නව කොට්ඨාශ ක්‍රමය සමාජ අවුලකට මුල පුරයිද? මන්ත්‍රී කොට්ඨාශ නම් පක්ෂ ලැයිස්තුව කුමකටද?
Posted on November 29th, 2017

මතුගම සෙනෙවිරුවන්

 ලංකාවේ මැතිවරණ ක්‍රමය යළිත් කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමේ එකඟතාවයක් පැමිණ ඇත. තමන් ගේ බල ප්‍ර දේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සිටිය යුතු බව ජනතාව විසින් කියා සිටින්නට පටන් ගත්තේ සර්ව ජන චන්දය ආරම්භ වූ අවස්ථාවේ නොව 1980 දශකයෙන් පසුව 1989 දී පළමු වරට සමානුපාතික මැතිවරණ  ක්‍රමය යටතේ මැතිවරණ පවත්වා නියෝජිතයන් පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට පත් වීමෙන් පසුවය. සමානුපාතික ක්‍රමය යටතේ සමස්ත මැතිවරණ කලාපය පුරාවටම තරඟ වැදීමට සිදු වීමත් අධික ලෙසට ප්‍රචාරක වියදම් ඉහළ යෑමත් ඒ තුළින් සිදු වූ දේශපාලන  අක්‍රමිකතා නිසාත් ජනතාව මෙ ක්‍රමය වෙනස් විය යුතු යයි කියා සිටියහ.පාර්ලිමේන්තු කාරක සභා වලදී සහ පක්ෂ නායකයන් ගේ රැස්වීම් වලදී සාකච්ඡා කරලීමෙන් පසුව නැවත කොට්ඨාශ ක්‍රමය ගෙන ඒමේ තීරණයට එළඹෙන්නට ඇත්තේ ඒම තත්ත්වය මතය.කෙසේ හෝ කන්දක් විලිලා මී පැටියෙක් නම් වදා ඇත.නමුත් වර්තමාන පළාත් පාලන මැතිවරණයට අදාලව කොට්ඨාශ ක්‍රමය යළි පිහිටුවන ගැසට් පත්‍රය පිට වීමෙන් පසුව  එම ක්‍රමය බරපතල ලෙසට දේෂ සහිත බව මෙරට බුද්ධිමතුන් විසින් තේරුම් ගෙන තිබේ.

          මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මගින්  2007 වර්ෂයේදී නිකුත් කරන ලද අතුරු වාර්තාව මගින් ඉහතකී සමානුපාතික ක්‍රමයට විකල්පයක් ලෙස මිශ්‍ර මන්ත්‍රී සමාන්තර ක්‍රමයක් යෝජනා කර තිබුණි. එහි ඇතුලත්ව තිබුණේ කේවල තරඟ මගින් පත් කර ගන්නා ලද මන්ත්‍රී වරුන් 140 කින් සහ සහ සමස්ත චන්ද සංඛ්‍යාවේ අනුපාතය නියෝජනය වන ලෙස පත් කර ගන්නා ලද සමානුපාතික මන්ත්‍රී වරුන් 85 දෙනෙකු ගෙන් සමන්විත පාර්ලිමේන්තු ක්‍රමයකි. මෙම ක්‍රමයට අනුව දිස්ත්‍රික් මට්ටමින් 70 දෙනෙකුද ජාතික මට්ටමින් 15 දෙනෛකුද තෝරා පත් කෙරේ. කේවල ක්‍රමය මගින් අපතේ යන චන්ද සංඛ්‍යාවට නියෝජනයක් ලබා  දීම මෙහි අරමුණ වේ. ඒ අනුව කේවල සහ සමානුපාතික ක්‍රම දෙක අතර බැඳීමක් පවතින බව විශ්ලේශකයන් ගේ මතයයි.( ආර්ථික විමසුම සඟරාව) නමුත් වාර්ගික මුස්ලිම් සහ දෙමළ පක්ෂ සහ සුළුතර නියෝජනයක් සහිත පක්ෂ වලින් මෙයට විරෝධයක් එල්ල විණ.2014 වන විට පැවති රජය දුර්වලව සිටි අවස්ථාවක එයින් ප්‍රයෝජනය ගත් විජාතික බලවේග 2015 ජනාධිපතිවරණයේදී වාර්ගික පක්ෂ සහ මධ්‍යම පන්තියේ සහයෝගයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදවා විපක්ෂයට ජයග්‍රහණය ලබා ගත්හ. එම මැතිවරණයේදී  සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කාරණයක් නම් වාර්ගික පක්ෂ වලට නියෝජනයක් ලබා දිය හැකි විකල්ප මැතිවරණ ක්‍රමයකි.

          එම විකල්ප ක්‍රමය පදනම් කරගත් සමානුපාතික මැතිවරණ ක්‍රමයක් පිළිබඳ පණතක් 2015 ජූනි මස 15 දින 2015 අංක 20A යනුවෙන් ඉදිරිපත් කෙරුණි .එහෙත් එවක පැවති කෝප් කමිටුව විසින් බැඳුම්කර ප්‍රශ්ණය පිළිබඳ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට යෑම නිසා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් එම පණත් කෙටුම්පත අහෝසි විණ. එහිදී යෝජනා කර ඇත්තේ මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමයයි. එහිදී කේවලව මන්ත්‍රී වරුන් 145ක් සහ සමානුපාතික ක්‍රමයෙන් මන්ත්‍රීවරුන 45 දෙනෙකු තෝරා පත් කර ගැනීමට යෝජිත විය.කේවල තරඟ වලින් දෙවන තැන ගන්නා අපේක්ෂකයන් සහ දිස්ත්‍රික් ලැයිස්තුවට අඩංගු කර ඇති නාමයෝජනා වල එකතුවක් තුළින් එම මන්ත්‍රී වරුන් තෝරා පත් කර ගැනේ.එසේම ජාතික ලැයිස්තු වෙන්ද තවත් මන්ත්‍රී වරු 37 ක් තොරා ගැනීමට යෝජනා වුණි. මෙම ක්‍රමය ගැන සලකා බැලුවහොත් 2015 මහ මැතිවරණයේදී ගත් චන්ද සංඛ්‍යාව අනුව එක්සත් ජාතික පක්ෂයට කේවල ආසන 62 ක්ද අතිරේක ආසන 47 ක්ද වශයෙන් ආසන 109  ක් ලැබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 71 ක් ද අතිරේක 30 ක් ද  වශයෙන් 101 ක් ලැබේ. නමුත් දෙමළ ජාතික සන්ධානයේ ආසන සංඛ්‍යාව 12 ට අඩුවී  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සංඛ්‍යාව හා සමාන බවට පත් වේ.මුස්ලිම් කොන්ග්‍රසය සහ අනෙකුත් පක්ෂ වලට ලැබෙන්නේ එක් අසුන බැගිනි.මෙම ක්‍රමය තුළින පරාජිත අපේක්ෂකයන් හට ජනතා කැමැත්තෙන් තොරව මන්ත්‍රීවරුන් ලෙසට පත්වීමට හැකියාව ලැබේ. දැනටමත් පවතින එම ක්‍රමය තව දුරටත් මෙයින් වර්ධනය වේ.

             දැන් මිශ්‍ර මන්ත්‍රී සමානුපාත නියෝජන ක්‍රමය එළඹෙන පළාත් පාලන මැතිවරණයට යොදා ගැනීමට සූදානම්ය. එයට පදනම් වන ගැසට්ටුවද නිකුත් කර ඇත. එහිදී කේවල ක්‍රමයෙන් සියයට හැටක්ද සමානුපාතික ක්‍රමයෙන් සියයට හතළිහක්ද මන්ත්‍රීවරුන්තෝරා ගැනීමට නියමිතය. නමුත් සමානුපාතික ක්‍රමයෙන් මන්ත්‍රී වරු තෝරා පත් කර ගැනීමේදී පක්ෂ නායකයා විසින් තබන ලද නිර්දේශය වැදගත් වේ. එම නිසා වාර්ගික පක්ෂ දැන් සිටම තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට අවශ්‍ය දේශපාලන කලාප නිර්මාණය කර ගැනීමේ තරඟයක් ඇති කර ගෙන සිටී. එයට එක් උදාහරණයක් නම් අඹගමුව ප්‍රා දේශීය සභාව කොටස් තුනකට කැඩීමයි.එසේම නුවර එළිය ප්‍රාදේශීය සභාවත් කොටස් තුනකට කඩා තිබේ.එසේම මුසලි ප්‍රා දේශීය සභාව තුළ වැඩි බලයක් මුස්ලිම් පක්ෂ විසින් ලබා ගැනීමට අවශ්‍ය යටිතල ව්‍යුහය දැනටමත් භූමිය මත නිර්මාණය කරමින් ඇත. විශේෂයෙන්ම මෑතකදී කල්ලාරු සහ කොන්ඩච්චි වනාන්තර කපා පදිංචි කරවන ලද මුස්ලිම් ජනතාව සඳහා නව මන්ත්‍රී කොට්ටාශ නිර්මාණය කර ඇත.ඉදිරියේදී මෙම වනනාන්තර තව දුරටත් කැපීම සහ ජනයා පදිංචි කරවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබේ. අඹ ගමුව ප්‍රා දේශීය සභාව කොටස් තුනකට කැඩීමෙන් පසු නිර්මාණය වන මස්කෙළිය සහ නෝවුර්ඩ්  බල ප්‍ර දේශ තුළ එක් ග්‍රාම නිළධාරි වසමකට එක් මන්ත්‍රී කොට්ඨාශය ය බැගින් යොදා තිබේ. මෙම කඩා ගැනීමට වෙහෙ මහන්සි වූ දිගම්බරන් ඇතුලු කඳුරට දේශපාලනඥයන් හට පසුගියදා බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදී සම්මාන උත්සවයක්ද පවත්වා ඇත.

       මෙම මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික ක්‍රමය තුළ ජනතාවට යම් කිසි විදියකින් චන්ද දෙකක් භාවිත කිරීමට හැකි වුවහොත් ඇති වන විභේදනය තුළින් වඩාත්ම වාසිදායක බවත් ඇති වන්නේ වාර්ගික දේශපාලනයටයි.එවිට දේශපාලන පක්ෂයකට  සහ තමන් කැමති අපේක්ෂකයෙකුට චන්ද දෙකක් දීමට චන්ද හිමියන්ට අවස්ථාව ලැබේ.එවිට බොහෝ චන්ද දායකයන් විසින් චන්දය විභේදනයනය කරනු ලබන විට එල්ලෙන ආසන කණන වැඩිවේ. මේ නිසා සුළුතර පක්ෂ විසින් මෙම චන්දය නොමනා ලෙසට භාවිතා කිරීමට ඉඩ ඇත. මේවා කල් තියා දැනගෙන සුළුතර පක්ෂ විසින් මෑතකදී කළ සීමා නිර්ණයන්ට බලපෑම් කර තිබේ. ඉහත දැක්වූ  පරිදි දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සුළුතර නියෝජනයන් ඉහළ දමා ගැනීමට සහ සිංහල නියෝජනය අඩු කර ගැනීමට මෙම සීමා නිර්ණ විකෘතිය බලපා ඇත.

        ජයලත් රවි දිසානායක කමිටුව විසින් ආරම්භ කරන ලද සීමා නිර්ණය ට පදනම් ව  තිබෙන්නේ 1991 වසරේ පැවැත්වූ ප්‍රාදේශීය සභා මැතිවරණයට පාදක කරගත් පැරණි ආදායම් පාලක කොට්ඨාශ සිතියමයි.පැරණ ගම්සභා ක්‍රමය ස්ථාපිත කරලීමේදී ඉංග්‍රීසීන් විසින් කරන ලද පළාත් විකෘතිය මෙම සිතියම් වල දකින්නට ඇත.මුසලි ප්‍ර දේශීය සභා බල ප්‍රදේශය සහ වවුනියා බල ප්‍රදේශ සිතියම සලකා බැලුව හොත් මේ බැව් සරලවම අවබෝධ වනු ඇත. වවුනියාව ආදායම් පාලක කොට්ඨාශ තුනකට කඩා අති බව අපි දනිමු වවුනියා උතුර වවුනියා දකුණ සිංහල හා දෙමළ වශයෙන්  ගත් විට මේ ප්‍රා දේශීය සභාවන් තුළ සිංහල ජනතාව හුදකලා බවට පත් කර තිබේ. 2013 වර්ෂයේ දී සිට නැවත පදිංචි කරවා ඉඳි කරන ලද නන්දිමිත්‍රගම නාමල්ගම සැළලිහිණි ගම යන ගම්මාන වවුනියා උතුරට දහ දකුණටද අනුරාධපුර දිස්ත්‍රික්කයටද බෝගස් වැව වැනි ගම්මාන වවුනියා උතුරේ උන්ජල්කට්ටි මරුතොඩෛ යන ග්‍රාම නිළධාරි වසමට  දමා තිබීමෙන් මේ අවුල සරලව පැහැදිලිව තේරුම් ගත හැකිය.එසේම පළත්පාලන ආයතන වල සභික සංඛ්‍යාව මෙවර විශාල වශයෙන් වැඩිවී තිබේ.එම බර ජනතාවට දැරිය නොහැකිය. එසේම යම් කිසි යෝජනාවක් නිරවුල්ව සාකච්ඡා කරගෙන තීන්දුවකට තීරණයකට එළඹීමට එම ක්‍රමය බාධාවක් වනවා නිසැකය.

          මේ නිසා මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික ක්‍රමයකින් හෝ මිශ්‍ර මන්ත්‍රී සමාන්තර ක්‍රමයකින් වත්මන් පළාත් පාලන මැතිවරණය සහ එළඹෙන පළාත් සභා මැතිවරණය තැබීමට ප්‍රථම මෙම සීමා නිර්ණයන් නිවරදි කර ගත යුතුය. ජයලත් රවි දිසානායක ගෙන් පසුව අශෝක පිරීස් කමිටුවද මෙම සීමා නිර්ණ නිවරදි කිරිම් වලට යොමුව නැත. ජනතා විමක්ති පෙරමුණ නියෝජනය කරනු ලැබූ මෙම කමිටුව තමන් ගේ පක්ෂයට වාසිදායක ලෙසට සීමා නිර්ණය කරන්නට උත්සාහ කළ බව පෙනේ. එම නිසා පැහැදිලිවම රටේ භූගෝලීය සහ සංස්කෘතික විවිධත්වය ජන විවිධත්වය සැලකිල්ලට ගෙන නව ආදායම් පාලක කෙට්ඨාශ ඇති කොට සීමා නිර්ණයට අවශ්‍ය පදනම් සකස් කර ගත යුතුය. එම කටයුත්ත සිදු කළ යුතු වන්නේ ජනාපධිපති කොමිසමක් මගිනි.දැනටමත් පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා හිතුවක් කාරී ලෙස තමන් ගේ බලය යොදා ගනිමින් මුස්ලිම් පක්ෂ වලට සහ දෙමළ පක්ෂ වලට පක්ෂපාතීව සීමා නිර්ණය කළ බවට සාක්ෂි තහවුරුව තිබේ. එමි නිසා ජනාධිපති කොමිසමක් මගින් ඒ සම්බන්ධයෙන් සුදුසු කම් ලත් විශේෂඥයන් ගේ මැදිහත් වීමෙන් මෙම සීමා නිර්ණය සිදු කළ යුතුය. නමුත් චන්දයද කල් දැමිය යුතු නොවේ. දැනට එය කළ යුත්තේ පෙර ක්‍රමය නොහොත් සමානුපාතික නියෝජිත ක්‍රමටයි. මෙම විකල්පය දැනටමත් නීතිපතිවරයාද නිර්දේශ කර තිබේ.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress