඛකයා ළඟමයි වාඩිවුනේ. ඉතින් ටිකක් කතාකරලා බැලුවා. මනුස්සයා ඒ පැත්තේ කඩේක වැඩකරන කෙනෙක්. කැඩිච්ච සිංහල කතාකරන්නත් පුළුවන්. ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාව කියන රටේ හර්යානා ප්‍රාන්තයට අයිති ෆරීදාභාද් නගරයෙන්!

ඉතින් අපි වදවෙන්න ඕන අපේ එකෙක් නෙවෙයි කියලා ඇහැට පේන අය ගැන ද? එහෙම නැතිනම් අපෙන් වෙනකරලා අඳුරගන්න බැරි අය ගැන ද? අපි කොහොමත් ඔය කොළණි ප්‍රශ්න විසඳගත්ත ජාතියක්නේ. ඉතිහාසය පුරා ම අපි ඒ වැඩේ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා දකින දකින තැන චීන්නු වැඩකරනවා දැක්කා කියලා බයවෙන්න ඕනකමක් අපිට නෑ. අපි බලන්න ඕන අපේ ප්‍රශ්න විසඳගන්න විදිහක් ගැන. ඒ වැඩවලට මේ “මාවතක් හා තීරයක්” වැඩෙන් උදව්වක් ගන්න පුළුවන් ද කියන එක ගැන. එහෙම පුළුවන් නම් අපි ඒකට පැකිළෙන්න ඕන නෑ. චීන කොළණි කතාව රොයිටර්ලා දිගට ම කියයි. ඉතින් අපිට මොකද?

දැන් අපේ කවුරු හරි අහන්න පුළුවන් මේක ලියන්න කීයක් හම්බවුනා ද කියලා. ඒක ගැනත් හොයලා බලන එක වටිනවා.

වරුණ චන්ද්‍රකීර්ති ෴

One Response to “රොයිටර් ගේ චීන කොළණිය”

  1. Senerath Says:

    There is a area called Cheena Koratuwa in Galle, a scary place.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress