ශ්‍රී ලංකාව පසුකර පැමිනි සහ ඉදිරියේ දිග හැරෙන ගමන් මග
Posted on May 20th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

සයිටම් විරෝධී උද්ඝෝෂණය සඳහා විහාර මහා දේවී උද්‍යානයට එක්රැස් වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට යලිත් සුපුරුදු ප්‍රහාරය එල්ල විය. මේ පිලිබඳ රජයේ මැති ඇමතිවරු තම අදහස් ඉදිරිපත් කලේ මෙසේය. 

‘උසාවි නියෝගයකින් තහනම් කරල තියෙද්දි මේ වගේ විරෝධතා කරන්න ආවම පොලිසියට ‘අවම බලය’ යොදවන්න වෙනව’

‘ජනතාව තම ජන ජීවියතට බාධා කරන විරෝධතාකරුවන්ට වෙඩි තියන්න කියල ඉල්ලද්දි මේ ආණ්ඩුව ඉවසනව’ (ඒ කියන්නේ මුන්ට වෙඩි තියල දමල ඉවරයක් කරන්න තිබුන නම් කියන එකද?)

මේ සම්බන්ධව සමාජ වෙබ් අඩවිවල හුවමාරු වන විවිධ අදහස් අතර වූ, වහාම සිතට වැදෙන එක් කියමනක් දුටිමි. එහි තිබුනේ ‘රාජපක්ෂ යුගයේ මර්ධනය, රනිල් – මෛත්‍රී රජය යටතේත් දිගටම’ වැනි අදහසකි. එනම් හරියට මර්ධනය දියත් වුනේ රාජපක්ෂ රජය යටතේ පමනක් වැනිය. මට හිතෙන හැටියට මේ පාඨය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් වෙතිනි. මෙයින් ගම්‍ය වන්නේ ඔවුන් රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ සිටින බබාලාගෙන් මෙවන් දෙයක් අපේක්ෂා නොකල බවද? වෙන්නටත් පුලුවන. මන්ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීම සඳහා ඔවුන්ද සෑහෙන කාර්යභාරයක් ඉටු කලහ. මෛත්‍රී සන්ධාන ගත වුනේ රනිල් ප්‍රමුඛ එජාපය සමග බවද ඔවුන් දැන සිටියහ. මෛත්‍රී ජනාධිපති වූ විගස සිදුවන දේද ඔවුන් නොදැන සිටියා නොවේ.එක්තරා කාලයකදී රනිල්ලා තමන්ට සැලකූ හැටි මොවුන්ට අමතක වීම ගැන නම් සමාව දිය නොහැකිය. දැන් ඉතින් වෙන කරන්නට දෙයක් නැති නිසා ජවිපෙ විසින් වැදගත් කරුණු දෙකක් සිහිපත් කල යුතුය. පලමු දෙය නම් රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ සිටින පිරිසෙන් බාගයක්ම වාගේ, ජනාධිපතිද ඇතුලුව, රාජපක්ෂ ආණ්ඩුවේම කොටසක්ය යන කරුණයි. දෙවැන්න රනිල්ලා හෝ සවිස්තරාත්මකව කිවහොත් එක්සත් ජාතික පක්ෂය පමනක් ආණ්ඩු කරවූ යුගයන්හිදී මොන මොනවා සිදුවීද යන්නයි. 

මෙසේ ඉතිහාසය පුරා යම් යම් තැන්වල සටහන් වූ, සන්ධිස්ථාන ගතවූ විරෝධතාවන් සහ ඒවා සමග ඈඳුනු දේශපාලන පක්ෂයන් පිලිබඳ සිහිපත් කරයි නම් නිකම්ම රාජපක්ෂලා පමනක් පෝරකයට යැවීමට තැත් කිරීම එතරම් සාධාරණ නැතැයි ඔවුන්ට වටහා ගත හැකි විය යුතුය. මෙතැනදී වරද කවුරුන් කලත් වරදක්මය. එක කොටසක් වැරදි කල පමනින් ‘අපටත් ඒ දෙයම කල හැකිය’ යන මතයේ සිටීම වැරදිය. ඒත් ජනතා විමුක්ති පෙරමුණ වරින් වර මේ එක් එක් කොටස් සමග පවත්වන ඇයි හොඳයිකම් නිසා අදාල පරිදි ඉතිහාසයේ ඒ ඒ කොටස් කපා හැර දමයි නම් එහි අයහපත් ප්‍රතිඵල බලපාන්නේ තමන්ටම බව සිහියේ තබා ගන්නේ නම් මැනවි. මේ ප්‍රතිපත්ති ඔස්සේ කටයුතු කරන ගමන් ‘උනුත් එකයි මුනුත් එකයි’ කියා තමන්ට බලය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කෙසේද? එයට උන් සහ මුන් යන දෙගොල්ලන්ගේම ඉතිහාසය ජනතාවට මෙන්ම ‘තමන්ට’ද මතක තිබිය යුතුය. 

ඉතිහාසය පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ විරෝධතාවන් වරින් වර පුපුරා යනුයේ විවිධ මුහුණුවරිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව 1818 දී සහ 1848 දී පැන නැගුනු කැරළි කෝලාහල හැරුනවිට නිදහස් ශ්‍රී ලංකාවේ පළමු මහජන විරෝධතාව ඉතිහාසයට එක් වන්නේ 1953 හර්තාලය නමින්ය. 

මේ මහජන විරෝධතාවන් වැදගත් වන්නේ එසේ විරෝධය පෑමට හේතු වූ කාරණාත්, ඒ කාරණා පැන නැගුනේ කවුරුන් විසින් කෙසේ ගත්  තීන්දු තීරණ නිසාද යන්නත් මෙන්ම, ඒ ඒ තීරකයන් මේ විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දක්වන ලද ස්වරූපයත් නිසාය. ජනතාව බහුතරයක් යම් දෙයකට විරෝධතාවයක් දක්වයි නම් එතැන ජනාවට අහිතකර වන යම් හේතුවක්ද ඇත. එබැවින් එම විරෝධතා රැලි, මර්ධනය තුලින් හෝ එකඟතාවයන් තුලින් තුනී වී ගියා නම් එ්වාට හේතුවූ කරුණු සමථයකට පත් වුනාද, තිරසාර විසඳුමක් ඊට ලැබුනිද, නැතිනම් කිසිවක් සිදු වුනේ නැත්ද යන්නත් සොයා බැලිය යුතු කරුණුය.

විරෝධතාවන්හි ඉතිහාසය ගැන සිහිපත් කිරීමේදී මුලින්ම මතකයට නැගෙන්නේ 1953 අගෝස්තු මස 12 සහ 13 දෙදින තුල සිදුවූ හර්තාලයයි. අද රාජපක්ෂ පතුරු ගැසුවත් ඒ කාලයේ ඔහු වයස 8 ක් වත් නොවූ දරුවෙකු බව සිහි තබා ගත යුතුය. ඔහුගේ පියා නම් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු වූ අතර ශ්‍රීලනිපය හර්තාලයට එක් නූනත් ඊට හේතු පාදක වූ ප්‍රශ්නවලට විරෝධය පාමින් එවකට පාර්ලිමේන්තුව ඉදිරිපිට ගෝල්ෆේස් පිටියේ පැවැත්වූ මහා ජන රැළියේ කොටස්කරුවෙකුව සිටියේය. 

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ඩී. එස්. සේනානායක මහතාය. 1952 දී ඔහු හදිසියේ මරණයට පත් වූ පසු පක්ෂයේ නායකත්වය වෙනුවෙන් බල අරගලයක් ඇතිවිය. ඒ ඩී. එස්ගේ පුත්‍රයා වූ ඩඩ්ලි සහ ඥාති පුත්‍රයෙකු වූ සර් ජෝන් කොතලාවල අතරය. නමුත් අගමැති තනතුරට පත් වූයේ ඩඩ්ලි ය. එවකට ශ්‍රී ලංකාවේ නොහොත් සිලෝන් හි අග්‍රාණ්ඩුකාර වරයා වූ සෝල්බරි සාමි මෙතැනදී ඩඩ්ලිගේ පැත්ත ගත් බවටද චෝදනාවක් එල්ල විය. ඩඩ්ලි රජයේ මුදල් අමාත්‍යවරයා වූ ජේ. ආර්. ජයවර්ධන 1952 දී සිදුවූ කොරියානු යුද්ධය පිට දමමින් එවර අයවැයෙන්, ජනතාවට අහිතකර වූ තීන්දු රැසක් ගත්තේය. ඒ අතර සහල් සහනාධාරය කපා හැරීම, සහල් සේරුවක මිළ තුන් ගුණයකන් වැඩි කිරීම, පාසල් දරුවන්ට නොමිලයේ සපයමින් තිබූ දිවා ආහාරය කපා හැරීම කැපී පෙනුනි. ප්‍රවාහන ගාස්තුද ඉහල ගියේය. මේ අයවැය තුල තදබල පහරක් වැදුනේ පහල මධ්‍යම පාංතික සහ දිළිඳු ජනතාවටය. එකලද එජාපයේ මේ ක්‍රියාවන් තුල ධනපති සහ ඉහල මධ්‍යම පාංතිකයන්ට සිදු වූ දෙයක් නොවීය. එදා තිබූ දේශපාලන අර්බුද අනුව මේවාද මොන මොන විදියේ කුමන්ත්‍රණද කියා කවුරුන් දනිත්ද?

53 විරෝධතා රැළියට පාදක වූ කාරණා මෙසේ වුවත් හර්තාලය සඳහා තවත් හේතුවක් බල පෑවේය. එයද වැදගත් වන්නේ මේ දිනවල අප 2009 දී අවසන් වූ යුද්ධය සහ රණවිරුවන් ගැන කතා කරන බැවිනි. 

මහා බ්‍රිතාන්‍යය විසින් අපේ රට ආණ්ඩු කල සමයේ තමන් ඇරඹූ කෝපි, තේ සහ රබර් වගාවන්හි කම්කරු සේවය සඳහා ඔවුන් දකුණු ඉන්දියාවෙන් ජනතාව රැගෙන ආහ. මේ වතු වැවිලි ක්ෂේත්‍රයේ සිටින දෙමළ ජනගහනය 1948 වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 11.7% ක් එනම් 780,000 ක් දක්වා වර්ධනය විය. 1948 දී බලයට පත් වූ රජයට අවශ්‍ය වූයේ මේ පිරිස රටින් ඉවත් කිරීමටයි. මේ සඳහා රජය නො. 18 දරන පුරවැසි පනත බලයට රැගෙන ආවේය. ඊට අනුව යමෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අවශ්‍ය නම් තමන්ගේ පියාද ශ්‍රී ලංකාවේ උපත ලද බව ඔප්පු කල යුතුය. මේ ඉන්දියානු සම්භවය ඇති ජනතාව මේ වන විට තෙවන පරම්පරාව වුවත් ඔවුන්ට ඒ බවක් ඔප්පු කරන්නට නොහැකි වූයේ මේ වැසියන්ගෙන් වැඩි දෙනෙක් දරු උපත් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයකට හුරුකර නොතිබුනු නිසාය. ඒ අනුව පුරවැසි බව ලබා ගැන්මට සුදුසුකම් ලද්දේ 1% ක පමන පිරිසක් පමනි. 53 හර්තාලයට උතුරු නැගෙනහිර ජනතාව එකතු වූයේ මේ කාරණය සලකා බලමිනි. මෙය ඉස්මතුකලේ වාමවාදී පක්ෂයක් වූ ලංකා සම සමාජ පක්ෂයයි. එය සාධාරණය. මන්ද ඒ වන විට ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය පූර්ණ වශයෙන්ම රැඳී තිබුනේ තේ, පොල් සහ රබර් යන වැවිලි මතය. මේ වැවිලි ක්ෂේත්‍රයේ වැඩිම බරට කර ගසා සිටියේ, පරම්පරා තුනක් තිස්සේ මේ වතු වැවිලිවල තම දහඩිය කඳුලු වැගුරූ මේ ජනතාවයි. ඉතින් වැඩ කරන ජනතාව වෙනුවෙන් හඬ නැඟූ වමේ පක්ෂවල විෂය ක්ෂේත්‍රයට මේ ප්‍රශ්නයද ඇතුලත් වීම අනිවාර්යය. 

මෙය අපේ ප්‍රශ්නයක් බවට පත් වූවත් සැබැවින්ම මේ ප්‍රශ්නය ඇතිකලේ සුද්දන්ය. මේ අසරණ මිනිසුන්ගෙන් මරව මරවා වැඩ ගත්තා මිස දරු උපතක් ලියාපදිංචි කරන්නට තරම්වත් අධ්‍යාපනයක් ලබා ගැන්මේ අවස්ථාවක් නොසැලසුවේ ඔවුන්ය. ඒ කෙසේ වුවත් මේ තත්වය දෙස සාධාරණව බැලීමේ වගකීම පැවරුනේ එවකට සිටි සිංහල පාලකයන්ට නිසා, සුද්දන් ඉදිරියේ සාමාන්‍ය ප්‍රශ්නයක් වූ මෙය අපට භාරදී ගිය පසු ජාතික ප්‍රශ්නයක් බවට පත් විය.

කෙසේ වුවද 53 හර්තාලය නිසා රජය විසින් හදිසි නීතිය සහ යුද නීතිය රට තුල ප්‍රකාශයට පත්කල අතර රටේ හතර දිග් භාගයේ පැන නැගුන කලබල නිසා 10 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගියහ. ඒ හේතුවෙන් අගමැති ඩඩ්ලි සේනානායකට ඉල්ලා අස් වන්නට සිදු වූ තර සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍ය තනතුර භාර ගත්තේය. මෙතැනදී මතුව ආයේ මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධනගේ හිතුවක්කාර ක්‍රියාකලාපය සහ දෙමළ ජනතාවද ඈඳුනු පුරවැසි පනතේ වූ ගැටලුය. පසුගිය කාලය පුරාම වත්මන් මුදල් ඇමති රවි කරුණානායකගේ බදු ප්‍රතිපත්ති නිසා ජනතාව පාරට බැස්ස විටද එහි මූලික වරද රාජපක්ෂ රජය පිට පටවන්නට රජය ක්‍රියා කලේය.

මේවා එකක්වත් එකිනෙකාට වැරදි පටවමින් විසඳා ගත නොහැකිවන අතර එදා සිටම අප රටේ පාලක පන්තියට පොදු ජනතාව ගැන දැනීමක් සහ හැඟීමක් නොමැතිකම නිසා සිදුවූ සහ සිදු වන දේය.

ඊලඟට පුරවැසි පනත ඔස්සේ ඇදී ආ සිංහල දෙමළ ප්‍රශ්නය තුල, සිංහලයන් තම නිජ භූමිය තුල පදිංචි කරනවාය කියමින් ඩී එස් ගෙනගිය ගොවි ජනපද ව්‍යාපාරය විවේචනය කරමින් කරලියට ආ තමිල් අරසු කච්චි නායක චෙල්වනායගම්ලාගේ චෝදනා 1956 දී බණ්ඩාරනායක රජය විසින් සිංහලය නිළ භාෂාව බවට පත් කිරීම තුල උග්‍ර විය. එතැනදී ඔවුන් අගමැතිවරයා සමග එලැඹුන සුප්‍රකට බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඔබට අන්තර්ජාලය ඔස්සේ කියවිය හැකිය. ෆෙඩරල් පාලනයක්ද, දෙමළ බසට සම තැනද, ජනපද කරනයද මෙහි අඩංගු වූ ප්‍රධාන කරුණු තුනයි. පසුව අගමැතිවරයා සහ චෙල්වනාගම් අතර සිදුවූ සාකච්ඡා තුලින් ඔවුහු යම් එකඟතාවනට එලඹුනහ. මෙතැනදී දෙමළ භාෂාව, රාජ්‍ය භාෂාවක් ලෙසත් උතුරු නැගෙනහිර පරිපාලන භාෂාව ලෙසත් පිලිගැනීමට එකඟවීම සාධාරණය. නමුත් ජනපදකරණයේදී ඔවුන් ඉදිරිපත්කල කරුණු මඳක් පරස්පර විරෝධීය. ඔවුන්ගේ යෝජනාවල තිබූ ඉඩම් නොමැති පුද්ගලයන්ට ජනපද ඉඩම් ලබා දෙනවිට ප්‍රදේශයේ පදිංචිකරුවනට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය යන්න වටහා ගත හැකිය. නමුත් ජනපද ඉඩම් නිකුත් කරනවිට ප්‍රදේශයෙන් පිටත සිටින ඉඩම් නොමැති අය ගැන සලකා බැලීමේදීද දෙමළ ජාතිකයන්ට ප්‍රමුඛස්ථානය දිය යුතුය යන්න අසාධාරණ විය. එය තම වර්ගයාට රටේ වෙනම කොටසක් වෙන්කර ගත යුතුය යන බිජු බඩේ තබාගෙන කල ජාතිවාදී සහ දේශපාලනික වූ ඉල්ලීමකි. ඔවුහු එසේ ඉල්ලන ගමන්ම ඉන්දීය සම්භවයක් ඇති ජනයා උඩරට පදිංචි කිරීම ගැනද බලපෑම් කලෝය. මෙය පරස්පර විරෝධී ඉල්ලීම්ය. 

කෙසේ වුවද එවර 1958 දී බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව පාරට බැස්සේ ජේ. ආර්. ජයවර්ධන රජයයි. 

මේ බරපතල විරෝධතාවන්හි ප්‍රතිඵල සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම දශක ගණනාවක් තිස්සේ විඳෙව්වේ මේ ප්‍රශ්නවල ඇරඹුම හා ප්‍රශ්න නිර්මාණකරුවන්ගේ අරමුණ වටහා නොගෙන එහි අග කෙලවරේ පමනක් එල්ලෙන්නට ගිය නිසාය. වතු දෙමළ ජනතාවගේ ප්‍රශ්නයත් භාෂා ප්‍රශ්නයත් මුලට ඇදගත් ද්‍රවිඪ නායකයන් කරන්නට ගියේද නිදහසින් පසු ඉන්දියාවේ සිදු වූ ක්‍රියාවලියමය. ඔවුන් මහා බ්‍රිතාන්‍යය වෙතින් නිදහස ලබා ගන්නට එකා වන්ව සටන් කලහ. මේ සටනට ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවිය හැකි සුද්දාගේ ඇවතුම් පැවතුම් දන්නා පිරිසක් ඕනෑ විය. නමුත් නිදහස ලබාගත් පසුව මේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් වර්ගයන් නියෝජනය කල ධනපති පෙලැන්තියේ අයට තමන් අතර එකෙක් පමනක් රජ කරවා ඒ රජාට යටත්ව ඉන්නට අවශ්‍යතාවයක් නොතිබුනි. සැබැවින්ම අප රටේ තිබුනේ මේ පෙලැන්ති පාලනයයි. නමුත් අද සිදුවන දේට ගිරුවාපත්තුවේ වලව් පෙලැන්තිය පමනක් වගකිව යුතු යයි කිසිවකු කිව හොත් එය සත්‍යයක් නොවේ.   තමන්ට රජ කරන්නට වපසරියක් කඩා ගන්නට නම් පහසුම මාර්ගය ජන වාර්ගිකත්වය බව ඔවුහු දැන සිටියහ.

ඉපදී මිය යන තෙක් කාලය සාමකාමීව ගත කිරීමේ අවශ්‍යතාවය ඇති සාමාන්‍ය ජනතාවට ඒ ඒ කාල වකවානුවල පත්වන පාලකයන් ඒ පසුබිම සලසා දුන්නා නම් මේ මේ ප්‍රශ්න මෙතරම් දුරදිග යන්නේ නැත. මේ ප්‍රශ්න තුල සැමදාම ජනතාව දුක් වින්දා මිසෙක පාලකයන්ට අත්වූ දුකක් නැත. 2009 දී යුද්ධයේ අවසන් අදියරේදී හෙලිදරව්වූ තොරතුරු අනුව එල්ටීටීඊ නායකයන් පවා මෙයින් නොමිදුනේ වෙයි. මන්ද ඔවුන්ද දකුණු ආසියාතික දේශපාලන ෆැක්ටරියේම නිෂ්පාදන වන බැවිනි. 

එදා මෙදාතුර සිදු වූ අරගල අතර 1971 දී සිරිමා බණ්ඩාරනායක රජයට එරෙහිව සිදු වූ තරුණ නැගිටීම (තෙැනදී 20,00 කපමන ජනතාවකට දිවි අහිමි විය), 1980 දී රු. 300 ක වැටුප් වර්ධකයක් ඉල්ලමින් ජේ ආර් ජයවර්ධන රජයට එරෙහිව කල දීප ව්‍යප්ත වැඩ වර්ජනය ( මෙහිදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ  43,000 ක ට අධික පිරිසකට රැකියා අහිමිව ගියේය.), 1987-90 යුගයේ ජීවිත 60,000ක ට වඩා වනසමින් ඇතිවූ තරුණ නැගිටීම 1987දී මැයි රැලි පැවැත්වීම තහනම් කිරීම නිසා ඇතිවූ තත්වයන් ආදිය ප්‍රධානය. ඒ හැර සියලුම රාජ්‍ය නායකයන්ගේ පාලන සමයන්හිදී සරසවි තුල සහ ජන සමාජය තුල නැගුනු උද්ඝෝෂණ සහ විරෝධතා එමටය. එම ක්‍රියාමාර්ගයන්ට බල පෑ හේතු විසඳූ ක්‍රම සහ විධ විශ්ලේෂණය කලහොත් රාජපක්ෂගේ පමනක් නොව කාගෙ කාගෙත් කිල්ලෝටවල තිබෙන හුණු එලියට පෙනෙනු ඇත.

ප්‍රධානම දේ අප ඉතිහාසය ඉගෙන ගත යුතුය. ඒ ඈත ඉතිහාසය නොව මෑත ඉතිහාසයයි. ඒ දෙස විග්‍රහශීලීව බලමින් පසුගිය රජයත් දැන් තිබෙන රජයත් පමනක් සන්සන්දනය කිරීමේ පුරුද්ද අත හැරිය යුතු අතර මීට වඩා දුර දිග බලා වැඩ කල යුතු වෙමු. අප තවදුරටත් කාගේ හෝ අතේ නැටවෙන රූකඩ නොවිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress