පින් කරලා තියෙන නිසා ඝාතන කුමන්ත්‍රණවලින් අපි බේරුණා
Posted on October 4th, 2018

පනාගොඩ – චම්පා ජීවන්ති උපුටාගැණීම  මව්බිම

අපිව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ හැමදාම තිබුණා. ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේදී පවා ඝාතන තර්ජන තිබුණා. අපි පින් කරලා තියෙන නිසා ඒ හැම අනතුරකින්ම බේරුණා. ඝාතන තර්ජන තියෙනවා කියලා ඒවාට බයේ ජීවත් වෙන්න බැහැ. රට වෙනුවෙන් ඉපදුණා නම් රටට සේවයක් කරන්න වුවමනායි. මට ආරක්ෂාව වැඩි කරලා දෙන්න කියල මම කිසිම විටෙක ඉල්ලීමක් කරලා නැහැ. මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී පැවැසීය.

හංවැල්ල ඇඹුල්ගම රජ මහ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සමාධි බුදු පිළිම වහන්සේ සහ සතර මහා දේවාල විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වූ අතර එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට මෙසේද පැවැසීය.

“ආරක්ෂාවක් ලබා දීමට තරම් මම සුදුසු පුද්ගලයෙක් නෙවෙයි කියලා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කියලා තිබුණත් ඒක තීරණය කළ යුත්තේ රටේ නායකයන්. ඒ අය හිතලා තියෙනවා නම් ආරක්ෂාව දෙන්න වුවමනායි කියලා, ඒ ආරක්ෂාව දෙනවා. එක එක අයට ඕනෑම මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. සමහර අය කියනවා ආරක්ෂාව දෙන්න වුවමනායි කියලා? තව සමහරු කියනවා ආරක්ෂාව අඩු කරන්න කියලා. මම දැක්කා එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රිවරයෙක් කියලා තිබුණා ජනාධිපතිවරයාට වගේම හිටපු ආරක්ෂක ලේකම්වරයාත් යම්කිසි සේවාවක් කරපු කෙනෙක් නිසා එතුමාටත් තර්ජනයක් තියෙනවා නම් හොඳ ආරක්ෂාවක් ලබාදිය යුතුයි කියලා. ඒ වගේ විවිධ මත තියෙනවා.

හෙළිදරව් වුණු කරුණුවලට අනුව කොහොම පරීක්ෂණ සිදුවෙනවාද කියලා දන්නේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පරීක්ෂණ කටයුතු භාරදී ඇති බව පමණයි මම දන්නේ. මගේ කාලයේදී නම් ඔවුන් හොඳට වැඩ කළා. මම හිතනවා ඒ වගේ මේ පරීක්ෂණ කටයුතුත් සිදුකරයි කියලා.”

පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය පිළිබඳ මාධ්‍යවේදීන් විමසූවිට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

“පොලිස්පතිවරයා කියන පුද්ගලයා, පුද්ගලයකු ලෙස නොව ඔහුගේ තනතුර දෙසයි බැලිය යුත්තේ. අපේ ඉතිහාසයේ බැලුවාම හොඳ දක්ෂ පොලිස්පතිවරු ගණනාවක් සිටියා. උතුරේ සහ නැඟෙනහිර රණවිරුවන් සටන් වදිද්දී රටේ අනෙක් ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළේ පොලිසියයි. මට මතකයි අපේ ආණ්ඩුව සමයේ කටුනායක ඇතිවූ යම් සිද්ධියක් හේතුවෙන් රටේ ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් ඒ අවස්ථාවේ හිටපු පොලිස්පතිවරයා ඉල්ලා අස්වීමට පවා කටයුතු කළා. ඒ විදිහේ හොඳ පොලිස්පතිවරු හිටියා. පොලිස්පතිවරයා කියන පුද්ගලයා ඒ තනතුරට සුදුසු ආකාරයට කටයුතු කරන්න වුවමනායි. අපි දන්නවා සමහර අයට දක්ෂතා තියෙනවා. සමහරකුට සින්දු කියන්න පුළුවන්. තවත් සමහරකුට නටන්න පුළුවන්. ඒවා හොඳයි. නමුත් ඒවා නෙමෙයි අපි පොලිස්පතිවරයකුගෙන් බලාපොරොත්තු වෙන්නේ.”

පනාගොඩ –
චම්පා ජීවන්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress