පිංපොතෙන් පටන්ගනිමු!
Posted on November 26th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

මේක තමයි මේ ලිපි පෙළේ අවසාන ලිපිය. මේ ලිපියත් පොඩි කතාවක් කියලා ම පටන්ගන්නම්.

ආණ්ඩුවේ රස්සා කරන කාලේ නොයෙක් විදිහේ සමීක්‍ෂණ වැඩවලට මේ ලේඛකයා දායකවෙලා තියෙනවා. සමීක්‍ෂණ වැඩවලට යනවා කියන්නේ හරි අපූරු අත්දැකීම් ලැබෙන වැඩක්. ඉතින් 2003 – 2004 අවුරුදු දෙක ම ආවරණය වෙන විදිහට අවුරුද්දක් පුරා කෙරිච්ච එක්තරා සමීක්‍ෂණ කටයුත්තක දී අත්දැකපු දෙයක් තමයි මේ කතාවට අදාළ.

නියාමක නිලධාරීන් හතර දෙනෙක් එක්ක මේ ලේඛකයා කොටවෙහෙර පැත්තේ ගමකට ගියා. සංඛ්‍යාලෙඛනවලට අදාළ පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ නොකරන්න එකඟවෙලා තියෙන හින්දා ගමේ නම කියන්න බෑ. සමීක්‍ෂණයට මේ ගමෙන් තේරිච්ච එක පවුලක් හිටියේ අක්කරයක් විතර විශාල ඉඩමක පුංචි පැල් කොටයක් අටවාගෙන. ඇත්තෙන් ම ඒකට පැලක් කියන්නත් බෑ. කණු හතරක් හිටවලා තහඩු දෙක තුනක් හෙවිලිකරලා. වටේ ට කාඩ්බෝඩ්, පොලිිතීන් ආවරණය කරලා. ගෙදර හිටියේ වයස අවුරුදු 25 ක් 26 ක් විතර ඇති තරුණ ජෝඩුවකුයි වයස අවුරුද්දක් විතර වෙච්ච අත දරුවෙකුයි. ඒ නිවසට ගිය නියාමකයා එක්ක ඒ ජෝඩුව දිගින් දිගට ම කිව්වේ තමන් ගේ නැතිබැරිකම ගැන. තියෙන අඩුපාඩුකම් ගැන.

මේ වගේ මිනිස්සු කියන කතන්දර පිංතූරත් එක්ක නිතර ම අපේ පත්තරවලත් පළවෙනවා. ඉතින් ඒවා දැකලා පපුව පත්තුවෙන අපේ මිනිස්සු ඒ වගේ අයට ගෙවල් හදලා දෙන්නත් පෙළැඹෙනවා. පුළු පුළුවන් විදිහට දායකවෙලා දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන එකත් සිද්දවෙනවා. ඇත්තට ම අපි මේ කරන්නේ පිංකමක් ද? අපි පිහිටවෙන්න ඕන මිනිස්සු ඉන්න බව ඇත්ත. ඒත් අත පය හොඳට තියෙන මේ වගේ මිනිස්සුන්ට බැරිකමක් නෑ ටිකෙන් ටික පිළිවෙකට ගෙයක් හදාගන්න.

ලී දඬු ටිකක් කපාගෙන වරිච්චියක් හරි බැඳගන්න බැරි ඇයි? පොල් අත්තක් දෙකක් වියාගන්න බැරි ඇයි? මේ ලේඛකයාට මතක්වෙනවා තමන් කුඩා කාලයේ ගෙදර හදන්න දායකවෙච්ච විදිහ. ඒ වෙද්දි මේ ලේඛකයාට වයස අවුරුදු 12 ක් විතර ඇති. මේ ලේඛකයා ගේ අයියාට වයස අවුරුදු 13 යි. අයියා ගේ වයසේ ම තවත් ළමයෙක් අපේ ගෙදර නැවතිලා හිටියා. ඉතින් මුළු ගෙදරට ම ඕන කරපු ගඩොල් කැපුවේ අපි තුන්දෙනා එකතුවෙලා. ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා හවසට මැටි ගොඩක් අනලා තියෙනවා. පහුවදාටත් ඒ වැඩේ ම කරනවා. දවස් දෙකක් පදම්වෙච්ච මැටි ගොඩෙන් තුන්වැනි දවසේ ගඩොල් කපනවා. ඊට පස්සේ තවත් මැටි ගොඩක් අනලා තියෙනවා. ඉතින් මාසයක් දෙකක් යද්දී දන්නේ ම නැතුව ගඩොල් දාස් ගානක් කපලා ඉවරයි.

ඒ විතරක් නෙවෙයි. ඒ දවස්වල අම්මාත් එක්ක එකතුවෙලා හරි හරියට පොල් අතු වියන වැඩේටත් අපි තුන්දෙනා සම්බන්ධවෙලා තියෙනවා. පොල් අතු විව්වේ ගෙදර වහළට හෙවිල්ලන්න විතරක් ම නෙවෙයි. ඒක අපේ ගෙදරට තවත් ආදායමක් හොයාගත්ත මාර්ගයක්. මඩකලපුව පැත්තෙන් අපේ ගම්වලට ලොරි ඇරගෙන එන මුදලාලිලා පොල් අතු එකතුකරනවා. අපි අපේ ගෙදර වත්තේ එළවළු වැව්වා. බුලත් වැව්වා. සති දෙකකට වතාවක් ඉරිදා පොළට තාත්තා බුලත් ඇරගෙන යනවා. ඉතින් ඒ සතියේ බ්‍රහස්පතින්දා විතර ඉඳලා බුලත් කඩන්න ඕන. තෝරන්න ඕන. බුලත් අත් හදන්න ඕන. මේවා මහ ලොකු වැඩ නෙවෙයි. මේ හැම දෙයක් ම අපි කළේ බොහෝ ම විනෝදයෙන්.

අද ඉන්න අපේ සමහර මිනිස්සුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ? කවුරු හරි මොනවා හරි ගෙනැල්ලා දෙනකල් හිඟන්නෝ වගේ බලාගෙන ඉන්නවා. දුප්පත්කම ගැන මැසිවිල්ල කිය කියා රෙඳි ඇඳගෙන ම ගත්ත තමන් ගේ පිංතූර පත්තරවලත් දාගන්නවා. ඉතින් මේ වගේ මිනිස්සුන්ට උදව්කිරීමෙන් අපිට ලබාගන්න පුළුවන් පින මොකක්ද කියන එක අපි හොඳින් හිතලා බලන්න ඕන.

අපි පිං කරන්න ඕන බව ඇත්ත. ඒත් අපි කරන පින සමාජයක් ම දියුණුවෙන විදිහට කරන්න පුළුවන් නම් කොච්චර හොඳ ද? අපේ ගම්වල ඉස්කෝල හැදුවේ ගමේ ම මිනිස්සු. මුල් කාලේ වරිච්චි බැඳලා, පොල් අතු බැඳලා හදාගත්ත ශාලාවල පවත්වා ගෙන ගිය ඉස්කෝල පස්සේ කාලෙක ටික ටික දියුණුකළා. අපේ පන්සල් පවා හදාගෙන තියෙන්නේ අපේ ම මිනිස්සු. මේ හැම එකක් ම සමාජ වැඩ. ඒ දේවල්වල පිහිට ලැබිලා තියෙන්නේ මුළුමහත් සමාජයට ම. ඉතින් මේ විදිහට කරන්න පුළුවන් පොදු වැඩ තවත් තියෙනවා.

මේ ලිපිපෙළින් යෝජනාකරපු කාවන්තිස්ස වැඩපිළිවෙලත් ඒ වගේ කටයුත්තක්. ඒ හරහා අපිට අපේ සමාජය යම් ප්‍රමාණයකින් හරි නගාසිටුවන්න පුළුවන්. ඒත් අපේ හිතේ ඇතිවෙන ඒ වගේ අදහස් සමාජයේ උදව්වක් නැතුව ක්‍රියාත්මක කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට මේ වගේ වැඩපිළිවෙලක් හරහා ගමක මොකක් හරි කර්මාන්තයක්, නිෂ්පාදන කටයුත්තක් ආරම්භකරනවා කියලා හිතන්න. ඒ වගේ වැඩකට උවමනාකරන සමාජ දායකත්වය ලබාගන්න නම් කිසියම් ආකාරයක සංවිධානාත්මක වැඩපිළිවෙලක් ඇතිකරගන්න වෙනවා. ඉතින් මේ දේ කරන්න පුළුවන් මොන විදිහට ද?

රාජ්‍ය නොවන සංවිධාන කියලා හදාගන්න ආයතන තමයි බොහෝ වෙලාවට මේ වගේ වැඩවලට මුල්වෙන්නේ. ඒත් විදේශ ආධාරවලින් යැපෙන ඒ ආයතනවලට පුළුවන්කමක් නෑ අපේ රටේ අපේ ම න්‍යාය පත්‍රයකට අනුකූලව වැඩ කරගෙන යන්න. ඒ අයට බොහෝ වෙලාවට වැඩකරන්න වෙන්නේ තමන්ට අරමුදල් ලබාදෙන විදේශ සංවිධානවල අරමුණුවලට ගැලපෙන විදිහට. ඉතින් ඒ මූල සංවිධානවල ඕනෑ එපාකම් අපේ සමාජ අවශ්‍යතා එක්ක නොගැලපෙන හින්දා නිතර නිතර ම ගැටලු මතුවෙනවා. රාජ්‍ය නොවන සංවිධාන ගැන අපේ රටේ මහා අප්‍රසාදයක් ඇතිවෙලා තියෙන්නේ ම ඒ හින්දා.

ඒත් අපිට බැරිකමක් නෑ මේ සංවිධාන ආකෘතියෙන් වැඩක් ගන්න. ඇයි අපිට බැරි අපේ ම රාජ්‍ය නොවන සංවිධාන හදාගන්න? අපේ ම අරමුදල්වලින් වැඩකරන සංවිධානයකට එහෙම නැතිනම් සංවිධානවලට පුළුවන් අපේ අරමුණු වෙනුවෙන් ම පෙනී හිටින්න. ඉතින් කාවන්තිස්ස වැඩපිළිවෙලක් කියලා මේ ලිපිපෙළින් යෝජනා කරපු කටයුත්තට පණදෙන්නත් ඒ වගේ ම සංවිධාන ආකෘතියක් ඇතුළේ අපිට වැඩකරන්න පුළුවන්.

ඒත් අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නිරන්තරයෙන් ම සිද්දවෙන වංචා, දූෂණ කටයුතු. මේ විදිහට මුදල් දුන්න පමණින් තමන් බලාපොරොත්තු වෙන දේ සිද්දවෙයි කියලා හිතන්නේ කොහොම ද? වංචා දූෂණ කරන්නේ දේශපාලනඥයෝ විතරක් නෙවෙයි. මුදල් වංචාකරන අය ඕන පදම් අපේ ගම්වල සමිති සමාගම්වලත් ඉන්නවා. ඉතින් අපි හදන රාජ්‍ය නොවන සංවිධානවලටත් ඒ ලෙඩේ බෝ නො වී තියෙන්න ඉඩක් නෑ. කොළ මඩින්න ගන්න හරක් කොළෙන් ම කනවා කියනවානේ. ඒ හින්දා මේ වැඩේ සියයට සියයක් ම වළක්වන එක නම් කරන්න බෑ. අනිත් එක පූර්ණකාලීන ව මේ වැඩවලට යොමුවෙන අය නඩත්තු කරන්නත් වෙනවා. ඒක මේ වැඩේ ම පිරිවැයක් මිසක් නාස්තියක් නෙවෙයි.

ඒත් ඒ වගේ පිරිස් නඩත්තු කර කර ඉන්න එක ම අපේ අරමුණ කරගන්න බැහැනේ. ඉතින් ඒ හරහා කරවන වැඩවල විනිවිදභාවය රැකෙන විදිහට ඒවා කරන්න මාර්ග හොයාගන්න වෙනවා. මේකට යොදාගන්න පුළුවන් හොඳ ම උපක්‍රමය තමයි කරන වැඩවල සාර්ථකත්වය ගැන හොයලා බලන එක. එකෙන් එක හරි වැඩ සිද්දවෙනවා නම් ඒකෙන් කියැවෙන්නේ තමන් දායකවෙච්ච දේ ප්‍රතිඵලයක් තියෙනවා කියන එකනේ. ඉතින් අරමුදල් ලබාගන්න සංවිධාන බැඳිලා ඉන්න ඕන තමන් කරන වැඩ ගැන යම් ආකාරයකින් අරමුදල් ලබාදුන්න අය ව දැනුම්වත් කරන්න. අන්තර්ජාලය හරහා වුනත් ඒ වැඩේ කරන්න පුළුවන්.

ඊට අමතර ව, මේ වැඩවලට උරදෙන සංවිධානවලටත් පුළුවන් අන්තර්ජාලය හරහා අවශ්‍ය අරමුදල් එකතුකරලා දෙන්න. දැන් බොහෝ රටවල්වල ක්‍රියාත්මක වෙන සමූහ අරමුදල් (ක්‍රවුඩ් ෆන්ඩිං) ක්‍රමය මේ වැඩේට යොදාගන්න පුළුවන් ඉතාමත් හොඳ උපක්‍රමයක්. උදාහරණයක් විදිහට මීමුරේ ගම හදන වැඩේට ව්‍යාපෘතියක් සකස්කරලා ඒ වෙනුවෙන් ගමේ සමාගමකුත් පිහිටුවලා ඒකට ඔන කරන අරමුදල් ක්‍රවුඩ් ෆන්ඩිං හරහා හොයාගන්න පුළුවන්. අදාළ රාජ්‍ය නොවන සංවිධානය වැඩ කරන්න ඕන මේ වැඩේ සම්බන්ධීකාරකයෙක් විදිහට. ඒ වගේ ම, අවශ්‍ය පහසුකම් සළසන්නෙක් විදිහට.

අපේ සමාජය ශක්තිමත් කරන්න අපි කළ යුතු අ‍නෙක් වැදගත් ම කාර්යය තමයි අපේ මේ වැඩවලට ඕන කරන හැකියාවෙන්ගෙන් පිරිපුන් මිනිස්සු ඇතිකරගන්න වැඩේ. පොත් පත් කියවලා විභාග පාස්කරපු මිනිස්සුන්ට විතරක් හැම වැඩේ ම කරන්න බෑ. විවිධ ශිල්පවල කෙළ පැමැණි අයත් අපිට ඉන්න ඕන. ඉතින් යම් යම් හැකියා තියෙන අය විදේශ රටවලට යවලා හරි පුහුණුකරලා ගෙන්නගන්න වැඩේත් මේ වගේ අරමුදල් හරහා කරන්න පුළුවන්. යම් යම් කර්මාන්ත කරන්න ඕන කාර්මික දැනුම ලබාගන්න කියලා අනගාරික ධර්මපාලතුමා තරුණයන් කණ්ඩායමක් චීනයට යවලා තියෙනවා. අපිට ඒ අත්දැකීම්වලිනුත් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.

ඉතින් අකර්මණ්‍ය කම්මැලි මිනිස්සුන්ට සල්ලි විසිකරන්නේ නැතිව පිංපොත හරහා අපේ සමාජය නැගිට්ටවන වැඩේ අපිට පටන්ගන්න පුළුවන් කියන අදහස පාඨක ඔබේ අවධානයට යොමුකරලා මේ ලිපිපෙළ මෙතැනින් අවසන්කරනවා.

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress