බැරි එකාට බෑමයි කියා නාහෙන් හඬන ලංකාවේ ආර්ථිකය
Posted on October 9th, 2018

ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම  මව්බිම

ලංකාවේ මේ අවස්ථාවේ විශාල සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් ඇති බව නොපිළිගන්නා අයෙක් වේ නම් ඒ එක්කෝ බොරුකාරයෙකි. නැත්නම් මෝඩයෙකි. මන්ද සත්‍යය ඕනෑම අයකුට ඇස් ඉදිරිපිටම දක්නට ඇති බැවිනි.

දේශපාලන වේදිකාවල රටේ ජනතාවට හැමදාමත් බිල්ලන් මවන වත්මන් අගමැතිවරයාගේ අලුත්ම හෙළිදරව්ව නම් ලෝක ආර්ථික අර්බුදයක් ඇති බවත් ලංකාව ඉන් පීඩනයට ලක්වී ඇති බවත්ය. ඉදිරියේදී මේ තත්ත්වය තවත් දරුණු වන බවත් ලංකාව ඊට සූදානම් විය යුතු බවත් නෝර්වේ රටේ සංචාරයක් සඳහා පිටත් වීමට පෙර ඔහු කියා තිබිණි.

ලෝකයේ ආර්ථික අර්බුද තිබෙනා කාලවල ඒ ගැන සාමාන්‍යයෙන් මුළු ලෝකයම දැනුවත්ය. උදාහරණයක් වශයෙන් මෑත කාලීන ඉතිහාසයේ 1975, 1982, 1991 හා 2009 ගෝලීය ආර්ථිකය සමස්තයක් ලෙස කඩා වැටුණු වසර ලෙස නම් කළ හැකිය. 2007 – 2008 වර්ෂවල ලෝක මූල්‍ය අර්බුදයක් හා ලෝක ආහාර අර්බුදයක් තිබිණි. 2005 – 2014 කාලයේ බලයේ සිටි පසුගිය ආණ්ඩුව මින් අර්බුද කිහිපයකටම මුහුණ දුන් අතර එම ආණ්ඩුව අදාළ ප්‍රශ්න හොඳින් කළමනාකරණය කළ නිසා ලෝකයේ එවන් අර්බුදයක් තිබූ බවක් ලංකාවේ සාමාන්‍ය ජනතාවට නොදැනිණි. එහෙත් 2015 යහපාලනය බලයට ආ දා සිට ලංකාවේ අර්බුද පිට අර්බුදය. මේවා ලෝක ආර්ථික අර්බුදයක් නිසා ඇතිවන බව කියා රවටන්නට උත්සාහ කිරීම ජනතාවගේ බුද්ධියට කරන අපහාසයකි.

අද ලෝකය පුරාම අපට දක්නට ලැබෙන්නේ ආර්ථික ප්‍රගමනයකි. 2010 සිට ලෝක ආර්ථිකය ධනාත්මකව වෙනස් වූ අතර 2016-2017 වන විට 3%ක පමණ දළ වර්ධන වේගයක් ලෝකය පුරාම දක්නට ලැබිණි. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල දළ සංවර්ධන වේගය 4.3% ඉක්මවා තිබිණි. ඒ අනුව මේ කාලය සැලකෙන්නේ ලෝක ආර්ථික චක්‍රයේ ධනාත්මක යුගයක් ලෙසය. මේ අතර ඇමෙරිකාවේ ආර්ථිකය අනෙක් රටවලට වඩා වේගයෙන් දියුණු වනවා කියන්නේ අනෙක් රටවල ආර්ථික අර්බුදයක් ඇති බව නොවේ.

2016දී 1.5%ක පමණ වර්ධන වේගයක් තිබුණු ඇමෙරිකාවේ ආර්ථික වර්ධන වේගය 2017 වන විට 2.3% දක්වා ඉහළ ගිය අතර 2018දී එය 2.5% පමණ ප්‍රමාණයකට තවත් ඉහළ ගොස් ඇත. 2016දී 1.8%ක පමණ වර්ධන වේගයක් තිබුණු යුරෝපයේ දළ සංවර්ධන වේගය 2.5% දක්වා 2017දී ඉහළ ගිය අතර 2018දී එය 2.2%ක් පමණ වේ යැයි බලාපොරොත්තු වේ. චීනයේ දළ සංවර්ධන වේගය 2016 සිට 2017 කාලය තුළ 6.7% සිට 6.8 දක්වා ඉහළ ගිය අතර පරිසර දූෂණය අඩු කිරීම, රාජ්‍ය ආයෝජන සමතුලනය කිරීම හා මූල්‍ය අංශ නියාමනයන් ශක්තිමත් කිරීම වැනි රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ මත චීන රජය තම 2018 සංවර්ධන ඉලක්කය 6.4%කට පමණ වෙනස් කොට ඇත. ජපානයේ පවතින්නේද යහපත් ආර්ථික තත්ත්වයකි. ඒ අනුව අගමැතිවරයාගේ අලුත්ම ත්‍රාසජනක ප්‍රවෘත්තියේ එන ලෝක ආර්ථික අර්බුදය ඔහුගේ තවත් එක් මන–කල්පිත නිර්මාණයක් පමණක් බව පැහැදිලිය.

මේ අපූරු හැකියාවෙන්නම් ඔහු හා සම කළ හැකි නිර්මාණකරුවන්ද අද රටේ ඉතා විරලය.

අද ලංකාවේ ආර්ථික යථාර්ථය කුමක්ද?
2012-2014 පැවැති දළ ආර්ථික 7%ක සංවර්ධන වේගය 2017 වන විට 3.1%ට අඩු විය. මේ වන විට තත්ත්වය තවත් දරුණු බව පෙනේ.

• 2014දී රුපියල් බිලියන 7391ක් වූ රාජ්‍ය ණය
2018 මැද වන විට රුපියල් බිලියන 11,971 දක්වා
60%කින් ඉහළ ගොස් ඇත.

• රාජ්‍ය ණය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක්
ලෙස 70.1% සිට 87% දක්වා වැඩිවී ඇත.

• 2014න් පසු රුපියලේ අගය ඩොලරයට
සාපේක්‍ෂව 28%කින් බාල්දු වී ඇත.
ඒ නිසා රාජ්‍ය ණයවල දේශීය අගය
රුපියල් කෝටි ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයකින්
වැඩිවී ඇත.

• 2014දී තිබුණ 10%ටත් අඩු පොලී අනුපාතයන්
දෙගුණයකට ආසන්නව වැඩිවී ඇත.

• සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රැසක්
වසර 3 1/2 තුළ බංකාලොත් වී වසා දමන ලද අතර
තවත් ව්‍යාපාරික රාශියක් නුදුරු අනාගතයේ
වැසී යනු ඇත.

• මහ පරිමාණ ව්‍යාපාර රැසක්ම මේ වසරේ ලාභ
අඩුවෙන් පෙන්වන හෝ පාඩු පෙන්වන
තත්ත්වයට පත්වී ඇති අතර මෑතකදී
කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී ලංකාවේ ලොකුම
ව්‍යාපාරිකයන් කිහිපදෙනකුම ප්‍රසිද්ධියේ
මෙය පිළිගනු දක්නට ලැබිණි.

• හිතුමතයට බඩු ආනයනය කිරීමෙන්
දේශීය කර්මාන්ත රැසක් අනතුරේ වැටුණු අතර
ආනයන සීමා කිරීමට රජයට මතක් වූයේ
අස්සයා ඉස්තාලයෙන් පැන ගියාට පසුවය.
• 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක
ආයෝජන තිබුණු රටට අද මොනම
ආයෝජනයක්වත් එන පාටක් පෙනෙන්ට නැත.
රටේ ආයෝජනය කර තිබුණු මුදලුත් ආයෝජකයන්
විසින් ඉවත් කරගනු ලැබීම රුපියලේ කඩා වැටීමට
මූලික හේතුවක් වී ඇත.

• තිබුණු රැකියා ප්‍රමාණය අඩුවී ඇත. 2014දී
රැකියා ලක්‍ෂ 84ක් වාර්තා වුවද 2017 එය ලක්‍ෂ 82ට
අඩුවී තිබිණි. අලුතින් දෙනවා කී රැකියා ලක්‍ෂ 10
වාෂ්ප වී ඇත.

• කොටස් වෙළෙඳපොළ විශාල අර්බුදයකට
මුහුණදී ඇත. 2014දී 23.5%ක් ප්‍රතිලාභ දුන්
කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වන විට
ආයෝජකයන් විශාල වශයෙන් පාඩු ලබන
තැනක් බවට පත්වී ඇත.

• ජාත්‍යන්තර මූල්‍ය තොරතුරු විශ්ලේෂක සමාගමක්
වන බ්ලූම්බර්ග් ආයතනය ලංකාවේ ලෝකයේ
ආයෝජනයට අනතුරුදායකම රටක් ලෙස
නම් කොට ඇත.
• රටේ දුප්පත්කම වැඩිවී ඇත. ජීවන බර
අද ජනතාවට තදින්ම දැනේ. පවුල් ලක්‍ෂ ගාණකට
අද තුන්වේල කෑමේ හැකියාව නැත.

වත්මන් යහපාලන ආණ්ඩුවට පැහැදිලිවම තිබෙන්නේ බැරිකම පිළිබඳ ප්‍රශ්නයකි. වසර 20කට වඩා වැඩි කාලයක් විපක්‍ෂයේ සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ද ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා වන අගමැතිවරයාගේ පාර්ශ්වයට පළපුරුදු, කළමනාකාර හැකියාවන් ඇති කණ්ඩායමක් නැත. ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුව තුළ ඉතුරුව සිටින්නේ පසුගිය ආණ්ඩුවේ කොන්වී සිටි වැඩ බැරි කණ්ඩායමයි. යන්තම් හෝ හැකියාවක් ඇති අයෙක් පසුගිය කාලයේ හවුල් ආණ්ඩුව තුළ ඉතුරුව සිටියා නම් මේ වන විට ඔවුන්ද ගිලෙන නැව අතහැර යන මීයන් මෙන් ආණ්ඩුවෙන් ඉවත්වී අවසන්ය. දැන් ගැටලුව වන්නේ මුළුමනින්ම වාගේ වැඩ බැරි ටාසන්ලාගෙන් පිරි කණ්ඩායමකට රටක් පාලනය කිරීම වැනි භාරදූර වගකීමක් ඉටුකළ හැකිද යන්නයි.

2015 මැතිවරණ දෙකේදීම වත්මන් පාලකයන්ට විදේශ උපදෙස් හා සහාය නොඅඩුව තිබිණි. ඡන්ද ව්‍යාපාරය සඳහා විශාල වශයෙන් මුදල්ද ලැබිණි. 2015 ආණ්ඩු පෙරළන්නට ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් මුදල් වියදම් කළ ආකාරය තවදුරටත් රහසක් නොවේ. ලංකාවේ, නයිජීරියාවේ හා බුරුමයේ ආණ්ඩු පෙරළන්නට ඇමෙරිකානු ඩොලර් මිලියන 680ක් වෙන් කළ බව හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා රජයේ ගිණුම් සහතික කරමින් තැබූ වාර්තාවකම කියැවේ. ඉන් තුනෙන් එකක් ලංකාවේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් වුවත් එය රුපියල්වලින් නම් කෝටි 3000කට අධික මුදලකි. එකල විපක්‍ෂයට මුදල් ලැබෙන්නට ඇත්තේ ඇමෙරිකාවෙන් පමණක් නොවේ. පසුගිය ආණ්ඩුව පෙරළන්නට දැඩි අවශ්‍යතාවක් තිබුණු ඉන්දියාව, අන්තවාදී දෙමළ ඩයස්පෝරාව, රාජපක්‍ෂ විරෝධී යුරෝපීය රටවල් යන කොයි කවුරුත් ඔවුන්ට උදවු කරන්නට ඇත.

ඒ අනුව කෙතරම් විශාල මුදලක් මේ බල පෙරළිය සඳහා වියදම් වන්නට ඇත්දැයි අපට සිතාගත හැකිය. එදා සුදුපිරුවට පොරවාගෙන සිටි සමහර දේශප්‍රේමීන් හිටි අඩියේ බෙදුම්වාදීන්ගේ පිලට උඩුකරණම් ගැසූ හේතුව මින් පැහැදිලිය.

උගුර ලේ රහ වන තුරු ධනවාදයට එරෙහිව කෑසමින් සිටි නිර්ධන පන්ති නායකයන්ට හදිසියේම එදා තම නායකයා පණ පිටින් පුලුස්සා මරා දැමූවන් සමඟ යහන් ගතවන්නට තරම් ලැජ්ජා නැතිකමක් ආවේත් මේ නිසාම බව වටහා ගන්නට මහා බුද්ධියක් අවශ්‍ය නැත. නමුත් මුදලේ බලයෙන් එකතු කළ හොර හවුලකට රට පාලනය කළ නොහැකි බව අද ඔප්පු වී අවසන්ය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තිබෙන ඕනෑම රටක ආණ්ඩුවක් විශාල අර්බුදයකට ලක්වී ජනතා අප්‍රසාදයට ලක්වූ විට පවතින ආණ්ඩුව විසුරුවා දමා නව පාලනයක් සඳහා ජනවරමක් ඉල්ලීමේ සම්ප්‍රදායක් ඇත. උදාහරණයක් වශයෙන් 2001 අවසන් කාලයේ බලයට ආ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වසර දෙකක් පමණ සුළු කාලයක් තුළ විශාල මහජන අප්‍රසාදයකට ලක්වූ විට හිටපු ජනාධිපතිනිය විසින් ආණ්ඩුව විසුරුවා දමා භාරකාර ආණ්ඩුවකට රට භාර දෙන ලදී. භාරකාර ආණ්ඩුවක වගකීම වන්නේ මැතිවරණයක් පවත්වන තුරු රට පාලනය කිරීමයි.

භාරකාර ආණ්ඩුවක් තුළ එක්වී සිටින සියලු පාර්ශ්ව ඊළඟ මැතිවරණයේදී එක්ව තරග කිරීමේ අවශ්‍යතාවක් නැත. ඒ අනුව මැතිවරණයෙන් තමන් කැමැති කණ්ඩායමක් බලයට පත්කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට හිමිවේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කියා බලය ගත් වත්මන් යහපාලන ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බරපතළ ලෙස ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කර ඇත.

රටේ මොන අර්බුද ආවත් වසර 4 1/2කට පාර්ලිමේන්තුව විසුරුවන්නට බැරි බවට නීතියක් ගෙන ආවේ මේ ආණ්ඩුවය. මීට අමතරව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැතිවරයා තමන්ම ඉල්ලා අස්වුවහොත් මිස ඉවත් කළ නොහැකි බවට තවත් අමුතුම නීතියක් හඳුන්වාදී ඇත. බලයට ආ දින සිට ඡන්ද කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ජනතාවගේ මූලික අයිතිය වන ඡන්දය භාවිත කිරීමේ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කොට ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ කුමන ක්‍රමයකින් හෝ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවක් බවට පත්වී අවසානය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress