දේශපාලනයේ මනෝ විද්යාව
Posted on February 20th, 2018

වෛද් රුවන් එම් ජයතුංග 

දේශපාලන නායකයන් ගේ මනෝ ගතිකයන් ඔවුන් ගේ දේශපාලන තීරණ වලටත් එසේම රටක අනාගතයටත් බලපාන බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙති.  A First-Rate Madness: Uncovering the Links Between Leadership and Mental Illness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි. 

දේශපාලන ඉතිහාසය හොඳින් විශ්ලේෂණය කරන වෛද්‍ය  Nassir Ghaemi චර්චිල් , හිට්ලර්, ස්ටාලින් යන නායකන් තුල තිබූ මනෝ භාවයන් මෙන්ම  මානසික අක්‍රමතාවයන් ඔවුන් ගේ දේශපාලන තීරණ වලදී ඉතා ස්ථිර ලෙස බලපෑ අයුරු තර්කාන්විතව පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස චර්චිල් විශාදයෙන් පෙළුනේය​. මේ නිසා නෙවිල් චේම්බලේන් මෙන් නොව හිට්ලර් ගේ අනාගත අභිප්‍රායන් පිලිබඳව යම් අවලෝකනයක් චර්චිල් තිල තිබූ බව වෛද්‍ය Nassir Ghaemi පවසයි. මෙම තත්වය වෛද්‍ය Nassir Ghaemi හඳුන්වන්නේ Depressive Realism යන නමිනි. තවද හිට්ලර් තුල තිබූ ඇම්ෆිටමීන් කෙරෙහි ඇබ්බැහි වීම මෙන්ම ඔහු තුල තිබූ ද්වී ද්‍රව විශාදය (Bipolar affective disorder) සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD)  නිසා අවසාන කාලයේදී හිට්ලර් සිහිමඳ ආකාරයෙන් යුද්දය පිලිබඳ තීරණ ගත් අයුරු වෛද්‍ය Nassir Ghaemi පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි බලපෑම් ඇති කරන ලද පුද්ගලයන් ගේ මනෝභාවයන් පිලිබඳව ශ්‍රී ලංකික මනෝ විද්වතුන් විග්‍රහ කොට නැත​. මේ සඳහා ඔවුන් තුල සාධාරණ බියක් පවතිනවා වන්නට පුලුවන​. එහෙත් වෘත්තීයවේදීන් ලෙස  තමන් ගේ දැණුම සහ අත්දැකීම් යොදාගෙන ජනතාවට ප්‍රතිවේධනයක් ලබා දීම ඔවුන් ගේ යුතුකමක් වෙයි. 

ශ්‍රී ලංකාවේ දේශපාලන පථය සඳහා පුද්ගලයන් බොහෝ දෙනෙකු දායක වී තිබේ. ඉන් ස්වල්ප දෙනෙකු වඩාත් අධික ලෙස ශ්‍රී ලංකා දේශපාලන පථය සඳහා බලපෑම් කොට බව නොරහසකි . වර්තමානයේ ශ්‍රී ලංකාවාසීන් ගේ ජීවන තත්වය  නිර්ණය වී තිබෙන්නේ සුළුතරයක් වූ මෙකී පුද්ගලයන් ගත් තීරණ තීන්දු මතය​. මේ නිසා එම තීන්දු ගන්නන් විධිමත් මානසිකත්වයෙන් එකී තීන්දු ගත යුතු බවට ජනතාව විසින් වග බලා ගත යුතුය​. 

ප්‍රභාකරන් සාධකය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම අර්බුදය විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජ ගමන් මග වෙනස් කිරීමට ප්‍රභාකරන්ට හැකි විය. ප්‍රභාකරන් තුල ව්‍යාථවේදී පෞරුෂ සාධක දක්නට ලැබුණි. නමුත් මේ ගැන කතිකාවට බඳුන් වී ඇත්තේ ඉතාම අඩුවෙනි.2004 වසරේ ප්‍රභාකරන් දේශපාලනමය සහ යුදමය වශයෙන් ඉතා බලවත්ව සිටි අවදියේ දී ඔහුගේ පෞරුෂ සාධක හෙළි කරමින් කරමින් ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් යන කෘතිය (සරසවි ප්‍රකාශකයෝ)  මම එළි දැක්වුයෙමි. එම ගවේෂණාත්මක කෘතිය මගින් ළමා ප්‍රභාකරන් චර්යාත්මක අක්‍රමතාවයකින් (Conduct Disorder) පෙළුණු බවත් පසුකාලීනව වැඩිහිටි දිවියේදී ඔහු තුල සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ (Antisocial Personality Disorder) තිබෙන බවද ඔහුගේ ජිවිත කතාව සහ චර්යාව මගින් පෙන්වා දුනිමි. මේ මතය ඇතැම් වියතුන්ගේ විවේචනයට ද ලක් විය. නමුත් 2011 වසරේ මම යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් මහතා අමතමින් 2004 වසරේ ප්‍රභාකරන් පිළිබඳව මගේ අධ්‍යනයන් ගැන තතු පැවසුවෙමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ වලින් යුතු පුද්ගලයෙකු බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ද පිලිගත්තේ ය. 

ජේ ආර් ජයවර්ධන යනු ලංකාවේ විවාදයට ලක්වූ දේශපාලකයෙකි. ඔහු විසින් කරන ලද හොඳ දේවල් මෙන්ම නරක දේවල් පිළිබඳව කථිකා තිබේ. 1977 ට මඳ කාලයකට පෙර ජේ ආර් ජයවර්ධන තම දකුණු අත මිටි කර  මේසයට ගසමින් අයි වෝන්ට් පවර්.. අයි වෝන්ට් පවර්… කියමින් කියූ බව වරක් ඩියු ගුණසේකර මහතා මා සමග කීවේය​. ඇත්ත වශයෙන්ම ජේ ආර් බලය කෙරෙහි ආශක්තව සිටියේය​.  බලය ලැබීමත් සමගම ජේ.ආර් තුල  අහංකාර උන්මාදය සහිත  The Hubris Syndrome නම් සහලක්‍ෂණයේ සලකුණු මතු විය​. ඔහු බලය පිළිබඳ වගාඩම් බර කීවේය​. තමන්ට කල නොහැක්කේ ගැහැනියෙකු පිරිමියෙකු කිරීම බව කීවේය​. එසේම ප්‍රජාතන්තවාදී විරෝධී තීරණ ගැනීම සඳහා ජේ ආර් තුල තිබූ මෙම Hubris සින්ඩ්‍රෝමය ඉවහල් විය​. 

ආර් .ප්‍රේමදාස  ඉතා හොඳ අනුගාමික උප නායකයෙකු විය​. ඔහු තුල විචක්‍ෂණභාවයක් තිබුනේය​. එහෙත් ඔහු  පූර්ණ බලැති නායකයෙක් වූ වහාම කුලය සහ ඔහුගේ පන්තිය පිලිබඳව තිබූ  විරක්‍ෂීභාවයන් (insecurities ) උඩට මතු විය​. මීට අමතරව ප්‍රේමදාසව පෙලූ හීනතාමාන සංකීර්ණය ( inferiority complex)   මත  ඔහුගේ දේශපාලන චර්‍යාව සනිටුහන් විය​. මේ නිසා ආර් ප්‍රේමදාස මහතා දේශපාලන වශයෙන් වැරදි තීරණ ගනනාවක් ගත්තේය​. මෙම වැරදි තීරණ නිසා ඔහු උග්‍ර දේශපාලන අර්බුධ වලට මුහුණ දුන්නේය​. 

රෝහන විජේවීර යනු ප්‍රභාකරන් මෙන්ම ශ්‍රී ලාංකික දේශපාලනය බරපතල ලෙස වෙනසකට ලක් කරන ලද පුද්ගලයෙකි.   රෝහණ විජේවීර සංකීර්ණ චරිතයකි. විජේවීර තුල අසාමාන්‍ය දක්‍ෂතා මෙන්ම බොහෝ දුර්වලකම්ද තිබුනේය. දක්‍ෂතා අතර ඔහු තුල පැවති සංවිධානාත්මක හැකියාව පෙනී යයි. ධනය බලය රහිතව ඔහු විශාල සංවිධානයක් ගොඩ නැගුවේය​.ඔහු තුල තිබූ කැපවීම කිසිදු දේශපාලකයෙක් තුල තිබුනේ නැත. පයින් ගමෙන් ගමට ගොස් සාමාජිකයන් එකතු කරගෙන ඔහු විසින් ගොඩ නගන ලද සංවිධානය මේ වන විට ලංකාවේ තෙවන බලවේගයක් දක්වා වර්ධනයව තිබේ. 

රෝහණ විජේවීර සංකීර්ණ චරිතයක් වූ බව නිසැකය​. ඔහු තුල යහපත් ගති ගුණ මෙන්ම විනාශකාරී ලක්‍ෂණ තිබුනේය​.  මාගේ අදහස අනුව විජේවීර තුල  Posttraumatic embitterment disorder (PTED)  තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම  Posttraumatic embitterment disorder (PTED)  තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම  Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය​, සමාජය හා නීති පද්ධතීන්  කෙරෙහි  අප්‍රසන්න තිත්ත භාවය , අපිළිසරණ හැඟීම් , පළි ගැනීමේ ආශාව , සහකම්පනීය හැඟීම් අඩු බව , දුක්මුසු මනෝ භාවයන් , තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි. 

පෙනී යන පරිදි රෝහණ විජේවීර තුල දත් බොල්ලෑව නිසා Body dysmorphic disorder තත්වය  තිබූ බවට  උපකල්පනය කිරීමේ සාධක තිබේ. බොහෝ අවස්ථාවලදී ඔහු තම දත් බොල්ලෑව පිළිබඳව චින්තාපර විය​. 71 කැරැල්ල ආසන්නයේදී පවා පේරාදෙනිය දන්ත පීඨයෙන්  තම ඉදිරියට නෙරා ඇති දත් ශල්‍යකර්මයක් මගින් සාමාන්‍යකරණය කර ගත යුතු බව ඔහු සෝමසිරි කුමානායකට කීවේය​. මෙම විකලතාව නිසා ඔහු තනිව සිටින විට අත් වලින් දත් පසුපසට තද කිරීම ග්‍රස්තියක් සේ වැඩුනේය​. එසේම ඔහු කණ්නාඩියකින් මුහුණ බැලීමටද අකමැති වූ බව ඔහුගේ සමකාලීනයෝ පෙන්වා දෙති. මෙම විකලතාව විජේවීරට චිරකාලික කාංසාමය තත්වයක් ඇති කරන ලදි. විජේවීර ගේ සමහර සර්වතෝභද්‍ර වාදී ප්‍රවණතාවල මූලයන් මෙම Body dysmorphic disorder තත්වය සමග බැඳී පැවතිනි. අවිඥානික මානසික ගැටුම් , කායික අඩු ලුහුඞුවක් නිසා Body dysmorphic disorder තත්වය මෙන්ම Posttraumatic embitterment disorder (PTED) ලක්‍ෂණ ඔහු තුල තිබුනේය​. මේ  සියළු ලක්‍ෂණයන් රෝහණ  විජේවීර චරිතයට බල පවත්වන ලදි. රෝහණ  විජේවීර යන චරිතය අවබෝධ කර ගත යුත්තේ මෙකී කියවීම් හරහාය​. 

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පත් වන විට ඇය විසින් ලංකාව සෞභාග්‍යය කරා ගෙන යනු ඇතැයි බොහෝ දෙනෙකු අණාවැකි කියූහ​. එහෙත් එම අණාවැකි බොරු කරමින් චන්ද්‍රිකා අසමර්ථ දේශපාලන චරිතයක් වූවාය​. මේ සඳහා චන්ද්‍රිකා තුල තිබූ ඇතැම් මනෝ භාවයන් හේතු කාරක වන්නට ඇත​. චන්ද්‍රිකා තම පියාගේ මරණය​, තරුණ කාලයේදී තම ප්‍රථම ආදරවන්තයාගේ මරණය මෙන්ම පසුකාලිනව තම ස්වාමි පුරුෂයාගේ මරණය නිසා ක්‍ෂිතිමය අත්දැකීම් වලට ලක්ව සිටි කාන්තාවකි. එසේම පුරහල බෝම්බය නිසා ඇය තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD)ලක්‍ෂණයන් ද හට ගැනීමේ අවකාශයන් තිබුණු බව අමතක නොකල යුතුය​. මේ නිසා චන්ද්‍රිකා ගේ දේශපාලනය සඳහා මෙකී මානසික ලක්‍ෂණ බල පවත්තන්නට ඇත​. 

බලයේ සිටි කාලයේ සමහරක් චන්ද්‍රිකාට කීවේ පච මල්ල කියාය​. ඊට හේතුව ඇය බොහෝ විට බොරු ගොතා කීමයි. සමහර විට ඇය විසින් කියූ බොරු ඇයටම අමතක වූ අවස්ථාද තිබිනි.  චන්ද්‍රිකා  ඇබ්බැහියෙන් බොරු කිව්වේද කියා ඇතැමුන් අසති. එයට එක එල්ලයේ පිලිතුරු දිය නොහැක​. හේතුව සියළු දේශපාලකයන් බොරු කියති. නමුත් චන්ද්‍රිකා කියූ ඇතැම් බොරු විරළ වර්ගයේ ඒවාය​. 

 චන්ද්‍රිකා කියූ සෝබෝන් බොරුව  තුමුල බොරුවකි. ඇයට ප්‍රන්සයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් තිබුනේ නැත​. එක් අවස්ථාවකදී ඇය තමන්ට සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක් තිබෙන බවද කීවාය​. නමුත් මේ සියල්ල අසත්‍ය බව පසුව සනාත විය​.   තවත් අවස්ථාවකදී චන්ද්‍රිකා තම පුත් විමුක්තිව රාජකීය විද්‍යාලයට දැමීම සඳහා එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා සිටි බව කීවාය​. විජය ඝාතනය වූ අවස්ථාවේදී තමා එම ඝාතකයා බිම වැටී සිටි විජය දෙසට තුවක්කුව මානා ගෙන සිටි අයුරු දුටු බව චන්ද්‍රිකා වරක් රූපාවාහිනී වැඩ සටහනකදී කීවාය​. විජය කුමාරතුංග ඝාතනය පිලිබඳ රහස් පොලිස් පරීක්‍ෂණ කටයුතු කල චන්ද්‍රා ජයවර්ධන මහතා ගෙන් වරක් මම මේ ගැන ඇසුවෙමි. චන්ද්‍රා ජයවර්ධන මහතා කියූ පරිදි  චන්ද්‍රිකා ඝාතකයාව දැක නැත​. චන්ද්‍රිකා එක එල්ලේ  කීවේ තමා ඝාතකයා දුටු බවය​. සමහර විට තමා කියූ අසත්‍යය සත්‍යක් කියා තමාටම ඒත්තු ගියා විය හැකිය​. 

පරිචින්න වශයෙන් බොරු කීම Pseudologia fantastica  හෝ   Pathological Lying ලෙස හැඳින්වේ. මෙම ස්වභාවය  ව්‍යාථවේදී තත්වයක් බව  1891 දී ජර්මානු මනෝ වෛද්‍ය  Anton Delbrück විසින් පෙන්වා දෙන ලදි. පෞරුෂ අක්‍රමතා වලදීද  ව්‍යාථවේදී මුසාවාද කීමේ තත්වය දක්නට හැකි බව මනෝ විද්වතුන් පවසයි.  DSM මානසික රෝග වර්ගීකරණයේදී  Pathological Lying   නොහොත් ව්‍යාථවේදී මුසාවාද කීමේ තත්වය  factitious disorder යටතේ වර්ගීකරණය වෙයි.

මහින්ද රාජපක්‍ෂ යන චරිතය ශ්‍රී ලාංකික දේශපාලනයේ පතාක චරිතයකි. ඔහුගේ දක්‍ෂතා මෙන්ම දේශපාලන සඑලතා බොහෝ සෙයින් තිබුනේය​. එහෙත් ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට පරාජය වන කාලය වන විට රාජපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් බොහෝ වැරදි කොට තිබූ නිසා ජනප්‍රියතාවයෙන් පහළ වැටී තිබුනේය​. රාජපක්‍ෂ මහතා මෙලෙස දේශපාලනික වශයෙන් සද්‍යෝෂී ක්‍රියා වෙත යොමු වීම සඳහා ඔහු තුල ජේ. ආර් ජයවර්ධන තුල වර්ධනය වූ අහංකාර උන්මාදය සහිත  The Hubris Syndrome නම් සහලක්‍ෂණයේ සලකුණු  තිබූ බව මම සිතමි. 

දේශපාලනයේ මනෝ විද්‍යාව යනු දේශපාලකයන් මානසික රෝගීන් කියා ලේබල් ගැසීමක් නොවේ. බොහෝ දේශපාලකයන් නිරෝගී මානසිකත්වයකින් යුතුව හිතකර තීරණ ගනිති. නමුත් යම් යම් අවස්ථා වලදී ඔවුන් තුල තිබෙන්නා වූ මනෝ ගතිකයන් ඔවුන් ගේ දේශපාලන  තීරණ වලට බල පැවැත්වේ. මෙම මනෝ ගතිකයන් පිලිබඳව දේශපාලකයන් විසින් දැනුවත්ම සිටීම ඔවුනට මෙන්ම ජනතාවටද හිතකරය​. මෙවැනි අවලෝකනයක් ලබා දීම  මනෝ විද්‍යාව පිළිබඳ වෘත්තීයවේදීන් ගේ යුතුකමක් ද වන්නේය​. ඒ මන්ද යත් පෙර කී පරිදි ශ්‍රී ලංකාවාසීන් ගේ ජීවන තත්වය  නිර්ණය වී තිබෙන්නේ සුළුතරයක් වූ මෙකී පුද්ගලයන් ගත් තීරණ තීන්දු මතය​. එම තීරණ ගන්නේ නීරෝගී මානසිකත්වයකින් ද නැතහොත් ව්‍යාථවේදී මනසකින් ද කියා මනෝ විද්‍යාව පිළිබඳ වෘත්තීයවේදීන් නිසි විපරමින් සිටිය යුතුය​. එසේම ඒ පිළිබඳව ජනතාව දැණුවත් කල යුතුය​.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

( ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක  මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්‍ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික  Posttraumatic Embitterment Disorder (PTED)  සම්මේලනයේ වෛඥානික කමිටු – International Scientific Committee සාමාජිකයෙකි ) 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress