ලේඛනයේ නැති හරක්!
Posted on November 5th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

හිල්බට් ගැන කියලා මේ කතාව කියන්නම්.

මේ ලේඛකයා විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තේ ගණිතය, සංඛ්‍යානය වගේ විෂයයන්. එහෙම ඉගෙනගත්තා කියලා කිව්වාට දන්න මහ ගණිතයක් නෑ. විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ආවා කියන්නේ ගෝනි එළුවා බැලුවා වගේ වැඩක්නේ. ඕවාට නොගිය අයට නම් ඒක මහා වික්‍රමයක් වගේ පේනවා ඇති. ඉතින් ඇත්ත නොකියා ඉන්න එක තමයි වඩා හොඳ. ඒ හින්දා දැන් හිල්බට් ගැන විතරක් කියන්නම්.

විශ්වවිද්‍යාලයට ගිය දෙවැනි දවසේ මේ ලේඛකයා දේශනයක් අහන්න ගියා. ඒ ගණිත විශ්ලේෂණය ගැන දේශනයක්. දේශනය කරපු මහාචාර්යතුමා තමන් උගන්වන විෂයය ගැන අපිට හඳුන්වලා දුන්නා. ඒ විෂයය ඉගෙනගැනීමේ ප්‍රයෝජන ගැනත් කියලා දුන්නා. ඊට පස්සේ මහාචාර්යතුමා හිල්බට් ගැන කතාව කිව්වා.

හිල්බට් කියලා ගණිතඥයෙක් හිටියාලු. ඒ හාදයා ඉන්න කාලයේ ගණිතඥයෝ අපරිමිත ගාණකුත් මේ ලෝකයේ ඉඳලා තියෙනවා. ඉතින් හිල්බට්ට ඕනවෙලා තියෙනවා මේ ගණිතඥයෝ හැමෝ ම එක තැනකට කැඳවලා සම්මේලනයක් තියන්න. ඉතින් හිල්බට් කරලා තියෙන්නේ ඒ ගණිතඥයන්ට සම්මේලනයට එන්න කියලා ආරාධනා කරන එක. ඒ කට්ටිය ආවා ම නවතින්න තැනකුත් දෙන්න එපායෑ. ඉතින් කාමර අපරිමිත ගණනක් තියෙන හෝටලයකුත් හිල්බට් හදවලා තියෙනවා. කොහොම හරි වැඩ ටික කරගත්තාට පස්සේ ගණිතඥයෝ ටික ඇවිල්ලා.

ඉතින් මුලින් ම කරන්න ඕන වැඩේ ඒ යක්කු ටික හෝටලයට යවන එකනේ. කාමර හැම එකක් ම එක, දෙක, තුන කියන විදිහට අංක යොදලා නම්කරලා තියෙනවා. ගණිතඥයන්ටත් එක, දෙක, තුන කියන විදිහට අංක දීලා තියෙනවා. ඊට පස්සේ හිල්බට් කරලා තියෙන්නේ තමන් ගේ අංකයට අදාළ කාමරයට යන්න කියලා ගණිතඥයන්ට කියන එක. ඉතින් අංක එක ලබිච්ච හාදයා අංක එකේ කාමරයට ගිහිල්ලා. අංක දෙක ලැබිච්ච හාදයා අංක දෙකේ කාමරයට ගිහිල්ලා. හැමෝ ම මේ විදිහට තම තමන්ට අදාළ කාමරවලට ගිහිල්ලා.

ඒත් පොඩි අවුලක් වෙලා. ඒ මොකක්ද දන්නවා ද? හිල්බට්ට කාමරයක් නෑ!

දැන් මේ කතාව කියලා අපේ මහාචාර්යතුමා අපෙන් අහනවා හිල්බට් මේ අවුල විසඳගත්තේ කොහොම ද කියලා. කොල්ලෝ, කෙල්ලෝ එක එක උත්තර දෙනවා. ඒත් මේ ලේඛකයාට මේක මහා විකාරයක්. ගණිතඥයෝ අපරිමිත ගණනකට ආරාධනා කරලා ඉවර කළේ කොහොම ද? කාමර අපරිමිත ගණනක් තියෙන හෝටලයක් හදලා ඉවර කළේ කොහොම ද?” කියලා තමන්ට හිතිච්ච දේ මේ ලේඛකයා මහාචාර්යතුමාට කිව්වා. අන්න හරි පුතාට විතරයි තේරුණේ” කියලා මහාචාර්යතුමා උත්තර දුන්නා. එහෙම කියපු මහාචාර්යතුමා තමන් උගන්නන විෂයයේ අයන්න, ආයන්න අපිට කියලා දෙන්න පටන්ගත්තා. ඒත් ටික වෙලාවකින් ඒ වැඩේ නවත්තපු එතුමා ආයෙත් හිල්බට් ගැන කතාව පටන්ගත්තා. ඒ, තමන් අහපු ප්‍රශ්නයට අදාළ තමන් ගේ ම උත්තරයක් එතුමා ළඟ තිබුණ හින්දා.

මම අහපු ප්‍රශ්නයට මෙහෙම උත්තර දෙන්න පුළුවන්. හිල්බට් අර ගණිතඥයන්ට කියනවා තමන් ගේ අංකයට එකක් එකතු කරගන්න කියලා. එතකොට අංක එක තිබුණු ගණිතඥයා ගේ දැන් අංකය දෙක. අංක දෙක තිබුණු කෙනා ගේ දැන් අංකය තුන. මේ විදිහට හැමෝ ගේ ම අංක එකකින් වැඩි වෙනවා. ඊට පස්සේ ඒ අංකයට අදාළ කාමරයට යන්න කියලා හිල්බට් ගණිතඥයන්ට කියනවා. එහෙම වුනා ම, අංක එකේ කාමරය හිස්වෙනවා. හිල්බට් ඒ කාමරයට යනවා.”

මෙන්න මේ වගේ මහාචාර්යවරුන්ගෙනුත් ගණිතය ඉගෙනගන්න මේ ලේඛකයාට සිද්දවුනා. පස්සේ කාලෙක අපේ ඒ මහාචාර්යතුමා ඇමැති, අගමැති, ජනාධිපති උපදේශක තනතුරුවලිනුත් පිදුම් ලැබුවා. ඉතින් එතුමා අපරිමිත වැඩ කොටසක් මේ රටට කරලා දෙන්නත් ඇති. ඒකනේ අපේ රට මේ විදිහට දියුණුවෙන් දියුණුවට ගිහිල්ලා තියෙන්නේ.

ගණිතඥයෝ කොච්චර ඉන්නවා ද කියන එක ගැන නම් අදහසක් මේ ලේඛකයාට නෑ. මොකද ගණිතඥයා කියන සත්ත්වයා හරියට අර්ථදක්වන්න අමාරුයිනේ. අපේ ගමේ කේන්දර බලන මනුස්සයාත් එක්තරා ආකාරයක ගණිතඥයෙක්. ඉස්සර මේ විදිහට වෙලාව බලන අයට කිව්වෙත් ගණිතයා කියලානේ. කොත්මලේ ගණිතයා, දොඩම්පෙ ගණිතයා වගේ අය ගැන අපි අහලාත් තියෙනවානේ. ඉතින් එක එක විදිහේ විච්චූර්ණ ගණිතඥයෝ මේ ලෝකයේ ඉන්න පුළුවන්. කොහොම වුනත් අපි හැම එකෙක් ම ගණිතඥයෙක් විදිහට ගත්තත් අද ලෝකයේ ඉන්න පුළුවන් ගණිතඥයෝ ගණන කෝටි 750 ක්, 760 ක් විතර ඇති. අපරිමිත ගාණක් ගණිතඥයෝ හොයාගන්න එක නම් හීනෙන්වත් කරන්න බැරිවෙයි. මොකද අපිට යමක් ගණන්කරලා ඉවරකරන්න පුළුවන් කියන එකේ අදහස ඒක පරිමිතයි කියන එකනේ.

ගණිතඥයෙක් කියන්නේ මොන වගේ හාදයෙක්ට ද කියන එක අර්ථදක්වගන්න අමාරුවුනාට හරකෙක් කියන්නේ මොකෙක්ට ද කියන එක නම් අපිට ලේසියෙන් ම හිතාගන්න පුළුවන්. අපේ ගම්වල විතරක් නෙවෙයි කොළඹ පවා හරක් ඉන්නවා. උන්ට කකුල් හතරක් තියෙනවා. වලිගයක් තියෙනවා. සමහර එවුන්ට අං තියෙනවා. හැම එකෙක් ම වගේ උම්බෑ කියලා කෑගහනවා. ඉතින් හරකෙක් අඳුරගන්න එක අමාරු වැඩක් නෙවෙයි.

අපේ සංඛ්‍යාලෙඛන දෙපාර්තමේන්තුවට පැවැරිලා තියෙන එක රාජකාරියක් තමයි අපේ ගම්වල හරක් කී දෙනෙක් ඉන්නවා ද කියලා හොයලා බලන එක. ඉතින් මේ වැඩේ කරවාගන්නේ ඒ දෙපාර්තමේන්තුවට අනුයුක්ත ව රටපුරා ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් සේවයකරන සංඛ්‍යාලෙඛන නිලධාරීන් හරහා. ඉතින් සංඛ්‍යාලෙඛන දෙපාර්තමේන්තුව ඒ නිලධාරීන් හරහා ග්‍රාම නිලධාරි මහත්තුරුන්ට, නෝනලාට එල් – එක කියලා ලේඛනයක් බෙදලා දෙනවා. ග්‍රාම නිලධාරි මහත්තුරු, නෝනලා කරන්න ඕන එක පුරවලා දෙන එක. ඒ ලේඛනයට ඇතුළත් කරන්න ඕන තමන් ගේ වසම ඇතුළේ ඉන්න හරක්, එළුවෝ, කුකුල්ලු වගේ සත්තුන් ගේ සංඛ්‍යාති.

ඉතින් මේ ලේඛනය පුරවන ග්‍රාම නිලධාරි මහත්තුරු, නෝනලා තුන් වර්ගයක් ඉන්නවා. එක කට්ටියක් ලේඛනය ලැබිච්ච ගමන් ම තත්පර කිහිපයක් ඇතුළත ඒක පුරවලා සංඛ්‍යාලෙඛන මහත්තයාට ආපහු දෙනවා. තව කට්ටියක් ඒක ගෙදර ගෙනියලා පුරවලා ආපහු ගෙනැල්ලා දෙනවා. තව කට්ටියක් ගෙනියන ලේඛන ආපහු ගන්න නම් ඒ පස්සෙන් ඉවරයක් නැතුව යන්න වෙනවා. කොහොම හරි මේ ලේඛන එකතු කරගන්න සංඛ්‍යාලෙඛන මහත්තුරු ඒවා සාරාංශ ගතකරලා එල් – දෙක කියලා ලේඛනයක් හදනවා. ඉතින් මේ ලේඛනවලින් වාර්තාවෙන හරක් ගණන ගැන හිතාගන්න වැඩේ පාඨකයන්ට ම කරන්න පුළුවන්.

මේකට මේ නිලධාරීන්ට දොස් කියන්න බෑ. ගම්වල ඉන්න හරක් ගණන තියා ඉන්න මිනිස්සු ගණන කියන්නවත් ක්‍රමයක් දැන් නෑ. ඉස්සර නම් අපේ ගම්වල ගෘහමූලික නාමලෙඛනය කියලා ලැයිස්තුවක් ග්‍රාම නිලධාරි කාර්යාලයේ තිබුණා. ඒත් දැන් හැම වැඩේට ම බලන්නේ ඡන්ද හිමි නාමලෙඛනය. ඒත් ගමේ ඡන්ද තියෙන ගම්වල ජීවත්වෙන්නේ නැති අය කොච්චරක් නම් ඉන්නවා ද? අපේ දේශපාලන නායකයෝ ගැන හිතන්න. ළමයි ඉස්කෝලවලට දාගන්න එක ගැන හිතලාත් සමහරු ජීවත්වෙන තැනින් බාහිර තැන්වල ඡන්ද ලියාපදංචිකරනවා. අනිත් එක ඒ ලේඛනයේ ගමේ ඉන්න හැමෝ ගේ ම නම් ඇත්තෙත් නෑ. ලියාපදිංචිවෙන්න බැරිවුනත් නම නෑ. ළමයින් ගේ නම් කොහොමටත් නෑ.

මේ අවුල් හින්දා ගම්වලට අදාළ සංඛ්‍යාලෙඛනවලින් ඇත්තක් හොයාගන්න බෑ. ඉතින් කොහොම ද ගමක සංවර්ධන වැඩක් සැලසුම් කරගන්නේ? ගම්වලට පත්කරලා ඉන්න නිලධාරීන් වෙන වෙන ම තමන් ගේ කාර්යාල පවත්වාගෙන යන එකත් මේ ලෙඩේට එක හේතුවක්. ඒ හින්දා අඩු ගණනේ කට්ටියට එකතුවෙලා එක ඉලක්කමක් දෙන්න තියෙන ඉඩකඩත් ඇහිරිලා. ඉතින් මේ ලැයිස්තුවේ ඉන්න හරක් අනිත් ලැයිස්තුවේ නෑ.

මේකට කලින් ලියපු ලිපි කිහිපයකින් කියපු විදිහට ගමේ ආර්ථික කටයුතුවලට අදාළ පොදු සභාවක් පිහිටුවාගන්න පුළුවන් නම් මේ අවුල විසඳගන්න එක අමාරු වැඩක් නෙවෙයි. ඒ වගේ සභාවකට පුළුවන් ඉතා ම පහසුවෙන් ගමේ ඉන්න මිනිස්සු ගැන, ගමේ තියෙන සම්පත් ගැන හැම තොරතුරක් ම බොහොම පැහැදිළි විදිහට එකතුකරලා, යාවත්කාලීන කර කර පවත්වාගෙන යන්න. එහෙම කරන්න පුළුවන් නම් සංඛ්‍යාලෙඛන දෙපාර්තමේන්තුව මේ කරගෙන යන කණාපල්ලම් ගැහිල්ලත් නවත්තගන්න පුළුවන්.

ඉතින් අද අපේ ගම්වලට තියෙන ලොකු ම අඩුව තමයි මේ විදිහේ පොදු පාලන සභාවක් නැති එක. ගමට අනුයුක්ත කරලා ඉන්න ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි නියාමක, කෘෂිකර්ම නිලධාරී වගේ අයත්, ගමේ පන්සලේ හාමුදුරුවෝ, ඉස්කෝලේ විදුහල්පතිතුමා, දායක සභාව – සංවර්ධන සමිතිය – කාන්තා සමිතිය, තරුණ සංගමය වගේ සමාජ සංවිධානවල නායකයොත් එකතුකරලා මේ වගේ සභාවක් පිහිටුවා ගන්න පුළුවන්. මේ වගේ ආයතනයක ගමේ නියෝජනයත් තියෙනවා. ආණ්ඩුවේ නියෝජනයත් තියෙනවා. ඉතින් අද අපේ තියෙන අවශ්‍යතාවලට ගැලපෙන විදිහේ ගම් සභාවක් පිහිටුවාගැනීමේ මූලික අඩිතාලමත් ඒක වෙන්න පුළුවන්.

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress