කාවන්තිස්ස වැඩපිළිවෙලක්!
Posted on November 19th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

ඉවරයක් නැතුව උදේ දවල් රෑ දේශපාලනඥයන්ට බැන බැන හිටියා කියලා අපිට විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. පුළු පුළුවන් විදිහට පොඩි පොඩියට හරි අපේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න වැඩේ අපි පටන්ගන්න ඕන. ඉතින් මේ ලිපි පෙළ ලිව්වේ ඒ විදිහේ විසඳුම් හොයද්දි යොදාගන්න පුළුවන් මූලික අදහස් කීපයක් ගැන මූලික සංවාදයක් ඇතිකරගන්න අදහසින්. අද අපේ සමාජය පෙළන ප්‍රශ්න දවසකින් දෙකකින් විසඳන්න පුළුවන් කියලා මේ ලේඛකයා විශ්වාසකරන්නේ නෑ. ඉතින් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරපු අදහස් අදාළවෙන්නේ තරමක් දීර්ඝකාලීන, සැලසුම් සහගත වැඩපිළිවෙලකට. තමන් ගේ ප්‍රශ්නවලට ක්‍ෂණික විසඳුම් හොයන සමාජයක ජීවත්වෙන අපිට මේ වගේ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ගැන හිත යොමුකරන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි.

මේ වගේ සැලසුම් සහගත දීර්ඝකාලීන කටයුත්තක් සසඳන්න පුළුවන් කාවන්තිස්ස මහ රජතුමා අනුගමනය කරපු වැඩපිළිවෙලත් එක්ක. එතුමා යෝධයෝ හැදුවා. තමන්ට ගෑණු ඇඳුම් එවද්දී පවා ඒ අපහාසවලින් කම්පා නො වී පිළිවෙලකට අපේ හමුදා බලය තරකළා. ඉතින් අපේ ජාතියේ මහා වීරයා කියලා අපි සළකන දුටුගැමුණු මහ රජතුමා බිහිවුනේ ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඒ විදිහේ ක්‍රමවත් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ගැන හිතන්න ඕන කාලයක් ආයෙත් ඇවිල්ලා. මේ වගේ වැඩපිළිවෙලක ප්‍රතිඵල අපේ ජීවිත කාලය තුළ නොලැබෙන්නත් පුළුවන්. මේ හැම දෙයක් ම තීරණය වෙන්නේ අපේ අය කොච්චර බුද්ධිමත් ද අපේ අයට කොච්චර ඉවසීමක් තියෙනවා ද කියන කාරණා උඩ. ඉතින් අපේ සමාජය අපි කරන කියන දේ අගයකරන්නේ නෑ කියලා, අපි කරන කියන දේවල්වල ප්‍රතිඵල තරමක් කෙටි කාලයක් ඇතුළත අපිට දකින්න නො ලැබුනා කියලා කලකිරෙන්න පුළුවන්කමක් අපිට නෑ. මේ හැම දෙයක් ම වෙද්දි වෙනදාටත් වඩා ඉවසීමකින් හා ධෛර්යකින් ඉස්සරහට යන්න පුළුවන්කමක් අපිට තියෙන්න ඕන.

මේ විදිහේ වැඩ විවිධ මට්ටම්වලින් වෙන්න පුළුවන්. ආරම්භක අවස්ථාවේ දී මේවා හුදෙක් ම තනි තනි පුද්ගලයන් ගේ අදහස් පළකිරීම්වලට සීමාවෙච්ච හුදෙකලා සටන්. මාක්ස්වාදී අදහස් සමාජයට මුලින් ම ඉදිරිපත් කළේ තනි පුද්ගලයෙක්නේ. සමාජවාදය ගැන, ආර්ථිකය ගැන තමන් ගේ අදහස් මාක්ස් මුලින් ම ලිව්වේ පත්තරේකට. ඒත් පස්සේ කාලයක ඔහු ප්‍රංශයේ පැරිස් නුවර පදිංචියට ගියා. එහි දී මුණගැහිච්ච ෆෙඩ්රික් එංගල්ස් තමයි වැඩකරන පංතියක් ගැන අදහස මාක්ස්ට කියලා දුන්නේ. ඒ දෙන්නා එකතුවෙලා කොමියුනිස්ට් ප්‍රකාශනය කියන ලියැවිල්ල ලිව්වේ ඊටත් අවුරුදු හතරකට පස්සේ. ඉතින් තවත් කාලයක් ගතවුනාට පස්සේ තමයි ඒවාට යම් ආකාරයක හරි සමාජ පිළිගැනීමක් ලැබුණේ. කොමියුනිස්ට් ප්‍රකාශනය ලියලා අවුරුදු තිස්පහකට පස්සේ මාක්ස් මියගියා. ඊට පස්සේ තවත් අවුරුදු තිස්පහක් විතර ගතවුනා ම තමයි ඒ කොමියුනිස්ට්වාදී අදහස්වලට ලෙනින් ගේ අදහසුත් එකතුවෙලා සමාජවාදයේ නාමයෙන් මුල් වරට විප්ලවයක් සිද්දවුනේ.

ඉතින් යම් අදහසක් සමාජයට ඉදිරිපත් කරපු පමණින් ඒක සමාජගත වෙයි කියලාවත් ඒ අදහස්වලින් බලාපොරාත්තු වෙන සමාජ විපර්යාසය සිදුවෙයි කියලාවත් හිතන්න බෑ. කොහොම වුනත් අපේ සමාජයට ඕනකරන්නේ මාක්ස් බලාපොරොත්තු වුනා වගේ සමාජය උඩ යට පෙරලන වෙනසක් නම් නෙවෙයි. ඒ විදිහේ පෙරැලිවලින් වෙන්නේ සමාජයේ එක පැලැන්තියක් වෙනුවට තවත් පැලැන්තියක් බලයට පත්වෙන එක විතරයි. මොන පැලැන්තිය බලයට ආවත් ඒ අය විසින් හසුරුවන බලය අවම කරන විදිහක් ගැනැයි අපි හිතන්න ඕන. මේ ලිපි පෙළේ දී ඒ පිළිබඳවත් යම් පමණකින් අදහස් ඉදිරිපත් කළා. රටේ හමුදා පාලනය කරන වැඩේ, නීති හදන වැඩේ වගේ ලොකු ලොකු වැඩ ආණ්ඩුව තියාගත්තාට කමක් නෑ. ඒත් අනිත් වැඩ මිනිස්සුන්ට ම පවරගන්න විදිහක් ගැන අපි හිතන්න ඕන.

අනිත් වැදගත් ම කාරණය තමයි මාක්ස් වගේ අයන්නේ ආයන්නේ ඉඳලා ම මුල ඉඳලා හදාගත්ත මතවාදයක් අපි ඉදිරිපත්කරන්නේ නෑ කියන එක තේරුම්ගන්න එක. අපි උත්සාහකරන්න ඕන අපේ අතීත අත්දැකීම් උඩත් පදනම්වෙලා අද තියෙන දේවල්වලිනුත් පාඩම් ඉගෙනගෙන අපිට ගැලපෙන සමාජ ආර්ථික ‍ක්‍රමයක් ගැන වැඩපිළිවෙලක් සකස් කරගන්න එක. ඉතින් මාක්ස්වාදීන් බලාගෙන ඉන්නවා වගේ මහා දීර්ඝ කාලයක් බලාගෙන ඉන්න අපිට සිද්දවෙන එකක් නෑ.

ඒ වගේ ම, මුළු ලෝකයේ ම තියෙන සියළු ලෙඩ රෝග සනීපකරන තෛලයක් හිඳින්න ඕනකමකුත් අපිට නෑ. අපිට ඕනකරන්නේ අපේ දැන් තියෙන අවුල් නැති කරගන්න පුළුවන් විදිහේ විසඳුමක් විතරයි. අනිත් රටවල්වල අයත් ඒ අයට කැමැති කැමැති විදිහට ඒ අය ගේ ප්‍රශ්න විසඳාගත්තාවේ.

ඉතින් මේ කරුණු කාරණා ගැන සළකලා මේ ලිපි පෙළෙන් ඉදිරිපත් කළේ අපේ සමාජ – ආර්ථික ප්‍රශ්න විසඳගන්න පුළුවන් ආකාරයේ මූලික අදහස් කීපයක්.

ආර්ථික වශයෙන් අපේ ගම් ශක්තිමත් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනත් ඒ අදහස්වලින් ප්‍රකාශ කෙරුනා. දැනට ආණ්ඩුව පවරාගෙන ඉන්න තැපැල් සේවා, ප්‍රවාහන සේවා වගේ දේවල් මිනිස්සුන්ට පවරාගන්න පුළුවන් ක්‍රම ගැනත් කරුණු කිව්වා. අලුත් රැකියා, ආදායම් මාර්ග උත්පාදනය කරගන්න මග සලස්වගන්න පුළුවන් ජාත්‍යන්තර බෙර වාදන සහ වෙස් මුහුණු උත්සවයක් ගැනත් සිංහ කුසලානයක් වෙනුවෙන් සූරියවැවේ පවත්වන්න පුළුවන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් ගැනත් කරුණු කිව්වා. අපේ ආර්ථික ශක්තිය තර කරගැනීම වෙනුවෙන් කරන්න පුළුවන් දේ තවත් තියෙනවා. ඒත් ඒ හැම දෙයක් ම කියව කියවා ඉඳලා හරියන්නේ නැහැනේ.

අද අපේ සමාජය පෙළන ලොකු ම ව්‍යාධිය තමයි අපි කල්ලි කණ්ඩායම්වලට බෙදිලා කා කොටගන්න එක. ඒ ගැනත් මේ ලිපි පෙළින් පෙන්නලා දුන්නා. මමත්වය ඉස්මතු කරගෙන අනුන් හෙළා තලා කතාකිරීමේ රෝගය ගැනත් කරුණු කිව්වා. යෝධයෝ හදාගන්න ඕන බවත් වීරයන් නොමැරිය යුතු බවත් පෙන්නලා දුන්නා. විවිධ බාහිර උපද්‍රව හින්දා අපේ සමාජය තුළ ඇතිවෙලා තියෙන ගැටලුවලින් ගොඩ එන්න කියලා හිතාගෙන අපි කරන කියන දේවල් ඉතා උපක්‍රමශීලි ව කළ යතු බවත් පෙන්නලා දුන්නා.

අවසාන වශයෙන් සාකච්ඡා කළේ අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ තියෙන එක්තරා අඩුවක් ගැන. අපි අපේ ළමයින්ට ගම ගැන කියලා දෙන්නේ නෑ. අපේ රටේ ජනගහනයෙන් බහුතරයක් ගම්වල ජීවත්වෙන වාතාවරණයක් ඇතුළේ ගම ගැන කියලා නොදෙන එක විශාල අඩුවක්. ඇත්තෙන් ම ළමයින්ට උවමනාකරන ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන එක ගමට ම වුනත් කරගන්න පුළුවන්. ඒකට උවමනාකරන උදව් ආණ්ඩුවෙන් ලබාගත්තා ම ඇති. 1960 අවුරුද්දේ මැතිවරණයක් වෙනුවෙන් එල්. එච්. මෙත්තානන්ද මහත්තයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක ප්‍රාථමික අධ්‍යාපනය ගම් සභාවට පවරන්න ඕන කියලා තිබුණු බවක් මේ ලේඛකයා කියවලා තියෙනවා.

කොහොම වුනත් මේ කිසිම දෙයක් සමාජය ඇතුළේ වර්ධනය වෙන්න ඉඩ නො දී පිටින් ගෙනැල්ලා පැළකරන්න පුළුවන් කියලා මේ ලේඛකයා හිතන්නේ නෑ. අද අපිට ඕනකරන්නේ අපේ රටේ මිනිස්සුන් ගේ අදහස්, ආකල්ප වෙනස්කරන්න පුළුවන් විදිහේ සමාජ ව්‍යාපාරයක්. ස්වශක්තියෙන් නැගිටින්න පුළුවන් කියලා හිතන මිනිස්සු ඇති වුනොත් තමයි ඒ විදිහේ අදහස් තියෙන දේශපාලන නායකයෝත් බිහිවෙන්නේ. දේශපාලනඥයෝ කියන්නේ සමාජයෙන් ම බිහිවෙන පිරිසක්නේ. ඉතින් තමන් ගේ වැඩ වෙනත් කවුරුවත් කරලා දෙයි කියලා හිතන සමාජයකට බෑ හොඳ ශක්තිමත් නායකයෝ බිහිකරගන්න. ඒ හින්දා දේශපාලනඥයන්ට ම දොස් නොකියා තම තමන් ගේ අඩුපාඩු හොයලා බලන්නත් අපි පුරුදුවෙන්න ඕන.

මේ විදිහේ ලිපි ලියන එක අපි බලාපොරොත්තු වෙන සැලසුම් සහගත සමාජ ව්‍යාපාරය වෙනුවෙන් කරන මූලික කටයුත්තක් විතරයි. ලිවිල්ලෙන් විතරක් මේ වැඩේ කරන්න බෑ. මේ කියන්නේ ලියන්න ඕන නෑ කියන එක නම් නෙවෙයි. ඒ වැඩේ විතරක් කරලා අපි බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ටකරගන්න බෑ කියන එකයි මේ කියන්නේ. අපිට මේ වෙනුවෙන් මිනිස්සු අතරට යන්න වෙනවා. ඒ කියන්නේ මිනිස්සු අතරට ගිහිල්ලා දේශන කරන්න ඕන කියන එක ද? දේශනත් කරන්න ඕන තමයි. ඒත් ඒකත් තවත් වාචික සන්නිවේදන කටයුත්තක් විතරයි කියන එක අපි අමතක කරන්න හොඳ නෑ.

එහෙම නම් අපිට තව කරන්න පුළුවන් මොනවා ද?

අපි යමක් කරලා පෙන්නන්න ඕන. එක ගමක් හරි පණගන්වගන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ දේ කරන්න පුළුවන් කොහොම ද? ඇත්තෙන් ම අපේ රටේ ජාතියේ අභිවෘද්ධිය ගැන වදවෙන කොච්චරක් නම් පිරිසක් අපි අතර ඉන්නවා ද? ඉතින් ඒ අයට බැරිකමක් නෑ මේ විදිහේ වැඩපිළිවෙලක් වෙනුවෙන් මුල්වෙන්න. මේ වගේ දෙයක් වෙනුවෙන් සංවිධානය වෙන්නේ කොහොම ද, ඒ වෙනුවෙන් අවශ්‍ය අරමුදල් හොයාගන්න පුළුවන් මොන මාර්ගවලින් ද කියන එක ගැනත් හිතන්න ඕන තමයි. ඒ වගේ මූලික කාරණා ගැන යමක් මී ළඟ ලිපියෙන් – ඒ කියන්නේ මේ ලිපි පෙළේ අවසාන ලිපියෙන්; කියන්නම්.

කොහොම හරි අපි ගොඩ නගාගන්න ඕන සැලසුම් සහගත දීර්ඝකාලීන සමාජ ව්‍යාපාරයක්. අපේ ඉතිහාසයෙනුත් පාඩම් ඉගෙනගෙන ඒ කටයුත්ත කාවන්තිස්ස වැඩපිළිවෙලක් විදිහට නම්කරන්න මේ ලේඛකයා කැමැතියි. මේ වගේ කාර්යයක් වෙනුවෙන් උවමනාකරන දැනුම, උපදෙස්, අවවාද අනුශාසනා පාඨකයන්ගෙන් ලබාගන්නත් මේ ලේඛකයා කැමැතියි.

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress